අරන්දර ගෲප්ස් හී වැඩිමල් දියණිය පැහැරගැනීමකට ලක්ව ඇති පුවත අයියා මට පෙන්වනවිට මා කොහොමටත් උන්නේ කම්පනයෙනි. ඒ මහේලට පණිවිඩයක් දෙන්නට මා දැරූ උත්සාහය සිතා ගන්නට හෝ නොහැකි ලෙසින් ව්‍යර්ථව ගිය නිසාය.
” ඒ මිනිහා නරක එකෙක් නෙවෙයි අසේකා.. තමුසේට ආදරේ නිසයි මේ සෙල්ලම කරන්නේ … ඔක්කොම තීරණ තමුසෙගේ අතේ තියෙන්නෙ … “
මගේම අයියා මගේ ජීවිතය මත සෙල්ලම් කිරිම අරඹා තිබුණි. මම අයියා දෙස බල උන්නේ විශ්වාසයක් නැති ලෙසිනි. ඔහු එලෙස කීවාට සිතූ සිතූ පරිද්දෙන් මිනිසුන් පැහැරගැනීමට නොහැක. රටේ නීතියක් ඇත. පොලිසියක් ඇත.
අයියා මා කියවූවේය.
” මේක අහනවා… මහේල අරන්දර කූඹියෙක් ඒ මනුස්සයා එක්ක බලනකොට.. අරන්දර ඌ එක්ක හැප්පෙන්න හිතනකොට ඌ අරන්දර ව චප්පම කරල දාවි … නිකන් පවු පුරවගන්න ඕනි නෑනේ අසේකා.. අපි හැමෝටම සැපෙන් සුවෙන් ඉන්න පුළුවන් වැඩක් මේ… බැඳලා තමුසේටත් ඉටැලි යන්න පුළුවන් … එහෙ සැපට ඉන්න පුළුවන් … අරන්දර පවුලත් දෙයියනේ කියලා කරදරයක් නැතුව ඉඳීවි …. ඒ නිසා මේකට කැමති කියනවා…”
අයියා එලෙස පවසා යන්නට හැරී යලි මා දෙස බැලුවේය.
” පැය දෙක තුනක් දෙන්නම් කිව්වා.. ඒකිගේ අත පය අඩු වෙලා ජීවත් වෙන එකෙත් තේරුමක් නෑනේ අසේකා … හරි වෙලාවේදී හරි තිරණේ ගන්න එකයි වැදගත් කියලා මතක තියාගෙනම කල්පනා කරලා බලනවා…”
අයියා පිටතට ගියේය. මට හැඬුණේ නැත. සැබැවින්ම මට කිසිඳු හැඟීමක් නොදැනෙනවා විය හැක. අයියා බල කරන්නේ මගේ විවාහය වෙනුවෙනි. ඒ හතලිස් හත් හැවිරිදි ව්‍යාපාරිකයෙකු සමඟය. මට බොහෝ සෙයින් ආසක්තව ප්‍රේම කරන වග පවසන ව්‍යාපාරිකයෙකු සමඟය.
මම ඔහේ උන්නෙමි. අයියා ගතවූ යම් කාලයකට පසු කාමරයට ආවේය. ඒ කාලය තුළ අම්මා හෝ අන් කිසිවෙකු හෝ කාමරයට ආවේ නැත. එනිසාම ගත වූ කාලය පිළිබඳව මට අදහසක් නැත.
අයියා මා වෙත පෑවේ වීඩියෝ ඇමතුමක පටිගත කරන ලද කොටසකි.
අදහන්න මම මහ හඬින් කෑ ගැසුවෙමි. ලේ නෑකම් දැරූ උන් මා විනාශ කරන්නට තැත් කරද්දී, සහෝදර දෑත් පා මා වැළඳගත් ඇය කාමරයක් තුළ අඩ නිරුවත්ව වැතිර උන්නාය.
” නවත්තන්න කියපං … කරන්නම්… කියන දෙයක් කරන්නම් මම … නවත්තන්න කියපං ….”
අයියා මගේ හිස පිරිමැද්දේය. මම ඔහු පසෙකට තල්ලු කලෙමි. අයියා උමතුවෙන් මෙන් සිනාසුණේය. ජංගම දුරකතනයෙන් කිසිවෙකුට කෙටි පණිවිඩයක් යවා, එය සාක්කුවේ දමාගන්නා අතරේ මා වෙත ඇවිද ආවේය.
” කලබල නොවී ඉන්නවා .. දැන් අරන්දර කෙල්ලට කරදරයක් නෑ… තව පැය දෙක තුනකින් ඒකි ගෙවල් ළඟින් ඇරලවයි …”
අයියා බලවතෙකු පරිද්දෙන් කීවේය. මම ඔහුට බැණ කෑගැසුවෙමි.
” අක්කාටවත්, මහේලටවත් මින් මත්තට සීරීමක්වත් වෙන්න බෑ… මං මරාගෙන මැරෙනවා අයියේ …. ඒක අමතක කරන්න එපා…”
ඒ වන තෙක් මා දැක තිබූ උමතුම මිනිසා අයියා බව මට ඔබට පවසන්නට අවැසිය. ඔහු එතරමට වන උමතුවකින් හැසිරෙමින් උන්නේය. මම අයියාට බැණ වදිනවිට ඔහු මට ඇවිස්සෙන්නට හේතු දෙමින් හැසිරුණේය. මම දෑත් මිට මොලවා ඔහුට පහර දෙද්දී ඔහු මට තවත් කෝප ගන්නට හේතු සැකසුවේය.
අවසානයේ අයියා කාමරයෙන් පිටතට ගියේ අක්කා ඇයගේ නිවසට යන පාරට එපිට පාරක බස්සවා ඇති වීඩියෝවක් මට පෙන්වාය. මම සැනසුන් සුසුමක් හෙලුවා යැයි ඔබට සිතෙනවා විය හැක. නැත, මම නන්නාඳුනන මිනිසෙකු සමඟ විවාහය වෙනුවෙන් වචනය දී තිබුණි. අයියා ඒ වචනය ඒ මිනිසා වෙතද සම්ප්‍රේෂණය කර තිබුණි.
ඉතින්, මට සැනසුම් සුසුමක් හෙලේද ? මහේල අරන්දර නම් ඒ සුන්දර මිනිසා අත් හැර අන් මිනිසෙකුගේ පතිනිය වීම මට සැනසීමෙන් සිටින කාරණාවක් වන්නේ කෙලෙසද ?
මම මිය යන්නට තීරණය කලෙමි. මට මරණය, සිය දිවි නසා ගැනීමක් ලෙස වැලඳගන්නට වීමේ පව් ,පින් ගැන අවබෝධයක් වූයේ නැත. කාමරයේ වූ ජනෙල් වීදුරුව බින්දෙමි. ඉන් උල් වූ කැබැල්ලක් ගෙන ඇඳ අසල බිම හිඳගත්තෙමි. දෑස් පියාගෙන හුරු අතට ඒ වීදුරු කැබැල්ල ගත්තෙමි.
ඒ වීදුරුව නිසා ඉතා තීව්‍ර කැපුමක් ඇති වේද යන්න මට කල්පනා වූයේ නැත. අවශ්‍ය වූයේ දන්නා කිනම් හෝ කාරණාවක් භාවිතා කර මිය යෑමය.
අඩුම තරමේ එවිට මහේල මා ඔහුට මෙතරම් ආදරය කල වගදැන ගනු ඇතැයි මට සිතුණි. ඔහු හැර අනෙකෙක් විවාහ කරගන්නට වූ බල කිරීම දරාගත නොහැකිව මා මිය ගියායැයි දැනගැනිමෙන් පසු උමතු වන මහේල අරන්දර ගේ මුහුණ මා මොහොතක නවතාලූවේය.
ඒ සැනින් කාමරයේ දොර විවෘත විය.
“මොකද්ද ඒ සද්දේ අසේකා ?”
නාම මාත්‍රික අම්මා නම් ගැහැණිය ආවාය. මම ඇයට නොපෙනෙන්නට වීදුරුව පසෙකට කරගන්නට උත්සාහ කලෙමි. එහෙත් ඇය දුටුවාය
ඇය ඇයගේ එකා දරුවාට හඬ ගෑවාය.
” ලොකූ … මෙන්නෙ මේකි කපාගෙන මැරෙන්න යනවා …”
යක්ශණියක ලෙසින් කෑ ගැසුවාය කීම නිවැරැදි ය. ඊළඟ තත්පරයේ අයියා නම් වූ දුදන උන්මත්තක මිනිසා කාමරයට ආවේය. මා බාහුවෙන් අල්ලා නැගිටුවා ගත්තේය.
” උඹ මැරියන් අසේකා…. හැබැයි ඒ පස්සෙන් අර අරන්දර කොල්ලයි කෙල්ලයි එන බව මතක තියාගනින්.. උඹ හිතුවක්කාර කමක් කලොත්, අරූ අනිවාර්යයෙන් උන් දෙන්නවම මරනවා …”
අයියා මගේ කට මිරිකා දමා එලෙස කීවේ මම අයියා සමඟ එකට එක කියවන්නට උත්සාහ කරද්දීය
” ඇයි ඒ දෙන්නව මේවට පටලවාගන්නේ ? ඇයි දෙයියනේ ..ඇයි ? පුදුම පවුකාරයො උඹලා…”
” පවු පින් අපි බලාගන්නම් …. උඹ අර ජීවිත දෙක බලාගනින් …”
අයියා එලෙස පවසා අම්මාට කුමක්දෝ පවසා පිටතට ගියේය.
අම්මා මා පෙනෙන ලෙස පුටුවක හිඳ ගත්තාය.
” සතියකින් උඹේ වෙඩින් එක …. පිස්සු නටන්නේ නැතුව ලෑස්ති වෙයං…”
මට හෙණයක් වැදුණා සේ දැනුනි.
“මට මහේලට කතා කරන්න ඕනි …”
මම අම්මා පැවසූව ගණනකට නොගත් බව පෙන්වමින් කීවෙමි.
” අයියා කිව්වා .. අර මහත්තයා ආවම ඒ කොල්ලා එක්ක කතා බස් කරනවා කියලා .. ඌටත් කියන්න එපැයි මඟුල්…”
මම දෙපා අස්සේ හිස රුවාගෙන ගුලි වුනෙමි.
මේ කිසිවක්මට වැටහෙන්නේ නැත.
” අනේ.. ඉක්මනට එන්න මහේල …”
මම අවසානයේ එලෙස සිතමින් හැඬුවෙමි.
| අපේක්ෂා ගුණරත්න |