මල්වර මල් සර – 05

මංජරී අකමැති ම විශ්ව විද්‍යාලයේ නිවාඩු ලැබෙනවාට ය. නිවාඩු දුන් විට ගෙදර යන්නට සිදු වේ. නැත්නම් ඇය නැවතී ඉන්නා ඥාති නිවසේ අය ඒ ගැන ප්‍රශ්න කරති. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නට ද ඇය ගෙදර යනවා තරමට ම අකමැති ය. විශ්ව විද්‍යාලයේ වැඩක් තිබෙනවා යයි කියමින් දවසක් දෙකක් බොරුවට කල් මැරිය හැක. නමුත් දිගට ම එසේ කළ නො හැකි ය.

“ගමේ යන එන එක මාර කරදරයි. නිවාඩු කාලෙටත් මට කොළඹ ම ඉන්න විදිහක් තියනවනං…”

නිවාඩු දෙන දවසේ, කැන්ටිමට වී දුල්නෙත් ගේ බත් එක දෙපැත්තෙන් හිඳ කන ගමන් මංජරී කීවා ය.

“ඒ වුණාට අම්මල ආස ඇතිනෙ ඔයා එනවට…”

“කරදරේ අනේ…කට්ටිය වැඩීනෙ ගෙදර…කන්දොස්කිරියාවට මං ආසම නෑ. මෙහෙ ඉන්නකොට නිදහසේ ඉන්නව”

සහෝදර සහෝදරියන්ගෙන් විවාහ වී සිටින්නේ වැඩිමල් සහෝදරයා පමණි. ඔහු ද සිය පවුල පිටින් වෙසෙන්නේ ගෙදර ය. එතන පොඩි උන් දෙදෙනෙකි. වැඩේ ම ඒ ළමයින් ගේ කෑ ගැසිල්ල ය. ළමයින් ගේ රණ්ඩු බේරන්නට අම්මා ඊට වැඩිය හයියෙන් කෑ ගසයි. එක වර දෙතුන් දෙනෙකු ම හඬ නගා කතා කිරීම නිසා ගෙදර කොයි වෙලේත් සද්ද බද්ද වලින් පිරී තිබේ. 

ඒ කිසිත් මංජරී ට නුහුරු ඒවා නොවේ. නමුත් ඇය ඒ ජීවිතයට අකමැති ය. කොළඹ පැමිණිමෙන් ඉක්බිති දැන් වැඩියෙන් අකමැති ය. 

“අපිට මැරි කරනකල් රූම් එකක් රෙන්ට් එකට අරං ඉන්න හරි පුළුවන්නං…”

ගිලින්නට ගිය බත් කට දුල්නෙත් ට පිටි උගුරේ ගියේ ය. ඔහු වතුර බෝතලය ඇර වතුර උගුරක් බී හිස මේසයෙහි ගසා ගත්තේ ශ්වසන මාර්ගයට දැනෙන්නට ගත් දැවිල්ල නිසා ය. මංජරී හෙමිහිට ඔහු ගේ පිටට තට්ටු කළා ය.

“ලිවිං ටුගෙදර් කියන්නෙ දැන් මහ මැජික් එකක් නෙවෙයිනෙ. ඔයාටත් ගෙදරට කියන්න පුළුවන්…කැම්පස් එකේ වැඩ වැඩි නිසා ළඟ තැනක බෝඩ් වෙනව කියල. දැන් අපි වැඩිහිටියොනෙ දුල්නෙත්…අපිට බැරිද අපේ ජීවිත තීරණේ කරන්න…”

දුල්නෙත් හිස එසවූයේ හෙමිනි. ඔහු ගේ ඇස් වල, කෑම පිටි උගුරේ යාම නිසා මතු වූ බොඳ කඳුළක් තිබිණ. නමුත් ඊට වඩා ගැඹුරු වූ කතාවක් ද ඒ ඇස් මත ලියවී තිබිණි. විසඳා ගත යුතු ම ප්‍රශ්නයක් ද එහි වූයේ ය. 

“මොනාද මංජරී ඔයා මේ කියන්නෙ…”

“මං කතා කරන්නෙ ප්‍රැක්ටිකල් ජීවිතේ ගැන. මට ගමේ නොයා කොළඹ නවතින්න ක්‍රමයක් තියෙන්න ඕනෙ. ඔයාටත් ඒ ගැන වගකීමක් තියනව දුල්නෙත්. ඔයා තාම හැසිරෙන්නෙ පොඩි බබෙක් වගේ. හැම දේම අම්මගෙන් අහල කරන්න ඉන්න එපා. අපි බැන්දට පස්සෙත් ඔයා මමාස් බෝයි රෝල් එක ප්ලේ කරන්නද ඉන්නෙ…”

දුල්නෙත් නිරුත්තර වූයේ තමන් වැරදිද යන ප්‍රශ්නය හිතේ ඇති වූ නිසා නොවේ. මංජරී මේ තරම් නිර්භීත වූයේ කෙසේ ද යන ප්‍රශ්නය නිසා ය. ඇය ඈත ගමකින් පැමිණි යුවතියකි. කොළඹ හැදී කොළඹ පාසල් ගිය දුල්නෙත් ඕනෑ තරම් කොළඹ ගෑනු ළමයින් ඇසුරු කොට තිබේ. ඔවුන් අතරේවත් මංජරී වගේ කෙනෙකු ඇත්තේ නැත. විශ්ව විද්‍යාලයේ දී මංජරී දුටු විට ඔහු සිතුවේ ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තිය ඇය කියා ය. එපමණට ම ඇගේ පෙනුම අහිංසක ය. සිනහව පිවිතුරු ය. හැසිරීම චාම් ය. එතකොට ඒ සියල්ල ව්‍යාජයක් ද? දුල්නෙත් ගේ සිතිවිලි සුළි සුළඟකට හසු වූවා සේ කලබලකාරී විය.

මංජරී කියන්නේ ඔහු ට ගැලපෙන ගෑනු ළමයාද කියා නැවත වරක් සිතා බැලිය යුතු යයි දුල්නෙත් ට හැඟිණි. නමුත් අතර මගක දී මේ කතාව නවතන්නේ කොහොමද? විශ්ව විද්‍යාලය ම දැන් ඔවුන් ගේ ඇසුර ගැන දනී. මංජරී ගැන බලාපොරොත්තුවෙන් සිටි තරුණයින්, ඇය දුල්නෙත් සමග ඇසුරක් ඇරඹූ පසු වෙනතක් බලා ගත්හ. ඇය ඔහුට හිමි වීම නිසා මුල දී දුල්නෙත් ගේ සිතේ වූයේ ආඩම්බරයකි. ඒ මංජරී ගැන උනන්දු වූ සියලු කොල්ලන් අතුරින් ජයග්‍රහණය ඔහු ට හිමි වූ නිසා ය. නමුත් කාලයේ උඩු සුළඟට හසු වී සියල්ල ක්ෂය වෙමින් ගියේ ද? දැන් ළඟ සිට ඔහු දකින්නේ එදා දුර සිට දුටු මංජරී ව නොවේ. 

“අපි ගැලපෙන්නෙ නෑ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද…”

දුල්නෙත් සිය පෙම්වතිය වෙතින් ඒ ප්‍රශ්නය නැගූයේ මුළු රාත්‍රියක් කල්පනා කිරීමෙන් අනතුරුව ය. මංජරී ඇස් ලොකු කොට බලා ගෙන සිටියා ය.

“මං දැනං හිටිය. ඕක තමයි  ඔයා නිර්වාණෙට යනවට මං අකමැති වුණේ. අර තේ උඩිච්චි තමයි මේ හැම දේකටම හේතුව. ඒකි නිසයි ඔයාට දැං මං ගැලපිලි ඇලපිලි අඩුයි කියල දැනෙන්න අරං තියෙන්නෙ”

ඇය උමතුවෙන් වාගේ කියවා ගෙන යන්නට පටන් ගත්තා ය. ඔවුන් අසලින් යමින් සිටි දන්නා නො දන්නා කිහිප දෙනෙකු ම හැරී බලනු දුටු දුල්නෙත් ගේ හිත ලැජ්ජාවේ ගං වතුරෙන් යට වී යන්නට ගත්තේ ය. පුංචි දෙයටත් හඬ නගා කෑ ගැසීම දැන් ඔහු මංජරී වෙතින් නිතර දකිනා දෙයකි. ඒ ගැන වන ලැජ්ජාව නිසා කිහිප වරක් ම ඔහු ඇයට අකමැත්තෙන් හෝ අවනත වූ අවස්ථා  තිබේ.

“කෑගහන්නැතුව හෙමින් කතා කරන්න මංජරී”

එවර දුල්නෙත් තරමක් තදින් කතා කළේ ය. මංජරී කඳුළු පෙරමින් හඬන්නට ගත්තා ය.

“හැබැයි ඔයා මාව අත්ඇරියොත්නං දෙයියම්ප මං මොනා කරගෙන හරි ජීවිතේ නැති කර ගන්නව. ඔයාගෙ ගේ ඉස්සරහට ඇවිත් වහ බීල මැරෙන්නෙ දුල්නෙත්…අන්න ඒක මතක තියා ගන්න”

පරාජිත හැඟීමෙන් සුසුමක් අත් හළ දුල්නෙත් මංජරී වෙතින් නික්ම ගියේ ය. ඔහු ට දැඩි මානසික වෙහෙසක් දැනෙන්නට විය. සුමංගල මන්දිරය ඉදිරියේ දී කොලු නඩය හමු වූ අතර ආයේ දේශනයක් තිබෙන්නේ හෝරා දෙකකින් වන නිසා ඔවුහු පිට්ටනිය දෙසට ඇවිද යන්නට වූහ. පෙළට සිටවූ ෆොක්ස් ටේල් ගස් පෙළ යටින් වන තාප්පයක් සේ මැනවින් කපා නඩත්තු කරනා ඉක්සෝරා මල් වැටිය රතු පාට සේද රෙද්දක් එලුවා සේ මල් බර ව තිබිණ. කහ පාට මල් රෑන් එල්ලා හැලෙන ඇහැල ගස් ද රෝස පාට මල් හලා නිදහස් වෙන්නට හදන රොබරෝසි ගස් ද පහු වෙනවා දුල්නෙත් දුටුවේ ය. ඒ මල් දකිත්දී අයානා හිතට එන්නේ මන්දැයි ඔහු නොදත්තේ ය. මංජරී ගේ කඳුළු ඇස් වලට යටින් වූ ද්වේශයේ උමතුව ද ඇගේ ඉකිබිඳුම් අතරේ නැගුණු වෛරී ප්‍රකාශ ද දුල්නෙත් ගේ හිස තුළ දෝංකාර නගමින් තිබිණ. දැවැන්ත රුක් සෙවනක් යට දී කවුදෝ මන්දා දුම් වැටියක් දල්වා ගත්තේ ය. දුල්නෙත් කියන්නේ දුම් බොන්නෙකු නොවේ. නමුත් ඔහු ඒ දැල්වුණ දුම් වැටිය මොහොතකට සියතට ගෙන දුම් උගුරක් ඇද්දේ ය. මිතුරු කැළ ඔහු දෙස විපරමින් බැලුවේ එතකොට ය.

“අවුලක්ද බං…”

යන්තම් සිනහ වූවා මිස දුල්නෙත් යමක් කීවේ නැත. කුමක් කියන්නද කියා ඔහු දැන සිටියේ ද නැත. මංජරී ගැන ඔහු දන්නා දේවල් කීවාට මේ කිසිවෙකු ඒවා විශ්වාස නොකරන බව ද ඔවුන් තුළ ඇය කෙරේ වන්නේ භක්තිමත් හැඟීමක් බව ද දුල්නෙත් දනී. ප්‍රසිද්ධියේ නො කීවාට ඔවුන් හැම කෙනෙකුගේ ම යටි හිත් වල ඇය ලබා ගැනීමේ ආශාවක් හෝ තිබුණාට සැක නැත. සිය පුද්ගලික කතා බහ හෝ මංජරී ගේ අභිප්‍රාය ගැන කිසිවෙකු දැනගන්නවාට දුල්නෙත් කැමති ද නැත. ඔහු පෙම් කළ ඇයට වචනයකිනිදු අගෞරවයක් සිදු කිරීමේ අදහසක් ඔහු ට නැත්තේ ය.

“මංජරී එක්ක වලියක් දාගෙනද කොහෙද මූ”

“අපි ගැලපෙන්නෑ බං”

ඒ වචන තුන ඒ තරම් දරුණු නිහැඬියාවක් ඇති කළේ කෙසේ ද? තරුණයන් ට ඒ ඇසුණු දේ එක වර පහදා ගත නො හැකි වූ තරමි. බාහිර පෙනුමෙන් දුල්නෙත් හා මංජරී තරම් ගැලපෙන යුවළක් විශ්ව විද්‍යාලයට ම නැති බව ප්‍රකට ය. නමුත් මේ මොහොතේ දුල්නෙත් ගේ මුහුණේ වූ සෝබර බව හා ඔහු කීව අතරේ සම්බන්ධයක් ගලපා ගන්නට බැරි කමක් නැත.

“අතෑරල දාපං බං. කොයි කපල් එකද බං වලි දාගන්නැත්තෙ. බලපල්ලකො හෙට මුන් දෙන්න කැන්ටිමේ මුල්ලක ඉඳං බත් එක කන්නැද්ද කියල”

එදා අවසාන දේශනයෙන් පස්සේ මංජරී එන තුරු නො සිට දුල්නෙත් විශ්ව විද්‍යාලයෙන් පිට වූයේ ය. පිවිසුම ඉදිරියේ ඇහැල ගහේ කහ පාට මල් රෑන් සුළඟ සමග තාලයට වැනෙනු දැක ඔහු ට සිහි වූයේ අයානා ය. නමුත් ඔහු නිර්වාණ ද්වාරය දෙස නො බලා ම ඒ ඉදිරියෙන් ගියේ ය. වීදුරු දොර ළඟ බලා උන් අයානා ගේ හිතේ මොකක්දෝ සන්තාපයක් ඇති විය. ඇය දෙතොල් තෙරපා තමන්ට ම සිනහ වූවා ය.

දුරාශා ඒ දර්ශනය දුටු මුත් වදනකුදු නො බිනුවා ය. 

විශ්ව විද්‍යාලයේ නිවාඩු කාලය උදා විය. මංජරී ගමේ යත්දී පිටකොටුව තෙක් ඇය ඇරලන්නට දුල්නෙත් ආවේ ය. ඇගේ ඇඳුම් හා පොත් පත් දැමූ බෑග් දෙක එල්ලා ගෙන යන්නට සිදු වූයේ ඔහුට යි. මංජරී නැවත නැවතත් කියා දුල්නෙත් ව මේ ගමනට එකතු කර ගත්තේත් ඇයට තනිව ඒවා ඔසවා ගෙන යා නො හැකි නිසා ය.

“ඔයාට එන්න තිබුණනෙ මාත් එක්ක. ආපහු කොළඹ එන බස් එකේ එන්න පුළුවන්නෙ”

පිටකොටුවේ දී මංජරී උත්සාහ කළේ දුල්නෙත් ව රාජාංගනයට ම කැටිව යන්නට ය. නමුත් ‘අම්මටත් ටිකක් සනීප නෑ’ කියා ඔහු එය මගහැරියේ ය. ප්‍රියන්ති ට තිබුණේ බරපතල රෝගයක් නොවේ. කොන්දේ අමාරුවකි. දුල්නෙත් දෙතුන් දිනක් එක දිගට ගෙදර රැඳී පොඩි වැඩක් අම්මා ට කර දුන්නේ ය. ගෙදර ඉන්න ම බෑ වගේ දැනෙන්නට ගත්තේ තුන් වන දිනයත් ගෙවී ගිය ඉක්බිති ය. ඔහු රාත්‍රියේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දුන්නේ ය. මිතුරා ගමේ නොයා බෝඩිමේ ම රැඳී සිටියේ ය. සිව් වන දිනයේ මඳක් දවල් වී දුල්නෙත් විජේරාම ට පැමිණියේ ය. 

එදා දුරාශා වැඩට ආවේ නැත. විශ්ව විද්‍යාලයේ නිවාඩු කාලයට නිර්වාණයට සෙනග අඩු ය. බොහෝ සිසුන් ගම් බිම් බලා යති. බෝඩිම් කාමර වල හා විශ්ව විද්‍යාලයෙහි රැඳී ඉන්නේ අධ්‍යයන කටයුතු වලින් පරිබාහිර කටයුතු වලට ඉන්නා අය ය. ඒ නිසා දුරාශා නිවාඩුවක් දෙකක් ගන්නේ ඒ කාලයට ය. 

මෙදා නිවාඩුව වෙන කිසි දාකට වඩා අයානා තුළ පාළුවක් දනවන්නට සමත් විය. අඩු තරමින් අන්තිම දවසේ වත් දුල්නෙත් නිර්වාණයට ආවේ නැත. ඔහු මංජරී සමග සෝරත මාවත දිග ඇවිද යන හැටි ඇය දුටුවා ය. නමුත් ඒ ගැන කිසිත් නො සිතා සිටියා ය. ඇස් වලට රසඳුනක් වන හා හදවතට මිහිරියාවක් දනවන දේවල් එසේ ම තියෙන්නට හැරිය යුතු ය!

මේ පාළුවේත් අයානා ට දැනුණේ ඉසිහින් මිහිරකි. ජීවිතයත් එක්ක පොර අල්ලන්නට නොයා, මේ උපයා සපයා ගත් දේවල් ඇසුරේ ජීවිතය විඳ ගැනීම දැන් ඇගේ අරමුණයි.

“මේ ටිකේ එච්චර බිස්නස් නැති එකේ කොහෙ හරි ගිහිං පොඩි රෙස්ට් එකක් අරං එමු”

පෙර දා රාත්‍රියේ කෑම කන ගමන් ඇය අම්මාත් තාත්තාත් දෙස බලා කීවා ය. නාලිනී සතුටු සිනහවක් පෑවා ය. ඒත් රෝහණ නම් සිනහ වූයේ නැත. මුදල් හදල් තිබුණාට, සතුටෙන් ඉන්නවා වගේ පෙන්වූවාට, දියණිය ගේ හදවතේ අසම්පූර්ණ අර්ධයක් වන බව රෝහණ මැනවින් දනී. විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරමින් ‘මං මෙහෙම ඉන්නව අම්මෙ’ කියා අයානා කියත්දී අන්තිමට නාලිනී කීවේ මෙහෙම කතාවකි.

“ඔයාට හොඳයි කියල හිතෙන දේ කරන්න”

සැබවින් ඒ  තනි තීරණයක් නොව රෝහණ සමග එක්ව බොහෝ දිගට කතා කිරීමේ අවසන් තීරණය ය. අයානා සතුටු සිතින් ඒ වචන ටික පිළි ගත්තා ය. අම්මලාට එහෙම හයියක් තිබීම ඇය වඩාත් සතුටු වූ කාරණයයි. මව් පියන් දරුවන්ට සිය ජීවිත ගැන නිදහස් තීරණ ගන්නට හැරීමත්, නමුදු ඔවුන්ට වැටෙන්නට නොදී, වැටුණොත් අල්ලා ගන්නට බලා ගෙන දෙපසින් සිටීමත් බරපතල සවියකි. එහෙම දෙමාපියන් සිටිනා දරුවන්ට සීමා වල හිර නොවී පුළුල් ලෙස ජීවිතය ගවේශණය කළ හැක.

 නමුත් නාලිනී හා රෝහණ අයානා ට ඉඩ දී සිටියේ හිතේ හයියකින් ම නොවේ. ඔවුන් ගැන හිතා දියණිය දුක් නොවිය යුතු ය යන තීරණය මත ය. ඔවුන් වෙනුවෙන් ඇය කවුරුන් හෝ පිරිමියෙකු ගේ පාදපරිචාරිකාව විය යුතු නැති නිසා ය. 

නුවර එළියේ හෝ බණ්ඩාරවෙල පැත්තේ හෝ දිය ඇල්ලක් දර්ශනය කොට ගත් ලස්සන නවාතැනක දින දෙක තුනක් නැවතී හිතට දැනෙනා මේ ශෝකී කාන්සිය කවියක තැවරිය යුතු යයි අයානා සුසුමකින් සිතුවා ය. ඒ ගමන් ම ඇය පරිගණකයෙන් ගූගල් වෙත ගියේ ලස්සන නවාතැනක් සෙවුම් කරන්නට ය. 

නිර්වාණය තුළට වැටුණ දිගු සෙවනැල්ලක් නිසා ඇය එතැන සිට ම ප්‍රධාන දොර දෙසට ඇස් පා කළා ය. ඒ ඇස් අදහා ගත නො හැකි ව ඇය තවත් ඇස් ලොකු කොට බැලුවා ය. ප්‍රධාන දොර උළුවස්සේ ඉහළ බඳ වමතින් ද දකුණු බඳ දකුණතින් ද අල්ලා ගෙන, එක කකුලක් නිර්වාණය තුළ ද අනෙක යන්තම් සපත්තුවේ ඉදිරිපස තුඩ බිම තබා ගෙන ද, ඇතුළට එනවා ද නැති ද කියා නිශ්චිත කර ගත නො හැකිව යෞවනය උතුරවමින් දුල්නෙත් අලගියවන්න ඇදෙස ම බලා සිටියේ ය. ඒ දෙතොල් පෙති මත පොපියන සිනහවක් විය. ඒ ඇස් මත නිදහස්කාමී බවක් විය. අයානා ගේ දෙතොල් පෙති ලිහී මුව මඳහසක් ඉපිද එය මලක් සේ පෙති විදා පිපුණේ ය. දින ගණනාවක් තිස්සේ මීදුමක් සේ ඇගේ හිතේ බැඳී තිබි යමක් ඇසිල්ලකින් අතුරුදන් ව ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles