සංසර්ගය වේදනාකාරී කරවන වැජිනිස්මස්

විවාහයක් කැඩී බිඳී යන්න ගුරුකම් කරන මිනිස්සු “කලවා බන්ධනය” නම් ගුරුකමක් මනමාලිට කරන බව අතීත කතා කියවන විට අපිට කියවන්න ලැබෙනවා. ලිංගික එක්වීම වේදනාකාරී කරවන මේ තත්වය නිසා විවාහය කඩාකප්පල් වූ අය පවා ඉන්නවා.

ඇත්තටම මේ ගුරුකමක් ද?

අලුත් ලෝකයේ ජීවත් වෙන අපි දන්නවා ගුරුකම් සහ හදි හූනියම් කතාවල කිසිම සත්‍යතාවයක් නැති බව.

එතකොට මේ තත්වය මොකක්ද?

සහකාරයට ලිංගික සංසර්ගය සිද්ධ කරන්න ඉඩ නොදී කලවා ප්‍රදේශයේ  සහ යෝනි ප්‍රදේශයේ පේශීන් තද වීමයි මෙහිදි සිදු වන්නේ. මෙය බටහිර වෛද්‍ය විද්‍යාව හඳුන්වන්නේ වැජිනිස්මස් (Vaginismus) ලෙසයි.

ඇයි මේ රෝගය හැදෙන්නේ?

ලෝකය මොන තරම් දියුණු වුණත් අපේ රටේ ලිංගික අධ්‍යාපනය පවතින්නේ හරිම පහළ මට්ටමක. ප්‍රථම සංසර්ගය අතිශය වේදනාකාරී බවට බොහෝ තරුණියන් විශ්වාස කරනවා. මේ අදහස් ඔවුන්ට ලැබෙන්නේ මිතුරියන් සමඟ අත්දැකීම් බෙදා ගැනීමේදී වෙන්නත් පුලුවනි. ඒ වගේම සමහර තරුණියන් ගැබ් ගැනීමටත් බයයි. මේ වගේ හේතු නිසා මානසිකව බියපත් වීමෙන් මේ රෝගය හට ගන්නවා. සමහරුන්ට කුඩා කල සිදුවූ අපචාරයක අමිහිරි මතකත් හිතේ තියෙන්න පුලුවන් .

මේ හේතු නිසා බියපත් වූ විට මාංශ පේශී තද වීමකට ලක් වෙනවා. එය තමයි වැජිනිස්මස් ලෙස හඳුන්වන්නේ.

මෙය තුරන් කිරීමට ස්වාමියා සතුවත් විශාල වගකීමක් තිබෙනවා. ඔහු ආක්‍රමණශීලි වුවහොත් තරුණිය තවත් බියට පත්වී මෙය උත්සන්න විය හැකියි. කතාබහ කර මෙය විසඳා ගන්නට මුලින්ම උත්සාහ දැරීම වැදගත්.

දෙදෙනාට මෙය විසඳ ගැනීම අපහසු නම් මනෝ වෛද්‍යවරයකු වෙත යාමයි කළ යුතු වන්නේ. වෛද්‍යවරයාට බිරිඳ සමඟ කතාබහ කර උපදේශන ලබා දී මේ තත්වය තුරන් කරන්නට හැකියාව තිබෙනවා.

උපදේශනය සාර්ථක නොවෙනවා නම් වෛද්‍යවරයා යෝනි ආතතිය දුරු කිරීමේ ව්‍යායාම කිහිපයක් ලබා දෙනවා. එසේම ලිංගික එක්වීම පහසු කරන ජෙල් වර්ග ගැනත් පහසු ඉරියව් ගැනත් ඔබව දැනුවත් කරන්නට වෛද්‍යවරයා කටයුතු කරනවා.

මේ රෝගයට ඔබ ලක්වී ඇති බව පළමු සංසර්ගයේදී අවබෝධ කරගත්තොත් කලබල නොවී දුකින් කාලය ගත නොකර එය ඉක්මනින් විසඳා ගන්නට කටයුතු කරන්න. ලිංගිකත්වය යනු මුළු ජීවිතය නොවුණත් පවුල් ජීවිතයට ලිංගිකත්වය අත්‍යවශ්‍ය සාධකයක්. සැමියාටත් ඔබේ අපහසුතාවය ගැන වටහා දී ඉන්පසු ප්‍රතිකාර සඳහා යොමු වීමයි වැදගත් වන්නේ.

මේ තත්වය හදි හූනියමකට පවරා ඔබේ ජීවිතය අඳුරට හෙළා ගන්නට එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles