පතිදම්වැල් 04

“තමුසෙ මොන මගුලෙද ගියේ මේ පොඩි එකීව අතන තනියම දාලා?”

කෙතරම් කෝපයකින් නිවසට ආවා වුව අනුපට ඒ කෝපය සිත තුලම උතුරවාලමින් තබා ගන්නට වූයේ කාරණා දෙකක් නිසාවෙනි.

එකක් දුලන්‍යා නින්දට යනකම් හිඳින්නට වීමයි.

අනෙක ෂෝබිතා ගෙදර ආවේ අනුප දුලන්‍යාද රැගෙන ගෙදර ඇවිදිනුත් බොහෝ වේලාවකට පසුවයි.

හඬමිනුත්, අනතුරුව ඉකිලමිනුත් උන් දුලන්‍යාව පිරිසිඳු කර කවා පොවා නින්දට දැම්මේ අනුපගේ මව වන ආරියලතා මහත්මියයි. අනුපත්, ෂෝබිතාත්, දුලන්‍යාත් වාසය කලේ අනුපගේ මව සහ පියා සමග ඔවුන්ගේ නාවල පිහිටි නිවසේය.

කොළඹ නගරයේ යැයි කිව නොහැකි තරම් රමණීය, තුරු ලතා වලින් පිරුණු පරණ තාලයට සැදූ ඒ නිවසේ වූ නිස්කලංක බව වෙන දිනක නම් අනුපගේ සිතේ වූ කුමනාකාරයේ ලතැවුලක් වුව නිවා දමන්නට සමත් වුවත් අද ඒ කිසිවකට තම සිතේ පිරී ඇති කෝපය සහ වේදනාව පළවා හරින්නට බැරි බව අනුප දැන උන්නේය.

අනුප උන්නේ සැබවින්ම කෝපයෙනි.

දුලන්‍යා රැගෙන නිවසට ආ මොහොතේ තම පුතු කෝපයෙන් හිඳින බව තේරුම්ගත් ආරියලතා මහත්මිය උණුසුම් තේ කෝප්පයක්ද රැගෙන ලං වූයේ සිත සනසනු පිණිසයි. උදෑසන දුලන්‍යා සමගින් නිවසින් පිටවුණු තම ලේලිය වන ෂෝබිතා නොමැතිව අනුප දියණිය රැගෙන නිවසට එනු දුටු විට සිත තුල හටගත් කුකුස වචනවලට නොපෙරලා උන්නේ අනුපගේ නිහඬතාවයත්, ඒ නිහඬතාවය යටින් දුටු කෝපයත් ආරියලතා මහත්මිය දුටු නිසාවෙනි.

තම පුතු සහ ෂෝබිතා අතර ගැටුම් තිබෙන බව කුලරත්න නිවසට රහසක් නොවේ. දුලන්‍යා නිසාවෙන් නිහඬව සිදු කෙරුනද කාමරය තුළ දී ෂෝබිතාත්, අනුපත් අතර හුවමාරු වන උණුසුම් අදන් කුලරත්න යුවලගේ කාමරයට රාත්‍රියේ උණුසුම් පවන් රොදක් සමග ඉඳහිට ගලා එයි.

එහෙත් කුලරත්න නිවසේදි කිසිදිනක ඒ ගැන එළිපිට කතා බස් කර නැත.

විවාහයක් වූ පසු තමා තුරුලේ හොවා හදා ගත් දරුවාගේ ජීවිතයට වුව ඇඟිලි ගසන්නට මව් දෙමව්පියන්ට ඉඩක් නොමැති බව ගුරුවරයන් වූ කුලරත්න යුවලට අමුත්තක් නොවේ.

එහෙත් මේ කතා බස් නොකර හිඳින්නට හැකි මොහොතක් නොවන බව ආරියලතා මහත්මියට සිතේ.

අනෙක් අතට මිතුරන් සමග පුස්තකාලයට යන කුලරත්න මහතා නිවසට එන්නට තවත් වේලා ඇති බැවින් පුතු සමග කතා බස් කරන්නට අවශ්‍ය තරම් වේලා තමාට තිබෙන බව ඇය දනී.

“ඉඟුරු දාලා හැදුවේ”

කියාගෙනම උණුසුම් තේ කෝප්පය පුතු අතට දුන් ආරියලතා මහත්මිය එහා පසින් අසුන් ගත්තාය.

කාර්‍යාලයට ඇඳි ඇඳුම් උනා නොදමාම, නිවසේ එක් පසෙකින් ගෙවත්තට විවර වී තිබෙන ෆ්‍රෙන්ච් වින්ඩෝස් වලින් ඇරී තිබුන කුඩා එළිමහන් ආලින්දයේ ඇඳි පුටුවේ අසුන්ගෙන කල්පනා ලොවක අතරමං වී උන් අනුප මෙලොවට ආවේ අම්මාගේ ඒ වදන් ඔස්සේ පාර සොයාගෙනය.

වෙනදා මෙන් තේ කෝප්පය අතට දී ආපසු නොගිහින් තමාට එහා අසුනින් හිඳ ගත්තේ දිගු කතාවකට බව අනුපට නොතේරුණා නොවේ. එහෙත් මේ අම්මා සමගවත් බෙදා ගත හැකි වේදනාවක් නොවේ.

“පුතේ”

අම්මාගේ හඬ ඇසෙන්නේ එහා ලෝකයකින් මෙනි.

“පුතේ”

“ම්ම්ම්ම්”

“මොකද්ද අද සිද්ද වුණේ?”

ඒ වූ කලී පිළිතුරක් ඇති නමුත් එහෙත් පවසාලිය නොහැකි පැනයකි.

“ම්ම්ම්ම්”

“ඇයි පුතේ මොකුත් කියන්නෙ නැත්තේ?”

“මොනව කියන්නද කියල මට හිතාගන්න බෑ අම්මේ”

ඒ කටහඬ, වචන පිටවූයේ තම පුතුගේ මුවින් නොව එයටත් වඩා අසරණ වූ තරුණ පිරිමියෙකුගේ හඬින්‍ ය යන සිතුවිල්ල හද දෙදරවාගෙන නැගෙනු ආරියලතා මහත්මියට දැනුණි. එහෙත් මේ දුක නිසාවෙන් සසැලෙන්නට හෝ කඬා වැටෙන්නට මොහොතක් නොවේ.

තම දරුවකු අසරණ ව බිඳී හිඳින මොහොතක අම්මා කෙනෙකුගේ වගකීම වන්නේ නොබිඳී දරුවන්ට සවියක් වීමයි.

“පුතේ ප්‍රශ්නයක් තියෙනම් දෙන්න දෙමහල්ලො කතා බස් කරල විසඳගන්න එක නේද කරන්න ඕන?”

අම්මා පවසන දෙයෙහි වරදක් නැත. ඔවුන් ඒවා පවසන්නේ තම දැනුම අනුවය.තව අත්දැකීම් අනුවය. එහෙත් තමා මෙන්ම තම දෙමව්පියන්ද මේ මුහුණ දෙමින් හිඳින්නේ මෙතෙක් කාලයකට තමා මුහුණ දුන් අන්දමේ ගැටලුවකට නොවන බව දන්නේ තමා පමණකි.

“ෂෝබිතා අද දූව මොන්ටිසෝරි එකෙන් දාලා කොහෙද ගිහිල්ලා. දූ සෙරමනි එක ඉවර වෙලා ගෙදර එක්කන් යන්න බලන් ඉද්දිත් එයා ඇවිල්ලා නෑ”

“දෙයියනේ” කියමින් එතෙක් තම උකුල උඩ වූ අත්ලෙන් ආරියලතා මහත්මිය තම මුව වසා ගත්තද ඇයගේ දෑස් ඔස්සේ එකී පුදුමය එළියට පිටවනු වළක්වන්නට නොහැකි විය.

අනෙක් අතට අනුප උන්නේද සිත ඇතුලෙන් හඬමිනි. දුලන්‍යාගේ හැඬීමෙන් රතු පැහැ වී තිබුණ දෑස්වල වූ වේදනාව අනුප හැඳින්නේය. අනෙක් අතට ඒ ගුරුවරියද උන්නේ නැතිනම් අද තමා කීයට හෝ ගොස් බලන තුරු දුලන්‍යා එහි තනිව හිඳින බව සිහිවෙද්දී අනුපට ෂෝබිතා මරන්නට තරම් කේන්තියක් සිත තුළ උපදී.

පුතු ඉන්නේ වේදනාවෙන් බව තේරුම්ගන්නට ඔහුගේ එක් වදනක් ආරියලතා මහත්මියට ප්‍රමාණවත්‍ ය. පුතු කිසි දිනක ලේලියට සම්පූර්ණ නමින් අමතා නැත. ඔහු විවාහ දිවියේ පළමුවරට එසේ පවසන්නේ එතරම්ම හදවත දෙදරා ගොසින් ඇති නිසා බව තේරුම්ගන්නට බැරි ගැහැණියක නොවේ ආරියලතා මහත්මිය.

එහෙත් මේ කිසිවක් නොදුටුව අනුප උන්නේ දිගටම කතාවක් කියමිනි.

කඳුලු බිඳුවක් වැනි දිගටි, කඩන් වැටෙන්නට ඔන්න මෙන්න කතාවක් කියමිනි.

දූ මොන්ටිසෝරි එක එළියෙ අඬ අඬ ඉද්දි එයාගේ ටීචර් දැකල එක්කගෙන ගිහිල්ලා, ටීච තමයි මට කෝල් කරල කිව්වේ.

ඊටපස්සෙ මම එක්කන් ආවෙ ගිහිල්ලා”

ඒ කඳුලු බිඳුවක් හැඩයේ කතාව අවසන් වූ පසුව අනුපගේ සිතේ වූ වේදනාවෙන් හරි අඩකම බර ආරියලතා මහට්මිය දරමින් උන්නාය.

අම්මෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද යන පැනය අසන්නට ඕනාතරම් හේතු තිබුණත් එයටත් වඩා ප්‍රශ්නයක් ආරියලතා මහත්මියට අනුපගෙන් අසන්නට තිබුණි.

“එතකොට කෝ දැන් ෂෝබිතා?”

“දන්නේ නෑ අම්මේ”

“ඔයා කෝල් කරේ නැද්ද ඒ ළමයට?”

“මම ගත්ත අම්මේ. මම විතරක් නෙවෙයි දුලීගෙ ටීචත් අරගෙන තිබුනා එක පාරක් නෙවෙයි කිප සැරයක්ම. ඒත් ආන්සවර් කරන්නෙ නෑ. රින්ග්ස් යනවා විතරයි”

“අනෙ පුතේ කරදරයක්ද දන්නෙ නෑ” කියමින් ආරියලතා මහත්මිය පුටුවෙන් නැගිට්ටේ ලේලියට අමතනු පිණිස දුරකතනය වෙත යන්නටයි.

එහෙත් වාහනයක් විත් ගේට්ටුව අසල නතර කරන හඬත්, අනතුරුව ටිලිං යන ශබ්දයෙන් ගේට්ටුවේ කොක්ක ශබ්ද වන හඬත් සමග ඇයගේ ගමන් පියවර වල වේගය අඩාල විය. ගේතුලට යන්නට සූදානම් ව හුන් ආරියලතා මහත්මිය සිටි පියවර එලෙසම හිඳිමින් බඳ හරවා ගේට්ටුව දෙස බැලුවේත් ෂෝබිතා කිසිදු හැඟීමක් නැති මුහුණකින් නිවසට පිවිසියේත් එකම මොහොතේ මෙනි.

ගැහැණුන් දෙදෙනාම උන් තැනට අනුපවත්, අනුපට ඔවුන්වත් හොඳින් පෙනුනද අනුප මදක් වත් හැරී බැලුවේ නැත.

ඔහු පෙර ලෙසම නිහඬම සුලඟ අනුව හෙමින් සැරේ සෙලවෙන ගහ කොල මත නෙතු රඳවාගෙන සිතේ විඩාවන් නිවාගනිමිනි උන්නේය.

තම නැන්දණිය දෙස බිඳක්ද අනුප දෙස බිඳක්ද දෑස් කොනින් බැලූ ෂෝබිතා තම අඩි උස පාවහන් ටක ටකස් හඬින් ශබ්ද කරමින් ඉහළ මාලයට යන්නට පඩිපෙල නගින්නට විය.

කෙමෙන් තුනී වී යන ඒ ශබ්දය මැද ආරියලතා මහත්මිය පමණක් ගැහෙන හදවත් රාවයක් සමග පණ ගසමින් සාලයේ නතර වී නිරුත්තරව බලා උන්නාය.

කෙමෙන් නිවස තුලට ගලා එන අඳුර මැද, බොහෝ වේලා එලිමහනේ තුරු මුදුන් අත දෑස් රඳවා හුන් අනුප උඩුමහලේ තම කාමරය වෙත යන්නට පියවර එසවූයේ කොල පැහැ පරිසරය දෙස බලා හිඳීමෙන් විඩාබර වූ නෙතක් සහ හිතක් සමගිනි.

කාමරයට යද්දීත් ෂෝබිතා උන්නෙ සඳැල්ලට වී දුරකතනය දෙස බලාගෙන සිනාසෙමිනි. ඒ කවුරුන් සමගද, කුමක් සඳහාද යන්න අනුප නොදන්නවා නොවේ. එහෙත් මේ ඒ ගැන ප්‍රශ්න කරන්නට වේලාවක් නොවේ.

අනුපට ඇති එකම ගැටලුව නම් ෂෝබිතා තම දියණිය මග දමා යෑමය. ඒ කර පසුවත් නිවසට පැමිණ ඇය ගැන එකදු වදනක් හෝ නොඇසීමය.

කෝපයේ ගිනි පුපුරු හදවතේ ලොකු කුඩා සියලුම තැන්වලින් ඉහළට හිස ඔසවා එනු අනුපට දැනේ.

“කොහෙද ගිහින් හිටියේ?”

සඳැල්ලේ දොර අසලට ගොස් අනුප එසේ ඇසුවේ ඉතාම මන්දගාමී හඬකිනි. තම කාමරය තුලින්ම පිවිසිය හැකි ලෙස සකසා තිබෙන එහා පස කාමරයේ දුලන්‍යා අඩ නින්දේ පසුවන බව ඔහු දනී.

මේ ඇයගේ ජීවිතය සම්බන්ධ ගැටලුවක් වුවද මල් පෙත්තක් මතට උණු වතුර වත් කරන්නට කිසිවෙකුට හැකිද?

ඉතින් මේ සියලු කතන්දර හුවමාරු විය යුත්තේ තමාගේත් ෂෝබිතාගෙත් සවන් අතර පමණි.

එහෙත් ෂෝබිතා උන්නේ තමා කියූ කිසිවක් නොඇසුන විලාසයකිනි. නොඑසේනම් ඇසුණත් ගණනකට නොගන්නා මනෝ භාවයකිනි.

අනුපගේ කෝපය උත්සන්න වූයේ කිසිවක් නොවුවා සේ දිගටම දුරකතනය දෙස බලමින් හුන් ෂෝබිතා දුටු විටයි.

“මං ඇහුවෙ කොහෙද ගිහින් හිටියේ?”

ඒ වූ කලී පෙර ඇසුවාට වඩා පහතින් එහෙත් ඉතාම තදින් පිටකල වචන පේළියකි. ඒ වචන පේළියේ වු කෝපය හැඳිනගත්තා සේ මෙතෙක් සඳැල්ලේ අත්වැටට නැඹුරු වී හිඳි ෂෝබිතා සිරුර කෙළින් කර සදැල්ලේ දොරෙන් කාමරය තුලට එන අතරවාරයේ අනුපව නොදැක්කා සේ පසුකරාය.

සුළඟේ වූ උණුසුම් බව පීඩාවක් වූයේ ගතට පමණක් ම නොවේ. ඒ උණුසුම් සුළඟට සිත තුල ඇවිලෙන ගින්න තවත් අවුලුවාදමමින් මුවින් පිටකරන්නට තිබුණේ පුදුමාකාර හැකියාවකි.

අනුප කාමරය දෙසට හැරී වේගයෙන් ඇවිද ගොස් ප්‍රධාන දොර ද දියණියගේ කාමරයට පිවිසෙන දොරද වඩා දැමුවේ තීරණාත්මක කතා බහක් කරන්නටය.

මෙතෙක් හිත තුළ ඇවිලුන ගින්න කාමරය දවා අලු කරවන බවත්, ඒ ගින්නෙන් තමා දැවෙන්නට පටන්ගෙන ඇති බවත් තේරුම් ගියද එකී ගින්නේම දැවී එහිම උපදින බලාපොරොත්තුවෙන් ෂෝබිතා ෆීනික්ස් කිරිල්ලියක මෙන් ඒ ගින්න මැද හිඳ අනුප දෙස තීරණාත්මක බැල්මකින් බලා උන්නාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles