කස්සපට මා විවාහ කර ගැනීමට තිබූ උනන්දුව කුමක්දැයි විමසන්නට ඔබටද සිතෙනු ඇත. මටද එය ප්‍රශ්නාර්ථයකි. මහේලගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔහුද කිසිවක් නොදන්නා වග කතාවෙන් පැහැදිලි විය. අම්මා රෝහල් ගතව සිටින නිසා ඇයගෙන් ඒ ගැන විමසීම සුදුසු නොවේය. ඇතැම්විට ඇයද නොදන්නවා විය හැක. එහෙත් අනිවාර්යයෙන් අයියා ඒ ගැන දන්නවා විය යුතුය. අප සියල්ලන්ටම ඉවසා සිටීමට සිදු වේ.
මහේල ගේ අක්කා පස් මස් ගැබිණියකව උන්නාය. සියළු දෙනා පෙර දයාබර බවින්ම මා වැලඳගන්නට උත්සාහ කලද, මට සුවපහසු බවක් දැනුනේ නැත. එනිසා මම වචනයක් දෙකක් පමණක් කතා කරමින් කාලය ගෙවා දැම්මෙමි.
” දැන් අසේකාගේ ජීවිතේ නිදහස් … මං ලබන සතියේ එයාව මැරි කරන්න හිතුවා…”
මහේල එක්වරම කීවේය. අනෙක් සියළු දෙනා එය පිළිගන්නට සූදානම් මුහුණකින් සිටියදී, මම පමණක් තිගැස්සී ගොස් තිබුණි. මහේලගේ අක්කා සහ මස්සිනා මා දෙස බලා දෙතොල් පිට පෙරලා සතුටින් සිනාසුණහ. එය සැබැවින්ම වූ සිනහවක් බවට සැක නැත.
” එකපාරටම එහෙම තීරණය කරන එක හරි මදි .. මමයි තාත්තා යි අසේකාගේ තාත්තා යි , නැන්දයි මුණ ගැහිලා මේ ගැන කතා කරලා ඉන්නම් ඉස්සෙල්ලාම …
මහේලගේ අම්මා මහේල වෙත ඇවිද යමින් කීවාය. මහේල විරෝධතා නොපාම ඇයට එකඟ විය. ඉන්පසු ඔවුන් පස් දෙනා විවාහය සැලසුම් කලහ.ඒ අතරේ කස්සපගේ මරණය සහ ඔහුගේ සැඟවුණු ජීවිතය පිළිබඳව හෙලිදරව් වෙමින් තිබුණ කාරණා පිළිබඳව ද කතා බස් කරනු ඇසුණි.
” කස්සපගේ බ්ලැක් මනී සීන් එක තදටම තිබිලා තියෙන්නේ. එදා වෙඩින් එක දවසෙත් ඇරෙස්ට් කරලා තියෙන්නේ එහෙම එකකට… නිව්ස් වල ඔය කියන්නේ….”
” වෙඩින් කතාව දිගටම ඇදුනොත් අසේකා ගැන වුනත් හෙලිදරව් වෙන්න පුළුවන් .. ඒම දේකට මුහුණ දෙන්න සූදානමින් ඉන්න .. විශේෂයෙන්ම අසේකාගේ මයින්ඩ් එක සෙට් වෙලා තියෙන්නෝනි…”
මහේලගේ මස්සිනා පැවසූවේය. මහේල මා වෙත ඇවිද ආවේය.
” ඔය කියන කතා කොහොම උනත්, හදන හැදෙන , ඔයා හදාගන්න කතා කොහොම උනත් අසේකා, ඔයා අමතක කරන්න ඕනි නැති දේ තමයි, මම අවුරුදු හයක් ඔයා දිහාම බලාගෙන උන්නා කියන එක… ඔයාට මාව විශ්වාස කරන්න ඒකම ඇති නේද ?..”
මට එක්වරම ඈශ් සිහිවිය. එහෙත් මම හිස සැලුවෙමි. මේ එවැන්නක් විමසන්නට වෙලාවක් නොවෙන බව වැටහුන නිසා ඉවතකද බැලුවෙමි. එහෙත් අරන්දර මහතාගෙන් සැඟවෙන්නට ඉඩක් ලැබුනේ නැත. සවන් පාමුලින් ගිගිරුමක් ඇසුණි.
” අසේකා මේ.. ඔය හූල්ලලා අහක බලා ගත්තේ ඈශ් මතක් වෙලා නම්, ඒකි ලංකාවට ඇවිල්ලා ඉන්නේ මිනිහයි , දරුවයි එක්ක කියලා ඔය ඔලු ගෙඩියට දාගන්නවා…. මං කාවවත් කසාද බැඳලා නෑ ඕයි …”
එහෙම කිව් මිනිසා ඉන් මාස දෙකකට පසු අසේකා පණ්ඩිතරත්න හා විවාහ වූවේය. දෙපාර්ශවයේ වැඩිහිටියන් හැරෙන්නට කිසිවෙකුට ඒ මොහොත නිරාවරණය වූයේ නැත. මහේලගේ පසින් ඔහුගේ පියාත්, මගේ පසින් මගේ පියාත් සාක්ෂි වෙනුවෙන් අත්සන් තැබූහ.
අම්මා සහ අයියා ඒ වනවිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වුහ. එහෙත් මම අයියා දකින්නට ගියේම නැත. අම්මා නම් සාමාන්‍ය ලෙසින් මා හ හැසිරෙන්නට උත්සාහ කරමින් උන්නාය. එහෙත් අතීත සිදුවීම් කිසිවක් පිළිබඳව ඇය කිසිත් කියන්නටවත් උත්සාහ කලේ නැත. අයියා අත් අඩංගුවට ගෙන, බන්ධනාගාර රෝහල් ගත කරවා තිබුණි. ඒ වෙනුවෙන් මහේල කුමක් හෝ කරන්නට ඇතැයි සිතුණි.
කස්සපගේ වෛවාහික බිරිඳයැයි පවසන කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇති පුවත අසන්නට ලැබුනේ අප විවාහ දිනයේමය. එය එලෙස වීමේ සැනසුම් සුසුම හෙලුනද, එය එලෙස තිබියදීත් මා විවාහ කරගැනීමට ඔහුට තිබු අවශ්‍යතාව සිතා ගන්නට නොහැකි විය. වසර හයක් මා කියා කෙනෙක් ගැන සොයා බලන්නට හෝ උත්සාහ නොකර, ඉන් පසු එක්වරම විශාල මුදලකට යළි මා අත් පත් කරවා ගැනීමේ මෙහෙයුමක් ඇරඹුවේ මන්දැයි සිතා ගන්නටද නොහැකිය.
මහේල අරන්දර මෝටර් රථය අධිවේගී මාර්ගයට ඇතුළු කලේය. අපේ ගමනාන්තය හික්කඩුවය. එක් රැයකටය. ඒ මම ඉස්සරම කාලයේ නොතේරුම් කමට කිව් වචනයක් රකින්නටය.
” එහෙනම් අරන්දර නෝනා…!!!”
මහේල ගත කිලි පොලා යන ස්වරයක් මා වෙත පා කර කොපුලක් මිරිකා දැම්මේය. මම පෙම්වතකු ඉදිරියේ පලමු වතාවට කෝල වන පෙම්වතියක සෙයින් ඇඹරුණෙමි. අරන්දර නෝනා යන ස්වරයේ ත් වචනයේත් උත්කර්ෂය මා ඒ කෝලයට ඇද දමන්නට ඇත.
” තරහද ?…”
මහේල ඉන් පසුව ඇසුවේය. මම ඔහු දෙස බැලුවේ විමතියෙනි.
” ලොකු වෙඩින් එකක් නැතුව, පැය බාගෙන් හැමදේම ඉවර කලාට…”
මහේල හේතුවද ඉස්සර කලේය. මම සිනාසුනෙමි. ලොකුවට ගත් මංගල්‍යක වේදනාව තවම මගේ හදවත තුළ පැල්ලම් තනමින් රිදවයි.
” අපි වෙඩින් එකක් ගමු … ලස්සනට ..ලොකුවට …”
“මට ඕනි නෑ… මට ඕනි ඔයා එක්ක ඉන්න …. මෙහෙම ….”
මම ඉන්නේ කොතැනදැයි අමතක කර මහේලගේ බාහුව වටා පැටලී හිස තියා ගත්තෙමි. මහේල මගේ හිස සිප ගත්තේ තත්පර කිහිපයකට පසුවය.
” හැමදේම ඉක්මනට , හොඳ විදියට වෙනවා අසේකා.. කස්සප බැඳපු මිනිහෙක් වෙලත් ඔයාව බඳින්න තිබ්බ උවමනාව හොයාගත්තම ඒ චැප්ටර් එක ක්ලෝස්… ඒ කොහොම උනත් ඒ හැමදේම අර ගෑණිත් දැනුවත්ව වෙන්නැත්තේ… එදා හොස්පිට්ල් එකේ උන්න දරුවයි ගෑණියි වෙනමම කතාවක් කියන්නෙයි, මුල් ගෑණි අර තරම් සැපට මන්දිරේක උන්නා කියන්නෙයි එතන වෙනමම කතාවක්…”
” අයියා දන්නවා ඇති …”
” හ්ම්ම්..”
“ඔයා කතා කලාද ?”
” අපි බලමුකෝ අසේකා… කලබල වෙන්නෙප.. ඒත් ඔයාදැනගන්න ඕනි මේක… අයියාගේ මෙන්ටැලිටි චුට්ටක් විතර අන්ස්ටේබල් කතාවක් කිව්වා.. වැල්වටාරම් කියවන්නේ.. ඒක රඟපෑමක්ද දන්නේත් නෑ… අද සයිකැට්‍රික් කෙනෙක් ට දාවි…”
මම සුසුමක් හෙලුවෙමි. කොහොමටත් මට දිට්ඨ දම්ම වේදණීය කර්මය ගැන මට විශ්වාසයක් ඇත. අයියාගේ ඉරණම කුමක් වුවද ඒ ද් වෙනුවෙන් මට දැවිල්ලක් ඇති වනු ඇත. එහෙත් එය ගින්නක් නොවනු ඇත.
ඒ ගැන සලකා ඔබ මා විනිශ්චය නොකරනු අතැයි සිතමි. මෙච්චර කල් තිස්සේ මගේ ජීවිතය විඳි දුක් ගැහැට වලින් අරික් කාලක තරමක් හෝ දන්නා නිසා ඔබට එලෙස කරන්නට අයිතියක්ද නැත.
අප හික්කඩුව ට පැමිණෙද්දී සවස පහ පසුවී තිබුණි. මහේල මගේ අත අත් හැරියේ කාමරයට පැමිණි පසුවය. කාමරයක් කීවාට එය කුඩා ඇනෙක්ස් එකක් වැනිය.
” මෙච්චර වියදම් කලේ ඇයි ?”
මට ඇසුණි.
” අවුරුදු හයක් තිස්සේ හම්බ කලේ මේකට නිසා..”
මහේල මා වැළඳගෙන කීවේය. ඒ රැය සුව පහසු විය. ඉතින්, ඉනික්බිති ජීවිතය කෙතරම් අපහසු වුවද , සුවපහසු බව අඩු නොවන බව දනිමි.
අසේකා පණ්ඩිතරත්න, මෙතනින් නවතින්නේ ඔබට ප්‍රශ්න ඉතිරි කරමින් වීම සමාව අයදින්නට කරුණකි. එහෙත්, මින් එහාට මේ කුණු මතම යැපෙන්නට මට රුචි නැත. එනිසා, මා අසා සිට්මින්දරා උන්නාට ඔබට පින් කියමි. මහේල අරන්දර ; තිතක් නොවී කොමාවක් ව ගොස් යළි විත් මගේ ජීවිතය අල්ලා ගත් බව විතරක් ඔබට මතක තියාගන්නට ආරාධනා කරමි.
| අපේක්ෂා ගුණරත්න |