ආදරේ තරම්…….

”ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි  පිය ළඳේ ……..””

අනිල් අංකල් මහ හයියෙන් සිංදුවක් කියාගෙනම පාරේ යනවා.ඔය සිංදු ඇහෙන්නෙ හීනියට අඩියක් දාගත්තු දවසට කියලා මුළු ගමම දන්නවා.
ඒ විතරක් නෙවෙයි ,බොහොම සංවේදී සිංදු වැඩිපුර ඇහෙන්නේ අපේ  ගේ ඉස්සරහ පල්ලම බහිද්දි බව මට කීප වතාවක්ම නෝට් වෙලා තිබ්බා .
ඒ සිංදු ඇහෙද්දි අම්මා සෑහෙන අපහසුතාවයට පත් වෙනවා ත් තාත්තා උපහාසාත්මක සිනහවකින් අම්මා දිහා බලනවා ත් මට එක වයසකදී  හොඳටම පැහැදිලි වුණත් ඒ ගැන  අහන්න තරම් හයියක් මට තිබුණේ නැහැ.
ඒත් එහෙන් මෙහෙන් පිරිමි ළමයි බැල්ම දාන්න පටන් ගන්න වයස එද්දී මට මොනවා හරි හැංගිච්ච කාරණාවක් මේ සින්දු පිටිපස්සේ තියෙනවා කියලා හොඳටම තේරුම් යන්න පටන් ගත්තා.
මොකද අනිල් අංකල්ගෙ පුතා හිටියේ මට පොඩ්ඩක් ඉහල පන්තියක.එයා අජන්ත.අජන්ත අයියයි මමයි හිටියේ එකම නිවාසයේ.මොකක්දෝ දන්නේ නැති බැඳීමක් අපි අතර තිබ්බ.ඒ හින්දා ද මන්දා අපි දෙන්නගෙ නම් එකට ඇඳලා විහිලු කරන්න ළඟම යාලුවො පුරුදු වෙලා හිටියා.මේකට අජන්ත අයියාවත්,මාත් කිසිම අකමැත්තක් පෙන්නුවෙ නැහැ .අජන්ත අයියගෙ කාරුණික බවට වගේම ,කඩවසම් බවට ත් මගේ හිත යටින් කැමැත්තක් තිබුණා කියලා මට තේරුණා.ඒවගේම ශිෂ්‍යය නායකයෙක් වුණ එයාගෙ පස්සෙ සෑහෙන්න ගෑනු ළමයි ආව ත් එයා ඒ කාටවත් කැමැති වුණේ නැහැ.

රැලි අතරේ පාවී…………
අනිල් අන්කල් ගෙ කටහඬ ඈතට ඈතට ඈතට පාවුණා.මම හෙමින් හෙමින් හෙමින් හොර ගල් අහුලමින් කුස්සිය පැත්තට අඩිය තිබ්බා.
අම්මා,කුස්සියෙන් එපිට ඈත අහස දිහා බලාගෙන දිගු කල්පනාවකට වැටිල  හිටියා .අද තාත්තා තවමත් ගෙදර ඇවිත් තිබුණේ නැහැ.ඔෆිස් එකේ රෑ වෙනවා කියලා කලින්ම කියලා තිබුණා.කුස්සියේ දිග ඇඳි පිටුවේ කොනක මම හෙමින් වාඩි වෙනවා මම අම්මට දැනුණේ නැහැ.

“අම්මා,තේ එකක් බොමුද ?”

මගේ හඬින් අම්මා හොඳටම තිගැස්සුණා .කොහේ හරි දුර ඈත අතීතයක එල්ලිලා එයා හිටපු බව ඇස්වලින් තේරුණා.ඒක  හාරා ඇවිස්වීමේ ආසාවක් කවදාවත් නැතිව මට ඇති වෙමින් තිබුණ.

“අම්මා අනිල් අංකල්ට ලස්සනට සිංග් කරන්න පුළුවන් නේද ?”

අම්මා දෑස් විසල් කරගෙන මා දිහා බැලුවා.මම එයාගේ අතීතයේ යමක් දන්නා බව ට සලකුණක් හොයාගන්න දෝ තත්පර කිහිපයක් නිසොල්මනේ හිටියා .මම මුකුත්ම කියන්න කට ඉස්සර නොකරන බව දැනුනු අම්මා හිනාවුනා.
“ඔයා අනිල් අංකල් ව දන්නවාද?

“ඔව් අම්මා මම දන්නෙ නැත්තේ ඇයි?එයාගෙ පුතා මාත් එක්ක හරිම යාලුයි .අපේ හවුස් එකේ  ඉන්න ළමයින්ගෙන් අජන්ත අයියා මට තමා වැඩියෙන්ම  සලකන්නෙ”

අම්මාගෙ ඇස් දෙක තව ටිකකින් එළියට පනියිදෝ මට බය හිතුණා.

“ඔයා කොහොමත් කිසිම පිරිමි ළමයෙක් එක්ක ඔය අනවශ්‍ය ඇඟලුම්කම් වලට යන්න එපා .විශේෂයෙන්ම අනිල් ගෙ පුතා එක්ක.ඔන්න මං නොකිව්වයි කියන්න එපා.”

අම්මගේ වචන වල තිබ්බේ තරමක් තද ගතියක්.

“හරි වැඩක් නේ.මම එතකොට ආශ්‍රය කරන්න ඕන ඔයා කියන අයවද?mix school වල කොහොමත් ගෑණු යාලුවෝ පිරිමි යාළුවො කියලා වෙනසක් නැහැ.ඒක ඔයා දන්නවනේ .ඔයත් ගියේ  ඒ ඉස්කෝලෙටමනෙ.”

“ඒත් මං අහන්නේ ඇයි ඔයා විශේෂයෙන් අනිල් අන්කල් ගේ පුතා කියලා කිව්වේ.ඇයි ඇයි අනිල් අන්කල් අපේ ගේ ඉස්සරහින් යද්දි විතරක් සින්දු කියන්නේ  ?
මම පොඩි ළමයෙක් නෙමෙයි නේ අම්මා.මොනාහරි තියෙනවා ඔතන රහසක්.”

අම්මාව තව තවත් අපහසුවට පත් කරමින් මම දිගටම කියවාගෙන ගියේ  අජන්ත  අයියව ආශ්‍රය කරන්න එපා කියපු කේන්තියටත්  එක්ක වෙන්න ඇති.ඒත්…ඇසිල්ලෙන් අම්මා දෙස බලද්දී අම්මාගේ දෑසෙ දිලිසෙන කඳුළක් ඉතාමත් තරවටු බැල්මකින් මං දිහා බලන් ඉන්නව කියල මම දැක්ක.අම්මා මොකුත් ම නොකියා ආයෙමත් ඈත අනන්තය දිහාවට දෑස් දැල්වුවා.
ආයෙමත් කවදාවත් අම්මා එක්ක ඒ ගැන කතා කරන්න තරම් ධෛර්යයක් මට එන්නේ නැති වෙයි කියලා මම දුකින් හිතුවා.
ඒත්  අම්මා හීන් හිනාවක් එක්ක,අවුරුදු දහසයක පාසැල් දැරියකගේ  ලස්සන කෝල හිනාවක් එක්ක මා දිහාවට හැරුණා.

“ඔයා දැන් පොඩි ළමයෙක් නෙවෙනෙ දෝනි,මම කියන්න ඕනි මේ දේවල් ඔයාට.ඒක මටත් සැහැල්ලුවක් වෙයි”

අම්මා කියද්දි මොනවා කියන්නදැයි අවබෝධයක් නැතත්  මේ මොහොතේ අම්මාගේ බැල්ම මගේ සමවයසේ මිතුරියක සහ අම්මා අතර වෙනසක් නෑ කියල මට තේරුණා.
ඒ වගේම එයාගෙ ජීවිතේ මා ඉදිරියේ දිග හරින්න එයා ඉදිරිපත් වීම ගැනත් සතුටකින් හිත කකියන්න ගත්තා.අම්මා මගේ අත තදින් අල්ලා ගත්තා.එය තරමක් සීතලයි.නොසන්සුන්.

“දෝනිට මම රහසක් කියන්න ද? අනිල් අංකල්  මගේ පළවෙනි ප්‍රේමවන්තයා.අපි එකම ඉස්කෝලෙ ,එකම නිවාසෙ හිටියෙ.එයා හරිම ස්මාට් ,කෙල්ලො වහ වැටිල හිටියෙ එයාට.ඒ අතරෙ තමා අපේ සම්බන්ධකම පටන් ගත්තෙ.
එයා මට හරිම ආදරෙන් හිටියෙ.ඒත් එයාලගේ පවුල් පසුබිම නිසා අපේ ගෙදරින් පොඩ්ඩක්වත් එයාට කැමැති වුණේ නැහැ .මාව බලෙන්ම තාත්තට බන්දලා දුන්නෙ.මම අඬන්න පුළුවන් තරම් ඇඩුවා.කසාද බැඳලා මම මාස ගාණක් යනකම් තාත්තට කතා කරේ නැහැ.අපි පිටට පේන්න විතරක්  එකමුතුව හිටියා.ටිකෙන් ටික තාත්තට මා එක්ක කේන්ති  එන්න පටන් ගත්තා .එයා හරිම හොඳ මනුස්සයෙක්.එයාට ඉවසන්න පුලුවන් උපරිම සීමාව ඉක්මවමින් තිබ්බා.
ඒ අතරේ මට ආරංචි වුණා අනිල් වෙන සම්බන්ධයක් පටන් ගත්තා කියලා.එයත් අපේ පන්ති වල හිටපු ගෑනු ළමයෙක්.යාලුවන්ගෙ මාර්ගයෙන් මට ආරංචි ආවා.හරි ඉක්මනින් එයාලා දරුවෝ හැදුවා.මම ටිකින් ටික තාත්තට හුරු පුරුදු වෙන්න පටන් ගත්තා.ඔන්න ඕකයි උනේ .අපි කවදාවත් කසාදෙන් පස්සේ කතා කර ල නැහැ .මම හිතුවා එයා මාව අරන් යන්න කොහොමහරි එයි කියලා .ඒත් ඒවා ප්‍රායෝගික දේවල් නෙවෙයි.එයා කරපු දේ හරි .එයා බැන්දෙ නැත්තම් අපි ඔක්කොගෙම ජීවිත අවුල් වෙනවා.”

මම ඇස් උඩ තියාගෙන අහගෙන හිටියා.අම්මා සහ අනිල් අන්කල් පිටිපස්සෙන් මේ තරම් ලොකු ආදර කතාවක් මතු වේවි කියලා  මට කවදාවත් හිතුනේ නැහැ.ජීවිත කාලයක් පුරාම අම්මා කොච්චර දේවල් හංගගෙන ඈත අහස දිහා  බලාගෙන කල්පනා කර කර  ඉන්න ඇද්ද? එයාට කිසිම යාලුවෙක් හිටියේ නෑ .ඒ එයා ගමේ කිසිම කෙනෙක් ආශ්‍රය නො කරපු නිසා .ඒකට හේතුව දැන් මට තේරෙන්නේ .

“අනේ අම්මා,ඔයා කොහොමද ඒවා දරා ගත්තෙ.මට නම් හරිම දුකයි”

අම්මා හරිම ආදරයෙන් මං දිහා බලාගෙන හිටියා.
“ඒවා එහෙම තමා දරුවො.කවදාවත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්න බැරි දෙයක් තියෙනව නම් මේ ලෝකෙ ඒ තමා ආදරේ.අත්විදලම මිසක් කලින් කිව්වට තේරෙන්නෙ නෑ”
මට නොදැනීම සුසුමක් හෙලුණා.

“පුතේ මට අද හරිම සැහැල්ලුවක් දැනෙනවා.ඔයාට හරිම පින් .මේ මොහොතේ ,මේ වෙලාවේ ඔයා ආවෙ නැත්තං  මම හැමදාම මේ විදියට  මොනවා හරි හිරකරගෙන වද විදිනවා .මහා ලොකු දෙයක් කිව්වෙ නැතත් මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.නිකං ඒක හරියටම අනිල් ව සදහටම මගේ හිතින් පිටමං කළා වගේ නේද  කියල දැනෙන තරම් සැහැල්ලුවක් .

මම කවදාවත් ප්‍රේමවන්තියක් වෙලා ඉඳලා නැහැ.මේ මොහොතේ පංතියේ තමන්ගෙ ප්‍රේමකතාවක් කියන මගේ මිතුරියක සහ අම්මාගේ කිසිම වෙනසක් නැති බව මාව කොහොමත් පුදුමයට පත්කලේ නෑ.

“අම්මා ඕක මා එක්ක කිව්ව එකත් මට සතුටක් ,මම ලොකු කෙල්ලක් කියල ඔයා ට දැන් හිතෙනවා.ඒකයි මට සතුටු”

අම්මා හරිම සැහැල්ලුවෙන් හයියෙන් හිනාවුණා.

“ඔව්,ඔයා ලස්සන ලොකු කෙලි පැටික්කියක්,ඒක නෙවෙ පුතේ අපි චොකලට් අයිසින් කේක් එකක් හදමුද?තාත්තා ත් හරිම ආසයි”

මම උඩ පැනල කැමති වුණා.අම්මා ඉක්මනින් නැගිටල ෆ්‍රිජ් එකෙන් කළමනා අරන් එලියෙන් තිබ්බා.මම කුස්සියෙ විදුලි පහන පත්තු කලා.අම්මාගෙ ලස්සන මුහුණ රන්වන් පාටට බබලමින් තිබුණා.

වෙනදාටත් වඩා ආදරයක්,මිතුරියක ගේ ආදරයක්,රැකවරණය අවශ්‍ය දරුවෙක් ගැන දැනෙන ආදරයක් වැනි දෙයක් ඇය වෙනුවෙන් මගේ හදවතින්  සෙමින් සෙමින් කාන්දු වෙමින් පැවතියා.එය සෙමෙන් වැඩුණු,කිසිදු රහස් වලින් තොර,බෙහෙවින් අවබෝධාත්මක ආදරයක් බව එහි බරින් මට වැටෙහෙමින් පැවතුණා.
නැවත කිසිදිනෙක ඇගේ හදවත රිදවීමට මාන බලන ඒ නපුරු දියණිය ඇයට මුන නොගැසෙනු ඇති.

More Stories

Don't Miss


Latest Articles