ශරදාකාසේ -04

නිශාමනී ගේ මුහුණෙන් සිනහව යන්නට ම ගොස් තිබිණ. එය හරියට අතුරුදන් වීමක් සේ ය. හොරු අරගෙන යාමක් සේ ය. උදේ වැඩට යත්දීත් තිබුණ ඒ සිනහව ඒ විදිහට අතුරුදන් වීම සැබවින් ම අදහා ගත නො හැකි නිවී යාමකි. පහනක් නිවී ගියා සේ ය. ආකාස කෑම මේසයෙහි හිඳ කෑම කෑවේ පහන නිවී යාමෙන් පසු හමන්නා වූ නිවුණු සුවඳත් එක්ක ය. එය ශෝකී පුසුඹකි. වේදනාවක් දරා හිඳි බවට මතක අතරේ රැඳෙන පුසුඹකි. කර පුසුඹකි.

එදා නිශාමනී කෑම මේසයට හිඳ ගත්තේ නැත. මේසය සූදානම් කොට තබා ඕ අයියා මල්ලිලා ට කෑම ගැනීමට පහසුකම් සලස්වා තැබුවා ය. කෑම වල අඩුවක් නොවුණා ට මේසය හිස් ව ඇති සෙයක් ආකාස ට දැනේ. කතා බහකින් තොර ව ශාරද බත් බෙදා ගත්තේ ය. නිශාමනී මේසයට එන පාටක් පෙනෙන්නේ නැත. ඔහු ට ඕනෑ වූයේ කිසිවක් නො සිදු වූ සෙයින් ගෙදර සාමකාමී බවකින් පැවතෙන්නටයි. විශේෂයෙන් ම ආකාස ගේ අවධානය මේ ගැන යොමු වෙනවාට ශාරද ගේ කැමැත්තක් වූයේ නැත. නමුත් නිශාමනී ගේ මේ හැසිරීම අනිවාර්යයෙන් ආකාස ගේ සැකය දල්වතැයි ශාරද ට සිතිණ. 

“ඇයි ශාමි කන්නැද්ද”

භාජන සෝදමින් සින්ක් එක ළඟ පිටුපා උන් නිශාමනී ගේ පපුව ගැස්සිණි. අතිශය සාමාන්‍ය ලෙස කතා කළා සේ හැඟවූවා ට ඒ හඬ තුළ වූයේ අතිශය අසාමාන්‍ය බවක් බව ඇගේ හද පත්ලට ම දැනිණ. දැන් දැන් හැඬේවියි ඕ බිය වූවා ය. කතා නො කර සිටියේ ඒක ය.

“දැන් කන් දෙක ඇහෙන්නෙත් නැද්ද”

ඒ ගෝරනාඩු හඬින් ඇය වෙව්ලා ගියා ය. සබන් ගාමින් සිටි වීදුරුව ලිස්සා සින්ක් එකට වැටී කුඩු විය. 

“මොන සිහියකින්ද ආ වැඩ කරන්නෙ…මනස්ගාත හිත හිත සේරම අවුල් කරනව”

“කෑ ගහන්න එපා හලෝ”

ආකාස එසේ කීවේ ඉතා හෙමිහිට ය. නිශාමනී ට නෑසෙන සේ, ශාරද ට විතරක් ඇහෙන්නට ය.

“මට කන්න බෑ. ඕගොල්ලො කන්න”

හදවත සුළි කුණාටුවකට හසු ව තිබියදී ඒ විදිහට හෝ ඇය වචනයක් පිට කර ගැනීම ගැන දෙවියන්ට පින් දිය යුතු ය. නිශාමනී ගේ ඇසින් ක්ෂණික ව කඳුළක් පිටමං විය. ඇය එහෙම ම උරහිසින් ඇස් වල තෙත මාත්තු කළා ය.

“ඇයි දැං ගල් ගිලලද ඉන්නෙ…කෙන්ද කන්ද කරගෙන දඟලන්න එපා හරිද…ඇයි යකෝ මේ ගෑනිගෙ වැඩේම සැක කරන එකනෙ”

එවර නම් හද්දා අසරණියක සේ පිටුපා සිටින්නට නිශාමනී ට හැකි වූයේ නැත. ඇය වහා හැරී කෑම මේසය දෙස බැලුවා ය. ඇගේ ඇස් බැල්මෙන් ශාරද දැවී යනු ඇතැයි ආකාස ට සිතිණ. 

“හද්ද ගොබ්බ ගෑනියෙක් වගේ සැක කරල මාව එතනට තල්ලු කරන්න එපා අන්න එච්චරයි මං කියන්නෙ”

ආකාස බත් පත දෙසට ම නෙත් හෙළා ගත්තේ ය. තවත් ටික වෙලාවක් පිච්චෙන බැල්මකින් බලා උන් නිශාමනී, වීදුරු කටු ටික එකතු කොට කුණු කූඩයට දමා මුළුතැන්ගෙයින් නික්ම කාමරයට ගියා ය.

“මොකද ඕයි යකෙක් වගේ කඩං පනින්නෙ…”

ආකාස හඬ අවදි කළේ ඉනික්බිති ය. ශාරද හ්ම් කීවේ හෝ නැත. මල්ලී ඉදිරියේ යම් අපහසුවක් දැනුණත් ඔහු  කිසිදු වෙනසකින් තොර ව හිස කෙලින් තියා ගෙන ඉන්නට බැලුවේ ය.

“මොකද්ද තමුසෙට වෙලා තියෙන්නෙ…ප්‍රශ්නයක් තියනවනං හෙමිහිට කතා කරල විසඳ ගන්නවකො”

“ප්‍රශ්නයක් නැති එකත් ගෑනුන්ට ප්‍රශ්නයක් බං. ඉතිං අමාරුවෙන් හොයල එකක් හොයා ගන්න හරි ට්‍රයි කරනව”

නිශාමනී කියන්නේ එහෙව් ගැහැනියක නොවන බව දන්නා නිසාවෙන් ආකාස එතනින් එපිටට කතා කරන්නට ගියේ නැත. නිශාමනී යනු කවුරුන්ද යන වග ශාරද වුව නො දන්නවා නොවේ. ඇය වූ කලී ලෙහෙසියෙන් යමක් සැක කරන්නට පෙළඹෙන විදිහේ දුර්වල හිතැත්තියක නොවේ. ඇස් වලින් දුටුවත් ඔහු වෙන ගැහැනියකට පෙම් කරනා බවක් ඇය විශ්වාස නො කරනු ඇතැයි වතාවක් නිශාමනී කීවා ශාරද ට මතක ය. එහෙව් ඇය අද මේ විදිහට කැළඹී තියෙන්නේ ඇයි? හෙමිහිට ඈ සිත සන්සුන් කළ යුතු යයි සිතා ගෙන ඔහු කෑම මේසයෙන් නැගිට ගත්තේ ය.

නිශාමනී ඇඳට වැටී සිටියේ රාත්‍රී නිදන ඇඳුම හෝ අඳින්නේ නැතිව ය. හෙමිහිට කාමරයට ආ ශාරද ඈ ළඟින් හිඳ ඇගේ අත් ගොබයක් මත සිය අත තැබුවේ ය. නිශාමනී සීතල පිළිමයක් සේ නිසල ව සිටියා ය. බාහිරය එසේ වූවා ට ඇය ඇතුළාන්තයෙන් ඉකිබිඳ හඬන්නට වූවා ය. අඬන්නේ ඇයි කියා හෝ ඈ නිශ්චිත ව දැන සිටියේ නැත. 

“ශාමි…”

ඔහු පරණ පුරුදු ආදරයෙන් කතා කළේ ය. නිශාමනී ට කෑ ගැසී හැඬිණි. ඇය කොට්ටයේ මූණ ඔබා ගත්තා ය.

“ශාමි. ඇයි ළමයො මේ…මොකද්ද ඔයාට මේ වෙලා තියෙන්නෙ…”

ශාරද නිශාමනී ව ඔහු ළඟට ඇද ගැනීමේ උත්සාහයක් දැරුවේ ය. පරඬැල් පතක් සේ ඕ ඔහු ගේ පපුතුර විත් හැපුණා ය. 

“ඇයි ශාරද මට මෙහෙම කළේ…ඇයි ඔයා මට මෙහෙම කළේ…මං මොන වරදක් කළාටද දෙයියනේ…”

එහෙම අසරණ නොවී බැගෑපත් නොවී ඉන්නට තිබුණා නම් හොඳ ය කියා ඒ අතරේ ම නිශාමනී ට සිතිණ. බැගෑපත් වී කිසිත් දිනා ගත නො හැකි ය. මොනවා දිනා ගත්තත් ආදරය වෙනුවෙන් බැගෑපත් විය යුතු නැත. ඉල්ලා සිටිය යුතු නැත. එය වූ කලී ඉබේ ලැබිය යුත්තකි. මෙතෙක් සිදු වූයේ එයයි. මේ දැන් ශාරද ගේ පපුවට තුරුලු ව සිටියදීත් ඇය ට ඔහු ව පෙර සේ දැනෙන්නේ නැත. ඒ හදවත ඈ වෙනුවෙන් ම ගැහෙනා සෙයක් දැනෙන්නේ නැත. නිශාමනී වහා ශාරද වෙතින් ඉවත් වූවා ය.

“ළමයො. විකාර හිතන්න එපා. ඒක ඔෆිස් එකේ කොල්ලෙක්ගෙ රිං එකක්”

“ඉතිං ඔයා ළඟ..”

“ඒක ඌගෙ පර්සනල් දෙයක්නෙ. මං ඔයාට වුණත් කියන්න ඕන නෑනෙ”

“මං හොයා ගන්නංකො”

නිශාමනී එසේ කීවේ හිතා මතා නොවේ. ශාරද සිනහවක් පා එසඳි ළඟින් වැතිර දැරිය ගේ හිස සිප ගත්තේ ය. වැරදිකාර හැඟීමක් හිතට වද්දා නො ගන්නට තරම් ඔහු ප්‍රවේසම් වූයේ ය. බිරිඳ ට අමතරව තවත් ස්ත්‍රියක් ඇසුරු කරනා සගයන් කාර්යාලයේ ඕනෑ තරම් ය.  විවාහක බිරින්දෑවරු ද එසේ ය. දැන් එය අතිශය සාමාන්‍ය දෙයකැයි සාමාන්‍යකරණයකට ලක් කරන්නට ශාරද තැත් කළේ ය. ඒවා ජීවිතය ම නොවේ. විනෝදය විතර ය. 

“විහිං අවතක්සේරු වෙන්න හදන්න එපා”

ශාරදගේ ඒ වචන ටික නම් පිහි තුඩක් සේ ඇගේ පපුවේ ඇමිනුණි. 

නිශාමනී ‘මං හොයා ගන්නංකො’ කියා කීවේ යමක් හොයනා අදහසකින් නොවේ. ඇය එතරම් දැඩි ගැහැනියක නොවන බව ශාරද ද දැන සිටියේ ය. නමුත් අප හොයන්නට හිතනා දේවල් අපට සොයා දීම සොබා දහමේ ඒකායන අරමුණ වේ. 

මේ වෙලාවේත් සොබා දහම නිශාමනී ගේ පැතුම අනුව කටයුතු කළා වන්නට පුළුවන. ඒ දවස ඇරඹුණේ ම වැස්සක් එක්ක ය. තෙත් කලාපයට අයත්, ඊශාන දිග හා නිරිත දිග යන මෝසම් සුළං දෙකෙහි ම බලපෑමෙන් වැසි ලැබෙන කොළඹ දිස්ත්‍රික්කයේ නගරයකට ඕනෑ ම මොහොතක වැහි වැටීම යනු අරුමයක් නොවේ. නමුත් මෙදා වැස්ස මූසල යයි නිශාමනී ට සිතිණ. පරිසරය ඇගේ හිත සේ ම අඳුරු ගැහී තිබිණ. 

“විකාර නැතුව නාලා කාලා ඉන්න”

ගෙදරින් පිටත් වීමට පෙර ශාරද කී ඒ වචන ටික වැහි හඬත් එක්ක ම හදවතෙහි දෝංකාර නැංවෙනවා විටින් විට නිශාමනී ට දැනිණ. නමුත් පෙර දා ඈ වෙතට හමා ආ කළු වලාකුළු මේ වෙත්දීත් පහ ව ගොස් තිබුණේ නැත. 

“හිතක් බිඳුනට පස්සෙ පිරියම් කරන්න ලේසි නෑ මල්ලි”

හිත බිඳෙනා දේවල් නො සිතා ඉන්නයි, ගෙදරින් නික්මීමට පෙර ආකාස කී වේලේ ඇය පිළිවදන් දුන්නේ එසේ ය.

“බිඳිච්ච තැන් රත්තරං වලින් පිරියම් කළාම කලින් තිබුණ භාජනයටත් වැඩිය වටිනාකමෙං වැඩි වෙනව”

“ඔහු ඇගේ ඇස් මගහැර කීවේ ය.

“ඒ භාජනනෙ. හිත් නෙවේනෙ”

ඇය සංවේගය මඳහසකින් දවටා ගෙන කීවා ය. 

ඒ වැස්සේ ශාරද හවස තේ එක බීවේ පංචලී සමගින් සිය කියුබිකල් එක තුළදී ය. මුදුව නිසා නිශාමනී වියරු වැටී සිටින බවත් ගෙදර තත්වය ඉතා නරක බවත් වෙනදා තරමට හෝ ඇය ඔහු ට නොසලකන බවත් දැන් ජීවිතය එපා වී සිටින බවත් ඔහු කීවේ ඇත්ත ම සන්තාපයක් මවා ගෙන ය. පංචලී වේදනාත්මක වූවා ය. සිය ප්‍රේමවන්තයා ගේ දෑස් මත්තේ උපදින කඳුළක් පිසීම හැරුණ විට කුමක් කළ හැකි දැයි ඇය නො දැන සිටියා ය.

“ළමය හිටියෙ නැත්තං මං මෙලහට අයින් වෙලා. ඒ කෙල්ල පව්”

“එහෙම හිතන්න එපා. ඔයා ඉන්න ඕන එයාල එක්ක. දුවෙක්ට තාත්ත කෙනෙක් තරං හයියක් නෑ ශාරද ලෝකෙ වෙන කොතනකවත්”

“මං කෙල්ලව ගත්තොත්…ඔයා එයාව ආදරෙං බලා ගන්නවද..”

“ශා…රද…”

ඔවුන් දෙස ට ම දැල්වී ගත් දෑසක් තිබිණි. ඒ මැදි විය ඉක්මවමින් සිටි ගාමිණි ගේ ය. පංචලී ගේ සිරුරට අනවශ්‍ය ලෙස අත තැබීම මත වතාවක් ඔහු ඇගෙන් කම්මුල් පහරක් කා සිටියේ ය. ඒ වාඩුව ගන්නවා කියන සිතිවිල්ල දරුණුවට ම ඔහු ගේ හිතේ ඔඩු දුවමින් තිබිණි. පළි දැරිය යුතු මාර්ගය පෙනී ගියේ මේ මොහොතේ ය. ශාරද ගේ ගෙදර ස්ථාවර දුරකතන අංකය ඔහු ළඟ තිබිණි. සිය ජංගම දුරකතනයෙන් ඇමතුම නො ගෙන දුර දිග කල්පනා කොට ඔහු කාර්යාලය ආසන්නයේ සන්නිවේදන මධ්‍යස්ථානයට ගියේ ය. 

එක වර හැඬවෙන විට ම නිශාමනී දුරකතනය ට පිළිතුරු දුන්නා ය.

“මිසිස් මලවිආරච්චි නේද…”

“ඔව්. කවුද මේ…”

“බලං ඉඳල බැරිම තැනයි මිස් මේක කියන්නෙ. මොනා වුණත් මිස් දරුවෙකුත් එක්ක තනියම ගෙට වෙලා ඉන්න මනුස්සයනෙ. ශාරද ඔෆිස් එකේ කෙල්ලෙක් යාළු කරං. මන්නං ඉතිං ශාරදට දොස් කියන්නෙ නෑ. තරුණ කොල්ලොනෙ. ගෑනු දැනගන්න එපැයි. පංචලී කියල කෙල්ලෙක් මිස්”

නිශාමනී දඩස් ගා රිසීවරය තැබුවා ය. ඒ පංචලී කියන නම විතරක් ඇය ට ප්‍රමාණවත් විය. දෙපා අවසඟ වූවා සේ ඕ එතැන තිබූ පුටුවක් මතට වැටුණා ය.

පංචලී…

ඔහු කීවේ බොරුවක් වන්නට බැරි ය. ඒ මුදුවේ තිබුණ ඉංග්‍රීසි පී අකුර ඇගේ මනසේ හොල්මන් කරන්නට විය. පංචලී!

දුරකතනය නැවතත් නාද වූයේ ය. නිශාමනී පිළිතුරු දෙන්නට ගියේ නැත. පිටත වහිනා මෝසම් වැස්සට ඇගේ දෙකොපුල් තෙතබරිත වෙමින් තිබිණ. නිශාමනී හැඬුවා ය. ඉකි බිඳිමින් හැඬුවා ය. කෑ ගසමින් හැඬුවා ය. අවසන ඕ තීරණයක් ගනිමින් වහ වහා කාමරයට ගියා ය. බෑග් එකකට දරුවා ගේත් ඇගේත් ඇඳුම් කිහිපයක් ඔබා ගත්තා ය. එසඳිව එකතකින් වඩා ගෙන, අනිත් අතින් කුඩයක් ඉහලා ගෙන ඒ වැස්සේ ම මිදුලට බැස්සා ය. ඇයට තව දුරටත් නඩු විභාග කිරීමක් අවශ්‍ය ව තිබුණේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles