“මගේ බෝයි ෆ්රෙන්ඩ් කියනවා මම වයස පාටයි කියල. එයා හරිම ලස්සනයි. සුදුයි. මම එහෙම නිලියක් වගේ ලස්සන එක්කෙනෙක් නොවුනට මම ලස්සනට ඇඳල කරල ඉන්නාව. ඒ උනාට එයා හැමතිස්සෙම මට කියනවා මම හරිම නාකි පාටයි ආච්චියෙක් වගේ කියලා. අනේ මට හිත හදාගන්න දෙයක් කියන්නකො
එයා ඒව කියන්නෙ ආදරේටද?”
තමන් ඉන්න කාන්තා සමූහයක පලවෙච්ච මේ කතාව දැක්කම සාරධාගෙ හිත එකපාරටම හෙල්ලිලා ගියා. මේ වගේ දේවල් දැක්කම අතීතෙ අමතක වෙන එක නතර කරන්න බෑ මොන තරම් උත්සහ කරත්.
සාරධා කසාද බැන්දෙ කැම්පස් එකේදිම යාලුවෙච්ච නිසල්ව. තර්ඩ් ශයි එකෙන් කැම්පස් එකක ආට් ඩිග්රි එකකට ගිය සාරධා ෆස්ට් ඉයර් එකේදිම යාලු වුනේ එතකොට සෙකන්ඩ් ඉයර් උන්නු නිසල්ව. කැම්පස් එකේ එකට මල් බකට් එක විඳල, අන්තිම අවුරුද්ද වෙනකම්ම දෙන්න රණ්ඩු වෙවී යාලු වෙවී කාලෙ ගෙව්වා ඉතින්.
කොහොමහරි කැම්පස් එකෙන් නිසල් අයින් වෙලා ඉක්මනට රස්සාවකට ගියා. ඊට අවුරුද්දකට පස්සෙ කැම්පස් එකෙන් අවුට් වෙච්ච සාරධාත් තමන්ගෙ ආට් ඩිග්රි එකෙන් රජයේ ආයතනයක රස්සාවකට බොහොම අමාරුවෙන් පැන ගත්තා.
එහෙමකට කියල සල්ලි භාගෙ නොතිබ්බට “දූගෙ දෑවැද්දට” කියල සාරධාගෙ තාත්ත අරන් දාලා තිබ්බ ගෙදර පදිංචි වෙන්න හිතාගෙන දෙන්නම ලස්සනට වෙඩින් එක ගත්තා.
දරුවෙක් හදන්න කලින් ස්තාවර වෙන්න ඕන කියල හිතුන නිසාමයි සාරධායි නිසලුයි දරුවෙක් හදන එක පස්සට දැම්මෙ. පුංචි රෙහාන්ව හම්බුවෙද්දි සාරධාට තිස් පහක්. ඒ වෙද්දි ඉඳපු ගෙදරට අමතරව, කුලියට දෙන්න පුලුවන් විදියට හදපු තට්ටු තුනේ බිල්ඩින් එකක් හදාගන්න නිසල්ටයි සාරධාටයි පුලුවන් වෙලා තිබුනා. ඒ හම්බෙච්ච සල්ලි වලින් ෆිනෑන්ස් කරලා වාහනයකුත් නිසල් අරගෙන තිබුන නිසා රෙහාන් පුංචි කාලෙ ඉඳල සැප පහසුවට ඉන්න ඇත්තටම පුලුවන් උනා.
ඒ වගේම මාස්ටර්ස් එකයි පෝස්ට් ග්රැජුවට් එකයි දෙකත් ටක් ටක්ගාලා ලඟ ලඟම ඉවරකරගන්න පුලුවන් වුන නිසා සාරධාට රස්සාවෙනුත් පඩි වැඩි කරල දීල තිබුණා.
ප්රශ්නෙ පටන් ගත්තෙ රෙහාන් ඉස්කෝලෙ යන්න ගත්තයින් පස්සෙ.
රෙහාන් ඉස්කෝලෙ යද්දි සාරධාට අවුරුදු හතලිහක් විතර. ඉස්කෝලෙ වැඩවලට යන්න සාරධා ඇන්දෙ කරේ ඔෆිස් එකට ඇඳපු සාරි හැට්ටම තමයි. අනික අවුරුදු ගාණක් කැම්පස් එකේ කැන්ටිමෙන් කාපු හන්ද කෙට්ටු වෙච්ච ඇඟයි, රජරට වතුරට ගිය කොණ්ඩෙයි එක්කල සාරධාට තිබ්බෙ හතලිහටත් වඩා වයසට ගිය පෙනුමක්.
රෙහාන්ගෙ ඉස්කෝලෙ යාලුවන්ගෙ අම්මල ගොඩක් අය අවුරුදු විසි තිස් ගණන්වල පොඩි කෙල්ලො. බෝනික්කො වගේ ලස්සනට සැරසිලා දරුවන්ව ඉස්කෝලෙට දාන්න එන මේ පොඩි කෙල්ලො අතරෙ තමන්ව එහෙමකට කියල නෝට් වෙන්නෙ නෑ කියල හිතන් හිටියට ඒ සිතුවිල්ල වෙනස් වුනේ රෙහාන් ගෙදර ඇවිල්ල කිව්ව කතාවකින්.
“අම්මි ආයෙ එන්න එපා ඉස්කෝලෙ ලඟට මාව ගන්න”
රෙහාන් මූණ ඇඹුල් කරගෙන එහෙම කියද්දි සාරධා ඇස් දෙක හීනි කරල බැලුවෙ මෙච්චර දවස් ආසාවෙන් තමන් එක්ක ඉස්කොලෙ ගිය පුතා එකපාර එහෙම කිව්වෙ ඇයි කියල හිතලා.
“ඇයි පුතු ඔයා එහෙම කිව්වෙ?” කියල ඇහුවට රෙහාන් සද්දයක් නෑ. රවුම් මූණ බිමට හරවගෙන ඉන්න රෙහාන්ගෙ ඇස් දෙකෙ පිරිච්ච කඳුලු බිංදු දෙකක් මදටිය ඇට වගේ බිමට වැටෙනවා දැක්ක සාරධා රෙහාන් ලඟ බිම දණ ගහලා හෙමින් සැරේ මූන උස්සල බැලුවා.
“ඇයි පුතේ?”
“කේශාන් කිව්ව මම ස්කූල් එන්නේ ආච්චි අම්මා කෙනෙක් එක්ක කියලා. අම්මා නාකිලු ආච්චි වගේ. ඊටපස්සෙ මිතුන් කිව්වා නාකි අය ඉක්මනට දිව්යලෝකෙ යනව, කියන්නෙ නැතුව තමයි යන්නෙ කියල. අම්මි ආයෙ එන්න එපා ස්කූල් එක ලඟට. අම්මි මාව ස්කූල් එක ලඟින් දාලා දිව්යලෝකෙ යාවි කියල මට බයයි”
කේශාන් කිව්ව කතාව රෙහාන්ගෙ හිතට කොච්චර දුරට බලපාලද කියල තේරිච්ච නිසාම සාරධා උන්නෙ හොඳටම කේන්තියෙන්. ඒත් මේ කේන්ති ගන්න මොහොතක් නෙවෙයි කියල තේරිච්ච හන්දව රෙහාන්ව තුරුල් කරගෙන හිත සනසපු සාරධා නිසල්ට ඔය කතාව කිව්වෙ රෑ නිදාගන්න ගියාම.
“ඔය දරුවන්ගෙ අම්මල ගෙදරදි කතා කරන ඒව තමයි දරුවො ඇවිල්ල කියන්නෙ ඉස්කෝලෙදි. අපිට ඉතින් ඕව වෙනස් කරන්න බෑ නෙ. ඔයා ඕනනම් ඒ බබාගෙ අම්මට කතාකරන්න මෙහෙම දේවල් කියන්න එපා කියල. අනික අවුරුදු හතලිහක මනුස්සයෙක්ට අවුරුදු විස්සක පෙනුමක් තියෙන්නෙ බෑ කියල එක මිනිස්සුන්ට තේරෙන්න ඕනනෙ සාරා.
හතලිහක් උනාට ඔයා තාම කොච්චර ලස්සනද? කොච්චර ෆිට් ද? මිනිස්සු කියන ඒව නිසා ඔයා අපි වෙනුවෙන් දරුවා වෙනුවෙන් කර දේවල් කරන දේවල් වල වෙනසක් කරන්න එපා” නිසල් කිව්වෙ සාරධාගෙ හිත හදන්න වගේ.
අවුරුදු හතලිහක් උනාට ඒ අවුරුදු හතලිහට මේ හැමදේම ගොඩනගන්න සාරධා මහන්සි වෙච්ච විදිය, දරුවෙක් හදන එක පරක්කු කලෙත් ඒ දරුවට දුකක් නොවිඳින්න හැමදේම ගොඩනගල තියාගන්න කියන එක නිසල්ට අමතක වුනේ නෑ. මේ හැමදෙයක්ම ගොඩනගන්න තමන්ගෙ ලඟින්ම උන්නු ගෑණිට මිනිස්සු එහෙම කියද්දි හිත රිදුණත් මිනිස්සුන්ව හදන්න අපිට බැරි බව දන්න හන්දමයි නිසල් සද්ද නැතුව උන්නෙ.
කේශාන් නිතරම ඔය කතාව කියන්න ගත්තයින් පස්සෙ රෙහාන් ඉස්කෝලෙ යන්න අදිමදි කරපු නිසාම සාරධා නිසල් එක්කම ගිහිල්ල කේශාන්ගෙ අම්මටයි ඉස්කෝලෙ ටීචටයි කතාකරා. ඒ ප්රශ්නෙ එහෙම විසඳෙන්න නිසල් තමන්ගෙ ලඟින්ම උන්නු එක කොච්චර හයියක් උනාද කියල සාරධාට මතක් උනේ කාන්තා ගෘප් එකක ගිය මේ ප්රශ්නෙ දකිද්දි.
තමන් ඔය වගේ කතා වලට ෆේස් කල විදිය මේ නංගිට කියන්නම ඕන කියල හිතලම තමයි සාරධා කමෙන්ට් එක ලියන්න පටන් ගත්තෙ.
“අපි එක එක මනුස්සයට ලැබිල තියෙන පෙනුම එක සමාන නෑනෙ. මිනිස්සු එකිනෙකට වෙනස්. හැබැයි ඒ වෙනස්කම් තමයි අපිව තවත් ලස්සන කරන්නෙ.ඉතින් කවුරු මොන දේ කිව්වත් ඔයා ඔයාව විශ්වාස කරන්න, ලස්සනට අඳින්න, හිනාවෙලා ඉන්න. වෙන කෙනෙක්ට ඉඩක් තියන්න එපා ඔයාගෙ හිත රිද්දන්න.
බැඳීම් තියෙන්න ඕන නංගි හිත් රිද්දන්න නෙවෙයි, හිත නිවන්න.
ආදරේට කරන්න පුලුවන් වටිනම දේ දාහක් ප්රශ්න නිසා තැවෙන හිතක් නිවන එක”