මිග්‍රේන් හෙවත් ඉරුවාරදය වැඩි වීමට බලපාන ආහාර

මිග්‍රේන් ඇති වන්නට බොහොමයක් හේතු තිබෙනවා. ඒ අතර ඉහළ ම අප ගන්නා ආහාර පානත් තිබෙනවා. පර්‍යේෂණවලට අනුව ආහාර පමණක් මිග්‍රේන් සඳහා බලපාන අවස්ථා අවමයි. නමුත් තවත් හේතුවක් හෝ කිහිපයක් සමහ ආහාරත් එකතු වුණහොත්, අනිවාර්යයෙන් ම මිග්‍රේන් ඇති වීමේ අවදානම තිබෙනවා. මිග්‍රේන් ඇති වන්නේ මෙන්න මේ ආහාර පාන නිසායි කියා නිසැක ව ම වෙන් කරන්නට බැහැ. නමුත්, මිග්‍රේන් සෑදුණ අය සලකා බලන විට, අපට එම ආහාර පාන ගැන යම් පැහැදිලි අදහසක් ගන්නට පුලුවන්.

කැෆේන් (Caffeine)

අධික ව කැෆේන් අඩංගු ආහාර පාන ලබා ගැනීම මිග්‍රේන් උත්සන්න කරනවා. නමුත් මිග්‍රේන් සෑදුණ විට පමණක් භාවිත කරනවා නම් මෙය මිග්‍රේන්වලට ඉතා හොඳ ප්‍රතිකාරයක්. ඒ අනුව කලාතුරකින් භාවිතා කිරීමෙන් කැෆේන් නිසා මිග්‍රේන්වලට එන හිසෙහි කැක්කුම අඩු වෙනවා. තේ, කෝපි සහ චොක්ලට්වල කැෆේන් අඩංගුයි.

කෘත්‍රිම පැණිරසකාරක

බොහොමයක් සකස් කළ ආහාරවල මේවා අඩංගු වෙනවා. මේවා සීනි සඳහා විකල්පයක් ලෙසයි යොදා ගන්නේ. නමුත් කෘත්‍රිම පැණිරසකාරක මිග්‍රේන් සඳහා ඍජුවම බලපෑම් කරනවා. ඔබ සාමාන්‍යයෙන් මිග්‍රේන්වලින් පීඩා විඳින කෙනෙක් නම් කෘත්‍රිම පැණිරසකාරකවලින් ඉවත් විය යුතුයි.

ඇල්කොහොල් (Alchohol)

මිග්‍රේන්වලට බලපාන ආහාරපාන ලැයිස්තුවේ ඉහළ ම ඇති දෙයක් ලෙස ඇල්කොහොල් හඳුන්වන්නට පුලුවන්. පර්‍යේෂණවලට අනුව මිග්‍රේන් වැළඳුණ රෝගීන් 35%කට එය සෑදී තිබුණේ මේ නිසායි.

චොක්ලට්

ඇල්කොහොල්වලට පසු, මිග්‍රේන්වලට වඩාත් ම බලපෑම් කරන ආහාරය ලෙස සැලකෙන්නේ චොක්ලට්. ප්‍රතිශතයක් ලෙස 22%ක මිග්‍රේන් රෝගීන් ප්‍රමාණයකට එය වැළඳීමට හේතු වන්නේ චොක්ලට්. කැෆේන් මෙන් ම එහි අඩංගු beta-phenylethylamine ද මේ සඳහා බලපානවා.

Monosodium glutamate (MSG)

MSG හෙවත් Monosodium glutamate ස්වභාවයෙන් අපේ සිරුර තුළ ද තිබෙනවා. නමුත් වර්තමානයේ දී කෘත්‍රිම ව නිපදවූ MSG ආහාර රසකාරකයක් ලෙස බහුලව භාවිතා වනවා. මේවාත් මිග්‍රේන්වලට බලපෑම් සිදු කරන ආහාර ලැයිස්තුවේ තිබෙනවා. මිග්‍රේන් වැළඳීමේ අවදානමක් ඇති ඔබ MSG සහිත ආහාර ගැනීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු යි.

Tyramine අඩංගු ආහාර

Tyramine ඇත්තේ පැසෙන්නට තබා සකස් කරන ආහාරවලයි. අච්චාරු, චීස්වර්ග මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකියි. මේවායෙහි tyramine ඉතා විශාල වශයෙන් තිබෙනවා. පැසීමේ කාලය වැඩි වෙත්ම ආහාරයේ tyramine ප්‍රමාණය ද වැඩි වෙනවා. tyramine අඩංගු ආහාර මිග්‍රේන්වලට කොහෙත්ම සුදුසු නැහැ.

ශීත කළ ආහාර

මිග්‍රේන් ඇති ඔබ ශීත කළ ආහාර පිළිබඳවත් අවදානය යොමු කිරීම වැදගත්. ශීත කළ ආහාර මගින් මිග්‍රේන් උත්සන්න කළ හැකියි. ඔබේ සිරුර අධික උෂ්ණත්වයට පත් ව ඇති මොහොතක ඔබ සිරුර නිවෙන්නට පෙර ඉක්මනින් අයිස්ක්‍රීම් වැනි ශීත කළ ආහාරයක් ලබා ගන්නේ නම් ඔබට මිග්‍රේන් වැළඳීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙනවා.

අධික ලුණු සහිත ආහාර

අධික ලුණු සහිත ආහාර මිග්‍රේන්වලට තදින් බලපානවා. අධික ලුණු සහිත ආහාර පරිභෝජනය මගින් රුධිර පීඩනය ද ඉහළ යනවා. මෙයත් මිග්‍රේන් වැළඳීමට හේතු වන්නට පුලුවන්. බොහොමයක් සකස් කළ ආහාරවල ලුණු ප්‍රමාණය ඉතා ඉහළයි. එය මිග්‍රේන් වැළඳෙන්නට උපකාරී වෙනවා.

මිග්‍රේන් යනු වැළඳුණ විට ඉතා ම අපහසු තත්ත්වයක්. ඒ වගේ ම මිග්‍රේන් හැදෙන්නට නිශ්චිත හේතුවක් අවශ්‍ය වන්නෙත් නෑ. නමුත් ආහාර රටාවත්, ජීවන රටාවත් ක්‍රමවත් ව පවත්වාගෙන යාමෙන් ඔබට මිග්‍රේන්වලින් විශාල සහනයක් ලබා ගන්නට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles