සුළි සුළඟක සුසුමක්-14

අම්මා රැගත් රිය නික්ම ගියේ පැය කාලකට පමණ පස්සේ ය. ඒ වන තුරු මිදුලේ කුරුමානම් අල්ලමින් සිටි මම තන්බර්ජියා මල් වැට දෙසට ගියෙමි. නිල් පාට රවුම් පෙති සහිත ලොකු මල් කිනිති, මල් වැටුණ තිර රෙදි සේ පහළට එල්ලී තිබුණේ ය. මල් අතරේ මී මැස්සෝ ද බඹරු ද රොන් සොයා කැරකෙමින් සිටියහ.

“සංකල්ප”

මා තරමක් හඬ උස් කොට කතා කළේ තන්බර්ජියා මල් කැරලි දෑතින් දෙපසට කරනා ගමන් ය. පඩි පෙළ නගිමින් ශාලාව සහිත උස් බිම වෙත ගමන් කරමින් සිටි ඔහු නතර වී හැරී බැලුවේ ය. මම මෑත සිට අත වැනුවෙමි. ඊලඟට කළු පාට කැටයම් ගේට්ටුව වෙත දිව ගොස් ඔවුන් ගේ ඉසව්වට අවතීරණ වීමි. සංකල්ප එහි එන විට මා ඔවුන් ඉඳ ගන්නා බැම්ම මතට පැන ඉඳගෙනත් ඉවර ය.

“ඉඳ ගත්ත හැටි ඒක උඩ…කොල්ලෙක් වගේ”

මුලින් ම ඔහු කීවේ එසේ ය. තරවටුව කළේ අනතුරුව ය.

“මොකද මේ පිනි බබා එළියෙ කරන්නෙ…දැං ඊයෙ නැගිටගන්න බැරි තරං උණ තිබුණා නේද…”

“දැං කියන්නෙ ඊයෙ නෙවෙයිනෙ”

මම සිනහව ගිල ගෙන බොරු තරහක් මවා ගතිමි. එය අසාර්ථක උත්සාහයක් බව මට ම නො දැනුණා නොවේ. 

“ඔහොම ඉන්නකොට එදා ඇල්ල ළඟදි වගේ මට එක එක දේවල් හිතෙන්න පුළුවන් හොඳේ”

සංකල්ප බැම්ම මතින්, මට ඉතා සමීප ව හිඳ ගත්තේ ය. ඔහු වෙතින් දකිත හැකි වූයේ ඉතාමත් ම දඟකාර විලාශය කි. ඒ දෙතොලතර වූ සිනහව කෙල්ලක වසඟ කර ගන්නා සුළු යයි මට සිතිණි.  නමුත් මම ඒ ඉනාවෙහි නො පැටලී ඉන්නට හැකි තාක් වග බලා ගතිමි.

“ගහන්නෙ ගල් ගෙඩියක් අරං…”

“දැං කොහොමද උණ…”

ඔහු මගේ නළලත පිටි අත්ල තබා බැලුවේ ය. එය අනවසර ක්‍රියාවක් වී ද ඒ ස්පර්ශය ප්‍රතික්ෂේප කිරීමේ දිරියක් මට නොවූ බව අවංකව පිලි ගත යුතු ය.

“අම්ම ඇවිත් මොනාද කිව්වෙ…”

“මොනා කියන්නද ඉතිං…දුවව බාර ගන්න කියල කිව්ව”

“මොන පිස්සුවක් ද මන්ද”

මම ඔහු ගේ අත් ගොබයට රිදෙන්නට පහරක් ගැසුවෙමි. සංකල්ප ඌයි ගා අත අල්ලා ගන්නා ගමන් ම සිනහ වූයේ ය.

“මරනව මං කොයි වෙලේ හරි…හරිද…”

මවෙත වූයේ මිනීමරුවෙකු ගේ භයානක දරුණු බව නොව කුඩා දැරියක ගේ හුරුබුහුටි හුරතලයයි. ඔහු තත්පර කිහිපයක් හිස හරවාන මදෙස බලා සිටියේ ය. ඒ බැල්මේ දරන්නට අපහසු බරක් වූවා ට මම ඒ ගැන ගැඹුරෙන් හිතන්නට නො ගියෙමි.

“කියක්නකො. අම්ම මොනාද කිව්වෙ…”

“ඔයා මොනාද අර අම්මට කියල තියෙන්නෙ…”

හිස යන්තම් පැත්තට හරවා, ඇස් කුඩා කොට, නළල මඳක් රැළි නංවා බැලූ ඒ බැල්ම නළුවෙකු ට මිස සාමාන්‍ය කොල්ලෙකු ට පිහිටන්නට පුළුවන් යයි සිතීමත් තරමක් උගහට ය. තත්පර දෙක තුනක් ඒ බැල්මේ හිර වී හිඳීමෙන් අනතුරු ව මම සිහි එළවා ගතිමි.

“මොනාද මං අම්මට කිව්වෙ…”

“අර මල්ෂා ගැන…මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල තියෙන්නෙ…”

“ඉතිං ඒකෙ වැරැද්දක් නෑනෙ”

“ඔච්චර ස්ටබර්න් වෙන්නෙපා උත්තරා”

“හරි දැං මොකද්ද අම්ම කිව්වෙ…”

ඔයා ගැන චුට්ටක් බලන්න කිව්ව. ආයෙ උණ ආවොත් එහෙම ඩොක්ට කෙනෙක් ළඟට එක්ක යන්න කිව්ව නීලා ඇන්ටිත් එක්ක. මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ බර්ත් ඩේ පාටි එකට ඔයාට ඉන්වයිට් කළාට තෑන්ක් කළා”

මම යටි තොල සපා ගෙන සිනහව හංගා ගතිමි. නමුත් සංකල්ප වෙත වූයේ නෝක්කාඩු බැල්මකි.

“අර ළමයටත් හොඳ නෑනෙ ඔහොම කියන එක”

“එයා කැමති වෙයි එහෙම කියනවට”

අත් දෙක දෙකලවා මත තබා ගෙන ඔහු මඳක් ඉදිරියට නැඹුරු වූයේ ය. ඒ වෙලාවේ සංකල්ප ගේ මුහුණ පෙනුණේ නැත. මම කිසිදු බාධාවකින්, මගේ අහංකාරකම කියන බාධාවෙන් හෝ තොර ව ඔහු දෙස බලා ගෙන සිටියෙමි. මේ කොල්ලා අමුතු ය. කොළඹ ගෙවුණ මගේ යොවුන් විය තුළ මට විවිධාකාරයේ පිරිමි චරිත හමු වී තිබේ. ඉතා අහිංසක කොල්ලෝ ද ඉතා දඩබ්බර කොල්ලෝ ද ඉතා සරාගී කොල්ලෝ ද ඒ අතරේ වෙති. සංකල්ප කියන්නේ ඒ සියල්ලෙහි සංකලනයක් ද නැත්නම් ඒ කිසිත් නොවේ ද කියා තවම මට හරියට ම සිතා ගත නො හැකි ය. නමුත් ඔහු මට මෙතෙක් හමු වී ඇති කිසිවෙකු නොවන බව ඉඳුරා දනිමි. විශේෂත්වය වන්නේ ඔහු වූ කලී මා මතකයේ තබා ගෙන උන් පෙර පාසල් මිතුරා වීම ය. ඒ ඔහු ත් මේ ඔහු ත් වෙන් කරනා බෙදුම් රේඛාවක් ඇත් ද නැත් ද කියා හෝ මට වැටහෙන්නේ නැත.

“කොහෙ හරි යංද…”

ඔහු ගේ සිත්හි යම් නො මනාපයක් ඇති වී නම් එය සමහන් කරනු වස් මම ඇසුවෙමි. සංකල්ප වහා ඉරියව්ව වෙනස් කරමින්, මදෙස බැලුවේ ය.

“මල්ෂාවත් එක්කං යමු. එයා කිව්ව අපි කොහෙහරි යනවනං කතා කරන්ල කියල”

“නෑ නෑ. කොහෙවත් රස්තියාදු ගහන්න ඕන නෑ. ගෙට වෙලා රෙස්ට් කරන්න”

මගේ අප්පච්චි වත් මට කතා කොට නැති විදිහේ තද ස්වරයකිනි ඔහු ඒ ටික කීවේ.

“මට දැං හොඳයි”

මම ගාණකට නැතුව කීවෙමි.

“උත්තරා මේ පැහෙන්න හදන්නෙපා හොඳේ. ඔය උණ හොඳ වෙලා නෙවෙයි යටපත් වෙලා විතරයි”

“ඔයා කොහොමද දන්නෙ මට තියෙන උණ ගැන…ඒක දන්නෙ මන්නෙ”

මම ඔහු ට නො දෙවෙනි හඬකින් ඇඟට කඩා ගෙන පැන්නෙමි.

“ඔව් ඔව්. ඔයාට තියෙන උණ ගැන අපි ට හිතා ගන්න බෑ තමයි”

“මේ සංකල්ප එන්න එපා හරිද හින්ට් පාස් කරන්න…”

“මොකද්ද දැං කියන්නෙ…”

එවර ඔහු ඇසුවේ සිනහ වෙවී ය. නමුත් මගේ මුහුණේ එක සිනහ බිඳකුදු නොවූ බව සහතික ය. මම රවා ගෙන වාගේ ඔහු දෙස බලා ගෙන උන්නෙමි.

“ඇවිදින්න යමු පස්සෙ. හොඳ වුණාම. දැං ඔයා රෙස්ට් කරන්න ඕනෙ. නැත්තං ආයෙත් උණ ගතිය මතු වෙන්න පුළුවන්. පේන් කිලර්ස් මිස ඔයා බේත් අරගෙනත් නෑනෙ”

“මෙයා කතා කරන්නෙ හරියට මට සාස් හැදිල කියල හිතාගෙන වගේනෙ”

එවර සංකල්ප තරමක් හඬ නගා හිනහුණේ ය.

“හරි එහෙනං බෙහෙත් අරං ඉමු”

සිනහව වහා ම සංකල්ප ගේ මුවින් පැන ගියේ ය. ගල් ගැහුණා සේ ඔහු ඔහු මදෙස බලා ඉන්නට වූයේ ය. බිම පතිත තන්බර්ජියා මලකින් මම ඔහු ගේ මුහුණට දමා ගැසුවෙමි.

“මොකද බිල්ලෙක් දැකල වගේ මං දිහා බලං ඉන්නෙ..”

“බිල්ලෙක් වගේ නේන්නං අප්පා ඔයා. ඊයෙ අර කෙළිං ඉන්න බැරි වෙලාවෙ අච්චර අඬ ගහලත් බෙහෙත් ගන්න යන්න ආවෙ නෑ. දැං යන්ලු”

“හරි යන්න බැරිද…ඕන්නෑ මං යන්නං නීලම්ම එක්ක”

කියා ගෙන මම දනි පනි ගා බැම්ම මතින් පැන ගතිමි. සංකල්ප ද ඉන් බිමට පනිමින්, ඉක්මන් අඩියක් තියන්නට ගිය මගේ උරහිසින් තදින් ඇල්ලුවේ ය.

“මොකද්ද ආ වෙලා තියෙන්නෙ…දැං මං කිව්වද යන්න බෑ කියල…ඔක්කෝටම ඉස්සෙල්ල ඔය කේන්ති යන එකට කොහිල ටිකක් තම්බල දෙන්න ඕනෙ කටු පිටිං”

සිනහ යන්නට නො ආවා නොවේ. නමුත් මම ඒ සිනහව පිට නො කළෙමි. 

“ගිහිං ලෑස්ති වෙන්න. මං එන්නං”

ඔහු මගේ උරහිස අත් හැරියේ එසේ කියමිනි. මට බෙහෙත් ගන්නට ඇති වූ හදිසි උවමනාව, සංකල්ප හා මල්ෂා ද සමගින් ඇවිදින්නට යාමේ අවශ්‍යතාවය හා බැඳී ඇති බව මම දැන සිටියෙමි. මේ මොහොතේත් සිරුරට කිසියම් අපහසු ගතියක් දැනෙමින් තිබිණි. ගෙට ගිය ගමන් මට වමනේ ගියේ ය. 

“ඕකනෙ කිව්වෙ ඊයෙ බෙහෙත් ටිකක් ගමු කියල. දැං ඉතිං ලොකු නෝනත් ගියානෙ…”

නීලා මගේ උගුර හා පපුව පිරිමදිමින් තැතිගැන්මෙන් කතා කළා ය. 

“අමාරුකං හිර කරං ඉන්නෙ නැතුව ලොකු නෝනා ඉන්න වෙලාවෙ කිව්වනං ඉවරනෙ රත්තරනේ…”

“ඩොක්ට ළඟට යමු නීලම්මා. සංකල්ප එයි”

මා සූදානම් වන්නටත් කලින් ඔහු ගේ රිය පෝටිකෝව යට නතර විය. නීලම්මා මගේ අතකින් අල්ලා ගෙන මා රියට ගොඩ කරවූයේ බරපතල අසනීප තත්වයකින් පෙළෙන්නියක සේ ය. 

ද්‍යෛවරයා මගේ රෝග ලක්ෂණ ගැන විමසා, වමනය ගැන කී ගමන් සංකල්ප දෙස බලා වයිෆ් ද කියා ඇසුවේ ය. ඔහු ට පිළිතුරක් දීමට පෙර සංකල්ප බිය වී ගෙන වගේ බැලුවේ මා දෙස ය. මා රවන්නට ඇත. ‘ ඉතිං මං මොනා කරන්නද වැනි බැල්මක් ඒ ඇස් වල විය. නීලම්මා කට තද කර ගෙන සිනහ වෙත්දී මගේ කේන්තිය තවත් වැඩි විය.

“නෑ නෑ ඩොක්ටර්. මං මැරි කරල නෑ”

මම ඉක්මන් කොට කීවෙමි. 

“ඕහ් සොරි. මං බැලුවෙ මේ වොමිට් වෙනව කිව්වහම…”

නීලම්මා පෙර දා සිට වූ රෝග තත්වය විස්තර කළා ය. ඒ අනුව වෛද්‍යවරයා යම් සාධාරණ නිගමනයකට එළඹියේ ය.

“එහෙනං වමනෙට හේතුව ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. කෑම කාල නැති නිසා. වැස්සෙ තෙමෙන්නෙ මොකද ආ…ඔච්චරට වතුරට ආස මුළුවෙක්ද…”

වෛද්‍යවරයා ගේ විහිළුව මෝඩ එකක් සේ මට දැනිණ. මා නැගූ සිනහව කෘතිම එකකි. 

“ගෙම්බියෙක් ඩොක්ටර්”

එසේ කී සංකල්පට මම නැවතත් රැව්වෙමි. ඔහු මා නොදුටුවා සේ ඉවත බැලුවේ ය. වතුරේ නොසිටිනා ලෙසත්, නො තෙමෙනා ලෙසත්, පින්නේ පිටතට නො යන ලෙසත් උපදෙස් දුන් වෛද්‍යවරයා බෙහෙත් ටිකක් ලබා දුන්නේ ය.

“පිස්සු. ගෑනු ළමයින්ට වමනෙ යන්නෙ බබෙක් හම්බ වෙන්නමද…”

මා රියට නැග්ගේ තනිව බැණ වදිමිනි. නීලම්මා අහක බලා ගෙන සිනහ වූවා ය. සංකල්ප නම් හිටියේ ඇහුණේ වත් නැති ගාණට ය. කෙසේ වෙතත් මා ව වෛද්‍යවරයා වෙත ගෙන යන්නට ලැබීමේ සතුටෙන් ඔහු උදම් වී සිටිතැයි මම කුරිරු ලෙස සිතුවෙමි. ඒ මත ඔහුත් එක්ක රණ්ඩුවක් හදා ගන්නට ද මට ඕනා වී තිබිණි.

“දැං ඉතිං නින්ද යයිනෙ අද….බෙහෙත් ගිල්ලහම මම”

“මේවට තමා නීලා ඇන්ටි කියන්නෙ…වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩං වැටෙනව කියල”

සංකල්ප ඉදිරි කැඩපතින් නීලා දෙස බලනු මා බලා ගෙන ය. 

“අනේද කියන්නෙ”

ඇය කවුළුවෙන් එපිට බලා ගෙන සිනහ වූවා ය. 

“මොනා වුණත් සුදු බබා ගිහිං හොඳට කෑම කන්න ඕනෙ. ඊයෙ දවසටම සංකල්ප පුතා ගෙනාව සුප් එක විතරයි”

“කන්න අප්පිරියයි නීලම්මා”

“ඒකනෙ ඉතිං ඩොක්ටත් ඇහුවෙ”

සංකල්ප මදෙස බලන්නේ ම නැතිව, ඇඟට පතට නො දැනී කියා දැම්මේ ය. මම ඔහු ගේ කනක් අල්ලා මිරිකුවෙමි.

“මං කියන්නද උත්තරා…”

මඳ නිහැඬියාවකට පස්සේ සංකල්ප හෙමිහිට කතා කළේ ය.

“ලන්ච් වලට ගෙස්ට් එකට එන්න..මං ස්පෙෂල් මොනා හරි හදවල තියන්නං. ඔයාට කෑම අප්පිරිය නිසා”.

“අන්න ඒකනං හොඳ අදහසක්”

මා එසේ කීවේ උද්‍යෝගයෙනි. ඊට හේතුවක් ගැන මා හිත නො විමසූවත්, සැබවින් ම මට සතුටක් දැනිණ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content