පෙමාතුර-13

ඒ ක්ෂණික නිමේශය හැබෑවක් ද නැත්නම් සිහිනයක් ද කියා සිතා ගත නො හැකි විදිහේ එකකි. ඊළඟ තත්පරයේ දී අප ගමන් ගත් විරංග ගේ රිය සිව් මං සන්ධියේ වර්ණ ආලෝක සංඥා අතරින් වම් පසට හැරුණේ ය. කළු පැහැති ඇක්වා රිය කෙලින් ඉදිරියට ගමන් කළේ ය. මම හැකි තාක් ගෙල හරවා කළු පැහැය මගේ ඇස් වලින් මුළුමනින් ඈත් වන ඊළඟ තත්පරය තෙක් බලා ගෙන සිටියෙමි.

විරංගට ඒ මොහොතෙහි වෙනසක් නො දැනෙන්නට ඇත. සුළි කුණාටුව හමා ගියේ මගේ චිත්තාභ්‍යන්තරයෙහි ය. ඒ සිදු වූයේ කුමක් දැයි සැබවින් මට ම සිතා ගත නො හැකි විණි. එහෙම දෙයක් හහැබැහින් නොවූවා වන්නට බැරි ද? ඒ මගේ සිත තුළ හොල්මන් කළ යමක් වන්නට බැරි ද? ඇක්වා රිය තුළ සිටියේ විසල් ද නැත්නම් වෙන කෙනෙක් ද? ඔහු ව ම හැම තැන දකිනා මගේ සිත් හි හට ගත් මායාවක් සේ එය සැලකිය නො හැකි ද?

“ඉස්සරහින් මාව දාන්න”

මම සිහි වූ ගමන් කීවෙමි. විරංග මදෙස බැලුවේ පුදුමයෙනි.

“ඇයි..”

“මාව ඉස්සරහ ඉඩ තියන තැනකින් බස්සවන්න”

එවර මම මඳ නොරිස්සුමකින් ද තරමක සැර ගතියකින් ද කීවෙමි.

“ඔයා මේ අතරමගක බැහැල කොහේ යන්නද…”

“අනේ ප්ලීස් විරංග කියන දේ අහල ඔය ඉස්සරහින් වෙහිකල් එක නතර කරනවද…”

මගේ ඇස් කෙවෙනි ලං වන සේ නළල රැලි නැංවුණේ ය. තව දුරටත් හරස් ප්‍රශ්න අසන්නට හෝ මගේ තීරණය ට විරුද්ද වෙන්නට තරම් හැකියාවක් ඔහු ට නො වන්නට ඇත. විරංග වහා රිය නතර කළේ ය.

“ටේක් කෙයා”

“අනේ මන්දා කිසා ඔයානං…පුදුම හිතුවක්කාර කමක් ඕක”

ඔහු කියනවා ඇසිණ. මම කිසිත් නෑසුණ සෙයින් හෙමිහිට බැස රිය දොර වැසුවෙමි. මා ඒ තීරණය වෙනස් කරතැයි සැකයෙන් මෙන් ඔහු මදෙස බැලුවේ ය. මම නොදුටුවා සේ ඉවත බලා ගතිමි. ඔහු ඉතා හෙමිහිට රිය පෙරට ගත්තේ ය. ඉදිරියට ඇවිද ගිය මම නතර වී ඒ කොහේ දැයි වට පිට බැලුවේ විරංග ගේ රිය මගේ නෙතු මානයෙන් ඉවත් ව ගිය කල ය.

ඒ පාර්ලිමේන්තු පාර බව පෙනෙන්නට තිබිණ. නා ගස් සෙවන යටින් මම හෙමිහිට ඉදිරියට ඇවිද්දෙමි. මුදු මොළොක් නා මල් පෙති, පදික වේදිකාවේ කොංක්‍රීට් ගප් මත වැටී තිබිණ. මල් සුවඳ පා ව ගියේ ය. ඊට එපිටින් වන වගුරු බිමෙහි කඩොලාන ශාක මත ලැග උන් කොක් යුවලක් හඬක් නංවමින් ඉගිල ගියහ. ගෙඹි නදක් ද ඇසිණ. මම දිගට  ම ඇවිද්දෙමි.

එය හරියට හිත නැති කය පමණක් ඇති ග්‍රහ ලෝකයක ඇවිද යනවා බඳු තත්වයකි. මට මොනවා වත් සිතුණේ නැත්ද නැතහොත් සිතිවිලි පටලැවීමකින් සියල්ල ව්‍යාකූල ව තිබුණා ද කියා වටහා ගත නො හැකි ය.

ඒ විසල් නම් ඔහු මා ගැන සිතා ගත්තේ කෙසේ ද? විරංග වූ කලී මගේ පෙම්වතා ය කියා සිතන්නට ඔහු ට අනුබල ලැබෙන සෙයින් මම හැසිරෙමින් සිටියෙම් ද?

නමුත් මිත්‍රත්වයෙන් විරුද්ධ ලිංගිකයෙකු සමීප ව ඇසුරු කළ නො හැකි ද? ඒ තරම් පටු මානසිකත්වයකින් සිතන්නට විසල් පෙළඹෙනු ඇත් ද? නමුත් දෙවතාවක් ම ඔහු හා උන් ගෑනු ළමයා ගැනත් මා සිතුවේ එසේ ම නොවේ ද? ඇයත් ඔහු ගේ මිතුරියක වන්නට බැරි ද? ඒ ඔහු ගේ පෙම්වතිය විය යුතු ම ද?

අප ට කෙතරම් මාන වලින් යමක් දෙස බැලීමේ හැකියාව ඇත්දැයි මම සිතුවෙමි. එක් එක් කෝණ වලින් බලත්දී එක ම දේ වුව පෙනෙන්නේ විවිධාකාරයෙනි. සාමාන්‍ය පෙළ චිත්‍ර විෂයට තිබූ ද්‍රව්‍ය බලා ඇඳීම යන අංශය මට සිහි විය. මේසය මත වන එක ම ද්‍රව්‍ය කිහිපයක්, පන්තියේ ළමයි සිතුවමට නැගුවේ එක එක තැන් වල සිට එක එක කෝණ වලින් බලා ගෙව ය. එතකොට ඒ කිසිදු සිතුවම් දෙකක් සමාන වූයේ නැත. ඒවා පෙනුණේ විවිධ කෝණ වලිනි. නමුත් ඒ එක ම දුව්‍ය සමූහය ය.

ජීවිතයේ බොහෝ සිදුවීම් එසේ ය කියා මට සිතෙන්නට ගත්තේ දැන් මේ මොහොතේ ය. එදා සාමාන්‍ය පෙළ චිත්‍ර පන්තියේ දී මේ ජීවන සිද්ධාන්තය ගැන කිසි සේත් මට සිතී නැත!

ඒ දුක් මුසු අවිනිශ්චිතතාවයේ ගිලී ටික දුරක් යන විට මට තනිව සිනහ නැගිණ. එය එසේ වූ එකෙහිත් යම් කිසි හොඳක් නැති ද කියා සිතන්නට මට ඕනා විය. ජීවිතය කියන්නේ පෙරළුණ පිට හොඳයි කියනා එක ය!

මම බසයක නැගී නදීරා ගේ සැලෝන් එකට ගියෙමි. ඇය සිටියේ තරුණියක ගේ ඇහි බැම සකසමිනි. ඒ කටයුතු නිමා වන තෙක් මම ඇගේ මේසය ඉදිරියේ හිඳ සිටියෙමි. මේ වෙලාවට රූපලාවන්‍යාගාරය කාර්ය බහුල ය. තමන් ගේ රුව ගැන දැන් බොහෝ කාන්තාවන් උනන්දුවක් දක්වති. නිවැරදි ව කලාව ඉගෙන ඒ ක්ෂේත්‍රයට පිය නගනවා නම් රජයකට බරක් නොවී සිය ජීවිතය හා ආර්ථිකය මනා ව ගොඩ නගා ගන්නට මේ ක්ෂේත්‍රය අප අමතමින් තිබේ.

“අද ටිකක් බිසී වුණා කෙල්ලෙ”

සිය කාරිය නිමා කළ නදීරා මවෙත ආවා ය.

“හොඳයි නේ බිස්නස් එක…”

“ඔව් හොඳයි. හැබැයි ඒ බිස්නස් එක ආට් එකක් විදිහට ගන්නම ඕන. අපි කරන්නෙ ලස්සන කරන එකනෙ බං. ඒකෙං කස්ටමර් වගේම අපිත් සැටිස් වෙන්න ඕන. ලස්සන කරනව කියන්නෙම කලාවක්නෙ…ඉතිං ඉතිං…”

ඇය එසේ ඒ මාතෘකාවෙන් පිටතට ආවේ මා ඇය සොයා හදිසියේ මෙහි පැමිණීමට යම් විශේෂ හේතුවක් ඇතැයි සිතුණ නිසා විය යුතු ය.

