සිහින අසපුව – 7 කොටස

දෙතුන් මසකට පමණ පෙර ලිවීම ආරම්භ කළ නවකතාවේ මේ වනවිට පිටු සියයක් පමණ ලියා තිබුණද, අද කිසිදු සිතිවිල්ලක් සිත තුළ නූපදින්නේ මන්දැයි ආරාධ්‍යා කල්පනා කළාය. මේසය අසළ හිඳගෙන ගත කළ හෝරාවකට ආසන්න කාලය ගත වූයේ සුදු කඩදාසියක් පිරෙන තුරුම කුරුටු රූප ඇඳීමක් පමණක් නොවේදැයි සිතද්දී ඇති වන්නේ කලකිරීමකි. වෙනදා හිඳගත් සැනින් සිතට ගලා එන සිතිවිලි අද මිදී ගල් වී ඇත්තේ මෙම නිවස තුළ සිදුවන සියලු සිදුවීම් තම සිතට දරා ගත නොහැකි බැවින් විය යුතුය.

සුපුරුදු ලෙසින් උදෑසන ආහාර ගැනීමෙන් පසු තාත්තා නිවසින් නික්ම යන්නට ඇත. ඊළඟට අම්මාත්, අවසානයේ විහාරාත් නිවසින් පිටව යන්නට ඇත. සිතට වද දෙන හැඟීම් කිසිවෙකුට පවසා සිත සැහැල්ලු කර ගැනීමට උවමනා වුව ද, කියන්නට කිසිවෙකුත් නැත. අසන්නට කිසිවෙකුත් නැත. රංජනී සමග තම අදහස් ප්‍රකාශ කළ හැකි සීමාවක් තිබේ. හසිත් සමග ද කතා කළ හැකි සීමාවක් තිබේ. මල්ලී මලීෂ සිටියානම් ඔහු සමග හදවතෙහි තෙරපෙන සියලු වේදනාවන් පවසා සිත නිදහස් කර ගැනීමට තිබිණ. ඔහු කොතැනක ඇත්ද? නිවසින් පිටව යද්දී ඉඳහිට හෝ තමා දැකීමට පැමිණෙන බව පැවසුවද, නිවසින් නික්ම ගිය පසු අඩුම තරමේ දුරකතන ඇමතුමක් හෝ දෙන්නට ඔහුට අමතක වීමම අරුමයකි.

ආරාධ්‍යා සිතිවිල්ලේම අඳින ලද කුරුටු රූප සහිත පිටුව අතට ගත්තාය. ඇඳි කුරුටු රූප වලින් වැඩි හරියක්ම ඇත්තේ මල් ය. මෙලෙස මල් අඳින්නේ සිත තුළ කිසිවෙකු පිළිබඳව ආදරයක් හටගෙන ඇති විටදී බව උසස් පෙළ හදාරන සමයේ යෙහෙළියක පැවසූ අයුරු ඇයට සිහි විය. ඒ හා සමගම හසිත් සිතට පිවිසෙන නමුදු ඔහු බොහෝ ලෙන්ගතු ලෙසින් කතා බහ කරනවා හැරෙන්නට ආදරය පිළිබඳව වදනක් හෝ තම මුවින් පිට නොවන්නට ඔහු ප්‍රවේශම් වන්නේ අම්මා නිසාද?

“ඇත්තටම මම හසිත්ට ආදරේ කරනවද?”

කුරුටු රූප අඳින ලද කඩදාසි පිටුව ගුලි කර පසෙකට විසි කළ ආරාධ්‍යා තමාගෙන්ම ප්‍රශ්න කළාය. 

“හසිත්ව දකින්න ආසයි. කතා කරන්න ආසයි. ඒත් ඒක ආදරයද කියන්න මට තේරෙන්නෙ නෑ.”

පාසල් යන සමයේදී සම වියේ සිසුන්ගෙන් බොහෝ ප්‍රේමාරාධනා ලැබුණද, තම සිත සසල කරන්නට ඒ කිසිවෙකුත් සමත් නොවූ බව සිහියට නැගෙද්දී ආරාධ්‍යාගේ මුවගට සිනාවක් නැගිණ.

“ආදරේ කියන්නෙ මොකක්ද?”

තම සමීපතම යෙහෙළිය වූ අශ්විනීගෙන් විමසා සිටියදී ඇය දුන් පිළිතුර කිසිදිනෙක මතකයට අමතක නොවන්නකි. 

“වෙලාවක් කලාවක් නැතිව එයාගෙ කතාබහ රූපය හිතට නැගෙනවා නම් එයාව දකින්න ඕන කියලා හිතෙනවා නම් අන්න ඒක තමයි ආදරේ කියන්නෙ.”

අශ්විනී ආදරය අර්ථ දැක්වූයේ ඇයට හැඟෙන පරිදි විය යුතුය. 

“අශ්විනී කියන විදියට ආදරය කියන්නෙ ඒකනම් මගේ හිතට වෙලාවක් කලාවක් නැතිවම එන්නෙ හසිත් විතරමයි. දකින්න ඕන කියලා හිතෙන්නෙත් හසිත්ව විතරමයි.”

එම සිතිවිල්ල පවා තම සිත බිය ගන්වන බව දැනුනෙන් ආරාධ්‍යා පුටුව පසෙකට කර නැගී සිටියාය. 

“ඒක එහෙමම වෙන්න ඇති. නැත්නම් හිසරදේ කියලා ප්‍රයෝගයක් කරලා පුරුදු විදියට බ්‍රෙක්ෆස්ට් ගන්න නොගිහින් මග හරීවිද?”

කවර මත ගැටුම් තිබුණද, පවුලේ සියලු දෙනා එකතු වන ස්ථානය වූ උදෑසන කෑම මේසය මග හැර සිටින්නට තමාට සිත් වූයේ හසිත් සමග උදෑසන ආහාර ගැනීමට ඇති උවමනාව නිසාද?

“හිසරදේ හැදෙන්නෙ නැතිව තියේවිද? දවසෙම කාමරේටම වෙලා කුරුටු ගගා ඉන්නකොට.  මෙව්වා දකිද්දි හිසරදේ හැදෙන්නෙ මට.”

අම්මා තම කාමරයට පැමිණ හිස අතගා කාරුණිකව වදනක් දොඩා යනු ඇතැයි යටි සිත බලාපොරොත්තු වූ නමුත් ඇය තමා දකින්නට නොපැමිණ මහ හඬින් පවසන අයුරු ආරාධ්‍යාට ඇසිණ.

දරාගත නොහැකි තරමේ වේදනාවක් සිතට දැනුනද, එය අම්මාගේ ස්වභාවය නොවේදැයි ආරාධ්‍යා කල්පනා කළාය. ඇය සිතිවිල්ලේම නැගිට ජනේලය අසළට ගියාය. රිදී පැහැති මුහුදු රළ නැළවිල්ලේ පැමිණ වෙරළේ හැපී බිඳී යන අපූරුව මතක ඇති කාලයේ සිටම නිරතුරුව දකින දසුනකි.  සිත කැළඹී ඇති විටෙක එම දසුන සිත නිවයි.

“මුහුද හරියට අම්මා කෙනෙක් වගේ අක්කා කෙනෙක් වගේ හිත නිවන හැටි අපූරුයි.”

ඇයට සිතිණ.

“බේබි දැන් හිසරදේ කොහොමද?”

රංජනීගේ කටහඬ ඇසුණු ආරාධ්‍යා හිස හරවා බැලුවාය. රංජනී කම්පාවෙන් යුතුව දොරකඩ සිටගෙන බලා සිටියි.

“දැන් අඩුයි රංජනී.”

“උදේට කෑවෙත් නෑ නේද? බඩගින්නෙ හිටියම හිසරදේ වැඩි වෙනවා.”

“පස්සෙ කන්නම්.”

“අද පොඩි බේබිත් කන්නෙ නැතිවම ගියා.”

“ඇයි?”

“කවුද බේබි දන්නෙ? හසිත් සර් ආවෙත් නෑ. අනේ මන්දා අද කෑම අහක දාන්නයි වෙන්නෙ.”

“හසිත් ඒවි.”

“දැන් මොන ඒමක්ද බේබි? වෙනදා එන වෙලාව පහුවුනා.”

මෙතෙක් සිත තුළ වූ බලාපොරොත්තු සියල්ලම කඩා වැටුනාක් මෙන් ආරාධ්‍යාට දැනිණ. කාලය මෙතරම් ගතව ගිය බවක් නොදැනුනේ මන්දැයි ඇය කල්පනා කළාය. සුපුරුදු පරිදි අද හසිත් නොපැමිණියේ ඇයි?

“මැඩම් උදේ කිව්වා හසිත් සර්ට දෙන්න කෝමාරිකා ඩි්‍රන්ක් එකක් හදලා තියන්න කියලා. හැදුවට ආවයැ? අපේ මැඩම්ටත් පිට එවුන්ට හචිං එකක් ගියත් හිතට අමාරුයි. ගෙදර දරුවන්ගෙ අසනීපයක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ.”

රංජනී පවසන්නේ සිත් වේදනාවෙනි. ආරාධ්‍යා නිහඬව සිටියාය.

“බේබි තරහ වෙන්න එපා. මං මේ හිතේ අමාරුවට කියන්නෙ. දැක්ක නේද පොඩි බේබි? කෑවෙත් නෑ. ඇඳගත්තා ගියා. අහන්න කෙනෙක් නෑ. බලන්න කෙනෙක් නෑ.”

“රංජනී ඒ ගැන හිතන්න එපා.”

සිත දුරක තබා ගත් ආරාධ්‍යා පැවසුවාය. එක්වරම විදුලි සීනුව නාද වන හඬ ඇසුණ රංජනී කලබල වූවාය. වරක් නොව තවත් වරක් විදුලි සීනුව නාද විය.

“කවුදෝ ඇවිදින්.”

රංජනී පහළට දිව ගියාය. පමා වී හෝ හසිත් පැමිණෙන්නට ඇතැයි ආරාධ්‍යාට සිතිණ. පසුගිය දිනයේ තමා වෙත එවන ලද ඡායාරූපය පිළිබඳව සරදමක් කොට සිනාසෙන්නට සිහින දකිමින් ඇය අවුල් වී තිබූ හිසකෙස් සකස් කර ගත්තා පමණක් නොව ළදරු පුයර ස්වල්පයක්ද මුහුණෙහි ආලේප කර ගත්තාය. පියගැට පෙළ බසිද්දී රංජනී කලබලයෙන් දිව ආවාය.

“කවුදෝ කෙනෙක් ඇවිත්. කවීන් සර්ව අහනවා.”

“කවුද?”

“දන්නෙ නෑ. දැකලා නෑ මීට කලින්. නළුවෙක් වගේ කෙනෙක්. බේබි ගිහින් අහලා බලන්නකො.”

ආරාධ්‍යා සිතිවිල්ලේම ඉදිරියට පිය නැගුවාය. ආලින්දයේ එල්වා ඇති මල් පෝච්චි වලට එබිකම් කරමින් සිටි තරුණයා එක්වරම හැරී බැලුවේය. ඇයට රංජනීගේ මුහුණ දෙස බැලිණ.

                    *

කවීන් සූරියබණ්ඩාර, මොනාලිගේ කාර්යාලයෙහි හිඳගෙන සිටියේය. මෙහි පැමිණෙද්දී සිය ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතා කරමින් සිටි මොනාලි මේ වනතුරුත් සිය කතා බහ නිමා කර නොමැත.  කවීන් සිය අත් ඔරලෝසුව දෙස බැලුවේය. මේ වනවිට තමා මෙහි පැමිණ විනාඩි පහළොවකට ආසන්න කාලයක් ගත වී ඇති බව ඔහු සිතුවේ නොඉවසිල්ලෙනි. මොනාලිගේ ලිපිකාරිනිය වන ජීනා ලිපියක් ටයිප් කරමින් සිටියද, ඇගේ දෙනෙත් වරින් වර තමා වෙත යොමු වන බව කවීන් දුටුවේය. තමාට පිටුපා ජනේලය අසළ සිටගෙන සිටින මොනාලි කතා බහ කරන්නේ සෙමෙනි. එයට සවන් යොමු කරන්නට නොසිතූ කවීන් සිය ජංගම දුරකතනයෙහි තිරය දෙස බැලුවේය. උදෑසන සිට මේ දක්වා පැමිණ ඇති කෙටි පණිවුඩ රැසක් තිබුනද, ඒවා කියවා බලන්නට ඔහුට නොසිතිණ.

“දුරකතන ආයතන… සුපර් මාකට්… බැංකු… මෙව්වයෙන් එවන මැසේජස් බල බලා ඉන්න කාලයක් කොහෙද අපට?”

ඔහු පැමිණ තිබූ කෙටි පණිවුඩ නොකියවාම මකා දැමුවේය.

“සෙකන්ඩ් හෑන්ඩ් එකක් වුනාට කමක් නෑ. බී එම් ඩබ්ලිව් එකකට මම කැමතියි. වාහනයක් ගන්නකොට අපි කරන වෘත්තියට ගැලපෙන්නත් ඕනනේ අනේ…”

එවර මොනාලිගේ කටහඬ තරමක් උස්ව ඇසිණ. ඇය හැරී තමා දෙස බලන අයුරු කවීන් දුටුවේය.

“හොඳයි… ඔයා බලලා කියන්නකො. එහෙම වුනොත් මං බලන්න එන්නම්. තෑන්ක් යූ අනේ මං වෙනුවෙන් කරදර වෙනවට. ඒකනෙමෙයි. ක්ලයන්ට් කෙනෙක් ඇවිත් ඔෆිස් එකේ ඉන්නවා. මං  ඔයාට පස්සෙ කතා කරන්නම්.”

දුරකතනය විසන්ධි කළ මොනාලි පැමිණ සිය අසුනේ හිඳ ගත්තාය.

“සොරි. මම ඔයාගෙ වෙලාව ගත්තා.”

ඉදිරියට නැමී කවීන්ගේ මුහුණ දෙස පරීක්ෂාකාරීව බැලූ මොනාලි පැවසුවාය.

“එතකොට මම ක්ලයන්ට් කෙනෙක්?”

කවීන් සිනාවෙන් තොර මුහුණින් යුතුව පැවසුවේය. ටයිප් කිරීම නතර කළ ජීනා මොනාලිගේ පිළිතුර අපේක්ෂාවෙන් සිටිතැයි ඔහුට සිතිණ.

“එහෙම නැතිව මං මොකක් කියන්නද? ඔයාම කියන්නකො.”

කවීන් පිළිතුරක් නොදුන්නේය. ඔහුගේ දෙනෙත් ලා දම් පැහැය ආලේප කරන ලද ඇගේ දිගු නියපොතු දෙසට යොමු වී තිබිණ.

“ලස්සනයි.” යි සිතුණද එවදන් මුවින් පිට කිරීමට ඔහුගේ ආත්මාභිමානය ඔහුට ඉඩ නොදුන්නේය. 

“කවුරු එක්කද මෙච්චර වෙලාවක් මල් කැඩුවෙ?”

ජනප්‍රිය වදන් කිහිපයක් කවීන්ගේ මුවට නැගිණ. එම වදන් සුහර්ෂා විසින් භාවිතා කරන වදන් ද, එසේ නැත්නම් මලීෂ භාවිතා කරන වදන්දැයි ඔහුගේ මතකයට නොනැගිණ.

“මොකක්? මල් කැඩුවෙ?”

තමා විහිලුවක් කළ කලෙක මෙන් මොනාලි උස් හඬින් සිනාසුනාය.

“ඔයත් දැන් කොල්ලො කෙල්ලො කියන ඒවා කියන්න පටන් අරන්. ඒකනෙමෙයි. කතා කරේ මගේ යාලුවෙක්.”

“ගෑනු යාලුවෙක්ද? පිරිමි යාලුවෙක්ද?”

කවීන්ට ඉබේටම ඇසිණ.

“පිරිමි යාලුවෙක්? ඇයි?”

කවීන් නිරුත්තරව බලා සිටියේය. ඇය කවරෙකු සමග කතා කළ ද ඒ ගැන උරණ වන්නට තමාට අයිතියක් නැති බව ඔහු කල්පනා කළේය.

“මං ඇහුවෙ ඇයි කියලා. ඔයා කැමති නැද්ද මං පිරිමි යාලුවො එක්ක කතා කරනවට?”

“ඔයාට ඕන කෙනෙක් එක්ක කතා කරාම මට මොකද?”

“අන්න… ඒක නම් ඉරිසියාවම තමයි.”

මොනාලි අසුනින් නැගිට කවීන් සමීපයට පැමිණියාය.

“මේ… ඇස් දෙකෙන් පෙරෙනවා ඉරිසියාව.”

මොනාලිගේ වදන් ඇසූ ජීනාගේ මුවග සඟවා ගන්නට තැත් කළ සිනාවක් වූ බව කවීන් දුටුවේය.

“කතා කරේ යාලුවෙක්. මං එයාට කිව්වා මට වෙහිකල් එකක් බලන්න, සෙකන්ඩ් හෑන්ඩ් එකක් වුනත් කමක් නෑ කියලා.”

“බීඑම් ඩබ්ලිව් එකක්?”

“ඒකත් අහගෙන හිටියද? එහෙම හොඳයි නේ?”

“මොනාලි… මේ වෘත්තියට ආව කාලෙ මම ඉස්සර වෙලාම ගත්තෙ පුංචි වාහනයක්. ලොකු වාහන ගැන හිතන්න කලින් පොඩි වාහනේකට යන්න. ඉස්සර වෙලාම නමක් හදාගන්න. ඊටපස්සෙ වැඩ එද්දි පුලුවන් ඔයාට හොඳ වෙහිකල් එකකට යන්න.”

“ලොකු හරි පොඩි හරි වාහනයක් ගන්න මට කවුරුවත් උදව්කරන්නෙ නෑනෙ.”

ඇය පැවසුවේ චෝදනාවක ස්වරයෙනි.

“කාගෙවත් උදව්වෙන් නෙමෙයි. තමුන්ගෙ දෙපයින් නැගිටින්න උත්සාහ කරන්න මොනාලි. ඔයා තවම…”

කවීන් වදන් ගිල ගත්තේය.

“මං දන්නවා ඔයා කියන්න හදන දේ?”

දෑස් වල කඳුලු පුරවා ගත් මොනාලි සිය අසුන කරා ගොස් එහි හිඳ ගත්තාය.

“ඇත්ත. මං තවම ආධුනිකයි. ඔයාට වගේ නෙමෙයි. මට කේසස් එන්නෙ අඩුවෙන් කියන එක නේද ඔයා කියන්න හදන්නෙ?”

“පරචිත්ත විජානන ඥාණය තියෙනවද?”

“ඒ මොකක්ද?”

මොනාලි යටි තොල පෙරලුවාය. 

කිසිවකු උගුර පාදන හඬ ඇසිණ. කවීන් හැරී එදෙස බැලුවේය.

“දේවින්දයා..”

මොනාලි අමනාපයෙන් පැවසුවාය.

“ඔය උගුර පෑදුවෙ අපි දෙන්නට. මගේ පස්සෙන් ඇවිත් බැරි තැන දැන් අපි දෙන්නට මඩ ගහන්න හදන්නෙ.”

කවීන් මඳ සිනා නැගුවේය.

“ගණන් ගන්න එපා.”

“ගණන් ගන්න එපා කියලා ඔයාට කියන්න පුලුවන්. ඔයාට මොකද? ගෑනියක් ඉන්නවා. දරුවො ඉන්නවා. මට තමයි කවුරුත් නැත්තෙ.”

සුහර්ෂාට ‘ගෑනියක්’ යනුවෙන් මොනාලි පැවසීම පිළිබඳව කවීන්ගේ සිත රිදුණද, ඒබව ඇයට අඟවන්නට ඔහු නොසිතුවේය. කවීන්ගේ ජංගම දුරකතනය නාද වන්නට විය. මොනාලි දෙස යටැසින් බැලූ ඔහු ඇමතුම හා සම්බන්ධ විය.

“යස්… කියන්න…”

ඔහු පැවසුවේ මුදු ස්වරයෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles