ගැහැනියක් ලෙස ඔබේ ජීවිතේ වැදගත්ම දේවල් පරිස්සමෙන් තෝරා ගන්න.

“ගැහැනිය රැජිණක් වෙන්න නම් ඇයට හොඳ සැමියෙක් ලැබෙන්න ඕනෑ..”මේ කතාව එක්ක මං වගේම ඔබත් එතරම් එකඟ නොවේවි.ගැහැනියකට රැජිනක් වෙන්න පිරිමියෙක් ඕනෑම නෑ.ඇයට පුලුවන් තනියම ඇගේ සිහින හඹා යන්න.තමන්ගේ හිස මත කිරුළු පැලඳ ගන්න ඇයට පුලුවන්.

ඒත් “ගැහැනියකගේ ජීවිතය අපායක් කරන්න පිරිමියෙකුට පුලුවන්” කියන කාරණාවට එකඟ නොවී ඉන්න අපි කාටවත් බෑ.හැබැයි, ඒ ඔබ ඉඩ දෙනව නම් තමයි.ඔබේ අවසරයකින් තොරව කිසිම පිරිමියෙකුට ඔබේ ජීවිතයට එන්න බෑ.ඒ ජීවිතය හැඩි කරන්න බෑ.

විවාහය කියන්නේ කටු ඔටුන්නක් නොකර මල් ඔටුන්නක් කර ගන්න හැම යුවතියකම ප්‍රවේසම් වෙන්න ඕනෑ අන්න ඒ නිසා.විවාහය හදිසි තෝරා ගැනීමක්, වෙන කරන්නට දෙයක් නැති තැන කරන තෝරා ගැනීමක් වුණොත් ඔබේ ජීවිතය අපායක් වෙන ඉඩ වැඩියි.ඒත් අවාසනාවට වගේ ඒ අපායට පාර කපා ගන්නෙත් ගෑනු ළමයින්ම තමයි.දැන දැනම කර ගන්නා සමහර වැරදීම් නිවැරදි කරගන්න බැහැ කියලා තේරුම් යනකොට පෙරහැර බොහෝ දුරක් ගිහිල්ලත් අහවරයි.

ස්මාර්ට්ලේඩි සමූහයට ලැබෙන දසදහසක් නිර්නාමික කතා අතර ඉක්මන් විවාහය නිසා අතරමං වූ ගැහැනුන්ගේ කතා අපව වඩාත් සසල කරන්නට සමත් කතා බව කිව යුතුම දෙයක්.”පෙම් ලොව මා දුටු ඔහුට ද මා අන්ධ වුණේ..” කියලා ඒ සහෝදරියන් ඉකි ගසා හඬද්දී ඒ ප්‍රේම ලෝක මාස දෙක තුනක් පමණක් පැරණි ඒවා බව දැන ගත් විට අපට ද ඇති වෙන්නේ අනුකම්පාවක් පමණයි.ඉක්මනින් ඇති වන ප්‍රේමය ඉක්මන් විවාහයකට ගෙන යන කාන්තාවන්ට සැමියාට ස්ථිර ආදායමක් නැති බව, ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් බව,අනියම් ඇසුරක් ඇති බව, සමහරුන් තවම පෙර විවාහය අවසන් කර නැති බව දැන ගන්නට ලැබෙන විට කුඩා කලලයක් කුසට පැමිණ අහවරයි. පැටලුණු නූල් බෝලය ලිහා ගැනීම අතිශය බැරූරුම් කටයුත්තක් වෙන්නේ ඉන්පසුවයි.

මේ වගේ බොහොමයක් නිර්නාමික කඳුළු කතා අපට සිහි කරන්නෙ ශාන්ති දිසානායක මහත්මියගේ නව කතාවල එන පීඩිත ගැහැනු.

ශාන්ති දිසානායක මහත්මිය ශ්‍රී ලංකාවේ නවකතා අතර තමන්ගෙම සලකුණක් තැබූ කෙනෙක්.ඇය අතින් ලියැවුණු බොහෝ චරිතවල ඉන්නේ තමන්ගේ පාර වැරදුණු හෝ වරද්දා ගත් ගැහැනු.ඉක්මන් විවාහයක් මොනතරම් ඛේදවාචකයක්ද කියන දේ ගැන ආයේ ආයෙමත් හිතන්න බල කරන චරිතයක් තමයි ඇගේ “හිරුමඬල” නවකතාවේ රම්‍යලතා.මේ නවකතාව “මද්දහන” කියලා ටෙලි නිර්මාණයකටත් නැගුණු නිසා දිලිනි ලක්මාලි කියන රංගන ශිල්පිනිය මවන රම්‍යලතා වුණත් මුණ ගැහිලා ඉක්මන් විවාහයේ ඇති කටුක රස අත් විඳීම හැම අවිවාහක ගැහැනු ළමයෙක්ම කළ යුතු දෙයක්.

රම්‍යලතා තමන්ගේ අයියාගේ මිතුරාට ආදරය කරන්න පටන් ගන්නේ බොහොම ඉක්මනින්.මේ අපේ රටේ ගැහැනු ළමයින්ගේ බොහොම සුලබ සිරිතක්.දුටු මතින් බැඳීම සහ දුටු මතින් ප්‍රේමයෙන් මත් වීම.ආදරය එක් බැල්මකින් ඇති විය හැකි බව ඇත්තක්.නමුත් ජීවිත කාලයක් පුරා ඒ ආදරය පවත්වාගෙන යන්න දුටුමතින් බැඳෙන ආදරය ප්‍රමාණවත් නැති බව රම්‍යලතාගේ ආදර කතාවෙන් වටහා ගන්න පුලුවන් හොඳම කාරණාවක්.

ආදරයට සීමා මායිම් නැති වෙන තැනකදී රම්‍යලතා විවාහයකින් තොරවම ගැබ් ගන්නවා.ඒ ගැබ දරාගෙනම ඇය තමන්ගේ පෙම්වතා පසුපස යන්නේ ඔහු පලා යන්න තැත් දරද්දී.වැඩිහිටියන් දෙදෙනෙකු ලිංගිකව බැඳීම වරදක් නෙවෙයි.ඒත් ඒ ලිංගික බැඳීම ආරක්ෂිත එකක් විය යුතුයි.අහම්බයකින් කුසට එන දරුවෙක් ඔබට විවාහය සඳහා එකම සාධකය වුණොත් ඒ විවාහය සුරපුරයක් වෙන්නේ නැහැ.මඟදිගට වමනය දමමින් බලහත්කාරයෙන් තමන්ගේ පෙම්වතා සමඟ යන රම්‍යලතා පෙම්වතාට මල වදයක් වෙන්නේ ඒ නිසා.ආදරය කරන්න මුදල් හෝ කිසිම දෙයක් අදාල නෑ.ඒත් විවාහයට ඒ හැමදේම අදාළයි.දරුවෙක් බිහි කරන්න මුදල්, ආදරය වගේම දෙදෙනාගේ සමඟිය සහ අවබෝධයත් වැදගත්.ඒ කිසිවක්ම නැති හැඟීම් ගොන්නක උතුරා යාමක් පමණක් විවාහයකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

“එතකොට මං ක්ලිනික් යන්ඩෝන්නෑ.ක්ලින්ක් කාඩ් එක නැතුව ළමය හම්බෙන්ඩ ඉස්පිරිතාලෙ යන්නෙ කොහොමද?”

“මං දන් නෑ.ඔය ලොකු අක්ක එක්ක හරි පුංචියම්ම එක්ක හරි යන එකයි ක්ලින්ක් බැරි නං ඕන දේවාලෙක” තරුණයා නොරිස්සුමෙන් තෙපලුවේ ය.

(හිරු මඩල -69 පිට)

රම්‍යලතාගේ ඊළඟ ගැටලුව වෙන්නේ අහම්බයකින් කුසට ආ දරුවාටත් ඇයටත් සැමියාගෙන් යුතුකම් ඉටු නොවීම.ආදරේ නිසා නොව කෑදරේ නිසා හටගත් ඵලයක් යැයි ඇයම චෝදනා කරන කළලය විවාහයට පෙර හටගත්තක් බව ගමේ උදවිය දැන ගන්නවට ඇගේ සැමියා අකමැතියි.ආයේම ගැටුම් හටගන්නේ ඒ නිසා.

රැකියාවක් නැති සැමියෙක්, ඉන්නට නිවසක් නැති විවාහයක් නිසා රම්‍යලතා හෙම්බත් වෙන්නේ තවදුරටත් ආදරයක් ඉතිරි නැති ලෝකයක් ගැන තේරුම් ගන්න නිසා.කෙළවරක් නැති ගැටුම් මැද ගෙවී යන ජීවිතයෙන් මිදෙන්න ඇගේ සැමියා තාවකාලික සැනසීමක් සොයා ගන්නවා.පළමුවැන්න මත්පැන්.දෙවැන්න අනියම් ඇසුර.පළමුවැනි දරුවාගෙන් පසු රම්‍යලතා නැවත ඉක්මනින් ගැබ් ගැනීම නිසා ඔහු ඒ පුරුදු නොකඩවාම රැගෙන යනවා.

“තමුසෙ මහ පුදුම ගෑනියෙක්නෙ.තමුසෙ දන් නැද්ද ඕයි පරිස්සං වෙන්ඩ.බලනව එක ළමය හදා ගන්ඩ බැරුව ඔට්ටුවෙද්දී තව ළමයෙක්. මීට වඩා හොඳයි මං මැරුණනං..”

(හිරු මඩල -250 පිට )

පළමු දරුවා ළදරු වියේදීම රම්‍යලතා ගැබ් ගත්තාම සැමියා ඇගෙන් එහෙම අහනවා.පරිස්සම් නොවීමේ වරද පවා පැටවෙන්නේ ගැහැනියට.රම්‍යලතාගේ කතාව තව බොහෝ දිගයි.

ෆේස්බුක් අවකාශයේ කාන්තා සමූහවල රම්‍යලතාලා දහස් ගණනක් තමන්ගේ කතා ලියා එවනවා.ආදරය විවාහයක් දක්වා රැගෙන යන්නට ඇත්තටම උවමනාදැයි නොදැන විවාහ වීම බොහෝ යුවතියන් රම්‍යලතා කෙනෙකු කරන්නට හේතුවක්.

ආදරය විවාහයකින් අවසන් විය යුතු බව අප සිතන්නේ නව යෞවන පාසල් ප්‍රේමයේ පවා පැටලෙද්දී බව රහසක් නෙවෙයි.ඒත් ආදරය ඇත්තටම විවාහයෙන් අවසන් විය යුතු නැහැ.එය අවසන් නොවිය යුත්තේ වේදනාවෙන් පමණයි.ආයේ ආයේම සිතා බලද්දී ආදරය කියන්නේ වේදනාබරිත සිතුවිලි කන්දක්වත් ජීවිතය අපායක් කරන පහසුම මාර්ගයක්වත් නෙවෙයි.

විවාහය කියන්නේ කාන්තාවකගේ ජීවිතය තුළ එකම සිහිනය නොවන බව ඇත්තක්.එය අත්‍යවශ්‍යම නොවන බවත් පිළිගත යුත්තක්.නමුත් කාන්තාවන් බහුතරයක් විවාහයට එළඹෙනවා.ඒ විවාහය ඉක්මන් විවාහයක් නොකර ගන්න හැම විටම මතකයේ තබා ගන්න.අපි ජීවත් වන්නේ දියුණු ලෝකයක.ආදරය කියන්නේ රාගයෙන් තොර බැඳීමක් කර ගන්න වැඩිහිටි තරුණියකට සහ තරුණයෙකුට හැකි වීම අල්පයි. දෙදෙනාගේ කැමැත්තෙන් ලිංගිකව බැඳීම ඔබේ තෝරා ගැනීමක්.ඒත් ඒ ලිංගික එක් වීම අහඹු ගැබ් ගැනීමකින් කෙළවර කර ගන්න එපා.නොකැමැත්තෙන් හදිසි විවාහයන්ට එළඹීම ජීවිතය සහමුලින්ම කනපිට පෙරලනවා.

අනෙක් කාරණාව ඔබ දෙදෙනාගේ ආදරය ගෙදර බත ඉදෙන්නටවත් රෝහල් ගාස්තු ගෙවන්නටවත්,ගෙවල් කුලී ගෙවන්නටවත් හැකි සාධකයක් නෙවේ.හොඳ ආදායම් මාර්ගයක් නැතුව මොනම හේතුවකටවත් විවාහ වීම සුදුසු නෑ.ආදරය පෑල දොරෙන් පලා යන්න දුප්පත්කම ඉදිරි දොරකඩින් එබිකම් කිරීම හේතුවක් කියන කතාව බොරුවක් නෙවෙයි.එය ඇත්තක්.දරුවෙකු ලැබුණාට පස්සේ උපත් පාලනයකට යොමු නොවීමෙන් නැවත ඉක්මනින් ගැබ් ගැනීමත් බොහෝ කාන්තාවන් කබලෙන් ලිපට ඇද දමන්නක්.ඒ නිසා ඔබට දරුවෙකු නැවත උවමනා කාලය එනතුරු ස්ථිර උපත් පාලනයකට යොමු වීම ඉතාම වැදගත්.

සුන්දර සහෝදරියනි,මේවා විවාහයකට එළඹෙන්නට පෙර ඔබ තදින් හිතට ගන්න ඕනෑ ස්වර්ණමය කාරණා බව අමතක කරන්න එපා.විවාහයක් කඩා බිඳ ගැනීම පහසු නැහැ.එය ඔබේ කාලයත් මුදලත් වැය කරන්නක්.නමුත් ඔබට දෙවතාවක් නොව දහස් වතාවක් සිතා විවාහ වෙන්න පුලුවන්.කලබලයෙන් විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසු තැවෙන බවට පැරණි කියමනක් තිබෙනවා.ඒවා නිකම්ම නිකම්ම වචන නොවන බව හිතද්දී රම්‍යලතා කෙනෙකු නොවී ඔබට ධෛර්යය ලැබෙන එක සහතිකයි.

ඔබේ යෞවනය හිරුමඬලක් තරමටම ප්‍රභාමත්ව ගෙවී යා යුතුයි.ප්‍රේමය ඒ හිරු මඬලෙන් ජීවය ලබා පිපෙන සූරියකාන්ත මලක් වන්නේ නම් මොනතරම් අපූරු ද?ඒ නිසා ප්‍රේමය දැයි නොපැහැදිලි සිතුවිල්ලකට අඳුරු වළාකුලක් වී ඔබේ ජීවිතය වසාගන්නට ඉඩ දෙන්නට එපා. ආදරය ජීවිතයට හුස්ම පිඹින වසන්තයක්.එය වසංගතයක් බවට පත් කරගෙන හුස්ම ඉල්ලා සිටිමින් නොවැළපෙන්න තරම් ඔබ ස්මාර්ට් කෙල්ලක්!

ජීවිතේ පරිස්සමින් තෝරා ගැනීම් කරන්න.

Related Articles

Don't Miss


Latest Articles