ඔයාගේ පෙම්වතා drug addicted ද?

හොඳටම බීමත් වෙන පෙම්වතෙකු අවශ්‍ය බවත් බොන කොල්ලො හරි ආදරණීය බවත්” සමාජ මාධ්‍යවල ලියන ගෑනු ළමයි ඕනෑතරම් ඉන්නවා.ඒ නිසා  “කබීර් සිං,රාහුල්‍ ජේකර්” වගේ චරිත ගැහැනු ළමයි අතර උත්කර්ෂයට නැගෙන අවස්ථා ඕනෑ තරම්.

ඇත්තටම බීමත් පෙම්වතෙකුට ඔබේ ජීවිතේ ඉඩක් දීම නුවණැති ක්‍රියාවක් ද? ඒක ඔය සමාජ මාධ්‍යවල ලියන කවි තරමටම සුන්දරද?

ඔබට ඉන්නේ බීමත් පෙම්වතෙක් නම් ජීවිතයට විවිධාකාර අභියෝග එල්ල වන බව නොකියාම බෑ.මතට ඇබ්බැහි වූවෙකු කවි ගැන කතා කරන,ලස්සනට සින්දු කියන,වැඩියෙන් ආදරේ කරන කෙනෙක්ම වෙන්නේ නෑ.මේ ඇබ්බැහිය නිසා ඔහුට බොහොම තදින් කේන්ති යනවා වෙන්න පුලුවන්.ඒ වගේම ඔහු අතිශය මුදල් නාස්තියක් මේ වෙනුවෙන් කරනවා වෙන්න පුලුවන්.මේ වගේ කෙනෙක් එක්ක කටයුතු කරනකොට ඔබට විවිධ අභියෝග බාර ගන්නම වෙනවා.

ඔබට ඔහුගේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් වැය කරන්න සිදු වෙනවා නම් එය විශාල ගැටලුවක්.ඒ නිසා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පෙම්වතා වෙනුවෙන් ඔබ ඔබේ මුදල් නාස්ති කර ගන්න යන්න එපා.කළ යුතු වෙන්නේ ඔහුට ඔහුගේ දේවල් බලා ගන්නට ඉඩ හැරීම පමණයි.

අනෙත් කාරණාව ඔහුගේ සිහිමඳ ගතියේ ගොදුරක් වෙන්න ඔබට සිදු වෙන්න පුලුවන්.ඔහු බීමත් වූ විට ඔබට අපහාස කරන්න බැන වදින්න ඉඩ තියනවා.පහර දෙන්න වුණත් පැකිලෙන්නේ නෑ.ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය අරන් ඉන්න වෙලාවට ඔහු ඔබේ අකමැත්තෙන් ඔබ ප්‍රියතාවයක් නොදක්වන ලිංගික හැසිරීම්වල නිරත වෙන්නත් ඉඩ තියෙනවා.ඒ වගේ අවස්ථාවලදි අපහසුවට පත් වෙන්නේ ඔබමයි.

ඔබ මත්ද්‍රව්‍ය පාවිච්චියට අකමැති කෙනෙක්නම් ඔහු නිසා ඔබ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමත් ඔබට වෙන අසාධාරණයක්. ඔබ ඔබේ සෞඛ්‍ය සහ ඔබේ පැවැත්ම ආදරය නිසා අනතුරේ දමා ගැනීමක් තමයි එතකොට සිද්ධ වෙන්නේ.

සාමාන්‍යයෙන් පාටි එකකදි ඉඳහිටකදි යම් තරමකට මත් වෙන තරුණයන් අද සමාජයේ බහුලයි.ඒත් දිනපතා මත් වෙන තරුණයෙක්ගේ ශරීර සෞඛ්‍ය පිරිහෙන එක අනිවාර්යයෙන් වෙන්න පුලුවන් දෙයක්.එතකොට ඔබට ඔබේ අනාගතය ලෙඩෙකු වෙනුවෙන් කැප කරන්නත් සිදු වෙනවා.එයත් ඔබේ ජීවිතය ඔබ විහින් අනතුරේ දමා ගැනීමක්.

“මම මේ බොන්න හේතුව ඔයා” සමහර බීමත් පිරිමින් තමන්ගේ සහකාරියට කරන ප්‍රබල චෝදනාවක් තමයි ඒ.ඔබ අඳින ඇඳුමක්, ගිය ගමනක්,ඔබෙන් පිටවූ වචනයක් පවා ඔහුගේ බේබදුකමට නිදහසට කාරණානම් ඔහු සමඟ එක්ව ගමනක් නැති බව ඔබ වටහා ගත යුතුමයි.ඔවුන් යැපෙන්නේ බීමත්කම මත.නමුත් ඔවුන්ට බීමත් වෙන්නට හේතු සපයන්නිය ඔබ විය යුතු නැහැ නේද?ඒ වගේම බීමත් වූ විට සමහරුන් අතීතයේ ජීවත් වෙන්නටත් උත්සාහ දරනවා.පෙර පෙම්වතියන් ගැන කියමින් බීමතින් දඟලන මිනිසෙකු සමඟ ඔබට ඔබේ සිහින කරා ඇවිද යාම පහසු වෙන එකක් නෑ.

ආයෙම රාහුල් ජේකර්ගේ පැත්තට හැරුණොත්,

ඔහු විනාසය කරා ඇවිද යන්නේ බීමත්කම මතින්.මේ බීමත්කම ඔහුව සියල්ල අහිමි වූ කෙනෙකු බවට පත් කරනවා.අනතුරුව ඔහුට මරණය ළඟා කරනවා.ඔබ පෙම්වතෙකු තෝරා ගන්නේ ඔහුට ආදරය කරන නිසා.ඔහු බීමත්කමට දැඩිව ඇබ්බැහි වූ අයෙකුට නම් ඔබට පුලුවන් ඔහුට අවස්ථාවක් දෙන්න.උපදේශනය මඟින් බීමත්කමට වැට බඳින්නට පුලුවන්.ඔහු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගතහොත් ඔබට ඔහු සමඟ එකට ගමනක් ඇවිද යන්නට බැරිකමක් නෑ.

නමුත් ඔහු ඉන් මිදෙන්නට අකමැති බීමත්කම නිසා ජීවිතය නාස්ති කරගන්නා, දියුණුවට අකමැති කෙනෙකු නම් ඒ ඔබේ සැමියා කරගත යුතු තැනැත්තා නෙවෙයි.මුදල් අඟහිඟකම් ඇති, නිතරම රණ්ඩු දබර ඇති ජීවිතයක් වගේම නිරතුරුවම අසනීප වලින් පෙළෙන සැමියෙකු ඔබට ලැබේවි.යථාර්ථය ෆේස්බුක් පෝස්ට් එකක් තරමට සුන්දර නැහැ.ඒ නිසා බීලා කියවන කොල්ලෝ රොමෑන්ටික් කියන කතාව එච්චර විශ්වාසයකට ගන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles