සියක් සියපත් 28

සුජීවා ඉසිහින් ව ඉකි බිඳ හැඬුවා ය. ඒ ඉකි හඬ දූවරුන් ට නො ඇසෙන සේ ඕ තොමෝ හැකි තාක් හඬ පාලනය කළා ය. නමුත් නො හඬා හිඳිනට ඇය සමත් වූයේ නැත.

“කෙල්ලට කරදරයක් වුණානං මට ඉඳල වැඩක් නෑ”

සුපුන් කරන්නට ගිය නොසණ්ඩාලකම ගැන දැනගත් වෙලාවේ පටන් කී වතාවක් ඇය එහෙම කීවා දැයි නිනව් නැත. කිරි කිරි හඬ නගන කබල් ඇඳ මත උඩුකුරුව වැතිරී ගෙන පපුවේ රෝම පිරිමදිමින් ශාන්ත සුසුම් හෙළුවේ ය.

“කෙල්ලො දෙන්න කියන්නෙ මට මගෙ ඇස් දෙක සුජී. මං සුපුන් ගැන බලාගන්නං”

“ඔයා දැං ඌත් එක්ක පැටලෙන්න යනව එහෙම නෙවෙයි. අපි හැම පැත්තෙන්ම පරිස්සං වෙන්න ඕනෙ”

“නෑ මං ඌට මුලින් හොඳින් කියන්නෙ”

“ශාන්ත”

“ම්..”

“අර මහත්තුරු දෙන්නගෙන් එක්කෙනෙක් ලොකූට කැමතියි වගෙයි මට දැනුණෙ. ඔයාට එහෙම හිතුන්නැද්ද…”

ශාන්ත එකවර උත්තරයක් දුන්නේ නැත. බෙල්ල ළඟින් කවුරුන් හෝ තදින් අල්ලා මිරිකා ගත්තා සේ හිර වීමක් ඔහු ට දැනිණ. 

“ලොකු පවුල් වල පිරිමි එක්ක පයුරු පාසානමට යන්න ඕනෙ හුඟක් කල්පනාවෙන් සුජී. සමහර විට උන් මේ රස්තියාදුකාර ගංජා කාරයො වෙච්චි සුපුන්ලටත් වඩා භයානක වෙන්න පුළුවන්. එහෙම නැද්ද…”

ශාන්ත හිස යන්තම් හරවා ඇස් ඔසවා ඇසුවේ ය. සුජීවා සෙල් පිළිමයක් සේ නො සෙල්වී සිටියා ය.

“දෙයක් වෙන්න තියනවනං…අපිට තියා සක්කරයටවත් ඒක වලක්කන්න බෑ සුජී. කොහොමටත් කෙල්ලට උරුම තැනට දෛවය එයාව අරගෙන යයි”

අම්මා හා තාත්තා පහත් හඬින් මුමුණන බව ඇහුණත් ඒ කියන්නේ මොනවා දැයි පැහැදිලිව වෙන් කොට හැඳින ගන්නට සියපත් ට හැකි වූයේ නැත. ඇය ජනේලය පැත්තට හැරුණා ය. ජනේලය මුදුනේ වන බීරළු රටාවෙන් පෙරී ගෙන සඳ කැන් බිඳක් කාමරයට රූරා එයි.  සඳ මුදුන් වන්නට පටන් ගෙන තිබේ. සඳ එළිය තරමට රාත්‍රිය සෞම්‍ය වන්නේ ද කියා සියපත් සිතුවා ය. රාත්‍රිය අඳුරු ය. බියකරු ය. දිගු ය. මේ රැය කෙටි වෙනවා නම් ඇය කැමති ය. සූර්යාලෝකය ප්‍රචණ්ඩ ය. ඒ වුණත් දහවල අඳුරු නැති නිසා බියකරු නැතැයි සිතන්නට මිනිසුන් කැමති ය. දහවල වාගේ ජනේලය හැර දමා නිදන්නට ඇත්නම් කියා සියපත් සිතුවා ය. නමුත් රාත්‍රියට කවුළු විවර කොට තබන්නට මිනිසුන් බිය ය. ඒ බිය වූ කලී පරම්පරා ගණනක් තිස්සේ ජාන වලට කාන්දු වූ හැඟීමක් විය හැක. නමුත් මහ දවාලේත් දරුනු අපරාධ සිදු විය හැකි ය. උදේ වූ සිදුවීම දැන් ඇයට දැනෙන්නේ හැබැහින් සිදු වූවක් නොව කොහේදී හෝ දුටු රූප රාමු කිහිපයක් වාගේ ය. ඇය පිටත සිට ඒ සිදුවීම දෙස බලා සිටියා වාගේ ය.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගොස් ගාල්ලට අවතීරණ වන විට, නපුරු සිහිනයක් දුටුවා සේ සියපත් කෙරේ වූ තැතිගැන්ම තුනී වී තිබිණ. ගාලු කොටුවේ දී කොට්ටම්බා ගස් සෙවනක රිය නවතා ගෙන සදාතන පැත්තට හැරී ඇය දෙස ම බලා සිටියේ ය.

“ඇ…යි…”

සියපත් ඇසුවේ හුරතලයෙනි. ඇය මලක් සේ සිනහවෙන් පිපී සිටියා ය. ඇගේ මූණ කට වාත්තු කළා වාගේ ය. උදේ ඇය වේශාන්තරණය වී සිටි කාලි යකින්න වෙනුවට දැන් එහි වන්නේ පත්තිනි දේවී ශාන්තියකි. මරිය මව් තුමියගේ මාතෘ ස්නේහ ධාරී බවකි. යශෝදරා වතකි. 

“මට අද ගොඩක් වෙලා ඔයා ළඟට වෙලා ඉන්න ඕනෙ”

‘මටත්’ කියා කියවෙන්නට ගිය ද සියපත් ඒ වචනය ගිල ගත්තා ය. ඒ වෙනුවට ඔහු දෙස ම බලා සිටියා ය. ඇය ළඟ අලුතෙන් ඉපදී හිඳින මේ පිරිමියා ඇය වසඟ කරමින් සිටී. ඔහු තුළ යටපත් වී සිටි ඒ පිරිමි සෙවනැලි දැන් වඩා හොඳින් දැකිය හැකි ය. සදාතන වහා තීරණය කොට රිය දොර හැර ගෙන බැස්සේ ය. කඩිනම් පියවර තබා අනිත් පසට විත් දොර හැර සියපත් ට බහින්නට ඇරයුම් කළේ ය. ඇය බිමට බැසි පසු රිය දොර වසා දුරස්ථ පාලකයෙන් අගුලු ලූයේ ය. සියපත් ගේ බඳසලින් සුරත තබා ඇයව පෙර මගට කළේ ය. ඇස් ඉදිරියේ දිගහැරී ඇති ගාලු කොටුවේ ගල් බැම්ම තරම් හයියක් ඇසිතට දැනිණ. එය වූ කලී මහ පුදුම හැඟීමකි.

සූර්යයා රැස් පෙන්වන්නට පටන් ගෙන සිටියේ නැත. ඊට පෙර ඔහු ගල් බැම්ම මත්තේ ඇවිදින්නට සිතුවේ ය. දඟකාර පොඩි දැරියක ගේ උද්‍යෝගය සියපත් වෙතින් දැකිය හැකි විය. ඇයට තනිව බැම්ම මතට ගොඩ විය හැකිව තිබියදීත් ඔහු ඇතැම් තැනෙක දී සිරුරේ ගෑවෙන නො ගෑවෙන ගානට අතක් තබා රැකවරණ කලාපයක් තැනුවේ ය. ඒ කලාපය ඇතුළේ සියපත් හිතේ හැටියට තමන් වෙමින් සිටියා ය. ඇය නිදහස් සිතින් පා පොඩි නැගුවා ය. ඇයට ලං ලං ව ඔහු ඇවිද්දේ ය. ඒ අතැඟිල්ලක ඔහු ගේ අතැඟිලි ස්පර්ශ විය. විදුලි සැරක් වාගේ දෙයක් සිරුරට ඇතුළු වෙන හැටි සියපත් සයුර දෙස බලා ගෙන දරා සිටියා ය. සදාතන ඒ අතැඟිලි අතරේ ඇඟිලි යවා තදින් ඒවා අල්වා ගත්තේ ය. සියපත් බිම බලා ගත්තා ය. ඇය තවත් ටිකක් ඔහු ට ලං වූවා ය. වැලමිට සන්දිය තෙක් ඉහළට ඇද ඇති දිගු කමිස අත් වලින් නග්න වූ සදාතන ගේ අත් බාහුවේ රෝම අතරේ පුංචි දහදිය බිඳු නැගී, හිරු එළියට දේදුනු වර්ණ වල මුතු ඇට සේ ඒවා දිළෙමින් තිබිණ. සියපත් ගේ දෑස් ඒ රෝම කූප අතරේ කිමිදෙමින් සිටියේ ය. ඇට මස් ලේ නහර විනිවිද යන ස්නේහී හැඟීමක් සියොළග පුරා විහිද යනු ඇයට දැනිණ. යුවතිය ගේ හිස සදාතන ගේ අත් ගොබය මත ස්පර්ශ වූයේ ය. ඊළඟ මොහොතේ ඇය සිය හිසෙහි බර මුළුමනින් ඔහු ගේ අත් බාහුව මතට දී නිදහස් වූවා ය. ඒ කම්මුලක් අතට තද කර ගෙන, නිදහස් අතින් සදාතන ගේ වැලමිට සන්දිය වැළඳ ගත්තා ය. ආදරය දෝරෙ ගලා යමින් තිබිණ. ඇය හුදෙකලාවේ ඒ හැඟීමෙහි කරවටක් ගිලී සිටියා ය. 

සුපුන් තබා වියානා වුව හිත අහලකට එන්නට සමත් වූවා නොවේ. ඒ මොහොත වෙන කාටවත් දෙන්නටත් සියපත් ට ඕන වුණේ නැත. එය ඇගේ ය. ඇගේ හා ඔහු ගේ විතර ය. ආයේ කවදාවත් ම, කිසි ම කිසි දවසක මෙහෙම මොහොතක් උදා වේ ද කියා නිශ්චිත නැත. උදා වන්නට පුළුවන. නො වන්නට ද පුළුවන. එනයින් ජීවිත කාලයකට ඇති වෙන්නට ඇය ඒ හැඟීම ලේ නහර වලට උරා ගන්නට හැරියා ය.

සදාතන කිහිප විටක් පහත් වී ඇගේ හිස් මුදුන සිප ගත්තේ ය. ඒ වූ කලී සයුරත් රැල්ලත් වෙරළත් වාගේ ම උණුහුම් මතක සලකුණකි. ජීවිතයේ වසර කීයකට පසු වී ද මුහුදු ලුණු සුවඳ එක්ක ඒ හාදු වල උණුහුම පැටලී එන එක වළකා ලිය නො හැකි වනු ඇත. 

අව්ව මෝරා වැඩෙත්දී ඔහු කොටුවේ සෙවනැති පටු මාවත් වල ඇගේ අත අල්වා ගෙන ඇවිද ගියේ ය. සිය සෙවනැල්ල යට සූර්යයාගෙන් ඇය මුවහ කොට ගත්තේ ය. ගාලු කොටුව තුළ පටු වීදි අතරේ ඇවිද යාම කියන්නේ ම ආදරයට කියනා පර්යාය පදයකි. එය වෙනම ම සංස්කෘතියකි. වෙනම ම ජීවිතයකි. වෙනම ම නිමේශයකි.

ඔහු තැඹිලි විකුණන තරුණයෙකු ගෙන් තැඹිලි කප්පවා ගත්තේ ය. සිය ජංගම දුරකතනයේ කැමරාව තුළ සියපත් සමග රූප සටහන් කිහිපයක් කාච ගත කර ගත්තේ ය. තැඹිලි විකුණන තරුණයා අතට දුරකතනය දී ඔවුන් දෙදෙනා ගේ ඡායාරූප කිහිපයක් ගෙන දෙන්නයි ඉල්ලා සිටියේ ය. සියපත් ඒ ඡායාරූප සූම් කරමින් පවා බැලුවා ය. සදාතන ගේ මූණ දෙස විවිධ කෝණ වලින් බලා සිටියා ය. ඒ සෛලයක් ගානේ ආදරය වන බව තහවුරු කර ගනිමින් සිටියා ය. ඇගේ වත දෙස ඔහු සිනහ වෙවී බලා සිටියේ ය.

“මේව ඩිලීට් කරන්න වෙයි නේද…”

ඒ ස්වර අතරේ ඉකි බිඳින කඳුළක රස සුවඳ විය. සදාතන යුවතිය ගේ ඇස් වලින් ඇතුළාන්තයට එබුණේ ය.

“නෑ”

එය ප්‍රතිඥාවක් තරමට හද තත් දෙදරවී ය.

“පාස්වර්ඩ් දාල ලොක් කරල මුරකාවල් දාල ඔයාව හංගල තියන්න ඕන්නෑ මට. මගෙ ජීවිතේ හතර මායිමේ හැම තැනකම ඔයාට නිදහසේ ඇවිදින්න පුළුවන් වෙන්න ඕනෙ. අපි දෙන්නටම ඒක අන්කම්ෆටබල් වගේ නොදැනෙනකල්…අන්හෙල්දි රිලේශන්ශිප් එකක් කියල නොහිතෙනකල්…”

සමහර දවස් ජීවිත මත්තේ කඳු වගේ මතක ගොඩ ගසා දරා ගෙන හිඳී. ඔවුන්ට ඒ එහෙම දවසකි. සියපත් ගේ කැමැත්ත පරිදි කොටුව ඇතුළේ බොජුන් හලකින් ඔවුහු සී ෆුඩ් රයිස් අනුභව කළහ.

“මට ඕනෙ රෑ ජාමෙක කොටුව ඇතුළෙ ඇවිදින්න. ඒක වෙනම විදිහක ෆීලින් එකක්. දවසක එමුද…බයයිද…”

නැහැයි කියන්නට ඇය හිස සැළුවා ය. ඔහු ළඟ දී විය හැකි ලොකු ම දෙය ඇය සිය පාලනයෙන් මිදී යාම පමණකි. එය රැවටීමකට ලක් වීමක් නොවන බව ඇය විශ්වාස කළා ය. ඕනේ නම් ඔවුන් ට ඔවුන් අහිමි වී යන්නට පුළුවන. එහෙම වූවා කියා ලේ මස් වලට කාවැදුණ ප්‍රේමයක් අහෝසි වී යන්නේ නැත!

සදාතන සියපත් ව කහවණුගොඩ මැදුර ඉදිරියේ දී රියෙන් බස්වා යනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවා ය. නමුත් එහෙම නොවී ඔහු ගෙතුළට ම ආවේ ය. මදිරා සිටියේ රෝද පුටුව ඇය විසින් ම කරකවමින් ආලින්දයට පැමිණෙමිනි. ඔවුන් දුටු ඇය පපුව අල්වා ගත්තා ය. වියානා ඒ වන තුරුත් එහි පැමිණ නො තිබීම ඒ සැනසීමට හේතුවයි.

“ඔයාට දැං මේ වගකීමෙන් පැනල යන්න බෑ මල්ලා”

“කවුද ඉතිං පැනල යන්නෙ…හැබැයි ඊට කලින්ම ඔයාගෙ වෙඩින් එකට ලෑස්ති වෙන්න වෙනව කියල අදයි මං දන්නෙ”

“මෙයා කේලං ටික ඔක්කොම කියල නේ…”

මදිරා සියපත් ගේ අතකින් අල්වා ගත්තා ය. ජීවිතයේ හැම ශෝක කලාපයක් ම ගසා ගෙන ගොස් මේ වාගේ පැහැදිලි ඍතුවක් උදා වෙනවා නම් හොඳ ය. නමුත් ඒ තරම් සැහැල්ලුවෙන් උදා නොවූ දවස් ගැන හිතන්නට තවමත් මදිරා අසමත් ය.

ඒ රාත්‍රියේ සියපත් ගෙදර ආවාටත් පස්සේ බොජුන් හල ළඟ සනාතන ගේ රිය නැවතිණ. හරියට දැක නො තිබී ද සියපත් මන්තරයක් වාගේ හැමදාමත් කියා තිබෙන හැඩ නිල අනුව ඒ කහවණුගොඩ නිවුන් සොයුරන් දෙදෙනා බව වහ වහා අනුමාන කළ සුජීවා තරමක් කලබල වූවා ය. 

“අම්මෙ…”

“අපේ සියපත් වැඩ කරන තැන මහත්තුරු දෙන්න නේද…අනේ දුව කිව්වෙවත් නෑනෙ මහත්තයල එනව කියල. ඉඳගන්නකො මහත්තයො. ඒයි…”

ශාන්ත සිටියේ කැෂියරයේ කාර්ය බහුලව ය. එතැන රොක් වී හිටි කිහිප දෙනාගේ ගනු දෙනු නිමා කළ ඔහු ඉක්මනින් තරුණයන් වෙත පැමිණියේ ය. සදාතන ට ඕනෑ වී තිබුණේ සියපත් ගේ පියා සමග කතා කරන්නට ම ය. උදේ සුපුන් සමග වූ සිදුවීම සියපත් ගෙදරට නො කියන බව සදාතන ට සහතික ය. නමුත් සුපුන් කියන්නේ නැවත පැමිණිය නො හැකි පෙරේත ආත්මයක් නොවෙන නිසා, ඒ ගැන මව් පියන් දැනුවත් කොට තැබීම වඩාත් සුදුසු බව සනාතන ගේ ද අදහස විය.

“කෙල්ල මෙහෙම දෙයක් ඇඟෙව්වෙවත් නෑනෙ. මේ හවසත් මෙතනට ගොඩ වෙලා ගියේ”

“සියපත් බයයි තාත්ත කරදරේක වැටෙයි කියල. අපි කවුරුත් කරදරේ නොවැටි මේ වගේ කරදර කාරයංව අයිංම කරල දාන්න ඕනෙ තාත්තෙ. මේ වෙලාවෙ කලබල වෙලා මුකුත් කරන්න හොඳ නෑ. හැබැයි මුකුත් ම නොකර ඉන්නත් හොඳ නෑ නේද…”

‘මහත්තයලව ගෙදරට එක්කං යං සුජී. මෙතන මේව කතා කරන්න පුළුවන් තැනකුත් නෙවෙයි”

ඉතුරු වී ඇති කෑම ටිකත් එක්ක ගෝලයා කඩයේ නතර කළ ඔවුහු ආප්ප ටිකක් ගෙන ගෙදර ගියහ. පංකජී සිටියේ පාඩම් කරමිනි. සියපත් යහනේ වැතිරී බිත්තියට මූණ ඔබා ගෙන කුළුඳුල් ප්‍රේම සංස්පර්ශයක මතක අතරේ නැවතී සිටියා ය. 

“මැණික. අන්න අර මහත්තුරු දෙන්න ඇවිත්”

කියා සුජීවා කාමරයට එබී කියත්දී සියපත් ඇඳෙන් පැන්නේ ඒ සදාතන හා සනාතන බව ඇසිල්ලකින් තහවුරු කර ගෙන ය. යහනේ වැතිර සිටීම නිසා තනි කරලකට ගෙතූ කොණ්ඩය තරමක් අවුල් වී, අක්බඹර රොද ලිහී තිබිණ. ගෙදර ඉන්නා වෙලාවට ඇය අඳින්න කැමති ම සැහැල්ලු වීස්කෝස් කොට කලිසමත්, පට්ට ගසමින් ඇන්ද නිසා ම ඇඟට සනීප, තැන් තැන් වල හිල් හැදුණ ටී ශර්ට් එකත් මාරු කරමින් ඉන්නට කිසි සේත් වෙලාව තිබුණේ නැත. අම්මා ගේ පුවතින් ක්ෂණික ගල් වීමක් සිදු වී ද පිළිමයක් ව කාමරයේ රැඳෙන්නට ඇයට බැරි විය. ඉක්මන් අඩි තියා ආලින්දයට පැමිණි සරල කෙල්ල දුටු සදාතන ගේ මුහුණට සිනහවක් ආවේ ය. ඒ සිනහව දැන් සනාතන ට හුරු ය.

ආප්ප කන ගමන් ඔවුන් කතා කළේ සුපුන් ගැන ය. පොලීසියට පැමිණිලි කොට සිදු වූ දේ පිළිබඳව අවවාද කිරීමට ද කතිකා කර ගැනිණ. සියපත් සිටියේ අහසින් පොළොවට වැටුණා සේ විපිළිසරව ය. තේ හැදුවේත් සුජීවා ය. 

“අපි හිතුවෙ අපිටත් වියානාට වගේ කෑම මේසයක් ලෑස්ති කරයි කියලයි”

සනාතන විහිළුවක් කළේ ය.

“කොහෙද ඉතිං මේ කලබලේනෙ. පුතාල එන්න කලින් කියන්න. අනේ කෑම වේලක් ලෑස්ති කරන එකනං මොකද්ද…”

අම්මා අතින් මහත්තයා යන වචනය පුතා යන්නට රූපාන්තරණය වී ඇති හැටි යයි සියපත් හිතෙන් සිනහ වෙමින් සිතුවා ය. ඔවුන් නික්ම ගියේ නව සඳක් අහසට පායා ආවාට පස්සේ ය. උන් හිටි ගමන් ලෝකය ලස්සන වී තිබිණි. හෙට අනිද්දාට පෝය ලබනු ඇතැයි සුජීවා කීවා ය. සියපත් ද මිදුලට බැස තරුණයන් සමග මෝටර් රථය වෙත ගියා ය. සනාතන රියදුරු අසුනට ගොඩ වෙත්දී අඳුරේ ම සදාතන යන්තමින් යුවතිය ගේ ඇඟිලි තුඩු ඇල්ලුවේ ය. සදාතන ගේ අත් උණුහුම් ය. නමුත්  දිගු ශිශිර රාත්‍රියකදී මෙන් සියපත් ගේ සම මත කටු තුඩු ඇනිණි. ලේ කකියවනා ශීතලයකින් ඇය වෙව්ලා ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles