දරුවා වෙනුවෙන් සැමියාගේ රැවටීම් ඉවසා උන් බිරිඳක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

රයිස් කුකර් එකේ උණුවෙන් ගත්ත රතු බත් වලින් හැඳි කීපයක් ගත්ත මීනා අසංකගෙ කෑම පෙට්ටියට බත් බෙදුවා. ඊට උඩින් කිරි මාලු කෑල්ලයි හොදි ටිකයි. මුකුණුවැන්න මැල්ලුම, පරිප්පු තෙම්පරාදුව, වම්බටු තෙල් දාපුව එක්ක බත් එක බෙදපු මීනා පියනෙන් වහල සර්වියට් එකෙන් කෑම භාජනෙ එතුවෙ හරියට දානෙකට හදාපු බත් එකක් බුදුන්ට පූජ කරන්න යනව වගේ ගෞරවේකින්.

මොනව උනත් ගෑණියෙක්ටා තමන්ට කන්න අඳින්න දෙන මනුස්සය කියන්නෙ දෙයියො බුදුන් වගේ තමා. කෑම භාජනේ මේසෙ උඩින් තියල මීනා පුතාගෙ කාමරේටා ගියේ පුතාව ඇහැරන්න හිතාගෙන. අසංක ඔෆිස් යද්දිම පුතාවත් දාගෙන යන හන්දා මීනට ලේසියි. හදිසියෙ දවසක තමා මීනට දවාලක එලියට බහින්න වෙන්නෙ. රස්සාවක් කරන්නෙත් නැති හන්දා මීනයි අසංකගෙ අම්මයි දෙන්න ඉතින් දවල්ට කාල, වත්තෙ පිටියෙ වැඩක් හරි ගෙදර අස්පස් කිරිල්ලක් හරි කරන එක තමා කරන්නෙ.

එදා හැබැයි නොහිතපු වෙලාවක මීනට දවාලෙ ටවුමට යන්න උනේ අම්මා කතාකරල සල්ලි ටිකක හදිසියෙ ට්‍රාන්සර් කරන්න පුලුවන්ද කියල අහපු හන්ද. වෙනදටනම් ඔය වගේ වැඩකට උනත් මීන ගෙයින් එලියට ගියේ නෑ. අසංකට කෝල් කරලා “අනේ සල්ලි ටිකක් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද?” කියල අකවුන්ට් නම්බර් එක දුන්නම ඇප් එකෙන්ම ටක්ගාලා යවනව. ඒ උනාට එදා කෝල් එක ගනිද්දි අසංක මැසේජ් එක එව්වෙ “ඉන් අ මීටින්, කැන් අයි කෝල් යූ ලේටර්” කියල කෝල් එක කට් කරන ගමන්මයි.

ඉතින් ඕන ඔහේ වෙනසකටත් එක්ක එලියට ගිහින් එනව කියල ඇඳ පැලඳගත්ත මීනා බැංකුවට ගිහින් සල්ලි ටික ඩිපොසිට් කරල අම්මටත් කෝල් කරල සල්ලි දැම්ම වග කිව්ව. ඕන්නම් එතනදිම බස් එකට නැගල ආය ගෙදර යන්න පුලුවන් උනත් ඔන්නොහේ ඉස්සරහ තිබ්බ ඇඳුම් කඩේටත් ගිහින් එනව කියල හිතාගෙනම පාර පැනපු මීන තව ටිකෙන් වාහනේකට හැප්පෙනව දැක්ක දේත් එක්ක.

ඉස්සර තිබ්බ ඩේ රූම්ස් බිල්ඩින් එකක ඉඳල එලියට ආවෙ වෙන කවුරුවත් නෙවෙයි උදේ තමන් බත් මුල බැඳල අතේ තියල පරිස්සමෙන් ගිහින් එන්න කියල කිව්ව අසංක. ඒ අසංකමද කියල සැක ඇරල දැනගන්න මීන ඇස් දෙක ආයෙ වතාවක් පිහදල බැලුවා. කාව අඳුරගන්න බැරිඋනත් අසංකයි වාහනෙයි අඳුරගන්න බැරිවෙනවද මීනට? කසාද බැඳලත් අවුරුදු දහයක්. පුතාටත් අවුරුදු අටක් නෙ. අනික ඊයෙ රෑ මීනම අයන් කරල දුන්න, පහුගිය උපන්දිනේට අරන් දුන්න නිල් කමිසෙමයි අසංක ඇඳන් උන්නෙ.

ඒ අසංක නම් කවුද අසංකගෙ අතේ එල්ලිල හිනා වෙවී උන්නු කෙල්ල?

අනික අසංක මේ ඔෆිස් යනව කියල දවාලෙ ඩේ රූම් එකක් අස්සෙ මොනවද කරන්නෙ? ඔය ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ අසංක ලඟ බව දන්න හන්දමයි මීන එතනදිම කෝල් එකක් ගත්තෙ. ආයෙ කෝල් එක කට් කරාවි කියල හිතුවට මොකෝ අසංක තිරේ දිහා බලල මූන ඇඹුල් කරගන්නවත්, අර කෙල්ල “කවුද වයිෆ් ද? කියල තොල් උලුප්පල අහනවත් දුර ඉඳලත් මීන දැක්කා.

අසංක ෆෝන් එකට සම්බන්ධ උනා. මීනා ඇහුවෙ එක ප්‍රශ්නයයි.

“කොහෙද අසංක ඔයා ඉන්නෙ?”

“මම මේ ඔෆිස් එකේ ඉඳල මීටින් එකකට යන ගමන්” කියල කියද්දි මීනට ඇහුන හිත කියනව “ඔයිට කලිනුත් ඔහොම කියල ගියේ ඔය මීටින් වලට වෙන්නැති” කියල. දුකක් නෙවෙයි අම්මපා දැනුනෙ මරාගෙන මැරෙන කේන්තියක්. මූණ ඉස්සරහ ඉඳන් බොරු කියන ලස්සන?

“ඔයාගෙ මීටින් දැන් තියෙන්නෙ රිලැක්ස් ඔන් එකේද අසංක?” කියල මීන අහපු වචන වලට අසංක් ඇස් උස්සල බලනවත් මීන දැක්ක. හැබැයි අසංක බය උනේවත් අල්ලන් උන්නු අර කෙල්ලගෙ අත අතැරියෙවත් නෑ.

අවුරුදු දහයක් තමන් එක්ක එකට දුක් වින්ද, උදේ නැගිටන් උයන් පිහන් දාසියක් වගේ හැමදේම කල, තමන්ගෙ ගෑණිව අර මහ දවාලෙ අව්වෙ මග දාලා අපූරුවට අර කෙල්ලව වාහනේට නග්ගවගෙන එක්කරන් ගියා.

මීනා ගෙදර ආවෙ පිස්සියෙක් වගේ. බස් එකේ එද්දි මිනිස්සුන්ට පේන්න ඇඬෙයි කියල බයට ආවෙ ටුක් එකක. වෙනද වගේ “අසංකගෙ සල්ලි නාස්ති වෙනවනෙ” කියල හිතුවෙත් නෑ.

වෙන ගෑණු එක්කල රූම් ගාණෙ යන්න සල්ලි තියෙනම් මං ටුක් එකක ගියාම මොකද කියල හිතුවට මගක් දුර එද්දි ඇඬුණා. ලේන්සුව මූණට තද කරන් කඳුලු හිරකරගෙන ගෙදරට ආව ගමන් “ඔලුව රිදෙනව අව්වෙ ගිහින්” කියල අම්මට කියාගෙනමයි බාතෘම් එකට රිංගල හිත රිදෙනකම් ඇඬුවෙ.

එදා රෑ අසංක කිසි ගානක් නැතුව ගෙදර ආව.

“මම කේශලා එක්ක ගොඩක් කල් ඉඳල යාලුයි. දැන් ඔයත් දන්නවනෙ. මට ඩිවෝස් එක ඕන” කියල කිව්වෙ කිසි ගාණක් නැතුව.

“දරුව වෙනුවෙන් මං ඔයාට එක පාරක් සමාව දෙන්නම්” කියල කියන්න හිතන් උන්නු වචන එහෙමම බිඳිල ගියා. තමන්ගෙ අතින්ම මැදල දුන්න අසංකගෙ නිල් කමිසෙ කොලර් එක පොඩිවෙන්න අල්ලගෙන මීන ඇහුවෙ එක දෙයක් විතරෞඉ.

“ඇයි තමුසෙ මට මෙහෙම කලේ? අවුරුදු කීයක් මං තමුසෙයි ලමයයි වෙනුවෙන් නැහුනද? මේකද මට අන්තිමෙ ඒකට ලැබිච්ච තෑග්ග?”

රණ්ඩු සරුවල් වලින් ඒ කතා නතර වුණානම් හොඳයි. අවුරුදු දහයක් තමන්ගෙ කසාද ගෑණි වෙලා උන්නු මනුස්සය නේද කියලවත් අසංක මීනාට නිල්වෙන්න තඩි බාද්දි හිතුවෙ නෑ. පුංචි මයුර ඒ වෙලාවට දුවන් ගිහින් ආච්චි ලඟ තුරුල්වෙන්නෙ බයටම. අසංකගෙ අම්මට මේව නෑහුණා නෙවෙයි. කොච්චර “ඔහොම කරන්න එපා” කිව්වත් අසංක කියන දේ අහන තැනක නෙවෙයි උන්නෙ අර තරුණ කෙල්ලෙක්ගෙ පයුරු පාසානම් වලට අන්ධ වෙලා.

වෙනද උදේ නැගිටල පිලිවෙලට උයපු කරපු මනුස්සය අපිලිවෙලට වැඩ කරද්දි, හරියට නොකා නොබී දුක් විඳිද්දි බලා ඉන්න බැරිම තැන තමා ගුණවතී හාමිනේ තමන්ගෙ දූ වෙච්ච ප්‍රසාදි එක්කල මීනාව උපදේශනයට එක්කරගෙන ගියේ.

අසංක ඩිවෝස් වෙන්නම ඕන කියනවනම්, එයාට කේශලා එක්ක තියෙන සම්බන්ධෙ නවත්තන්න උවමනාවක් ඇත්තෙම නැත්තන් දරුව වෙනුවෙන් කියලවත් තමන් මෙහෙම ගුටිබැට වලට අහුවෙවී, කතා අහ අහ ඉන්න ඕන නෑ කියල මීනත් තේරුම්ගත්තෙ උපදේශනයට ආවයින් පස්සෙ. ඔක්කොටම කලින් තමන් තමන්ට කියල දෙයක් උපයගන්න ඕන බවත් ආර්තිකව ස්තාවර වෙන්න ඕන කියලත් උපදේශනයෙදිම ඉගෙන ගත්ත මීනා හීන් සැඍඑ රස්සාවක් හොයාගත්තා.

ජීවිතේ ඉඳියට වඩා හොඳ ඉන් පස්සෙ. රස්සාව එක්ක ආවෙ සලි විතරක් නෙවෙයි. සැනසීම, සතුට, නිදහස. තමන් ආස දේවල් ගන්න, පුතා ආස දෙයක් ගන්න තිබ්බ හැකියාව.

ටිකෙන් ටික ආර්තිකව ස්තාවර වෙද්දිත්, උපදේශන වාර ගානකට යද්දිත් “දරුවො වෙනුවෙන් කියල ඉවසන එකම දරුවන්ට, එයාලගෙ මනසට කරන ලොකු වරදක් බව” මීනට තේරුම් ගියා.

“දරුව වෙනුවෙන් කියල ඔයා ඉවසනවනෙ. ඒත් හස්බන්ඩ් ඔයාට ගහන බනින ඒව දැක්කම ඔයා හිතනවද ඒකාට දරුවෙක් පොසිටිව් විදියට රිඇක්ට් කරාවි කියල. රණ්ඩු සරුවල් දකිනව කියන්නෙ ඒක දරුවෙක්ට හරිම නෙගටිව් විදියට බලපානවා. එයා හිතන්න පටන් ගන්නවා අම්මයි තාත්තයි වගේම මමත් කරන්න ඕන ප්‍රශ්නයක් ආවම කලහකාරී වෙන එක කියල.

දෙපැත්තක ඉඳල උනත් කමක් නෑ දරුවගෙ මනසට බලපෑම් ඇති නොවෙන්නයි අපි ජීවත් වෙන්න ඕන”

උපදේශනය කල රශ්මි රාජපක්ෂ උපදේශකතුමී එහෙම කියද්දි තමයි මීනට තේරුනේ නොදැනුවත්ම වෙනුවෙන් උනත් මයුරට කොච්චර ලොකු වරදක්ද තමන් කරල තියෙන්නෙ කියල.

ඉතින්,

දරුවො වෙනුවෙන් කියල ගුටිබැට ඉවසගෙන, පීඩාකාරී විවාහයක ඉන්න හේතු හදාගන්න එපා. ඒක ඔයාගෙ මනසට වගේම දරුවන්ගෙ මනසටත් නෙගටිව් විදියට බලපාන බව මතක තියාගන්න.

සමහර දේවල් අතාරින තරමට, යන්න දෙන තරමට අපේ වගේම අපෙ දරුවන්ගෙ ජීවිත වලටත් වෙන යහපත වැඩි බව අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles