සෙනෙහස් අවාරේ 18

“ගෙදරමද අම්මේ දැන් රෙජිස්ට්‍රේශන් එක ගන්නෙ?” සිසිමාධවී ඇසුවේ උත්පලා අක්කාගේ සහ බඳින්න ඉන්න අයියා වන නිලන්තගේ පොරොන්දම් බලා පුශ්පලතා ඒවයේ ගුණාගුණ කියන්න ගෙට ගොඩ වුණ මොහොතේය.

“ඔව් ළමයො, උත්පලත් කියනවා, තියෙන සල්ලි ටික ඔය මගුල්වලට වියහියදම් කරන එකේ ගේ තව පොඩ්ඩක් හොඳට හදාගන්න තිබුණා නම් හොඳයි කියල. ඒ නිලන්ත ළමයත් කියනවලු ඒ ළමය ලඟ ඉතිරි කරගත්ත සල්ලි ටික දාලා මේගේ ඉස්සරහ පොඩි සිල්ලර කඩයක්වත් දාගමු කියල.හැමදාම ඉතින් රස්සාවල් කරන්න කියලද කියල”

“ඒකත් හොඳයිනෙ අම්මෙ. අපිටත් බඩුවක් මුට්ටුවක් ගන්න හන්දියටම යන්න වෙන එකේ මේ හරියෙ කඩයක් දැම්මොත් බිස්නස් උනත් හොඳ වෙයි. අනික ඉතින් අර කිව්ව වගේ ප්‍රයිවට් තැන්වල රස්සාවල් හැමදාම කරන්න බෑනෙ. අනික මොකෝ පෙන්ශන් එකෙක් කියල දෙයක් ලැබෙන්නෙත් නෑනෙ”

“ඒක නම් එහෙම තමා. අත්සන් කරන එක විතරක් කරන හන්දා ලබන මාසෙ හොඳ නැකතක් තියෙන දවසකුත් බලාගෙන මම ආවෙ. ඔය ළමයට නිවාඩුවක් හෙම ගන්න ඇහැක් වෙයි නේද?”

“කල්තියා කිව්වොත් පුලුවන් වෙයි අම්මෙ. දවල් කෑමක් එහෙමත් දෙන්න වෙයි නේද?””

“මහ සෙනගකට කියනවය කියලය. ඔය විසි තිස් දෙනෙක් ඉඳී ඕන නම්. බැරියමොනා හරි හදාගන්න.”

“මටත් පඩි හම්බෙනවනෙ අම්මෙ, මං මෝජුවකුයි අච්චාරුවකුයි දාල දෙන්නම්”

“අනේ ළමයො ඔය ළමය හම්බකරන තුට්ටු දෙකෙ ඒද කෝසලගෙ බෙහෙත් හේත් ද දරුවො දෙන්නගෙ විය හියදම් ද ගෙදර වියදම් ද ඔක්කොම බලන්නෙ? එහෙම එකේ ඔය මක්කටවත් වියදමක් කරන්න යන්න ඕන නෑ” පුශ්පලතා කිව්වේ ඇයට දැනුන ඇත්තම සිතුවිල්ලය. මීට කලියෙන්, කෝසල අසනීප වන්නට කලියෙන් තමා හැකිතාක් දේ සිසිමාධවී ලව්වා කරගත් බව ඇත්තක් නමුත් පුශ්පලතා උන්නේ දැන් ඒ සියල්ල ගැන පසුතැව්මිනි. අනෙක් අතට තමන්ටත් වඩා තරුණ වයසකදී ගෙදරක බර කරට ගන්නට සූදානම් වූ සිසිමාධවී ගැන පුදුමයෙනි.

“අනේ නෑ අම්මේ, මං කරල දෙන්නම් මොකෝ මමයි කෝසලයි කියල උත්පලා අක්කගෙ මගුලට වෙන වියදමක් දරන්න කියලය”

සිසිමාධවී උන්නේ තිලකරත්න නිවසින් ලැබෙන මාසික වැටුප හැකි උපරිම අන්දමෙන් පරිස්සමෙන් භාවිතයට ගනිමිනි. පසුගිය මාස දෙක පුරාවටම ලද වැටුප සිසිමාධවී පරිස්සමෙන් පාවිච්චි කරාය. කෝසල නැති දිනක දරුවන් වෙනුවෙන්ය කියා පොඩිගාණක් ද ඉතුරු කරාය. ඒ වූ කලී ඈ බලාපොරොත්තු වුණාට වඩා වැඩි අගයක් විය. කල්පනා විසින් තමන්ගේ වැටුප තමන් අතට දෙනවා යැයි කියා සිසිමාධවී සිතා උන්නද ඒ ගෙන ආවේ සුමධුර විසිනි.

“අම්මව බලන්න සර්වන්ට් කෙනෙක් හොයාගන්න ඕන. හැමදාම මට ඇවිල්ල අම්මව බලාගන්න බෑනෙ අයියෙ” කල්පනා කිව්වේ සිසිමාධවීට කලින් අයිරාංගනී බලාගන්නට උන් ජයවතී හොරකම් කර අසුවුණායින් පසු ගෙවුණ දින දෙකකට පසුවය.

“මට සර්වන්ට් කෙනෙක්ව හොයන්න වෙලාවක් නෑ කියල ඔයා දන්නවනෙ.ඔයා කෙනෙක්ව හොයන්න” සුමධුර කිව්වේ කල්පනා දෙස නෙත් කොණකින්වත් නොබලාය.සුමධුරත් කල්පනා අතරත් තුරුණු වියේ සිට එහෙමකට කියා යහපත් සබඳතාවයක් තිබුනේ නැත. යහපත් හෝ අයහපත් කියා කිසිත් සබඳතාවයක් නොතිබුණ තරම් ය. සුමධුර උන්නේ තමන්ගේ නිහඬ නිසසල කල්පනා ලෝකයක තනීවිය. අනෙක් අතට කල්පනාට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් බොරු පුරසාරම් ද පොලොවෙන් අඩියක් දෙකක් උඩ ජීවිත ගමනක් ද ගෙවාගනිමිනි.

“හොයල නං දෙන්න පුලුවන්, හැබැයි ඔන්න මට නම් සල්ලි නෑ ඔය එක එක උන්ට පුදන්න. අයියට වගේ අපිට ඉතින් බිස්නස් පිටින් සල්ලි හම්බෙන්නෙ නෑනෙ. අනික අයියට මොකෝ වියදමක් කියල දෙයක් තියෙනව කියලය. අපිට නම් දරුවො හරි ඉන්නවනෙ”

පෙනුමෙන් කෙතරම් උසස් ලෙස හැසිරෙන්නට උත්සහ කරද මිනිසුන්ගේ සැබෑ ස්වරූපයන් එලියට මතුවන්නේ මෙවන් අවස්තාවල බව සුමධුර කල්පනාගේ කතාව අසා කල්පනා කරේය.නංගී කොහොමත් ඉස්සර සිටම හිතුවේ තමන්ගේ සුබසිද්ධිය පමණක් බව සුමධුරට රහසක් නොවේ. කල්පනාගේ දරුවන් කුඩා කාලයේ සුමධුර සමග ඉතා කෙලිදෙලෙන් කාලය ගෙව්වද උන් ලොකුවෙත්ම තරුණ ප්‍රජාවට ආවේණික හුදකලා බවේ කබා හැඳ පැලැඳගෙන ඒ ඇසුරෙන් මිදුණහ. එහෙත් කල්පනා බොහෝ විට ඒ ඇසුර ආයෙම වරක් ගෙන එන්නට උත්සහ කරේ තමා නමට පවතින, තමන්ගෙන් පසු උරුමකම් කියන්නට කිසිවෙකු නැති දේපල ගැන සිතා බලා බව සුමධුර නොදන්නවා නොවේ.

“ජයන්තිට පඩි ගෙව්වෙත් මමනෙ. ඉස්සරහට කී දෙනෙක් ආවත් මම එයාලට පඩි දෙනව කියල දන්නවනෙ. ඒක ගැන ඔයා වොරි වෙන්න එපා. ඔයා ඉක්මනට සර්වන්ට් කෙනෙක්ව හොයන්න”

කල්පනා විසින් සිසිමාධවී වන් තරුණ කෙල්ලක අම්මාගේ තනියට මෙහි ගෙන ඒ යැයි සුමධුර කිසිම විටක සිතා තිබුණේ නැත ඇය වන් තරුණ කෙල්ලකට මෙවන් රැකියාවක් කරන්නට හේතුවන බොහෝ ගැටලුද දුගී දුප්පත්කමද සුමධුර හිතා බැලුවේය.

ඇයට ඒ පඩිය දෙන්නට සුමධුර කටයුතු කලේ ඇයව පෙලන කුමක් හෝ දුකකින් ඇයව මුදවාගන්නවාය යන පරම පවිත්‍ර අදහසිනි.

“කල්පනා මැඩම් නෙ මහත්තය සල්ලි දෙනව කිව්වෙ?” සිසිමාධවී එසේ කියමින් තමා වෙත හෙලූ අසරණ බැල්ම සුමධුරගේ සිත් ගත්තක් නොවේ. ඒ බැල්ම ඇය වන් තරුණියකට නොගැලපෙන්නක් බව සිතුවද එයකියා ගන්නට හැකියාවක් සුමධුරට තිබුනේ නැත.තවමත් එවන් කතාබහකට තමන් සමීප නැත. අනෙක ඇය තම සේවිකාවය. තමන් හාම්පුතුය. සිත කුමක් කීවද ඇත්ත එයය.
“කල්පනා මැඩම් තමා ඔයාව තෝරල හොයල කරල ගත්තෙ, හැබැයි පඩි ගෙවන්න භාරගත්තෙ නම් මම”

සුමධුර කිව්වේ තමාටම නුපුරුදු සිනහබර හඬකිනි.

“බොහොම ස්තුතියි මහත්තය” කියා සිසිමාධවී නික්මුනේ ඇත්තටම සන්තෝසයෙනි. ඇය සුමධුර ඉදිරියේදී මුදල් ගණන් කර බැලුවේවත් නැත. සුමධුර විසින් මුදල් බහා අත තැබූ කහ පැහැ ලියුම් කවරය හැර බලන්නට සිසිමාධවී කටයුතු කරේ එදර ආවයින්ද පසුවය. කල්පනා විසින් කියූ මුදල එහි ඇතැයි කියා සිසිමාධවී සිතා උන්නද සුමධුර එහි එයට වඩා මුදලක් තැන්පත් කර තිබුණේය.

“සමහරවිට ඒ මහත්තයට වැරදිල වැඩිපුර කීයක් හරි තිබ්බද දන්නෙ නෑ නේද මධූ?”” සිසිමාධවී කෝසල එක්ක ඒ විස්තරය බෙදාගත්තයින් පසු කෝසල එසේ කිව්වේය. ඉන්පසු විනාඩි කිහිපයක් පමණ එක දිගට කැස්සේය. සිසිමාධවී වහා විත් ඇඳේ හාන්සි වී හුන් කෝසලගේ පපුවෙන් මදක් ඔසවා ඔහුට වතුට උගුරු ටිකක් පෙව්වාය.

කෝසල දැන් වැඩි හරිය ඉන්නේ ඇඳේය. කෑමක් කන්නට කිසි පිරියක් නැති හන්දාම කෝසල උන්නේ දර ඉපලක් මෙන් ඇදී ගොසිනි. නහර ද ඇටකටුද වඩා හොඳින් පෙනෙන්නට තිබෙන කෝසලගේ ඇඳක් මත හාන්සිකර තිබුණ සිරුරේ පණ තිබෙන බව කෙනෙකුට තේරුම්ගියේ විටින් ව්ට ඔහු පපුව අල්ලාගෙන නගන කැස්ස හන්ද පමණකි.

කෝසල ජීවයක් ඇති පරඬලක් කර තිබුනේ ඔහුගේ ජීවිතය සොරාගන්නට පැමිණ තිබූ ඒ කැස්සමය.

“ඔව් ඒක තමයි මමත් කල්පනා කරේ” හෙමින්සැරේ එක් අතකින් කෝසලගේ පපුව අතගාන අතරේම අනෙක් අතින් සුමධුර විසින් තමා අත තබන්නට යෙදුණ මුදල් දෙස බලමිනි.

“ඔයා හෙට ගිහිල්ල ඒ මහත්තයට ඔය වැඩි සල්ලි ටික දෙන්න මධූ” කියා කෝසල ආයෙ වරක් පපුව අල්ලාගෙන කැස්සාය.

“ඔව් මං හෙට ගිහින් දෙන්නම්” කියා සිසිමාධවී වහා ඒ කතාව නතර කර දැමුවේ කෝසල කහිනවා බලාගෙන ඉන්න බැරි හන්දාමය. ඒ ඒතරමට හිත කීරිගස්සන හඬකි.මරණයගැන කියවන පූර්ව නාදයක් බඳු දෙයකි. සිසිමාධවී උන්නේ එයට වඩා බියපත්වය.

“ඒ සල්ලි මම ඇත්තටම දුන්නේ අපේ අම්මා ඔයාගැන හරි පැහැදීමෙන් කතා කර හන්දා. අපි හැමදාම සර්වන්ට් කෙනෙඛෙව්වට අම්මට කවදාවත් ඕන උනේ සර්වන්ට් කෙනෙක් නෙවෙයි කියල අපි දැනගෙන හිටිය. අම්මට ඕන වුනේ තනිකම මකාගන්න කවුරු හරි කෙනෙක්. තමන්ගෙ කියලා හිතෙන කෙනෙක්.

ඒ උනාට එහෙම මිනිස්සු හොයන්න බෑනෙ නේද? අම්මගෙ මොකක් හරි වාසනාවකට වෙන්නැති අපි වැඩට ගන්නව කියල හිතුව කෙනා අම්මට තමන්ගෙ කෙනෙක් කියල දැනුනෙ. ඒක නිසයි ඒ වැඩිපුර ගාණ මං දුන්නෙ. ඒක සන්තෝසමක් නෙවෙයි. අපේ අම්මා වෙනුවෙන් මටයි කල්පනාටයි කරන්න බැරි වෙච්ච දෙයක් කරනවට ඔයාට දුන්න තෑග්ගක් කියල හිතන්න”

සිසිමාධවී ඒ වැඩිපුර මුදල එහෙමම ඉතුරු කරාය.ඒ මුදලින් කරන්නට බොහෝ දේ, කල යුතුම දේ අනාගතයේ එන බව සිසිමාධවී දැන උන්නාය.

නැතිනම් තේරුම් ගනිමින් උන්නාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles