අප නිහඬ දවසක් ගෙවුවෙමු. චොකලට් ව්‍යාපෘතිය කුමක් වෙනවාදැයි මට මහේලගෙන් විමසන්නට අවැසි වුවද, මහේල එයට ඉඩක් දුන්නේම නැත. රුහුණ කෘෂිකර්ම විද්‍යා පීඨයේ නිලන්ත මහතා සමඟ මහේල දුරකතනය ඇමතුමක සිටිනු ඇසුනාට පසු මම මහේල වෙත ඇවිද ගියෙමි.
එහෙත්, මහේල එතැනින් නැඟිට ගියේය. මට පිටුපා යන මහේල අරන්දර දෙස මම නිහඬව බලා උන්නෙමි. ඇතැම්විට මහේල මා සමඟ කෝපයෙන් සිටිනවාද විය හැක. ඔහුට චොකලට් ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් දියත් කිරීමට අවශ්‍යව තිබුණි. එහෙත්, මා නිසා ඔහුට දින , දෙක එය පමා කරන්නට සිදුවේ.
ඒ අතර වාරයේ මහේල නාන කාමරයට ද රිංගා ගත්තේය. ඔහු නිවසින් පිටව යන්නට පෙර මේ නිහඬ බව බිඳ ගන්නට යම් ඉඩක් සොයා ගත යුතුය.
මහේල නාන කාමරයෙන් පිටතට පැමිණියේ ජංගම දුරකතනයෙන් කිසිවෙකු සමඟ ඇමතුමක හිඳියදීමය. ඔහු තුවාය පවා හැඳගන්නට නොහැකි කලබලයක උන්නේය. මා සිටින වග දැකීමෙ පසු කලබලයෙන් එය සකසා ගත්තේය.
” හරි අංකල් …. හරි ……”
මහේල ඒ කතා කරන්නට ඇත්තේ තාත්තා ට බව සිතුණි. මහේල මා වෙත හැරුණි. ඔහු සිටින්නේ බියපත්ව බව මට සහතිකය. එහෙත් ඒ බියපත් බව කිනම් කාරණාවක් නිසාදැයි මට වැටහෙන්නේ නැත.
” අසේකා… ලෑස්ති වෙන්න…. එලියට යන්න වෙනවා …”
මහේල එලෙස පවසමින් ඇමතුමක් සමඟින්ම කාමරයෙන් පිටතට ගියේය. ඔහු පසුපසින් යන්නට ආ අදහස පසෙක දමා මම ඩෙනිමකට සැහැල්ලු කමිසයක් දා ගත්තෙමි. කොණ්ඩය එක් මිටකට බැඳගෙන, ඕඩිකොලොන් ස්වල්පයක් තවරා ගත්තෙමි.
මම කාමරයෙන් පිටතට යද්දීම මහේල කාමරය තුලට ආවේය. ඉතා කලබලයෙන් ඩෙනිමක් සහ සුදු පැහැ කමිසයක් හැඳ ගත්තේය. යමක් අමතක වී මෙන් එහෙ මෙහෙ කැරකුණේය.
” ඇයි ?”
මම විමසුවෙමි.
” කෝ මගේ ෆෝන් එක මම කොහෙද තිව්වේ ?”
ඔහු මගෙන් විමසද්දි මම අඩියට දෙකට මහේල වෙත ගොස් ඔහුගේ කමිස සාක්කුවේ වූ ජංගම දුරකතනය ඔහුට පෑවෙමි.
” මොකද වෙලා තියෙන්නේ ?”
මම ඔහුගේ අතක එල්ලුණෙමි.
මහේල අරන්දර ඉතාම බැරෑරුම් මුහුණක් පෙන්වූවේය. ඉන් පසු එය මට කියවාගන්නට නොහැකි බැල්මකට පෙරලා ගත්තේය. මගේ හිස පිරිමැද මා අල්ලා ගත් අත ඔහු අල්ලා ගත්තේය.
” ඉක්මනට යමු ….”
ඉන් පසුව මහේල කිසිත් පැවසූයේ නැත. මම කොහොමටත් උන්නේ මානසික වෙහෙසකය එනිසාම මම මහේල පසු පස හඹා යමින් කිසිවක් විමසන්නට කලබල නොවී උන්නෙමි.
මහේල මෝටර් රිය නවතන විට මම උන්නේ අඩ නින්දකය. ඔහු අසුන් පටි ලෙහා දමන විටද මම පියවි සිහියේ උන්නේ නැත.
” බහිමු ..”
මහේල එලෙසද පවසා හිස පිරිමැද්දේය.
” කොහෙද ..?”
මම මගෙන් ම එලෙස විමසා ගත්තෙමි. ඒ අතරේම වාහනයෙන් බැස ගත්තෙමි. ඉන්නේ කොහිදැයි එක්වරම සිහියට ආවේ නැත.
” යමු ..”
මහේල ඉස්සර නොවී මගේ අතින් අල්ලාගෙනම ගමන ඇරඹුවේය. මම ඔහු දෙසත් අවටත් දුටුවෙමි.
ඔබ අදහන්න, මට ගත් හුස්ම හෙලාගන්නට නොහැකිව, හිර වන විට දැනෙන හැඟීම දැනුණි. මේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය බවට සැක නැත. රෝහලකට පැමිණෙන විට ඒ එන හේතුව හෝ නොදන්නා තිගැස්ම එතරම් බව මම දැනගතිමි. ඇතැම්විට මම මොහොතක ට ගල් ගැසෙන්නට ඇත.
මහේල දෙස බැලුවද ඔහු යමෙකු සොයමින් ඇවිද යන බව පමණක් පෙනෙන්නට තිබුණි.
“ඇයි මේ … ? මෙහෙ..?”
මම ඔහුගේ අතින් ඇද්දෙමි. මා කෙතරම් දුර්වල වී ඇතිදැයි ඔබටම පෙනෙනවාට සැක නැත. අඩුම තරමේ යම් සිදුවීමක් දෙස සිහියෙන් බලා එය විමසන්නට බැරි තරමේ අස්ථිර බවක් මට දැනෙයි.
යලි මහේලගේ ජංගම දුරකතනය නාද විය.
“අංකල් …”
“ආවා … ආවා…”
” අහ් හරි … මම එන්නම්…”
ඔහු යළි මාද ඇදගෙන අපි යමින් උන් පාර වෙනස් කලේය. කලබල මිනිසුම් සහ නිසොමන් වාහන අතරින් ඔහු ඉදිරියට ගියේය. මම ඔහු පසුපස ඇදී යමින් උන්නෙමි.
අවසානයේ, අප නැවතී තිබුණේ තාත්තා සහ නිර්මලී නැන්දා අසලය.ඒ දෙදෙනාගේම මුහුණු වල දෙදෙනාට ආවේණික වූ භීතියක් සහ කියවාගන්නට නොදැනෙන හැඟීමක් විය.
ඔවුන් දෙදෙනාම මෙතැනය. ලෙඩක් දුකක් ඇති වගක් පෙනෙන්නටද නැත. අප දෙදෙනාද මෙතැනය. අපටද බෙහෙතක් ගන්නට අවැසි තරමේ වන අසනීපයක් නැති වග ඔබද දන්නේය. එසේනම් …,
අභ්‍යන්තරයෙන් නැඟුණු ගින්නක් මා පුළුස්සා දැම්මේය. අප සිව් දෙනාටම ව්‍යාජව හෝ නෑ කම් කියන අයවලුන් සිටින්නේ දෙදෙනෙකි.
කතාවේ මුල මා අම්මා සහ අයියා ලෙසින් ඔබට හඳුන්වා දුන්නේ ඒ දෙපලය. එලෙස නම් යම් විපතක් සිදුව ඇත්තේ ඔවුන්ටද?
මම මහේල දෙසද, තාත්තා දෙසද, නැන්දා දෙසද බැලීමි. ඔවුහු ද මා දෙස බලා උන්නා මිසෙක මට කිසිවක් කීවේ නැත.
“මොකක්ද තාත්තේ වෙලා තියෙන්නේ ?”
අවසානයේ මම විමසුවෙමි. ජීවිතය කෙතරම් පරීක්ෂණ සඳහා අප සහභාගි කරගත්තද, අපට ඒ සියල්ලටම මුහුණ දෙන්නටම සිදුවේ. ඉන් පැනයන්නට උත්සාහ කිරීම යනු ජීවිතය ත් හැරීමක් ය.
මේ වසර තිස් ගණන පුරාවටම කෙටි ප්‍රශ්න පත්‍රද, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රද, රචනා ප්‍රශ්න පත්‍රද ඇති වනතුරුම ලියා ඇත. අසමත්ව ඇත. සමත්ව ඇත. ඉතා විශිෂ්ට ලෙසද සමත්ව ඇත. එනිසා සිදුවන්නට යන්නේ කුමක් වුවද අසේකා පණ්ඩිතරත්න ට එය පිළිගන්නට හැක.
ඔබටද ඒගැන සැකයක් නැතැයි සිතමි.
| අපේක්ෂා ගුණරත්න |