උත්පලාගේත් නිලන්තගේත් විවාහ ලියාපදිංචි කිරිම වුණේ නැකැත් දවසක උදේ වරුවේ කෝසලගේ මහ ගෙදරය.
“පවුලේ හැමෝම අත්සන් කරන වෙලාවට ඉන්න ඕන” යැයි පුශ්පලතා කිව්ව හන්දාම සිසිමාදවී කෝසලවත් උත්සව අවස්තාවට සූදානම් කරගත්තාය.
“මං නම් කැමතිත් නෑ මදූ ඔතනට පේන්න යන්න. මේ ලෙඩෙක් වගේ ඔහොම හොඳ වෙලාවක මූණට පේන්න යන එක ගැනත් කට්ටිය මොනව හිතාවිද දන්නෙ නෑ” කියා කෝසල මුණුමුණු ගෑවේය.
“එහෙම හිතන්න එපා අනේ. මොනව උනත් උත්පලා අක්කට ඉන්න එකම සහෝදරයා ඔයානෙ. මිනිස්සු මොනව කියන්නද? අනික ඉතින් අනේ අසනීප වෙන්නෙ මිනිස්සුනෙ” කියා සිසිමාදවී කිව්වේ කෝසලගේ හිත හදාගන්න විතරක්ම නොවේ. තමන්ගේ හිතත් හදාගන්න හිතාගෙනය.
දෙව්මිටත් චනුකටත් අලුත් ඇඳුම් අරන් දුන් සිසිමාදවී කෝසල වෙනුවෙනුත් අලුත්ම කමිසයක් ගත්තේ කෝසල පුලුවන් හැම වෙලාවකම තමන්ට සහ දරුවන්ට දේවල් අරන් දුන්නා මිසක තමන් වෙනුවෙන් දෙයක් නොගත් බව මතක් වූ නිසාවෙන්මය. කෝසලට සුදු කමිස වඩා සුන්දර බව මතක් වුනත් සිසිමාදවී සුදු කමිසයකට ගිය අත හිතා මතාම ලා කොල පාට කෙහෙල් දල්ලේ පාට කමිසයක් මත රැඳෙව්වාය. ඒ සුදු පාට වෙනුවෙන් අලුතෙන් හටගත් බියක් හිත අස්සේ තිබූ නිසාවෙනි.
“අපරාදෙ ඔයා අලුතෙන් කමිසයක් ගත්තෙ,තියෙන එකක්ඇඳන් යන්නතිබ්බා මට ” කෝසල කිව්වේ සිසිමාදවී එය ගෙනත් අත උඩින් තිව්ව මොහොතේය.
“මගුල් ගෙදර යන්න පුලුවන්ද ඉතින් පරණ ඒව ඇඳගෙන?”
“දැන් කවුද මදූ මම ඇඳන් එන්නෙ පරණ ඒවද අලුත් ඒවද කියල බලන්නෙ? මම දැන් කල් ඉකුත්වෙච්ච මනුස්සයෙක්නෙ. තව ටික කාලෙකින් නැත්තටම නැතිවෙල යන්න ඉන්නෙ”
“ඔයා හැමතිස්සෙම ඔහොම දේවල් කියන්නෙ මගෙ හිත අඳුනගෙන බලන්නද? එහෙම නැත්තන් මගෙන් මොකක් හරි වරදක් වෙලා තියනවද කෝසල?” සිසිමාදවී ඇසුවේ අඬන්නට හේතු දාහක් කෝසල කියූ වචනවල තිබුනත් ඒ සියල්ල තනිවම හිත අස්සෙන් දරාගෙනය.
“ඔයාගෙ හිත රිද්දන්න හිතන් කිව්ව නෙවෙයි මදු. මං හින්ද ඔයා විඳින දුක් කන්දරාව දකිද්දි ඇත්තටම රිදෙන්නෙ මගෙ හිත. ඔයා මට සනීප වෙයි කිව්වට අපි දෙන්නම නොදන්නව නෙවෙයිනෙ මදූ මට මේ හැදිල තියෙන්නෙ සනීප වෙන ලෙඩක් නෙවෙයි කියල. අපි දෙන්නම ඒක එලිපිට කතා නොකර මෙච්චර කල් ඉඳල කරේ අපි දෙන්නට දෙන්නගෙ හිත් තවාගත්ත එකනෙ. ඔයාට මොකක් හරිම රස්සාවක් තියෙන එකයි මගෙ හිතට දැන් තියන එකම සැනසීම. මං හැම තිස්සෙම කල්පනා කරේ මං නැති දවසක ඔයා මේ දරුවො දෙන්නවත් බලාගෙන කොහොමද ජීවත් වෙන්නෙ කියල. ඒ ගෙදර මිනිස්සු හොඳ හන්ද ඔයාට වරදක් වෙන එකක් නෑ මදූ. මං නැති දවසක උනත් ඔයාට පුලුවන් වෙයි දරුවො දෙන්නව උස් මහත් කරගෙන හොඳින් ජීවත් වෙන්න” කෝසල කියා කැස්සේය.. පපුව් හුරගෙන එන ඒ කැස්ස කොච්චර වේදනාවක්ද කියා පෙන්නන්නට මෙන් කෝසලගේ ඇස් වලින් කඳුලු වැක්කුරුණේය.
උත්පලා අක්කා උන්නෙ මොණරියක් මෙන් සැරසී ආඩම්බරය මුහුනෙන් උතුරවාලමිනි. ඇය සිසිමාධවී දෙස බැලුවේත් ඒ ආඩම්බරකාර බැල්මෙන්මය. එයින් කියන්නට තැනුවේ “උඹලට ඉතින් මෙහෙම දවසක් තිබ්බෙ නෑනෙ” කියන කතාව වග ද යන්න හඳුනාගන්න සිසිමාධවී උත්සහ කරේ නැත.
අතීතය වනාහී ආපස්සට හරවන්නට හැකි දෙයක් නොවේ. උත්පලා අක්කා විවාහ කරගන්නට පැමිණ උන් නිලන්තත් ඔහුගේ පවුලේ අයත් ඉතාම හොඳින් සිසිමාධවී සහ පවුලේ අනෙක් අය සමග කතාබස් කලහ. කෝසලගේ අසනීප තත්ත්වය ගැන දුක් වුනා සේම සිසිමාධවී මේ සියල්ලන් වෙනුවෙන්ම කරනා අප්‍රමාණ කැපකිරීම් ගැන පුදුම වුණහ.
සිසිමාධවී විසින් සකසා දුන් වම්බටු මෝජුවත් මැලේ අච්චාරුවත් තිබුණ නිසා කෑම මේසයේ කිසිත් අඩුපාඩුවක් නොවූ තරම් ය. කහ බතට වම්බටු මෝජුවත්, කජු කරියත්, පරිප්පු හින්දුමත්, කට්ලට් බෝලයත් සකසන්න සිසිමාධවී පුශ්පලතාට උදෑසනින්ම උපකාර කලාය. උත්පලා හන්දියෙ සැලෝනයට කියා අන්දවාගෙන එද්දී පුශ්පලතාට අඳින්නත් කොන්ඩෙ බැඳගන්නත් උදව් කරේ සිසිමාධවීය.
“මේ දූ නම් කසාද බැඳල ගොඩක් කල් වෙන්නැති නේද?” කියා සිසිමාධවී කැම මේසයට අඩුපාඩු බෙදා ගෙනවිත් තබද්දී සිසිමාධවීගේ අතින් අල්ලාගත් නිලන්තගේ නැන්දණියක ඇසුවේ හිතවත්කමටය.
“ඔව් දැන් අවුරුදු අටක් විතර”
“ඒක තමා තරුණ වයසෙදිම දරුවො හම්බුනාම හොඳයි නේද දූ?ලේසි නෙ. අපි වයසට යද්දි දරුවොත් එන්න එන්න උස් මහත් වෙනවනෙ” කියා ඒ නැන්දණිය ආයෙම වරක් කෑම මේසයට වාඩි වී හුන් සියල්ලන් සමගම සිනාසුනාය.
“ඒ උනාට ඉතින් දැන් කාලෙ කෙල්ලෙක්ට එහෙම අඩු වයසින් කසාද බැඳල ලමයි හෙම හදන්න පුලුවන් වෙන්නෙ හරි කලාතුරකින් නෙ. ඉගෙන ගන්න ඒවයි, රස්සා පරස්සා එක්කයි කසාද බඳින්න හිතද්දි හොඳ වයස ගිහින්”
“ඒක නම් ඇත්ත” කියා ඒ කතාබහ දිගට දිගට ඇදී යද්දී සිසිමාධවී කුස්සියේ මේසය උඩ තබා තිබුන කිරි හට්ටියත් පැණි බෝතලයත් ගෙනවිත් කෑම මේසය උඩින් තිබ්බාය.අතුරුපසකට කියා දෙයක් හදන්න හැටියක් තිබුනේ නැත. ඒ අඩුව මැකුවේ කිරිත් අයිස් ක්‍රීම් භාජනයත් ය.
නිලන්තත් උත්පලාත් උන්නේ අලුතෙන් අරඹන්නට යෙදුණ ජීවන චාරිකාව ගැන සොම්නසින් කතාබස් කරමින් ඉස්තෝප්පුවේ පුටු දෙකක වාඩි වී ලං වී කතා කරමිනි.අලුත විවාපත් වූ යුවලකට කතා කරන්න බොහෝ දේ තිබෙන බව දන්නා හන්දාම සිසිමාධවී කිරි පිරවූ බඳුන් ඔවුන් වෙත ගෙන ගොස් ඔවුන්ට බාධා කරන්න සිතුවේ නැත.
සිසිමාධවී කුස්සියේ වැඩපල එක්ක කාර්‍යබහුල වෙද්දී දෙව්මිත් චනුකත් උන්නේ නිලන්තගේ අක්කා කෙනෙකුගේ පුතුන් දෙදෙනෙකු සමග සෙල්ලමට වැටී ඉන්න එකය. උත්සවය වෙනුවෙන් ඇඳි ඇඳුමෙන්ම දූවිලී නා ගෙන උන් දරුවන් හතර දෙනාම කෑමට ගෙදරට ගත්තේත් වදෙන් පොරෙන් ය.ඒ වෙද්දීත් දහවල් ඉර අව්වෙ නටා දෙව්මිත් චනුකත් උන්නේ මූණු ජම්බු ගෙඩි මෙන් අව්වට රතු කරගෙනය. මේ සියල්ල මැද කෝසල පුශ්පලතාගේ ගෙදර පිටිපස්සට විවර වන දොරටුව අද්දර පුටුවක වාඩි වී බොහෝ දුර කල්පනාවක ගිලී උන්නේය.
අක්කාත් නිලන්ත අයියාත් විවාහයට අත්සන් කරන වෙලාවේත් දිවුරුම් පොරොන්දු දෙන අවස්තාවේත් කෝසල ඉස්සරහට වී උන්නේ සිසිමාධවීගේ ඉල්ලීමටමය. “ඔයා නෙ කෝසල එකම සහෝදරයා, මෙහෙම වෙලාවක කර ඇරල ඉන්න හදනව කියල මිනිස්සු නිකන් කතා හදාවි අන්තිමේ” කියා කිව් සිසිමාධවීගේ වචනයට ඒ වෙලාවෙ ඉස්සරහට වී උන්නා මිසක කෝසල උන්නේ පහසුවකින් නොවේ. එකදිගට එන කැස්ස මේ ගෞරවනීය මොහොතට බාධා පමුණුවනු ඇතැයි කියා සිතුණ හන්දාම කෝසල බොහෝ අමාරුවෙන් උගුර තද කරගෙන කැස්ස එන එක නතර කරගෙන උන්නේය. අනතුරුව සාක්කියට අත්සන් කරයින් පසුව කුස්සිය පිටිපස්සට ගොස් කැස්සේය. උගුර කඩාගෙන ආ ලේ තලියක් කිසිවෙකුට නොපෙනෙන ලෙස ගේ පිටිපස්සේ කොස් ගහ යටට අතෑරියේය.
“ඔයා කන්නෙ නැද්ද කෝසල?” කියාගෙන සිසිමාධවී ආවෙ කෝසල ගේ පිලිකන්න දෙස බලාගෙන බොහෝ ලොකු කල්පනාවක ගිලී ඉද්දීය. ඒ කල්පනාව වනාහී සිසිමාධවීත්, තමාත්, දරුවන් දෙදෙනාත් මූලික කරගෙන ගොඩ නැගුනකි. අනෙක් අතට ජීවිත ගංගාවේ අතට අහුවුණ අන්තිම පරඬැල අල්ලාගෙන නොගිලෙන්නට උත්සහ දරමින් උන් කෝසලට ඒ හැරෙන්න වෙන හිතන්න දෙයක් නොතිබුන තරම් ය.
“ලොකු බඩගින්නක් නෑ මධූ”
“අම්මල නම් කාල ඉවරයි, අපි තමා කන්න ඉන්නෙ, මං කවන්නද ඔයාට?” සිසිමාධවී හිස ඇලකර අහද්දී කෝසලට මතක් වුණේ අතීතයයි.
“ඔන්න බැන්දම මම තමයි ඔයාට බත් කවන්නෙ හොඳේ” කියා කඩයකින් ගත් බත් මුලක් විහාරමහාදේවි උද්‍යානයේ බංකුවක් මත දිග හැර තමන්ට කැවූ පාසල් යන වියේ සුන්දර කෙල්ලක ඒ අතීතයේ දිනකත් මෙලෙසම හිස ඇලකර තමා දෙස බැලූ බව කෝසලට මතක් වුණේය. ඒ අතීතය මෙවන් වේදනාබර අනාගතයකට තමාව කැඳවගෙන එනු ඇතැයි කියාවත්, ඒ මතක කෙදිනක හෝ වේදනාවෙන් මතක් කරන්න වෙනු ඇතැයි කියාවත් තමාවත් සිසිමාධවීවත් එදවස නොසිතූ බව කෝසල දනී. එහෙත් ජීවිතය ඉතින් මෙහෙමය.
සිදුවෙන්නේත් සිදුනොවන්නේත් අප නොහිතන දේමය.
“අලුත් ජෝඩුව කෑවද?” කියා කෝසල ඇසුවේ කජු මාලුවත්, වම්බටු මෝජුවත්, කුකුලු මස් කරියෙන් බිඳක් පරිප්පු සමග අනා සිසිමාධවී කහ බත් කටක් මුවෙන් තබද්දීය.
“ඒ දෙන්නා කෑව හැමෝටම ඉස්සරවෙලා” කියා කියූ සිසිමාධවී ආයෙම වරක් පිඟාන දෙස බලාගෙන කෝසල වෙනුවෙන් බත් කටක් ඇනුවාය.
“මධූ මං දෙයක් අහන්නද?” කෝසල ඇසුවේ හෙමින් සැරේ ය. උගුර සෙම බැඳුනාක් මෙන් කඩතොලු වූ හඬක් පිටකරද්දීය.
“මොකද්ද මහත්තයො?” සිසිමාධවී වඩා ආදරබර හඬකින් ඇසුවේ කෝසලගේ ඒ හඬේ රැඳී තිබුන බැරැණ්ඩි බව ඔස්සේ බොහෝ දේ සිතූ හින්දාත්, හිත මෙලෙක් කරන්නට ඒ හඬ සමත් වූත් නිසාවෙනි.
“ලබන ආත්මෙක අපි ආයෙ හම්බුනොත් ඔයා මාත් එක්ක යාලු වෙනවද මධූ?”