“නිකං ඉතිං…මේ පැත්තෙං ආව නිසා මෙහෙට ගොඩ වුණා”

“මොනාහරි ගෙන්නන්නද බොන්න…”

“එපා එපා. ඔයාට දැන් වැඩනෙ”

“නෑ බං. ඔය කෙල්ලො ඉන්නෙ. එහෙනං අපි ඉස්සරහ ස්නැක් බාර් එකට යං”

ඇයත් එක්ක මොනවා හෝ කතා කිරීමේ උවමවාවක් මටත් දැනෙමින් තිබිණ. ඒ නිසා ප්‍රතික්ෂේප නොකර මම ඒ යෝජනාවට එකඟ වුණෙමි.  පාර පැන ස්නැක් බාර් එකට යත්දී අපි අපේ අත් අල්ලා ගතිමු. එය නිරායාසයෙන් වූ ක්‍රියාවකි. අපේ සමීපතම අය වෙනුවෙන් ආදරයත් ආරක්ෂාවත් සැපයීම නිරන්තර අපෙන් විය යුතු දෙයක් බව අවිඥානක ව අප තුළ නිදන් ගත ව ඇති හැඟීමක් විය යුතු ය.

“ඉතිං…මොකද්ද අවුල…”

පළතුරු යුෂ වීදුරුව මා අභියස ට කළ නදීරා, මගේ මූණ දෙස නො බලා ම විමසුවා ය. අපේ හිත් කියවන්නට තරම් දැන් අපට අප වැටහීම ම විශාල ජයග්‍රහණයකි.

මම සිනහවක් පෑවෙමි. එය මළාන්ක සිනහවක් නොවූ බව විශ්වාස ය.

“පිරිමි එයාල ආදරේ කරන හරි කැමැත්තක් තියන හරි ගෑනු ළමයෙක් වෙන කෙනෙකුට ලං වෙලා ඉන්නව දකිනකොට කොහොම හිතනව ඇද්ද…”

“ඈ…”

ඇගේ ක්ෂණික ප්‍රතිචාරයට මට සිනහ ගියේ ය. හිස්මොළයේ ගිය නිසා නදීරා මගේ පිටට ගැසුවා ය.

“මට හිතා ගන්න බෑ මේ දවස් වල ශූට් කරන්නෙ මොන වගේ ඩ්‍රාමා එකක්ද කියල”

නැවතත් මම හඬ නගා සිනහ වුණෙමි.

“මොක වුණත් කමක් නෑ මං උඹට පොඩි කතාවක් කියන්නංකො. මේක මං හොඳටම දන්නෙ මගෙ ක්ලාස්මේට් ට සම්බන්ද කතාවක් නිසා. ඒකා ලව් කරන්න ගන්නකොට නවයෙ දහයෙ විතර ඇති. වයස අඩු වුණාට කෙල්ල ලස්සනයි. හැබැයි ගෙවල් වලින් දැන ගත්තට පස්සෙ දෙන්නටම අවවාද කරල සම්බන්දෙ නැවැත්තුව. මේ සම්බන්දෙ කඩන්න ඕන නිසාම කෙල්ල ගෙ අම්මල ගේ විකුනල වෙන දිහාකට ගෙයක් අරං ගියා. පස්සෙ මේකි ඉස්කෝල ගමන ඉවර වෙනකොට තව කොල්ලො දෙතුන් දෙනෙක් එක්කම යාළු වෙලයි හිටියෙ. එයාගෙ ලස්සනත් එක්ක ඒක ඉබේම වුණ දෙයක්. හැබැයි හොඳට ඉගෙන ගත්තා. කැම්පස් සිලෙක්ට් වුණා. කැම්පස් එකේදි මේකිට අර පළවෙනි කොල්ලව ආයෙත් හම්බ වෙලා. හැබැයි එතකොට මුන් දෙන්නටම වෙන සම්බන්දකං තිබුණා. කැම්පස් එකේම දෙන්නෙක්. පස්සෙ කෙල්ලගෙ ඒ අෆෙයා එක බ්‍රේක් වුණා. ඒ ගමන අර පළවෙනි කොල්ලා මොකද්ද දන්නවද කළේ…”

නදීරා ප්‍රශ්නාර්ථයෙන් මදෙස බැලුවා ය. මම නිරුත්තර ව හිස දෙපසට සැලුවෙමි.

“එතකොටත් තිබ්බ අර සම්බන්දෙ නවත්තල දාල ආයෙ මේකි එක්ක යාළු වුණා කියහංකො”

“නෑ…”

“කැම්පස් අවුට් වුණ ගමන් මුන් දෙන්නා බැන්දා. ළඟ ළඟම බබාල දෙන්නෙකුත් හම්බ වුණා”

“ශෝක් නේ…එයාලනං මාර ජොලි කපල් එකක්”

“හ්ම්. ජොලි කපල් එකක්නං තමයි”

නදීරා ගේ මූණේ හොඳක් වූයේ නැත.

“ඇයි…”

“බැඳල අවුරුදු හතරක් යනකොට ඩිවෝස් වෙන්න නඩුත් දැම්ම. ඩිවෝස් වෙලා මාස දෙකක් යනකොට අරූ වෙන කෙනෙක්ව මැරි කරලත් ඉවරයි”

“අනේ දෙයියනේ…”

“ලව් ජෙලස් කියන්නෙ එකක් නෙවෙයි දෙකක්. හැබැයි එකක් නිසා අනිත් එක ඉස්මතු වෙන්න පුළුවන්”

අමුතු සැහැල්ලුවක් මගේ සිතට දැනෙමින් තිබිණ. අපි නිතර ම වාගේ වැරදි තෝරා ගැනීමකට යන පෘථග්ජන මිනිස්සු වෙමු. බොහෝ දෙනෙකු එසේ ය කියා දැන ගැනීමේ සතුට නිසා මට මගේ සමහර තීරණ ගැන කේන්තියක් දැනුණේ නැත.

ගෙදර ගිහින් තක්කාලි සුප් හදා මම පාන් ටෝස්ට් කළෙමි. තක්කාලි සුප් හැදුවේ විසල් වෙනුවෙන් ම ය. පාන් ටෝස්ට් එක වෙනුවෙන් බෝ කාලයක් කැප කරමින් වෙහෙසී, පීසා බ්‍රෙඩ් සකස් කළෙමි.

“ශා ශා…කිසාට මාර අයිඩියාස් අප්ප එන්නෙ”

කියමින් නදීරා කුස්සියට ආවා ය. පුංචී භාජන සෝදා කුස්සිය අස් පස් කළා ය.

“විසල් එදත් සුප් එකට කෙළ හල හලනෙ ගියේ. එන්න කියමුද කන්න..ඒ ගමන මෙයාගෙ පීසා බ්‍රෙඩ් වලටත් පිස්සු හැදෙයිද දන්නෑ”

“අනේ…”

මම ඒ ගැන ඒ හැටි තැකීමක් නො කරන බවක් හැඟවීමි. නමුත් හිත තිබුණේ වෙනම ම දෙයකි. මා එසේ වෙනස් රාත්‍රී ආහාරයක් සැකසුවේ ම ගැහැනු ගෙදර ගැහැනුන් ඒ විසල් ට නොදී නො කනා බව දන්නා නිසා ය. ඔහු මා ගැන දැනටමත් සිතා ඉන්නේ කෙසේදැයි දැන ගන්නට මට මේ අවස්ථාව වටින්නේ ය.

පුංචි සඳැල්ලට ගොස් ඔහු ට කතා කළේ මා කාමරයේ සිටියදී ම ය. පිටතට නො ගියත් මම කන් දී ගෙන සිටියෙමි.

“අද බෑ අක්ක. ඕගොල්ලො කන්න”

ඔහු ඇරයුම ප්‍රතික්ෂේප කළේ ය.

“අනේ මේ එනව. ස්පෙශල් දෙයක් තියනව”

ඔහු මොනවාද කියා ඇසුවේ නැත. ඒ මුහුණට වියළි සිනහවක් එනු මට මවා ගත හැකි විය. තක්කාලි සුප් කියා පුංචි කීවා ය.

“දැං බෑ අනේ. අද ටිකක් ටයඩ්”

“ඉතිං ටයඩ් යයි අපි චැට් එකක් දාන්න ගත්තහම. මේ…එන්න එන්න. ඔන්න එන්න ඕනේ…අනෝජා අක්කත් බලා ගෙන ඉන්නෙ”

පුංචි ඒ තරම් ඇවිටිලි කළ ද ඔහු නො එන්නට පුළුවන් යයි මා සිතුව ද විසල් පැමිණියේ ය. ඔහු ට සෙනෙහස පානා ගැහැනුන් තිදෙනා ගේ හිත රිදවන්නට බැරි කමට ඔහු එසේ කරන්නට ඇත. නමුත් විසල් වැරදීමකින් හෝ මදෙස නම් බැලුවේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...