ප්‍රචණ්ඩ..

ආශා වැඩ ඉවර වෙලා කාර්යාලයෙන් එළියට බැස්සා. වෙනදට වඩා කලින් ටිකක් වැඩ ඉවර කරගන්න පුළුවන් උන නිසා ඇය කලින් පිටත් වෙන බව නිමේශ්ට කෙටි පණිවිඩයකින් සඳහන් කරලා යැව්වා. හවස 6 වෙද්දි ගෙදර එන්න පුළුවන් උන නිසා මහන්සියටත් එක්කම ආශා ඇඳෙන් ඇලවුනා.

” පුතේ අර ළමයා ඇවිත් ” 

ආශාගේ අම්මා ඇවිත් එහෙම කියන කොටයි ආශාට ඇහැරුනේ. නිමේෂ් ඔහුගේ වාහනයට හේත්තු වෙලා මිදුලේ බලාගෙන හිටියේ ආශා එළියට එනකං.

” ඇයි නිමේෂ් ? ” 

නිමේෂ් නොකියාම ආපු නිසයි ආශා එහෙම ඇහුවේ.

” ඇයි මම ආපු එක ප්‍රශ්නයක්ද ? ” 

නිමේෂ් ප්‍රශ්නයකින්ම උත්තර දුන්නේ සුපුරුදු රෞද්‍ර බවින්. ඒක ආශාට අලුත් දෙයක් නෙමෙයි. 

” නැහැ මම නිකං ඇහුවේ. ” 

” අද ඔෆිස්ද ගියේ නැත්තං වෙන කොහේ හරිද ? ” 

නිමේෂ් එහෙම අහනකොට ආශා බැලුවේ පුදුමයෙන්. 

” මොන වගේ ප්‍රශ්නයක්ද නිමේෂ් ඒක ? ” 

” එහෙනම් මෙච්චර වේලාසනින් ආවේ තමුසේ කොහේ ගිහිල්ලා ද ? ” 

” මං ඔෆිස් ගියේ. ඕන්නම් අම්මගෙන් අහන්න ” 

” අම්මා හිටියෙත් ගෙදරනේ? එයා දන්නෑනෙ තමුසේ කොහෙ ගිහින් ආවද කියලා ?  ” 

නිමේෂ්ගේ අසීමිත සැකය දුරු කරන්න ක්‍රමයක් ආශා දැනගෙන හිටියේ නැහැ. හැමදාම වගේ මේ වගේ ප්‍රශ්න වැලකට උත්තර බඳින්න සිද්ධ වෙන නිසා ආශා හිටියෙ වෙහෙසට පත් වෙලා.

” ආශා. ඔයාට විසිටර් කෙනෙක් ” 

රිසෙප්ශන් එකෙන් කෝල් එකක් ආවේ ආශා ඊළඟ දවසේ වැඩට ඇවිල්ලා පැයක් ගත වෙන්නත් කලින්මයි. ආශා කරමින් හිටපු කාර්ය මදකට නතර කරලා අමුත්තන්ගේ කාමරය වෙත ගියා.

” නිමේශ් ? ” 

අමුත්තන්ගේ කාමරයේ අසුන්ගෙන හිටියේ නිමේෂ් 

” ඔයා ඔෆිස් ආවද කියලා බලන්න ආවේ “

නිමේෂ් කිසිම ගානක් නැතුව කිව්වා.

” මම ඔයාට මැසේජ් එකක් දැම්මනේ උදේ එනකොටත් “

ආශා පිළිතුරු දුන්නේ කලකිරීමෙන්. තමන් යවපු කෙටි පණිවිඩය ගැනවත් විශ්වාසයක් නැති නිමේෂ් ආශා කාර්යාලයට ඇත්තටම ඇවිල්ලද කියල බලන්න කාර්යාලයට ඇවිල්ලා තිබුණා.

” නිමේෂ්ට නම් තියෙන්නේ මානසික ලෙඩක් ආශා ” 

එහෙම කිව්වේ ආශාගේ හොඳම මිතුරිය චතුරිකා.

” එයා ඉස්සර නම් ඔහොම නැහැ නැහැ චතූ ” 

” ඉස්සර එහෙම නැති උනාට දැන් එහෙමයිනේ. හිසරදයක්නේ ඔහොම මනුස්සයෙක් එක්ක ඉන්න එක ” 

චතුරිකා කියන්නේ ඇත්ත කියලා ආශාට තේරුම් යමින් තිබුණත් විවාහයට දිනත් නියම කරගෙන තිබුන නිසා ආපහු හැරෙන්න තරම් තීරණයක් ගන්න බෑ කියලා ආශා හිතුවා.

” ගෑනු අපි ඉවසන්න ඕනේ පුතේ. එහෙම නැත්තම් කොහොමද පවුලක් රැක ගන්නේ ?” 

ආශාට අම්මා කිව්වේ එහෙම. ඒ ආශා දුරකථනයට පිළිතුරු දුන්නෙ නෑ කියලා නිමේෂ්  ඇයව හොයාගෙන ගෙදරට ආපු දවසක. නිමේශ් ගේ හැසිරීම අසාමාන්‍ය එකක් කියලා පිලිනොගෙන ඉන්න ආශාගේ අම්මටත් බැරිවුනේ එදා. ඒත් සාම්ප්‍රදායික මවකගේ ගතිගුණ ඇය තුළත් අඩුවක් නැතුව තිබුනා.

” අපේ ඔෆිස් එකේ පාටි එකක් තියෙනවා.ඔයාටත් මාත් එක්ක යන්න පුළුවන් ආශා ” 

නිමේශ් ගේ කාර්යාලයේ පැවැත්වෙන සාදයකට ආශාට ආරාධනා ලැබුනේ එහෙම. ඒකට ආශා අඳින්න ඕන ඇඳුම පවා තීරණය කළේ නිමේෂ්මයි.

” මේ පාටි එකට අපේ ගොඩක් අයගේ girlfriendsලා එනවා ආශා. අපේ ලොක්කා එක පයින්ම කැමති උනා මම ඔයාව එක්කගෙන එනවට ” 

නිමේෂ් ඒ සාදයට ආශාව එක්කගෙන යන්න සූදානම් වුණේ උජාරුවෙන්. ආශා කියන්නේ කොහොමත් රූමත් තරුණියක් නිසා නිමේෂ්ට ඕන උනේ යන හැම තැනකම ආශාව එක්කගෙන යන්නයි.

සාදයට ඇවිල්ලා හිටපු ගොඩක් තරුණියන් අතරින් ආශා කැපී පෙනුනේ ඇය සතු ඒ රූමත්කම නිසාමයි.නිමේෂ් බොහොම ආඩම්බරයෙන් හැමෝටම වගේ ආශා ව හඳුන්වලා දුන්නා. 

” හායි ආශා ? කොච්චර කාලෙකින්ද ? ” 

නිමේෂ් ගේ කාර්යාලයේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා ආශාව දැකලා ඇවිත් ඇයව වැළඳගත්තේ එකවරමයි. අනපේක්ෂිතව සිදුවුන දෙයක් උනත් ආශා වගේම නිමේශුත් ඒ සිදුවීමෙන් පුදුමයට පත් වුනා.  ඒත් පැරණි මිතුරාව අඳුරගන්න ආශාට අපහසු උනේ නෑ.

” ආනේ ආකාශ්.. කොහොමද ඉතින් ? මං හිතන්නේ කැම්පස් අවුට් උනත් හරි අපි මේ හම්බුනාමයි නේද ? ” 

පැරණි මිතුරෙක් අහම්බෙන් මුණගැහීමෙ ප්‍රීතිය ආශාගේ ඇස් වල පේන්නට තියෙද්දි නිමේශ්ගේ මුහුණෙන් පේන්න තිබ්බෙ කෝපයේ ගිනි සිලුයි

” නිමේශ්.. මේ ආකාශ් මගෙ කැම්පස් එකේ යාලුවෙක් “

ආශා තමන්ගේ මිතුරාව නිමේශ්ට හඳුන්වලා දුන්නා.

” නිමේශ්ව නම් ඉතින් හැමදාම හම්බ වෙනවනේ මට. මං දන්නෑනෙ එයා ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා ” 

ආකාශ්ටත් ආශාටත් කතා කරන්න ආ ගිය තොරතුරු බොහොමයක් තිබුනා. කොහොමත් ආශා කියන්නේ හරිම මිත්‍රශීලි වගේම සුහදශීලි කෙනෙක් නිසා ඇය ආකාශ් එක්ක පුරුදු විදියටම කතා බහ කලා.

ඒත් නිමේෂ් ඉන්නේ මොකද්දො තරහකින් කියලා තේරුම් ගන්න ආශාට පුළුවන් උනා.

සාදය ඉවර වෙලා යනකොට නිමේශ් වාහනය පාරක් අයිනේ නතර කලේ හිතුවෙ නැති වෙලාවක. 

” තමුසෙ මට ඇත්ත කියන්න ඕනෙ” 

නිමේෂ් වාහනෙන් බැහලා ඇවිත් ආශාව වාහනෙන් එලියට ඇදලා ගත්තා.

” මොකද්ද නිමේශ් වෙලා තියෙන්නෙ ? මොකක් ගැනද ඔයා අහන්නෙ ? ” 

” අහන්නෙ ? තමුසෙට මොකද්ද අරූ එක්ක තියෙන සම්බන්ධෙ ? ඌ ඇවිල්ලා ඔක්කොම ඉස්සරහා තමුසෙව බදාගන්න තරම් ? ” 

නිමේෂ් හිටියේ යක්ෂාරූඩ වෙලා.

” ඇයි මං කිව්ව එයා මගේ කැම්පස් එකේ පරණ යාළුවෙක් කියලා ? ” 

” යාළුකමක් විතරද තිබ්බේ ? ” 

” දැන් මොකක් තිබ්බ කියලද ඔයා හිතාගෙන ඉන්නේ ? ” 

” මොකක් හරි තිබ්බ නිසානේ ඌ ඇවිල්ල මාර සතුටින් තමුසෙව බදාගත්තේ ? ” 

නිමේශ් හැකි තරම් වෙර දාලා ආශාට කම්මුල් පහරක් ගැහුවා. මේ පේන්නේ මුලු ජීවිතේටම අනතුරු අඟවන රතු එළියක් කියලා ආශාට පලවෙනි වතාවට දැනුනේ එතකොට.

” අනේ මේ නිමේෂ්? ඔයා හිතනවනම් මම මේ දකින්න දකින මනුස්සයත් එක්ක යාලු වෙලා හිටියා කියලත් තවදුරටත් ඔයයි මමයි එකට ඉන්න එකේ තේරුමක් නැහැ. අපි ආදරය කරනවට වඩා වැඩි කාලයක් කරන්නේ මම ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඔයා මං ගැන වැරදියට හිතන් ඉන්න ඒවා හරිගස්සන එක. මට මේක තවදුරටත් කරගෙන යන්න බෑ. ඔයාට සැක හිතෙන්නෙ නැති , ඔයාට ගැලපෙන කෙනෙක්ව හොයාගෙන ඔයා යන්න ” 

එහෙම කියපු ආශා පුළුවන් තරම් හයියෙන් දුවලා ගිහින් ත්‍රීරෝද රථයකට නැග්ගා.

More Stories

Don't Miss


Latest Articles