දරුවාට පාසලක් හොයා දෙන විට මේවා ගැනත් හිතුවා ද?

දරුවෙක් පාසලකට ඇතුළත් කිරීම අද කාලෙ දෙමව්පියන්ට තියෙන බරපතළ අභියෝගයක්. ඒ අභියෝගය සාර්ථකව ජයගන්න අය වගේ ම තමන් බලාපොරොත්තු වෙන පාසලට දරුවා ඇතුළත් කරගන්න අපහසු වීම නිසා පසුතැවෙන දෙමව්පියන් විශාල පිරිසකුත් ඉන්නවා. දරුවන් ඇතුළත් කරන්න දැන් පාසල් වර්ග කිහිපයක් ම තියෙනවා. ජාත්‍යන්තර පාසල්, අර්ධ රාජ්‍ය පාසල් සහ රජයේ පාසල් යන කවර වර්ගයේ පාසලකට වුණත් ‍අද කාලයේ දරුවන්  ඇතුළත් කරගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

හොයන්නේ ජාත්‍යන්තර පාසලක් ද?

ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී දෙම්ව්පියන්ගේ ආර්ථික පසුබිම විශාල වශයෙන් යහපත් මට්ටමක පැවතීම අනිවාර්ය සුදුසුකමක්. ලංකාවේ සමහර ජාත්‍යන්තර පාසල්වලට අයදුම් කළ පසුව දෙමව්පියන් මුලින්ම හමුවිය යුත්තේ එම පාසලේ විදුහල්පතිවරයා ‍වෙනුවට ගණකාධිකාරීවරයායි. පවුලේ ආදායම් තත්වය, දෙමව්පියන්ගේ රැකියා පසුබිම ආදිය ඔවුන් අපේක්ෂා කරන සීමාවෙහි නොපැවතුණොත් විදුහල්පතිවරයා හමුවන්නටත් පෙර ම ඔවුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වනවා. එපමණක් නොවෙයි, බොහෝ ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ දී එම ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉදිරි වර්ෂය වෙනුවෙන් නම් ඊට පෙර වසරේ මුල සිට ම ඒ සඳහා අයදුම් කර සම්මුඛ පරීක්ෂණවලින් සමත් වී සිටිය යුතු වෙනවා.

ගාස්තු ලෑස්ති කරගන්න

ඒ වගේ ම ඔබේ දරුවා පාසල් යැවීමට නියමිත වර්ෂයට වසර දෙකකටවත් පෙර සිට ම ඒ සඳහා පෙර සූදානමක් තබාගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඊට හේතු දෙකක් තියෙනවා. එක් හේතුවක් වන්නේ අදාළ ජාත්‍යන්තර පාසල විසින් අය කරගන්නා ඇතුළත් වීමේ ගාස්තුව ( මේ වනවිට එය සාමාන්‍යයෙන් ලක්ෂ 4ක් හෝ ඊට අධික විය හැකියි) ඔබ විසින් සූදානම් කර සිටිය යුතු වීමයි. එමෙන් ම සම්මුඛ පරීක්ෂණවල දී දරුවන්ගේ දැනුම් මට්ටම ද විශේෂයෙන් පරීක්ෂා කර බලන නිසා ඔවුන් ඒ සඳහා සූදානම් කරවීමත් අත්‍යවශ්‍ය වනවා.

ජාත්‍යන්තර පාසල්වල කළමනාකරණ පටිපාටිය රජයේ පාසල්වලට  වඩා වෙනස් වූවක්. සමහර පාසල්වල මුදල් එකතු කිරීම් අධික වුවත් ඊට සරිලන මට්ටමට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සලසා දෙන්නේ නැහැ. බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ නිසා හෝ, අධික මුදලක් අය කරන නිසා හෝ ඉතා අලංකාර නාම පුවරු සවි කර තිබෙන නිසා හෝ දරුවා අසීරුවෙන් හෝ එවැනි පාසලකට ඇතුළත් කිරීම කිසිසේත් යහපත් වන්නේ නැහැ. කෙසේ වෙතත් රජයේ පාසල්වලට වඩා බොහෝ ජාත්‍යන්තර පාසල්වල පහසුකම් වැඩිබව පිළිගන්නට සිදුවන සත්‍යයක්. ඒ වගේ ම දරුවන්ට උගන්වන විෂය මාලාවන් පවා ඒ ඒ පාසල්වලට සුවිශේෂ වන එහෙත් ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා ක්‍රමවේද අනුව සකස් වූ ඒවා වීමත් තවත් විශේෂත්වයක්. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට මුල සිටම දරුවා හුරුවීම තුළ ගොඩනැ‍ඟෙන පෞර්ෂය ද බොහෝ දෙමව්පියන් මේ සඳහා දරුවා ඇතුළත් කරගැනීමට වෙහෙස වීමට හේතුවක්. කෙසේ වෙතත් ඇතැම් ජාත්‍යන්තර පාසල්වල ඉගැන්වීමේ සුදුසුකම් සහිත පළපුරුදු ගුරුවරුන් නොසිටින බවටත් තොරතුරු තිබෙනවා. දරුවා ඇතුළත් කිරීමට පෙර ඒ පිළිබඳවත් තහවුරු කරගැනීම දෙමව්පියන්ගේ වගකීමක්.

අර්ධ රාජ්‍ය පාසල් ක්‍රියාත්මක වෙන්නෙ කොහොම ද?

බොහෝ අර්ධ රාජ්‍ය පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමත් ජාත්‍යන්තර පාසල්වලට මෙන්ම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඔබේ දරුවන් අර්ධ රාජ්‍ය පාසලකට ඇතුළත් කිරීමට අපේක්ෂා කරනවා නම් එහිදීත් ඔබ සැලකිය යුතු මුදලක් සූදානම් කරගැනීම අත්‍යවශ්‍ය වනවා. එමෙන් ම ඇතුළත් කිරීමේ වර්ෂයට වසරකට පෙර සිටම ඒ සඳහා අයදුම් කර ඇතුළත් වීමේ සුදුසුකම් සම්පූර්ණ කර සිටිය යුතු වනවා. කෙසේ වෙතත් මෙම පාසල්වල ක්‍රියාත්මක වන්නේ රජයේ පාසල්වල ක්‍රියාත්මක වන විෂය නිර්දේශයයි. එහෙත් ගුරුවරුන් සහ කළමනාකාරීත්වය රජයේ පාසල්වලට වඩා වෙනස් වනවා. ඔබ මතක තබාගත යුතුම කරුණක් වන්නේ අර්ධ රාජ්‍ය පාසල් රජයේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන බවයි.

මිශ්‍ර ද, බාලක ද, බාලිකා ද,

රජයේ පාසල්වලට දරුවන් ඇතුළත්  කිරීමේ දී දරුවා මිශ්‍ර පාසලකට ඇතුළත් කරනවා ද, එසේත් නැතහොත් බාලිකා පාසලකට හෝ පිරිමි පාසලකට ද යන්න පළමුව තහවුරු කරගත යුතුයි. එමෙන්ම ලංකාවේ පාසල් 357ක් මේ වනවිට මධ්‍යම රජය යටතේ සෘජුව පාලනය වන ජාතික පාසල් ලෙස හඳුන්වන අතර පාසල් 9500කට අධික ප්‍රමාණයක් පාලනය වන්නේ පළාත් සභා මගිනුයි. මේ නිසා ඔබ දරුවා ඇතුළත් කරන්නේ ජාතික පාසලකට ද පළාත් පාසලකට ද යන්නත් මෙහි දී මුලින් ම නිශ්චය කරගත යුතුයි.

චක්‍රලේඛ පිළිපදින්න

දරුවා ඇතුළත් කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එහි ඇතුළත් තොරතුරු ඉතා සැලකිල්ලෙන් අවබෝධ කරගෙන දරුවා ඇතුළත් කිරීමට තමන්ට වැඩි වශයෙන් ම හැකියාව ඇති අයදුම් කිරීමේ ගණය (Category) ඔබ විසින් හඳුනාගත යුතු වනවා. ඒ අනුව ඔබට හැකියාව ඇති ගණ සියල්ලෙන් ම අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි. සියලු ම රජයේ පාසල්වලට 2018 වසර වෙනුවෙන් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් මේ දිනවල අයදුම්පත් භාර ගැනීම සිදුවනවා. www.moe.gov.lk වෙබ් අඩවියෙන් අදාළ අයදුම්පත් ලබාගත හැකියි.

දරුවාට පාසලක් තෝරාගැනීම සම්බන්ධව අනවශ්‍ය තරඟයක යෙදීමෙන් වැළකී සිටීමෙන්, රජයේ පාසලකට ඇතුළත් කරන්නේ නම් අදාළ චක්‍රලේඛ උපදෙස් නිවැරදිව පිළිපැදීමෙන්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් නොකර සිටීමෙන් ඔබේ දරුවාට පාසලක් සොයා දීම ඔබ හිතන තරමට ම කරදරකාරී කටයුත්තක් නොවන්නට වගබලාගත හැකියි.

-නිරංජලා-

 

Related Articles

Don't Miss


Latest Articles