පුනරුප්පත්ති..

2039 අවුරුද්ද 

ගාල්ල පොලිස් ස්ථානය

කොණ්ඩය සහ රැවුල වඩවා උන් තරුණයා උන්නේ බියපත්ව බව පෙනුන නිසාම මම  ඔහුව මා වෙතට ගෙන්වා ගත්තෙමි… . රාජකාරි අවසන් කරලා පොලිස් ස්ථානයෙන් පිටවෙන්න සූදානම් වෙද්දීමයි මම 

කොල්ලව දැක්කේ.  බය වෙලා වට පිට බල බලා ඉන්න කොල්ලව   ඒ බයේම දාලා යන්න මට  හිත දුන්නේ නැත . ඒ අස්සෙන් මට පෙනුනේ පුතු වීම එයට හේතුව වන්නට ඇත. 

“ඉඳගන්න…”

“තැන්ක්‍යූ මැඩම්…”

නොහිතපු ස්වරයක් ගාම්භීරව  එලෙස ඇහෙද්දී, මම වඩා සැලකිල්ලෙන් බැලුවෙමි.

“මොකද අවේලාවේ මෙහෙ…”

“ඇරෙස්ට් කලා.. මෙහෙන් වාඩි වෙලා ඉන්න කිව්වා…”

කොල්ලා බය නැතුව කියන්නේය.

“ඇරෙස්ට් කලා..?”

“ඔව්…”

“හේතුව..?”

මම අපරාධ අංශයේ  පොලිස් ස්ථානාධිපතිවරිය බව දැන හෝ නොදැන තරුණයා මා ඉදිරියේ දොඬමළු වෙන්නට පටන් ගත්තේ ය.

“හවස යාලුවෝ එක්ක පාර්ටියකට ගියා.. එහේ පොඩි සිද්දියක් වුනා මැඩම්..”

“ගහගත්තා…??”

“නැහ්…එතන චෙක් කරද්දී ඩ්‍රග්ස් අහු වුනා…”

කිසිඳු පසුගාමීබවක් නොපෙන්වාම කතාව පවසන තරුණයා දෙස මම වඩා උවමනාවෙන් බලා උන්නෙමි

“මැඩම්…අපිව පටලවලා.. අපේ එතන උන්නු කොල්ලෙක් මේ පොලිසියේ කෙනෙක්ට සම්බන්ධ කෙල්ලෙක් එක්ක යාලුයි… ඒක නවත්තත්ත කියලා සෑහෙන්නම තර්ජනය කලා..පස්සේ තමා මේක…”

ඔහු නොබියව කියන්නේය.

“මැඩම් ප්ලීස්… මම මෙඩිසින් සිලෙක්ට් වෙලා ඉන්නේ… මේ ප්‍රශ්නේට අපි පැටලුවොත් සේරම ඉවරයි….”

ඉතින් , ඔහු එලෙසද පවසන්නේය.

“කොණ්ඩේත් වවාගෙන …?? මෙඩිසින් යන්න….??”

හුරු පුරුදු රෞද්‍ර පෙනුම ආරූඪ කරගතිමි

” …කොණ්ඩේ වවන් ඉන්න ලැබෙන්නේ ෆැකල්ටි යනකල් විතරයි … මෙහෙම ඉන්න එක මගේ පැශන් එක…මං ආසයි… අපේ පොඩි බෑන්ඩ් එකක් පටන් ගත්තා ආෆ්ටර ඒ ලෙවල්…..

.. ඒක නිසා…මැඩම්…මං.. මහානාමේ… ඉස්කෝලෙන් අහන්න….මාව කවුද කියයි….අතන ඉන්න දෙන්නෙක් තර්ස්ටන්… උන් නරක උන් නෙවෙයි ……

අනෙක කොණ්ඩේ වවාගෙන හිටිය පලියට අපි කුඩුකාරයෝ කියන්නේ කොහොමද ….. එහෙම බාහිරෙන් බලලාද මිනිස්සුන්ව කියවන්නේ.. ඒක මාරම ආසාධාරණයි …”

ඉතින් , හිත හැල්මේ දිවීම නැවතුණේ නැත. ඒ මීට වසර විස්සකට ඈත අතීතයක් ය. එහෙත්, ඒ මතක තවම සුවඳය. 

ඉතා කාර්‍යබහුල පුහුණුවක් අවසානයේ මම නේවාසිකාගාරයට පිවිසියේ අතිශය වෙහෙසක හිඳිමිනි. සවස පැවැත්වෙන උත්සවය සඳහා සාරියකින් සැරසිය යුතු විය. ඒ නිසා නින්දක් සඳහා කෙලෙසකවත් ඉඩක් තිබුනේ නැත. වහා ගත දොවාගෙන සූදානම් වීම ඇරබුවෙමි. මා හා උන් අනෙක් නිළධාරිනියන්ද කඩිමුඩියේ සූදානම් වෙමින් උන්හ. 

අවසානයේ සවස හය වනවිට, අප ආලින්දයේ උන්නෙමු. එක්වරම පැමිණි කිසිවෙකු පැවසූයේ මට අමුත්තෙකු සිටින වගය.

“අපර්ණා..ඔයාට විසිටර් කෙනෙක්…”

හඬ උස් ව ඇසුනු නිසා මා හා උන් සියල්ලෝම ඒ දෙස බැලූහ. 

අදහන්න, කුමක් වූයේදැයි සිහි නැත. මම හුන් තැනම ගල් ගැසෙද්දී එහෙන් මෙහෙන් කණු කුණු ඇසිණි. 

අගස්ති, පැමින සිටියේ ඔහුය. ලංකාවේම තාරුණ්‍යය උමතුවේ හෙලන චිත්‍රපටයක  අධ්‍යක්ෂවරයාය. 

“හායි..”

ඔහු මා වෙත ඇවිද එමින්ම එලෙස කීවේය.

“හා..යි….”

“බයවෙලාද..?

“ඔයා කොහොමද..මෙහෙ……?”

“ශ්….ශ්…. ඒවා පස්සේ….කෝ…අර මට ගත්තු ලේන්සුව..ඒක දෙන්න…”

ඔහු කරෙහි වූ බෑගයෙන් මොනවාදෝ අදිමින්ම එසේ කිවේ අවට ගැන තැකීමක් නැතුවය. 

එහෙම ලේන්සුවක් අතෙහි ඇති පසුම්බියේ යටම ඇති වග දන්නේ ඔහුත් මමත් පමනි. දැන් මගේ පසෙකින් උන් මිතුරියන්ටද ඇසෙන්නට ඇත. 

“කෝ..කෝ ගන්න….”

වහා එය දිගු කලෙමි. උකුසු ඇස් හී දැවටෙන්නට ඇත. එයට සැක නැත.

“පෑනක් නෑනේ…”

“නෑ..”

“කමක් නෑ.. මගේ ඊළඟ ස්ක්‍රිප්ට් එක…පරෙස්සමින් කියවලා බලන්න..මං එන්නම් සතියකින්…”

මට කිසිත් කියාගන්නට ඉඩක් නැත. ඔහු මීදුමක් සේ නොපෙනී ගියේය.

එහි වූවන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු දීම වෙනමම වෙහෙසක් විය. අගස්ති මා සොයා පැමිනීම සියල්ලන් කරකවා අතෑර දමා තිබුණි. 

ඉතින් ඉවසා සිටින්නට සිදු විය. ජංගම දුරකතනය ලැබෙන්නේ රැයේය.

අවසන සාදය නිමවී, කවුන්ටරයෙන් ජංගම දුරකතනයද ගෙන වහා ඇඳට වැටුනෙමි. වට්සැප් තිරයට ඔහු පැමින ඇත.

පුරුදු නිල් පාට හදවත යැව්වෙමි.

“වැඩ අවසන් කර ඇවිත්…!!! ..”

නිල් පාට හදවත එසේ එල්ලී ආවේය.

කුමක් පවසාගන්නද සිතා ගත නොහී මම පසුගිය පණිවිඩ වල මතක අස්සේ වැතිරුනෙමි.

“කොහෙද …..?”

“ඉන්නවා.. උමතුවෙන් …”

“මා නිසා…”

“නැතුව… මොකක්ද ඒ කලේ…මුලු ප්ලැටූන් එකම පිස්සුවෙන් වගේ…”

“ඉතින්… ප්ලැටූන් එකට විතරද පිස්සු හැදුනේ…?”

“ඔයා නම්ම්…. මට තාම හීනයක් වගේ…”

“හීන දැක්ක කාලේ අවසන් සොඳුරිය… දැන් හීන එලිවෙන කාලය…

අද නම් මේ අධ්‍යක්ෂවරයා සප්පායම් වී ඇති සෙයකි.

“බීලද..?මතින්..?”

“ම්ම්ම්…ප්‍රේම මතින්…”

හදවත පුපුරා යන වචන එලෙස වැටිනි.

“කියන්නකො….කොහොමද එක පාරටම ආවේ ? .”

“දන්නේ නෑ.. ලේන්සුව ඉල්ලගන්නත් ඕනි වුනා.. අද ඔයාලට විසිටර්ස්ලා දෙන බව ඔයා කිව්වා..ඉතින් …..ආවා…”

“ඔයා විශ්වාස කරන්න ,මම ඔයාගෙන් මෙහෙම  ගෞරවයක් බලාපොරොත්තු වූයේම නැහැ….මෙවන් සැලකීමක් බලාපොරොත්තු වූයේත් නැහැ…මෙහෙම ….කිසිවක් බලාපොරොත්තු වුනේ නැහැ …”

එදා මම එහෙම කිව් වග සිහිවිය. 

“ම්ම්ම්…”

“කොහොමද මාව අඳුනගත්තේ…?”

“දැක තිබූ සේයා කිහිපය ඉතා තදින් හිතේ තිබුනා නෙහ්හ්..ඉඟි බිඟි කලින් ඉඳන්ම හිතේ තියන් උන්නේ….. පිරිස අතරින් ඉතා ඉක්මනින් ඔයාව දැක්කා…ඒක නිකන් තරු ගොඩක් මැද හඳ දැක්කා වගේ…

මහා පිරිසක් මැද ඔයා  සිටි නිසා ඉන් තරමක තිගැස්මක් ආවා….. කොච්චරක් වුනත් ඔයා තිගැස්සෙන බවයි, ඒ ඉරියව්ව අනෙක් අය ප්‍රශ්න කරන බවයි මං දැනන් උන්නේ…ඒ හින්දාම මම කලබල නොවෙන්න උන්නේ…..”

ඔහු ගේ අකුරු වට්සැප් තිරයේ ප්‍රේමය ද මන්දා ඉහිරවමින් තිබුණි.

“අපරාදේ..ඔයා එන වග කීවා නම්, මම සෑහෙන්නම දේවල් අරගන්නවා එදා එලියට ගිය වෙලෙ…”

“හා..මෙන්න වැඩක්…. මං ගන්න කිව්වේ එපමනක් නෙ…ඒ ඇති ඉතින් ..අනෙක., 

සම්බන්ධකම් තහවුරු වෙන්නේ ද්‍රව්‍යමය වටිනාකම මතද…..?”

“නෑ අප්පා…”

“ඒකනේ…ඒ ඇති. ඒ ලේන්සුව මට වෙහෙසම වෙලාවල මගේ වෙහෙස නිවාවි….?”

ඒවා පුදුම තරමේ බලාපොරොත්තු ය. 

“ඉතින්…  හනේ..මන්දා ..ඔයා නම්..මාරම මැජික් එකක්….”

“ඔව්  …ඔව්..පොලිස් නෝනේ…තාම මැජික් පෙන්නුවේ නෑ ඉතින් ….තව පොඩ්ඩෙන් හොඳ මැජික් එකක් පෙන්නන්න තිබ්බා ඒත් ….”

“තේරුන් නැ…”

“ඔයාලගේ ෆ්‍රන්ට් ගේට් එකෙන් මාව නවත්තගත්තා නෙහ්…”

“මොකක්…?”

“ඔව්ව්… මං අමුතු පෙනුමයි කියලා …..”

“මොකක්…??”

“ඔව් ඔව්. …….රැවුලයි, කොණ්ඩෙයි, ඇඳුමයි, බෑග් එකයි, රටේ සිටුවේශන් එකයි ඔක්කොම එක්ක..ගානට සෙට් වුනා…..

අයි ඩී එක බලලා…ගෙදරටත් කෝල් කෙරෙව්වා… ඔයාව බලන්න ආවේ කිව්වම, ඒකේ හේතු අහලා.., මේ චැට් පෙන්නත් වුනා ඒයි….. ඔයාගෙන් මුකුත් ඇහුවේ නැද්ද..??”

“නෑ…”

“ඔයාට කෝල් කරන්න හැදුවේ…

පස්සේ එතන හිටපු එකෙක් මම අගස්ති කියලා ඇඳින්නා… ඒකෙන් ගොඩ ගියා..නැත්නම් කූඩුවට වෙලා මැජික් පෙන්නන තිබ්බා කොහොමටත් …”

“බාහිරෙන් බලලා මිනිස්සු කියවන්නේ කොහොමද අප්පා එහෙම… ඒක මාරම අසාධාරණයි…”

“ලොකු නෝනා කෙනෙක් වුනාම, ඒ අසාධාරණ්‍රෙ  කරන්නෙපා මැණික ..හාද…?”

“ම්ම්ම්….”

ස්ථානාධිපතිවරයා ඉදිරියේ සියල්ල පැහැදිලි වෙද්දි,  යෞවනයන් නිදහස් කෙරිණි. ඉතින් දුන් පොරොන්දු රැකිණි.

පුතුන් දෙදෙනා සමඟ ඇමතුම් අවසන් කරන තුරුම අගස්ති මා අසලින්ම උන්නේය. අඩ සියවස් වයස පසු කරමින් ඉන්නවා වුව, ඒ පපුවේ වූ උණුහුම එහෙමමය. 

“අද මූන එලි පාටයි…”

දිලිසෙන රැවුල් මගේ කොපුල්හී දවටන්න්ට අගස්තිට වෙලාවක් අවේලාවක් නැත.

“ම්ම්ම්….අතීතේ රිපීට් වුනානේ අගී…”

“මොකක්..?”

“අද ස්ටේශන් එකට කොල්ලෝ කට්ටියක් ගෙනල්ලා තිබුනා.. මං ඕෆ් වෙලා එන්න බලද්දී…………..”

වෙහෙසක් හෝනොදැනීම එක දිගටම කියෙව්වෙමි. 

අගස්ති ගේ හීන් දෙතොල් අග හීන් සිනහවක් වැක්කෙරෙමින් තිබුන්නි.

විශ්වාසය පමනක් තිබූ ඇරඹුමක් අපට විය. එකිනෙකා කියවාගන්නට සෑහෙන්නම කල් ගත විය. දෙදෙනා වටහා ගැනීම තවම සිදුවෙමින් ඇත. බිඳෙන තත්පර පාසා යලි ඇලවෙමින් ඉදිරියට ආවෙමු. ඉතින් දැන් අපි අපේය….!!!

මේ සියළු කොණ්ඩකාරයන්,රැවුල්කාරයන්  වෙනුවෙන් ..

ආදරේ ඉහිරෙන අතීත කතා , වර්තමානය පහු කරන් ගිහුන් අනාගතේත් දිලිසේවා ..

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles