අසේකා පණ්ඩිතරත්න කස්සප බොතේජු සමඟින් පෝරුවට නැග්ගාය. සති තුනක් ඇතුලත සියල්ල අවසන් විය.
ඉතින් , අසේකා පණ්ඩිතරත්න වෛවාහික ස්ත්‍රියක වූවාය. නන්නාඳුනන පිරිමියෙකු හා බැඳුණාය. දන්නා සුන්දරම පිරිමියාට ද්‍රෝහි වූවාය.
මේ කතාව මුලම මම ඔබට කීවෙමි. මා චපල ස්ත්‍රියකැයි සිතන්නට ඔබට ඉඩ ඇති බව. දැන් මම ඔබෙන් විමසමි? සැබැවින්ම මගේ අසරණ කම ඔබ චපල ද්‍රෝහි වීමක් ලෙසින් අර්ථ දක්වන්නේද ?
ඔබට මා දැනෙන්නේ කෙලෙසද ?
~ ~ ~ වර්තමානය ~ ~~
මට ඇහැරෙන විට මහේල මට පෙනෙන මානයේ වූ අසුනක නිදි කිරා වැටෙමින් උන්නේය. මම යහනෙන් බැස්සෙමි. මගේ චලනය දැනී මෙන් මහේල හිස එසෙව්වේය.
” ඔහොම ඉන්න ඔහොම ඉන්න …”
ඔහු වහා මා අල්ලා ගත්තේය.
” හිතුවක්කාර ගෑණි …”
ඔහු මට ගුගුලේය. මම ඒ ගිගිරුම ගනනකට නොගත්තෙමි. එහෙමම හිටගෙන දෑස් පියාගෙන මට කුමක් වීදැයි කල්පනා කලෙමි. සැනින් මහා ගින්නක් මා දවාලමින් පැන නැග්ගේය. අසේකා පන්ඩිතරත්න කිසිවෙකු හෝ නැතිව තනි වූ අයෙකු බව සැනින් සිහියට ආවේය.
තාත්තා යැයි සිතා උන්නේ වඩා දයාර්ද්‍ර මිනිසෙකුට බව සිහි විය. නිරපරාදේ වසර ගාණක් ඒ මිනිසාට වෛර කරමින් පුරවා ගත් පවු සිහි විය.
මම මහේල දෙස බැලුවෙමි. ඔහු මා යමක් විමසන්නට සූදානම් වන වග වටහාගෙන මෙන් ඉවත බැලුවේය.
” මම තාත්තාගේ ළමයෙක් නෙවෙයි ද ?”
මහේල මා දෙස නොබලා සිටියදීම මම ඇසුවෙමි . මහේල එය ගණනකට හො නොගට් බවද දුටුවෙමි. බොහෝ විට මා නින්දේ උන් අතරේ ඒ පිළිබඳව කතා බස් කරන්නට ඇත.
” මං ඔයාගෙන් අහන්නෙ ?”
මම උස් හඬින් කෑ ගැසුවෙමි. මගේ දෙවුරෙන් අල්ලා මහේල මා පුටුවක හිඳුවා ලූවේය. නිල්මිණි නැන්දා කාමරයට එනු මම දුටුවේ එලෙස හිඳගන්නා අතරය. තාත්තා ද ඒ පසුපස විය.
” පුතේ.. අසේකා…”
නැන්දා යමක් පවසන්නට උත්සාහ කලාය. එහෙත් මට කිසිවක් උදෙසා පැහැදිලි කිරීම් අවැසි වූයේ නැත. දැන් සත්‍ය කුමක්දැයි මම දනිමි. මේ උත්සාහ කරන්නේ එය සත්‍ය නොවේයැයි විමසා ගැනීමේ අසාර්ථක උත්සාහයක් වෙනුවෙනි.
” ඔයා කිව්වනේ දැන් ? ආයේ මුකුත් කියන්නෙපා …”
මම ඇයට රිදෙන හඬකින් කීවෙමි. තාත්තා මහේල පසු කර විත් මා අසල ඉඳ ගත්තේය. මම ඔහු දෙස බැලුවෙමි. තාත්තා සහ මම මෙතරම් ලඟින් හිඳගෙන සිටින්නේ ජීවිතයෙ පලමු වතාවටදෝයි මට සිතුණි. එහෙත්, ජීවිතයේ පලමු වතාවට තාත්තා අතිශය දුරස්ව ගොස් ඇති බවද මට දැනුණි. වචන නිසා කෙතරම් නම් වෙනසක් තත්පර ගණනක් තුළ සිදුවේද ?
” පුතේ …. නැන්දා එක්ක තරහ ගන්න එපා …. මේක ඔයාට කවදාවත් කියන්න උන්න කතාවක් නෙවෙයි මම .. ඒ උනත්, දැන් ඔයා මේ කතාව දැනගන්න පුතේ ….
ඔයාගේ අම්මයි මායි සාමාන්‍ය පෙළ පන්ති වල ඉඳලම දන්න කියන අය… උසස්පෙළ පන්ති වලදි අපි දෙන්නට දෙන්නා ආදරේ කියාගත්තා …. අපේ ගෙවල් වල අය පවා ඒ ගැන අහුකොන් දැනන් උන්නා. ඒත් අකමැත්තක් තිබුනේ නැහැ…
ඒ හින්දාම අපි හරි සැහැල්ලුවෙන් ජීවත් උනේ … අම්මා කැම්පස් ගියා … මම බිස්නස් වලට එකතු උනා… ඒ අතරේ අපේ මාමලා එකතු වෙලා මට ඇමරිකාවේ ඉගෙන යන්න ලෑස්ති කලා… අම්මා කොච්චරවත් කැමති උනේ නෑ ඒකට … ඒත් අවසානේදි අම්මව කැමති කරන් මම ගියා ..
ඒ ගිහින් ටික කාලයක් යනකොට අම්මා වෙනස්වුනා.. මාව ගනන් නොගන්න බව තේරුනා… එහෙදී තිබුණ ජීවිතේ එක්ක මට ඒ තනිකම ලොකුවටම දැනුණා..
මම මෙහෙ යාලුවෙක් ලවා හොයලා බැලුවම අම්මා කැම්පස් එකේ කොල්ලෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා ආරංචියක් ආවා.. ඌ මට සාක්ෂි ත් එව්වා.. මම ඒක පිට දාලා අම්මගෙන් අයින් වුනා… අම්මාත් ලොකුවට උත්සාහ කලේ නැහැ මාත් එක්ක ඉන්න …
එහෙදි මට මෙයාව හම්බුනේ ..”
පණ්ඩිතරත්න මහතා නැන්දා පෙන්වූවාය. මම ඇය දෙස බැලුවෙමි. ඇය සිටින්නේ හැඬීමෙන් විඩාබරවය.
” ඊට පස්සේ අපි ලංකාවට ආවා … මං බිස්නස් පටන් ගත්තා… අම්මට ගුරු පත්වීමක් ලැබිලා තිබුණා.. ඒත් අර කොල්ලා ඒකට අකමැති වෙලා… අම්මා රස්සාව බාර ගෙන තිබුනේ නෑ..
ඒ අතරේ මෙයා ගැන මම ගෙදර ට කිව්වා… ප්‍රශ්නයක් තිබුනේ නෑ.. අපි බඳින්න ලෑස්ති වෙලා හිටියේ …..
ඒත් වෙඩින් එකට මාස දෙක තුනකට කලින් ඔයාගේ අම්මා එක පාරටම මාව හොයාගෙන ආවා.. එයා ප්‍රෙග්නන්ට් කිව්වා .. ඒ කොල්ලා විවාහයක් වෙනුවෙන් සූදානම් නැති බව කිව්වා… අම්මා මැරෙනවා කිව්වා…
එයා ඉල්ලුවේ හැමදේම අමතක කරලා එයාව බඳින්න කියලා .. එයාගේ අම්මලාත් සිද්දිය දැනගත්තා … අපේ අම්මලත් … පවුල් දෙකම එකතු වෙලා මගේ කැමැත්තක් කරන්න ඉඩ දුන්නා …
මම ඔයාගේ අම්මව බැන්දා … මෙයා හැමදේම දාල රට ගියා …. අම්මාට මගෙන් කිසිම අඩුවක් වුනේ නෑ.. ඒත් ඉස්සර තරමින් ආදරේ කරන්න මට පුළුවන් වුනේ නැහැ. අයියා ලැබුනට පස්සේ මම පවුලක් විදියට ජීවත් වෙන්න සෑහෙන උත්සාහ කලා කොහොමහරි ….
ඒ අතරේ. මෙයා මට කතා නොකර සෑහෙන කල් හිටියා.. මම කොයි තරම් උත්සාහ කලත් මට කතා කරන්න උනේ නැහැ …
ටික කාලයක් යනකොට ඔයාලගෙ අම්මාගේ තව සම්බන්ධතාවයක් අහු උනා මට…
අම්මා පිළිගත්තේම නැහැ… ඒත් අන්තිමේදි අතටම අහු උනා …
මම අම්මට එතනදීත් අවස්ථාවක් දුන්නා.. මොකද, අයියාට එතකොට මාව නැතුවම බෑ.. ඒ තරමට ආදරෙයි මට ….
පස්සේ අවුරුදු හයකින්, ඔයා ලැබෙන්න ඉන්නවා කියලා අම්මා මට කිව්වා.. මං එතැනින් එහාට ඉවසන්නේ නැතුව ඉන්න තීරණය කලා… මගේ ජීවිතේ එච්චර කැපකරන්න මට ඕනි උන් නැහැ.. ඒත් මගෙන් සමාව ඉල්ලා ඉල්ලා ඇඬුවා ඔයාලගේ අම්මා … වහ කාලා තුන්දෙනාම මැරෙන්නම් කිව්වා .. ආයේ ජීවිතේ කවදාවත් වංචා කරන්නේ නෑ කිව්වා..
ඒත් ඔයාගේ තාත්තා කවුද කියන එක කිව්වේ නැහැ.. මුලදී ඒ ගැන දැනගන්න උවමනා වුනත් , පස්සේ මම ඒ අදහස අතෑරිය …”
පණ්ඩිතරත්න මහතා .., නැත තාත්තා … දිග සුසුමක් හෙලුවේය. මට ඒ සුසුමේ බර දැනුනි.
මහේල අරන්දර මගේ අතක් ඉතා තදින් අල්ලා උන්නේය.
| අපේක්ෂා ගුණරත්න |