අනෝරා මල් වැහි 11

වාහනය පණ ගැන්වෙන්නේ නැත. අදාල ස්විචය එබූ පසු මදක් පණ ගැන්වෙන කාරය අනතුරුව ඉබේම නිවී යයි.

මෙවන් දෙයක් කලින්වතාවක සිදු වී නැත. එබැවින්ම කල යුත්තේ කුමක්ද කියා සිතාගන්නට තාරාට හැකි වූයේ නැත. අමතන්නා කිසිවෙකු උන්නේද නැත. තවමත් විදේශයක හිඳින චිරායුට මෙබවක් පැවසීම තේරුම් නැති දෙයකි.

තාරා බියපත් වූවා නොවේ. එනමුත් සිත සසැලෙමින් තිබූ බව ඇත්තකි. අඳුර සෙමෙන් සෙමෙන් විත් පරිසරය තුරුලුකරගනිමින් උනි. ඒ අන්දකාරය මැද වාහනය පණ ගැන්වෙන්නේද නැතුව තාරා උන්නේ කරකියාගන්නට දෙයක් නොමැතිව.

“මම ඔෆිස් ඇරිල ගෙදර යන්නෙ නැතුව මේ කැෆේ එකක් අස්සෙ රිංගන්න ආවයින් නෙ මේක උනේ” කියා තාරාගේ සිතුවිලි තිබුනේ තමාටම බැනගනිමිනි.දැන් දැන් තමා කාර්‍යාල වේලාවෙන්පසුව වයිබ්ස් කැෆේ හෝ වෙනත් තැන්වලට යමින් කාලය ගතකරන්නට කටයුතු කරන බව තාරා දැන උන්නාය. එය තවමත් තමාගේ සිත චකිතයකින් පුරවාලන්නක් වුවද එයම මෙතෙක් දිනක් කලබලයෙන් පිරි තිබුන සිතක් නිවාලන්නට හේතුවක් ද වී ඇති බව තේරුම් ගත්තාය. 

“මොකක් හරි ඉශු එකක් ද මැඩම්?”

කියමින් එහි ආවේ වයිබ්ස් කැෆේ හි තාරාට හුරුපුරුදු එක් වේටර්වරයෙකි. දැන් සති කිහිපයක්ම මෙහි ආ මේ කාන්තාව මෙහි කාර්‍යමණ්ඩලයට නුපුරුදු නැත. 

“අනේ මගේ කාර් එක ස්ටාට් වෙන්නෙ නෑනෙ”

“ඕකේ, මැඩම්ට ගැටලුවක් නැත්තම් අපි ටිකක් බලන්නද මැඩම්?”

“අනේ ඔව්, ප්ලීස්. මම ස්ටාට් කරන්න ස්විච් එක ප්‍රෙස් කරාම ස්ටාට් වෙනව ඒත් ඉමීඩියට්ලි ඕෆ්වෙනව”

වේටර්වරයාට පසුපසින් එන්නට කියා තාරා ඉස්සර වී යද්දී එසේ පැවසුවාය. කල යුත්තේ කුමක් ද කියා සිතා ගන්නට නොහැකි තැන තාර වේටර්වරයාට කාරයට නැගී සිදු වී ඇත්තෙ කුමක්දැයි පිරික්සන්නට ඉඩ දුන්නාය. කාරයට නැගි වේටර්වරයා එය පණගන්වන්නට උත්සහ කරද මොහොතකට පමණක්පණ ගැන්වුණු කාරය නැවත වතාවක් නිහඬ විය. 

“ස්ටාට් වෙන්න් නෑ නේද?”

“මම හිතන්නෙ මැඩම් බැටරි එකේ ඉශූ එක තියෙන්නෙ. මැඩම් ලඟ එක්ස්ට්‍රා බැටරි එකක් තියෙනවද?”

“නෑනෙ. මම දන්න විදියට ග්ලෝබල් බැටරි කියල ශොප් එකකින්තමයි කලින් වතාවෙ එහෙම උනාම බැටරි එක රිප්ලේස් කරල දුන්නෙ. එයාලට කෝල් කරල බැලුවොතින් එයාල ඒවි නේද?” 

කියනින් තාරා දුරකතනයේ ගූගල් යෙදවුමෙන් ග්ලොබල් බැටරි ශොප් හි දුරකතන අංකය සොයාගත්තාය. එනමුත් දුරකතනය එහාපසින් නාද වෙනවා පමණකි. කිසිවෙකුත් එහාපසින් ඇමතුමට සම්බන්ධ වූයේ නැත. 

කල යුත්තේ කුමක්ද කියා අදහසක් තාරාට තිබුනේ නැත. අනෙක් අතර අහස තිබුනේ වැස්සකට අර අදිමිනි. මේ අනෝරා වැහි වැටෙන කාලයකි. එවන් කාලයකය වාහනයක් නොමැතිව නිවස බලා යාම කොපමන අපහසුවක්ද කියා කියන්නට අමුතුවෙන් උවමනා නැත.

“මැඩම් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න.මම බලන්නම් අපේස්ටාෆ් එකේ අඳුරන කෙනෙක්ට හරි උදව්වක් කරන්න පුලුවන්ද කියල?” කියා වේටර්වරයා අවන්හල ඇතුලේ නොපෙනී ගියාය. අසුන් ගන්නට සිතක් නොතිබූ තාරා අවන්හලේ උඳු පියලිය ගොන්න පසුකර විත් සිමෙන්ති පඩියක් උඩට නැග්ගාය. දුරකතනය අතේ තබාගෙන එහෙටත් මෙහෙටත් ඇවිද්දාය. ග්ලෝබල් බැටරි ශොප් හි දුරකතනය ඇමතුවාය. පිලිතුරක් නොමැති තැන කලබල වූවාය.

“හෙලෝ මැඩම් තාම ගියේ නැද්ද?”

සිමෙන්ති පඩිපෙල දිගේ එහෙටත් මෙහෙටත් ඇවිදමින් හුන් තාරා ගේ ගමන නැවතුනේ ඒ හඬටය.

මහිල් ගොඩකන්ද

ඔව් ඒ ඔහුය.

සුපුරුදු නිසංසල දෙනෙතත්, දෙනෙත් කරාවිහිදුණු සිනහවත් සමග තමා දෙසම බලා හිඳින මහිල්‍ ය.

“ඔව් මේ කාර් එක ස්ටාට් වෙන්නෙ නෑනෙ” තාරා තෙපලුවේ මද පසුබෑමකිනි. තමා මේ බව මේ පුද්ගලයා සමග බෙදා හදා ගත යුතුද යන කුතුහලය තාරාට දැනුන මුත් වචන ඉක්මන් විය. අනෙක් අතට අවන්හලේ වේටර්වරයා ලඟ නොදැනුනු ආගන්තුක බවත් දින කිහිපයක්ම මුණ ගැහී කතාබස් කල මේ පුද්ගලයා ලගඳී දැනෙන්නේ ඇයිද කියා තාරා සිතුවාය. 

“කවුරුහරි බැලුවද මැඩම්? නැත්තම් මම බලන්නද මොකද වෙලා තියෙන්නෙ කියල?”

“අනේ නෑ අර වේටර් බෝයි කෙනෙක් බැලුවා. මම හිතන්නෙ බැටරි එකේ අවුල තියෙන්නෙකිව යුත්තේ කුමක්ද කියා තාරාට සිතාගන්නට අපහසුය. ඔහු ”

“ස්පෙයාර් බැටරි එකක් තියෙනවද මැඩම්?”

“නැහැනෙ. මම ඒ බැටරි ශොප් එකට කෝල් කරල බැලුවා. එයාලාත් කෝල් එකට ආන්ස්වර් කරන්නෙ නෑ”

“වැස්ස නිසා ද දන්නෙ නෑ” කියමින් මහිල් මහ හයියෙන් ගර්ජනා කරමින් වැසි ඇද හැලෙන අඳුරු ආකාසය දෙස බැලුවේය. මේ මහ වැස්සේ බැටරිය රිප්ලේස් කරනු පිණිස කෙනෙක්ට එන්නට තියා එලියට අඩියක් තියන්නට බැරි තරම් මහ වැස්සය.

“ඒක තමයි. එහෙම උනොත් මොකද කරන්නෙ?” තාරා උන්නේ කරකියාගන්නට දෙයක් නැතුවය. බැටරිය රිප්ලේස් කරගන්නට බැරි උනොතින් වාහනය අද මෙහි දමා යන්නට සිදු වේ. එය කරන්නට අපහසු දෙයක් නොඋනමුත් මේමහ වැසි මැද නිවස බලා යන්නට කුලී රියක්වත් හොයාගන්නට අපහසු බව අමුතුවෙන් කිය යුතු නොවේ.

ඒ නිහඬව ගෙවුණු මොහොත බිඳ දමන්නට මෙන් වැසි බිඳු මහ හයියෙන් බිම ඇද හැලේ. ඒ ඇද හැලෙන වැස්සට සමානුපාතිකවම වැස්සක් හිත ඇතුලත් ඇද හැලේ. මෙවන් මහ වැසි ඇද හැලෙන රැයකම වාහනය මෙසේ අඩපණ වීම දෛවෝපගත බවත් ඒ දෛවෝපගත නිමේශයේදි තමා පසෙකින් හිඳින්නට කෙනෙකු නොමැති බවත් දැනෙද්දි තමා කොතරම් අසරණද කියා තාරා සිතුවාය.

චිරායුට මෙබව පවසා තේරුමක්ද නැත. ඔහු ඉන්නේ පැමිණිය හැකි දුරකද නොවේ. අනෙක් අතට ලංකාවේ උන්නද චිරායු වනාහී “ඕකටත් දැන් මං එන්න ඕනද? බබෙක් වෙන්න එපා තාරා. පික් මී එකක් දාගෙන එන්න” කියනා අන්දමේ මිනිසෙක් බව තාරා නොදන්නවා නොවේ.

“මැඩම් අද කාර් එක මෙහෙ තියල යන්න තමයි නේද වෙන්නෙ? මම හිතන්නෙ නෑ මේ වැස්සෙ බැටරි ශොප් එකෙන් උනත් ඒවි කියල”

එහි ආ වේටර්වරයා පවසයි. ඔහු පිටුපසින් සිටගෙන සිටින මැනේජර්වරයාද එයට එකඟ වන අයුරින් හිස උඩ පහල හෙලයි.

“ඔව්. මැඩම් කා එක මෙහෙ තියල යන්න. බයවෙන්න එපා. මුකුත් ඉශූ එකක් වෙන්නෙ නෑ” මැනේජර් වරයා පවසයි.

කල හැකි වෙන යම් දෙයක් සිහිපත් නොවු නිසාවෙන් තාරා දුරකතනයේ පික් මී යෙදවුම ගෙන නිවස බලා යන්නට කුලී රියක් සෙව්වාය. බොහෝ වේලා ගත වන තුරුත් කිසිත් කුලී රියක් ඇයගේ ඇරයුම භාරගත්තේ නැත. වැහි හිරිකඩ වැදී තෙත බරිත සිමෙන්ති පඩිය දිගේ එහෙ මෙහෙ ඇවිදිමින් හිඳින තාරාව අවන්හල ඇතුලේ පුටුවක අසුන් ගන්වා උණුසුම් තේ කෝප්පයක් වක් කර දෙන්නට එහි කාර්‍ය මණ්ඩලය මැදිහත් වූහ. තේ කෝප්පය අවසන් වෙද්දී වැසි අන්දකාරයට මුසු වූ රාත්‍රී අන්දකාරය බියක් මෙන්ම තනිකමක් සිත ඇතුලට ගෙන ආවේ නැතැයි කියන්නට නොහැක. 

“මැඩම්ට තාම යන්න වෙහිකල් එකක් ලැබුනෙ නැද්ද?”

අවන්හල වහන්නට ඔන්න මෙන්න කියා තිබියදී වේටර්වරයා එහි ඇවිත් ඇසුවේය. තාරා හිස දෙපසට වැනුවේ නැතැයි කියන්නට මෙනි.

“අපේ බෑන්ඩ් එකේ සින්ග් කරන බෝයිස්ල දෙන්නෙක් යනව දැන් එලියට. මැඩම්ට ඕන නම් එයාලා එක්කම වෙහිකල් එකේ යන්න පුලුවන් මැඩම්. ඉෆ් ඉට්ස් නොට් ඇන් ඉශූ”

වේටර්වරයාගේ වදන් අවසන් වෙද්දි එහී ආවේ මහිලුත් ඔහුගේම තවත් මිතුරෙක්‍ ය. වෙන යම් මොහොතක වූවා නම්, වැස්ස නොමැත් වූවා නම් පයින් හෝ ඩි සේරම් පාරට යන්න තාරා දෙපාරක් හිතන්නෙ නැති නමුත් මේ මහ වැස්සේ අඩිඋස සෙරෙප්පු දමාගෙන ලැප්ටොප් යන්ත්‍රය ආදිය සහිත අත් බෑගය උස්සාගෙන යෑමක් ගැන සිතීමත් අපහසුය. 

එහෙත් නාඳුනන පිරිමි ලමුන් දෙදෙනෙකු සමග එක වාහනයක යෑම කල හැක්කක්ද? එහෙත් මේ වෙලාවේ කරන්නට වෙන දෙයක්තිබේද?

තාරාට එහා පසින් ඒ වාහනයේ පිටිපස අසුනේ වාඩි උනේ මහිල්‍ ය. ඉදිරිපස අසුනේ රියදුරු අසුනේ ආවන්හලේ තවත් එක් සේවකයෙකුත්, අනෙක් අසුනේ තවත් පුද්ගලයෙකුත් අසුන් ගෙන උන්හ. සිත බිය නොවුනා යැයි කියන්නට නොහැක. මේ වාහනයේ නැගී එන්නේ නැතුව අමන්දාට හෝ කතා කරන්නට තිබුන බව තාරා සිතුවාය.

අන්දකාරයෙන් වැසී ගිය මහ පාරෙන් අතුරු පාරකට හරවද්දි දැනුන බිය කොතෙක්ද කියා තාරාට වචනයෙන් කියන්නට නොහැක. අතුරු පාරක් අසලින් වාහනයේ රියදුරු අසුනට එහාපසින් ඉඳගෙන් උන් තරුණයා බස්සවා යලි පන ගැන්වුන රිය ඉදිරියට ඇදුනේ තාරාගේ නිවස ඇති ඉසව්ව ගැන අසාගෙනය. 

“ඩි සේරම් පාරට”

ඩි සේරම් පාර තිබුනේත් පුදුමාකර අඳුරකත් නිහඬතාවයකත් ගිලීය. ඒ නිහඬතාවය මදක් හෝ ගිලිහුනේ වැසි වැටෙද්දි ඇසෙන හඬකින් පමණි. අන්දකාරයෙන් පිරී තිබුන නිවස අසල වාහනය නැවතූ පසු තාරා බහින්නර සැරසුනද මහිල් එය නැවතුවාය.

“ඉන්න මැඩම්. අයියෙ කුඩයක් හෙම නැද්ද?”

“තියෙනව මල්ලි පිටිපස්සෙ ඩිකියෙ”

“හරි මැඩම් ඉන්න, මම ටක්ගාලා කුඩේ අරගෙන ඔය පැත්තෙන් එන්නම්” කියා මහිල් බහිද්දී “ඔයා තෙමෙනව නේද ඒත්? යන වදන් තාරාගෙ මුවින් නික්මෙන්නට මග බලමින් උන්නාය. එහෙත් නික්මුනේ නැත. බාගෙට ඇර තිබූ වාහනයේ දොරින් ඇතුලට ආ සීතල වැහි හුලඟක් තාරාගේ ගතත් සිතත් ගල් කරවා තිබුනි. 

කුඩය ඉහලාගෙන එහා පසින් ආ මහිල් තාරා ව කුඩය යටින් නිවස වෙත ගෙන ගියාය. දෝරෙ ගලායන වැහි වතුර දෙපා දොවාගෙන සීතලට ගලා යද්දිත් වැහි හිරිකඩ සිරුර සිඹිද්දිත් තාරා තව තවත් ගල් ගැහුණාය.

දෙමහල් නිවස තිබුනේ අන්දකාරයෙන් වැසීය. 

“මැඩම් ගෙට ගිහිල්ල ලයිට්ස් දාගන්න. මම ඊට පස්සෙ යන්නම්”

ඒ වදන්වල තැවරී තිබුනේ මිනිසත්කම ද?

තාරා ඇසුවේ තමන්ගෙන්මය.

නිවස තුලට ගොස් විදුලිපහන් දල්වා නිවසේ දොර වසා උඩු මහලට ආ තාරා කාමරයේ ජනේලයෙන් තම නිවස අසලින් නික්ම යන මහිල් රැගත් වාහනය දෙස බලාගෙන උන්නාය.

නොදන්නා හැඟීම් රැසක් හිත අස්සේ පොරකන බව පමණක් තාරාට දැනුනාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles