සඳ කත් මිණි ඇස් 4

හයිලෙවල් පාරේ වේගයෙන් ඇදී යන වාහන සූර්යා ට පෙනේ. ඇය බලා සිටියේ මහල් හතක් ඉහළ සිට ය. පහළ සිට දකිත්දී මේ කලබලකාරී නගරය පෙනෙනාකාරයත්, ඉහළ සිට එතැන ම පෙනෙනාකාරයත් අතරේ මොන තරම් වෙනසක් වේ ද? එක ම දෙයක් දෙස බලන්නට ඕනෑ තරම් කෝණ තිබේ. අප යමක් දෙස බලන්නේ අපට ඕනෑ කෝණයෙනි. නැත්නම් අපට පේනා කෝණයෙනි. ඒ සඳහා වෙනත් කෝණ ද තිබිය හැකි බවක් අප සිතන්නේ ම නැත.

සූර්යා දිගු සුසුමක් හෙළුවා ය. නටාෂා හඳුන්වා දුන් ‘සුමන්’ ව ඇය ට දැනෙනා ආකාරයත් වෙනස් එකකි. එළි වන තුරා හෝ ඉවසිල්ලක් නැතිව හිඳ ඇය මේ ඇමතුම ගත්තේත් ඒක ය. 

නමුත් ගැහැනියක මේ ආකාරයෙන් ප්‍රවේශයක් ලබා ගත්දී පිරිමින් ඒ දෙස බලන්නා වූ කෝණය ගැනත් දැන් සූර්යා ට හොඳට ම අත්දැකීම් තිබේ. කිසියම් ගැහැනියක තමන් කෙරේ ‘වැටී’ ඇතැයි සිතීමෙන් පිරිමි නරුම ආශ්වාදයක් විඳිති. ඒ ගැන තම සගයින් සමග කයිවාරු ගැසීමෙන් ද නො නැවතී ඇය ව යහනකට ගෙන යාමේ ජාගර ආශාවකින් ඉනික්බිති ඔවුහු කටයුතු කරති. ඒ නිසා ම වසර විස්සකින් පය ගැසූ ලංකාවේ පිරිමින් ව ඇසුරු කිරීමේ දෙගිඩියාවකින් පෙළුණත්, සූර්යා ට මේ ඇමතුම නො ගෙන බැරි විය.

“මිස්ට සුමන් මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්න එපා මං කතා කරපු එක ගැන. ඇත්තටම..මේක බිස්නස් මැටර් එකක් ගැන ගත්ත කෝල් එකක්නං නෙවෙයි”

හදිසි ගින්නකින් ආලෝක දැවී ගියේ ය.

“ඔව් කියන්න සූර්යා”

“මේ..මිස්ට සුමන්ට…  කසින් බ්‍රදර් කෙනෙක් එහෙම ඉන්නවද ආලෝක කියල…”

අර ගින්නෙන් ඔහු මුළුමනින් ස අළු වී ගියේ ය. කෙළ බිඳක් හෝ ගිල ගත නො හැකි ලෙස ආලෝක ගේ උගුර දැඩි වී තද වී වියළී තිබිණි. ආශ්වාසය පවා තරමක් අපහසු වූවත් ඒ වෙනුවෙන් ඔහු ට කිසිත් කළ නො හැකි විය.

“ඇක්චුවලි…මං දන්න කෙනෙක් එයා…ඉස්සර…මිස්ට සුමන් දැක්ක වෙලාවෙ ඉඳලම මට නිකං…එයාවම මතක් වෙන්න හදනව වගේ. ඒත් එයා එතන ඉන්න පුළුවන්ද කියල මං හිතනව. ඒකයි මං හිතුවෙ අන්තිමට…ඒ මිස්ට සුමන් ගෙ කසින් කෙනෙක් වෙන්න බැරිද කියල”

හෙමිහිට හුස්ම ගනිමින් ආලෝක යමක් කියා ගන්නට දිරිය එක්කාසු කළේ ය.

“එක වගේ අය…ඕන තරං ඉන්න පුළුවන්නෙ සූර්යා”

“දැට්ස් ටෲ”

සූර්යා හුස්මක් පිට කරමින් කීවා ය..ඇගේ ඒ සන්තාප ස්වරය තුළ හංගා ගත් ආදරයක් තවමත් ඉතිරි වී තිබෙන බව ආලෝක ට දැනිණ. ඒ හැඟීම, ඔහු ට තවත් වසර කිහිපයක් ජීවත් වීමේ ආශාවක් දල්වාලූවා සේ ය. 

මේ විදිහට සැඟවෙන්නේ නැතිව ඔහු ආලෝක ලෙස ඈ ඉදිරියේ පෙනී නො සිටින්නේ මන්දැයි අනිත් අතට  ආලෝක සිතුවේ ය. එහෙම කරන්නට ඔහු ආශා නැතිව නොවේ. සූර්යා ද තවමත් ඔහු ව හදවතේ තියා ගෙන හිඳිනා බව ආලෝක ට දැන් ප්‍රත්‍යක්ෂ ය. ඔහු ට ඈ ඉදිරියේ ආලෝක වන්නට බැරි බියත් ඒක ය. සූර්යා දෙවන දරුවා ද බිහි කළ බව ඒ කාලේ ඇගේ මිතුරියක හමු වූ අවස්ථාවක ආලෝක දැන ගත්තේ ය. ඇය විවාපත් වූයේ වෛද්‍යවරයෙකු සමග ය. ඇගේ උගත් ධනවත් මව් පියන්ට උවමනා වූයේ සිය බෑණා ඔවුන් ගේ සමාජ තත්වයට ගැලපෙන්නට ය. මීටියාගොඩ චිතකයක දැවුණ තහනම් දේශපාලන පක්ෂයකට අයත් ‘දේශද්‍රෝහියෙකු’ ගේ පුතෙකු ට සිය දියණිය පාවා දීම යනු ආනන්තරීය පාප කර්මයක් සේ ඔවුහු සැලකූහ. වෛද්‍ය ජනිත් ඉලංගරත්න සිය විශේෂඥ පුහුණුව සඳහා පිටත් ව ගියේ සූර්යා විවාහ කොට ගෙන ය. 

ආයේ ඇගේ ඇස් මානයට ඇවිත් සූර්යා ගේ පවුල් ජීවිතය මත කළු පැල්ලමක් වන්නට ආලෝක ට කොහෙත් ම ඕනෑ නොවිණි. ඇය ජනිත් ගෙන් වෙන් වී වසර හත අටක් ගෙවී ඇති බව ඔහු දැන සිටියේ නැත.

සූර්යා බිඳුණු හදින් දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. 

එක අතකට මේ විදිහට ආලෝක හොයන එක මොන උමතුවක් දැයි පටු සඳැල්ලෙහි ඔබ මොබ ඇවිදිමින් සිතුවා ය. එදා මෙදා තුර කිසිවෙකු වෙතින් ඇය ආලෝක ගැන විමසුවේ නැත. ඒ තරම් කියත්දීත් ඔහු ඇය කැටිව නොගිය එක ගැන, අන්තිමේ සූර්යා තුළ ඉතිරි ව තිබි දුක කෝපයකට පෙරළිණ. ඇය ඔහු ගැන හෙව්වේ බැලුවේ ම නැත.

පිරිමින් ට ඉක්මනට දේවල් අමතක කරන්නට පුළුවන. ඔවුන් ගැහැනුන් සේ ආදරයක් ගැන තැවි තැවී අතීතයේ නතර වී ඉන්නේ නැත. ආලෝක විවාපත් ව උස් මහත් වූ දරුවන් ද ඇති ව සිටිනවා විය යුතු ය. ඔහු ගැන සෙවීමේ උන්මාදය හකුළා ගෙන දැන් ඇය ජීවත් වීමේ අරමුණක් සොයා ගත යුතු යයි සූර්යා තදින් සිතා ගත්තා ය.

නමුත් ඇගේ කිසිදු පණක් වූයේ නැත. හිතේ කිසිදු උද්‍යෝගයක් වූයේ ත් නැත. සූර්යා අප්‍රාණික ව යහනත වැතිර සිටියා ය.

ඇය හැම මොහොතක ම සිය විවාහ ජීවිතය සාර්ථක කර ගන්නට තැත් කළා ය. එයට සාධාරණය ඉටු කිරීමේ අවශ්‍යතාවයකින් යුතු ව කටයුතු කළා ය. දරු දෙදෙනා බිහි වූයේ එක ළඟ වසර දෙකක නිසා ඔවුන් දෙදෙනා ගේ කටයුතු ඉතා පහසුවෙන් එක කාල සීමාවක කර ගෙන යා හැකි විය. වසර කිහිපයක පරතරයක් ඇති ව දරුවන් තනනවාට වඩා, ඒ ආකාර සමීප බවක් තුළ ඔවන් ගේ කටයුතු කිරීම පහසු ය. 

සූර්යා දරුවන් පාසල් ගෙන ගියේත් අතිරේක විෂයානුබද්ධ කටයුතු වලට ගෙන ගියේත් එකට ම ය. බොහෝ දුරට ලොකු ළමයාට ගන්නා ඇඳුම් හා සපත්තු පොඩි ළමයාට ද පිරිමසා ගත හැකි විය. ප්‍රංශයේ ස්ථිර ව පදිංචි වී සිටි සමහර මිතුරියන් ට වසර දහය දොළහකට පසු නැවත බිළිඳෙකු ගේ කටයුතු කරන්නට සිදු වනයුරු දැක සූර්යා දෑත් හකුලා ගත්තා ය.

“හම්මෝ..ඒ කෝස් එක මුල ඉඳල ආයෙ කරන්න වුණොත් මන්නං මැරෙයි”

ඇය එසේ කීවේ අවංකව ම ය. දරු දෙදෙනා මෙලෙස වසරක පරතරයක් ඇති ව බිහි වීම නිසා ඔවුහු එකට ම වැඩුණහ. ඒ කාලේ සූර්යා මුළුමනින් කැප වූයේ දරුවන් වෙනුවෙනි. ඇය විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනිත් එක්ක යුග දිවියක් ගත කළ බව ඇත්ත ය. ඔහු සිය සැමියා ය යන අදහසින් සියලු යුතුකම් ඉටු කළ බවත් ඇත්ත ය. නමුත් කිසි දාක ඔහු ගැන ප්‍රේමයක් සිය හදවත තුළ පණ ගැහුණේ නැති බව සූර්යා පිළිගනී. ඔවුන් සතුව විවාහ ජීවිතයක් තිබිණි. ලිංගික ජීවිතයක් ද තිබිණි. නමුත් හදවතින් හදවතට දැනෙනා වූ ආදරයක් තිබුණේ නැත. 

එක පිරිමියෙකු හිතේ තියා ගෙන තවත් පිරිමියෙකු සමග යහන්ගත වන්නේ කෙසේ දැයි ඇයට ඔනෑ තරම් සිතී තිබේ. ආලෝක ව හිතෙන් මුලිනුපුටා දමන්නට ඇය අපමණ උත්සාහ කළේත් ඒක ය. දැන් ඉතින් ඒ පවුල තුළ අවංක විය යුතු ය යන අවංක චේතනාව පෙරදැරිව ය. නමුත් ඇගේ ඇස් කිසි දා ක ජනිත් දෙස ආදරයෙන් බලන්නට සමත් වූයේ නැත. ආලෝක මෙන් කවදාවත් ජනිත් ව ඇගේ හදවතට කැඳවා ගන්නට සමත් වූයේ නැත.  

“එමිලි ටයි කැමිල් ටයි කතා කරන්න ඕනෙ”

සිය කඩා වැටෙන සිත එකලාස කර ගනිමින් සූර්යා නැගී සිටියා ය. දරුවක් දෙදෙනාට සිංහල නම් තබන්නට සූර්යා ට උවමනා විය. නමුත් ජනිත් ඊට එකඟ වූයේ ම නැත.

“මේ ළමයි ආයෙ ලංකාවෙ පදිංචියට යයි කියල හීනෙකින්වත් හිතන්න එපා සූර්යා. එයාලට මෙහෙට මුල් අදින්න අරිමු. එයාලට ලස්සන ෆ්‍රෙන්ච් නම් දාමු”

ජනිත් ගේ දුර දිග බැලීමේ හැකියාව ගැන සූර්යා මේ මොහොතේ දෙවියන්ට ස්තූති කළා ය. සිය හදවත තුළ පැවතියා වූ රික්තකය ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් සඟවා තබා ගනු වස් ඇය දරු දෙදෙනා ව දැඩි සේ හදින් බැඳ ගෙන ජීවත් වන්නට තැත් කළ ද, බටහිර ලෝකයට අනුව නිසි වයසේ දී ඔවුහු ඒ පෙකණි වැල බිඳ ගෙන ඇගෙන් දුරස් වූහ. සූර්යා ට අද මෙසේ යළි උපන් බිමට විත් පුරාණ මතක සරමින් සිටිය හැකි වී තිබෙන්නේ ඔවුන් ප්‍රංශ පොළොවට මුල් ඇද්ද හින්දා ය. 

ආලෝක සුමනරත්න සූදානම් වී මීට්යාගොඩ යන්නට පිටත් වූයේ ය. ඔහු එහි කුරුඳු ඉඩම් කිහිපයක හිමිකරුවා වී සිටී. ආලෝක මුලින් ම මිල දී ගත්තේ සීයා විසින් විකුණා දමන්නට යෙදුණු ඉඩමයි. එදා එහි වටිනාකමට වඩා වැඩි මිලක් යෝජනා කිරීම නිසා ඔහු ට ඒ කුරුඳු ඉඩම ලැබිණ.පසුව තවත් ඉඩම් කිහිපයක් සිය අයිතියට නතු කර ගන්නට ආලෝක සමත් වූයේ ය. සිය ව්‍යාපාර ඥාණය ගැන තරුණයා තුළ ස්වයං අභිමානයක් වේ. අහිමි කර දමන ලද බොහෝ දේවල් ඔහු දැඩි කැපවීමකින් යළි අත්පත් කර ගත්තේ ය. එක ම දෙයක් හැර!

සූර්යා!

මීටියාගොඩ අවට කුරුඳු ඉඩම් බොහොමයක අස්වැන්න මිලදී ගන්නේ දැන් ආලෝක සුමනරත්න ය. ඉස්සර බොහෝ දුරට කුරුඳු විකිණුවේ මුසල්මානු ව්‍යාපාර්කයන් ට ය. නමුත් ඔවුන්ටත් වඩා මිලක් ගෙවීමෙන් දැන් ආලෝක එහි කුරුඳු ඒකාධිකාරය අත්පත් කර ගෙන හිඳී.

එය වූ කලී පහසු ගමකක් නොවේ. රිය පදවන අතරේ ම තරුණයා ගේ දෙතොල් මත්තෙහි ජයග්‍රාහී මඳහසක් නැගිණි. ඒවා සිදු වෙන්නට ගත්තේ සූර්යා දොස්තර ජනිත් සමගින් විවාපත් ව ලංකාවෙන් නික්ම ගියාට පස්සේ ය. ඊට ටික කලකට පෙර, සූර්යා ඔහු එක්ක ඇඳි වත පිටින් එන්නට හදත්දී ඔහු ඇගෙන් සමු ගෙන පලා ගියේ මීටියාගොඩට ය. යන්නට වෙන දන්නා තැනක් ආලෝක ට නොතිබිණි. තාත්තා ගේ සිරුර දැවුණ ටයර් සෑයෙන් හැමූ රතු ගිනි රොටු හා කළු දුමාරයත්, ඒ පුළුටු ගඳත් යළි යළිත් සිහිපත් කරනා බිම මිස, මේ පුංචි දිවයිනේ ඔහු දන්නා කියන වෙනත් ඉසව්වක් නොවිණි. අතීතය අතීතයේ වාළුකා අතරේ සැඟව ගොස් තිබිණි. මීටියාගොඩ වුව සිටියේ යළි උපන් මිනිසුන් ය. බාප්පා නමින් ලියැවුණ මහ ගෙදර ඉස්තෝප්පු කාමරය ආලෝක ට දෙන්නට අකමැත්තෙන් මුත් ඔහු කැමති වූයේ ය. නමුත් ආලෝක ඒ ගෙදරින් බත් කටක් වුව නොකෑවේ ය.

“උරුමක්කාරකං ඉල්ලගෙන ද දන්නෑ ඔය ඇවිත් තියෙන්නෙ”

කුඩම්මා දවසක් එසේ කියනු ආලෝක ගේ කනටම ඇසුණේ ය. 

“පිස්සුද මනුස්සයො. මගෙ නමට තියෙන ගේක උරුමෙ ඉල්ලන්න ඒ කොල්ලට පුළුවන්ද…මොනා වුණත් ඌ මගෙ අයියගෙ කොල්ල. පොඩි කාලෙ මා ඌත් එක්ක සෙල්ලං කළා. වඩං හිටිය. ඌ ඇවිත් නිදා ගන්න අගු පිලක් හොයද්දි මට අහක බලා ගන්න බෑ. මගෙ ඇඟේ දුවන ලේම තමයි උගෙ ඇඟේ දුවන්නෙත්”

කුඩම්මා ගේ සැකකාර බැල්ම දකිත්දී ඒ වහල යට ඉන්නට වුව සිත් දුන්නේ නැති වී ද ආලෝක ඉවසා දරා ගත්තේ ය. වේල් ගණන් කුස ගින්නේ හිඳිමින් ද කුස පුරා වතුර බොමින් ද ඔහු දවස් ගත කළේ ය.

“බත් ටිකක් කන්න ආලෝක”

කියා බාප්පා කියත්දී ඔහු සිනා සී 

“මං කාලා ආවෙ බාප්පෙ”

කියා කීවේ ය. සීයා ගේ කුරුඳු ඉඩමේ ම කුරුඳු තැලීමේ වැඩක් මුලින් ම ඔහු අල්ලා ගත්තේ ය. වාණිජ අංශයෙන් ලංකාවේ පස් වන තැනට උසස් පෙළ ලකුණු ගෙන, විශ්ව විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ නොකර ම සූර්යා ව අත් හළ යුතු නිසා කොළඹට සමු දුන් ආලෝක සුමනරත්න, මීටියාගොඩ කුරුඳු වත්තක කුරුඳු තලන්නට වූයේ ය. කොළඹ විත් උපාධිය සම්පූර්ණ කරන්නයි අම්මා කොතෙකුත් ලියා එව්වා ය. අන්තිමට ආලෝක ඒ ඉල්ලීමට එකඟ වූයේ, සූර්යා ලංකාවෙන් නික්ම ගොස් තිබි නිසා හා, දෛනික වැටුපකට කුරුඳු තලා මිනිසෙකු විය නො හැකි බව අවබෝධ කර ගත් නිසා ය. 

උපාධිය සම්පූර්ණ කොට පෞද්ගලික ආයතන කිහිපයක ම ඉහළ වැටුපක් සහිත උසස් නිලතල දරමින් සිටි ඔහු ගේ හිත තුළ නිරන්තර වූයේ කුරුඳු සුවඳ ය. ඒ වූ කලී ළමා වියේ දී ඔහු ගේ මනසට රිංගූ සුවඳකි. කුරුඳු නටු කමින් සීයා ගේ කුරුඳු යායේ හවස් වරුව ගත කිරීම කුඩා ආලෝක ගේ ආශාව වී තිබුණේ ය. සූර්යා ගෙන් හිස් වූ සිත් හි, ඔහු ට ඇය අහිමි කරන්නට හේතු වූ මුදල් කියනා සාධකය විවිධාකාරයේ සමීකරණ තුළ විවිධ වේශයන් ගෙන් පෙනී සිටින්නට විය. සිය වැටුපෙන් ඉතිරි කළ හැකි මුදල ගැන ඔහු නිතර අවධානය යොමු කළේ ය. එය දොළහෙන් වැඩි කරමින් ද ඊළගට වසර ගණනින් වැඩි කරමින් ද ගණන් හිලව් හැදුවේ ය. අවසානයේ ඔහු සේවය කරමින් සිටි පෞද්ගලික මූල්‍ය සමාගමෙන් විශාල ණය මුදලක් ද ලබා ගෙන, සීයා විකිණූ කුරුඳු ඉඩම මිල දී ගන්නට ආලෝක සමත් විය. මේ සඳහා වසර කිහිපයක් ගත වී තිබිණි ද ඔහු ගේ කුරුඳු සිහිනය හදවතින් මැකී ගොස් තිබුණේ නැත.

ආලෝක කුරුඳු වලින් නව නිමැවුම් අත්හදා බැලුවේ ය. කුරුඳු තේ, කුරුඳු කුඩු ආදිය සුපිරි වෙළෙඳ සැල් ජාලා හරහා දේශීය පාරිභෝගිකයන් අතට පත් කිරීමේ කටයුත්තට අත ගැසුවේ ය. පසුව කුරුඳු තේ වලට වෙනත් ස්වභාවික රසකාරක වර්ග ද එක් කරමින් වෙළෙඳ පොළ අත්හදා බැලීම් කළේ ය. 

ස්වභාවිකත්වයෙන් ඈත් වීමේ විපාක අත් විඳිමින් ද ඇසින් දකිමින් ද සිටි බුද්ධිමත් නූතන පරපුර ඔහු ගේ නිෂ්පාදන කෙරේ නැඹුරු වෙමින් සිටියහ. මේ අතරේ ආලෝක ගේ හිත යොමු වූයේ විදේශ වෙළෙඳ පොළ කෙරේ ය. දැඩි වෙහෙසකින් හා උත්සාහයකින් පසු ඔහු ට විදේශ වෙළෙඳ පොලට කුරුඳු හා ඒ ආශ්‍රිත නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා විය.

දින දෙක තුනක් ගත වන තුරු ම සූර්යා යළි ආලෝක ඇමතුවේ නැත. නමුත් ඇගේ යටි හිත නිරන්තර මොනවා ද මුමුණා කියමින් තිබිණ. ආලෝක හා සුමන් අතරේ ඇගේ සිතිවිලි නිරන්තර දෝලනය විය. 

“අපිට මීට් වෙලා කතා කරන්න පුළුවන් ද මිස්ට සුමන්…”

හිත පාලනය කර ගත නො හැකි ම වූ දවසක ඇය ඇමතුමක් ගෙන විමසීමක් කළා ය. ආලෝක දෙගිඩියාවක කිමිදෙමින් සිටියේ ය.

“ම්…ඕකේ”

වෙන දෙයක් වුණාවේ යි සිතා ගෙන ආලෝක තීන්දුව දුන්නේ ය. කොහොමටත් මේ හොරා පොලිස් සෙල්ලම දිගට ම කළ නො හැකි වනු ඇත. ව්‍යාපාර ක්ෂේත්‍රය ට අවතීර්ණ වන්නට හදනා සූර්යා ගෙන් සැඟවී හිඳීම ප්‍රායෝගික ව කළ නො හැකි වනු ඇත.

ඒ හමු වීම බත්තරමුල්ලේ සිය කාර්යාලය තුළදී සිදු වෙනවාට ආලෝක කැමති වූයේ, එය කෙබඳු ආවේගයන් සහිත හැඟීම් සක්‍රිය වන මොහොතක් විය හැකි ද කියා කල් ඇතිව සිතිය නො හැකි නිසාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles