මවකගෙ ලෝකය 02 කොටස

“අපේ ගෙදර අය ඔක්කොමල දැන් එකට මුණගැහෙන්නෙ රෑට පවර් කට් එකක් වුණොත් විතරයි. නැත්තං තම තමන්ගෙ කාමර වල තම තමන්ගෙ ලෝක වල”

අම්මගෙ හිතවතෙක් එහෙම කියල හිනා වුණා දුවේ. ඒත් ඒ හිනාව යට තිබුණේ මොන තරං අසරණ කමක් ද, මොන තරං දුක් ගොඩක් ද, කොච්චර සීතල කඳුළක් ද කියල මට හොඳට ම තේරුණා.

අපිට ඉන්නෙ ඔයා විතරයි. ඒත් ඒ අංකල් දරුවො තුන් දෙනෙක් ගෙ පියෙක්. ඒ දරුවො තුන් දෙනා වෙනුවෙන් එයා කොපමණ වෙහෙසුණ, වෙහෙසෙන පියෙක් ද කියල මං හොඳටම දන්නවා. එහෙම වෙහෙස වෙලා ගෙදර යන පියෙකුට ඕනෙ ඒ දරුවො වට කර ගෙන දවසේ වූ සිදුවීම් ගැන කතා කරන්න. දරුවන්ගෙ ආදරෙන් වෙහෙස නිවා ගන්න. ඒත් මේ යුගයෙ දරුවො ඒ වගේ සජීවී සම්බන්ධතා වලින් කොයි තරං ඈත් වෙලා ද කියන එක හද පාරන කතාවක්. රෑට කරක්ට් නැති වෙලාවක විතරයි දරුවන්ට ගෙදර අනිත් අයගේ සමාගමය මතක් වෙන්නෙ කියන එක අපේ පවුල් සංස්ථා වලට වැදුණ මරු පහරක්. බරපතල ඛේදවාචකයක්. මගෙ දුවත් මේ ගැන හිතනවනං හොඳයි කියල අම්මට හිතුණා.

දුවේ අපිට මහ ගොඩක් දරුවො නෑ. අපිට ඉන්නෙ ඔයා විතරයි. ඒ නිසාම ඔයා අපිට ලෝකයක්. විශ්වයක්. තාත්තයි අම්මයි ඔයා වෙනුවෙන් සැලසුම් කරල තියෙන අනාගතය ඔයාව වැළඳ ගන්න පෙර මග බලන් ඉන්නවා. හැබැයි පුතේ ඔයා එතනට යන්න ඕනෙ මේ විද්‍යා හා තාක්ෂණික ලෝකයේ නිශ්පාදනයක් වුණ රොබෝ යන්ත්‍රයක් විදිහට නෙවෙයි. මොළයක් වගේ ම හදවතකුත් තියෙන, බුද්ධියක් වගේ සංවේදී මිනිස් කමුත් තියෙන දරුවෙක් හැටියට.

මිනිසාගෙ බුද්ධියේ හිණි පෙත්තක් කියල හිතපු තාක්ෂණය අපේ අලුත් පරමපරාව රකුසෙක් වගේ ගිල ගනිමින් ඉන්න හැටි පේනවා. මගෙ දූත් ඒ තාක්ෂණයේ වහලෙක් වෙමින් ඉන්න හැටි මට දැන් දැන් ටික ටික දැනෙන්න අරං.

“මොකද්ද දරුවො මේ වැඩේ තේරුම…කොයි වෙලේ බැලුවත් කම්පියුටර් එක ළඟ…නැත්තං ෆෝන් එකක් අතේ..දැං මං ඔය ඔක්කොම අයිං කරනව අතටවත් ගන්න බැරි වෙන්න. අන්න ඒක කර ගන්න එපා”

අදත් තාත්තා ඔයාට එහෙම කෑ ගහනව මට ඇහුණා.

“ඉතිං අනේ…මං පාඩං කරලනෙ ඉන්නෙ”

දුවගෙ කට හඬේ තිබුණෙ නොරිස්සුමක්.

“පාඩං කරලනං ගිහිං සෙල්ලං කරනව”

වෙනදට වඩා තාත්තට ටිකක් තරහ ගිහිං. ඒ ඔයා දැන් වැඩිපුර මේ තාක්ෂණික මෙවලම් එක්ක බැඳිල නිසා කියල මං දන්නව.

“අපේ දුවත් දැං ස්ක්‍රීන් එකකට මූණ ඔබා ගත්ත ගමන්නෙ රමී”

ඊයෙ රෑත් නින්දට සූදානම් වෙන ගමන් දූගෙ තාත්තා කිව්වෙ සන්තාපයකින්. මං දන්නව තාත්තගෙ හිතේ තියෙන හැඟීම. දූගෙ අධ්‍යාපනය වෙනුවෙන් කියල මේ දේවල් ඔයාට ලබා දුන්න එක ගැන දැන් එයා තුළ පුංචි පසු තැවීමක් තියෙනව.

දුවේ, තාත්තා හැම කැප කිරීමක් ම කරල මුළු ලෝකය ම ඔයා පාමුල තියන්නයි වෙහෙසෙන්නෙ. අලුත් ලෝකයත් එක්ක ඉස්සරහට යන්න ඕන කරන හැම දේම අඩුපාඩුවක් නැතුව ඔයාට ලැබෙන්නෙ ඔයා නූතන සමාජයට ඕන කරන බුද්ධිමත් පුරවැසියෙක් විදිහට ගොඩ නැගීමේ අරමුණෙන්. ඒත් ඒ දේවල් ඔයාව විනාශ කරන ආයුධයක් වෙනව දකින්න අපිට ඕන නෑ.

පහු ගිය දවසක ප්‍රවෘත්ති වලට විකාශය වුණා පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වුණ පුතෙක්, අම්මා ජංගම දුරකතනය ලබා නොදුන් නිසා දිවි නසා ගත් බවට පුවතක්. මගෙ ඇඟ සීතල වෙලා ගියා පුතේ ඒ සිදුවීම දකිද්දි. මං රහසින් කඳුළක් පිස ගත්තා. ඒ අම්මා හඬා වැටෙන්නෙ මොන තරං වේදනාවකින් ද කියල දන්නෙ අම්මා කෙනෙක් ම විතරයි. අවුරුදු දහ සයක් වෙනකල් ඒ පුතාව ඇති දැඩි කරන්න ඒ අම්මා මොන දුකක් උහුලන්න ඇද්ද? ඒත් පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වුණාට පස්සෙ ඒ පුතාට අම්මගෙ ආදරේ කොයි තරම් ද කියන එකත් අමතක වෙලා. ඒ දරුවා දිවි නසා ගත්තහම ඒ දෙමවුපියො ඒක උහුල ගන්නෙ කොහොමද කියල හිතන්නත් අමතක වෙලා.

ඇබ්බැහියක තියන භයානක කම ඒකයි මගෙ දුවේ. අම්මල තාත්තල කියන්නෙ දරුවන්ට වඩා වැඩි කාලයක් මේ ලෝකෙ ජීවත් වෙච්ච අය. අත්දැකීම් එක්ක හැප්පුණ අය. ඇබ්බැහියක් මොන තරං විනාශයක් කරන්න පුළුවන් ද කියල දන්න නිසයි දෙමව්පියො ගුරුවරු වැඩිහිටියො ඔයාලව ඒ දේවල් වලින් ඈත් කරල තියන්න හදන්නෙ. නැතුව ඔයාල එක්ක තියන තරහකට නෙවෙයි.

මේක තාක්ෂණික ලෝකයක් කියල අම්මයි තාත්තයි හොඳටම දන්නව පුතේ. ඔයා ඒ තාක්ෂණයත් එක්ක ගැටිල ඔට්ටු වෙලා අනාගත ලෝකයට නොබියව ගමන් කරන්න ඕන කියලත් අපි දන්නව. තාක්ෂණය කියන්නෙ ඉතිහාසය තුළ මිනිසා අනාගතයට පැනපු මහා පිම්මක්. ඒත් පුතේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියල පැරණි සිංහල කියමනක් තියෙනව. ඒ කියමන කොයි කවදටත් වඩා මේ යුගයට වලංගුයි කියල මට හිතෙනව.

තාක්ෂණයේ මහිමයෙන් අපිට ලබන්න පුළුවන් ප්‍රතිලාභ ඉතා විශාලයි. නමුත් ඒ අපි අවබෝධයෙන් ඒ දේ පාවිච්චි කරන තරමටයි දුවේ. අන්න ඒ අවබෝධය නැතිව තාක්ෂණ අතට ගැනීම, වඳුරාට දැලි පිහිය අහු වුණා වගේ කියන කතාවට සමානයි. දැලි පිහියෙන් කැපෙන බව නොදන්න වඳුරා කරන්නෙ තමන්ගෙ ශරීරය කපා කොටා ගෙන තුවාල කර ගැනීම. නමුත් ඒකට වරද දැලි පිහිය නෙවෙයි. මං කියන දේ පුතාට හොඳට පැහැදිළියි කියල හිතනවා.

රත්තරං පුතේ. ඔයා පරිගණක භාවිතය ගැන නිපුණ දරුවෙක් වෙන්න ඕනෙ. නමුත් ඒක අවභාවිතයේ අයහපත් ප්‍රතිඵල ගැන දැනගෙන ඉන්න ඕනෙ. අනවශ්‍ය තරම් කාලයක් තිරයක් දිහා බලං ඉන්න එක ඔය චූටි ඇස් වලට මොන තරම් අහිතකරද කියල මං නිතරම කල්පනා කරනව. මේ තරම් තාක්ෂණයත් එක්ක ගැටෙන මුල්ම පරම්පරා තමයි ඔයාල. ඒ දේවල අහිතකර ප්‍රතිඵල තව කොයි තරම් තියෙනවද කියල හුඟක් දුරට තවම කිසි කෙනෙක් දන්නෙ නෑ. පරීක්ෂණාගාර මීයෙක් වෙන්න ඕන නෑ පුතේ. දෙමව්පියන්ට තරම් දරුවෙක් වෙන කිසි කෙනෙක්ට වටින්නෙ නෑ. ඔයා අපේ ජීවිතේ. ඔයා අපේ හුස්ම ටික. ඔයා අපේ පණ. ඔයාට හෙම්බිරිසාවක් උණක් හැදුණත් අම්මා මොන තරං බය වෙනවද…ඒ ආදරේ වෙනුවෙන් ඔයා අපි ව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනෙ මගෙ පුතේ.

අර මගෙ යාළුව කියපු කතාව නිතරම මගෙ හිතට වද දෙනව. ළමයි තාක්ෂණයත් එක්ක හුදෙකලා වෙනකොට දෙමව්පියො හරියට අසරණ වෙනව දුවේ. අම්මලට තාත්තලට ඕනෙ දරුවො තුරුලු කරගෙන ඉන්න. සමහර විට එයාල ලොකු වුණත් ලොකුයි කියල හිතෙන්නෙ නෑ. දැනෙන්නෙ නෑ. ඒ ආදරේ අපිට දෙන්න පුතේ. අපිත් එක්ක ඉන්න. මේ තරං ආදරයක් ගේ ඇතුළෙ තියෙද්දි අන්තර් ජාලයෙ අතරමං වෙන්න හදන්න එපා.

අන්තර් ජාලයත් සමාජ ජාලාත් නිසා මිනිස්සු සැතපුම් දහස් ගණන් දුර ඉන්න අය එක්ක සම්බන්ධතා පවත්වනව. ඒත් ගේ ඇතුළෙ ඉන්න පවුලෙ අයගෙන් සැතපුම් දහස් ගණන් දුර ඈත වෙලා. ජීවිතේ කියන්නෙ ඒකට නෙවෙයි පුතේ. තාක්ෂණික දියුණුවේ අරමුණත් ඒක නෙවෙයි.

අම්මට ඕනෙ මගෙ දුව මහා හදවතක් තියෙන දරුවෙක් වෙනව දකින්න. ඔයා මේ මුළු මිනිස් ලෝකෙටම ආදරය කරනව දකින්න. ගහකොළ වලට සතා සීපාවටත් ආදරේ කරන දරුවෙක් වෙනව දකින්න. ඒත් දැන් හුඟක් දරුවො ඒ හැම දේකින් ම ඈත් වෙලා. පරිගණක ක්‍රීඩා ඇතුළෙ අතරමං වෙලා.

ඉක්මනට පාර හොයා ගන්න පුතේ. අම්මයි තාත්තායි ඉන්නව ඔයා ළඟින් ම.

More Stories

Don't Miss


Latest Articles