වෙනදාට රෑ කෑම අයිරාංගනි වෙනමත් සුමධුර වෙනමත් ගත්තා වුව එදා අයිරාංගනී “පුතා අපි අද එකට ඩිනර් ගමු” කියා සුමධුරගෙන් ඉල්ලා සිටියාය.
අම්මා එසේ ඉල්ලන්නේ හේතුවක් නිසා බවත් ඒ හේතුවට කාරණා සැපයුවේ තමන් බවත් දැන හුන් සුමධුර කලබල උනේ නැත. අනෙක් අතට කෙසේ හෝ මේ ගැන අම්මා සමග කතා කරන්නට ඉඩක් ලැබීම හොඳ බව සිතූ නිසාම සුමධුර ඒ ඉල්ලීම පිළිගත්තේය.
ඒ මොහොත අයිරාංගනීගේත් සුමධුරගේත් හිත්වල තිබුණේ වචනවලින් කියාගන්නට නොහැකි අන්දමේ අමුතුම හැඟීමකි. ඒ වඩා බර දුකටද, සතුටටද, කුතුහලයටද කියා වටහාගන්නට අපහසු හැඟීමකි. ඒ හැඟීම නිසාම අයිරාංගනීටත් සුමධුරටත් එදා කෑම වල රසක් දැනුනේ නැති තරම් ය.
අනෙක් අතට කල්පනාගේ ආගමනය සමග කලබලයෙන් පිටව ආ නිසාවෙන් වෙනදා මෙන් රෑ කෑමට යමක් ගෙනියන්නට සිසිමාධවීට හැකි උනේ නැත. එනිසාම ගෙදර ගොස් සුදු බත් උයා, බිත්තර බැද, පොල්සම්බල් සහ පරිප්පු හදා දරුවන් දෙදෙනාට කැව්වද සිසිමාධවීටත් හරියාකාරව බත් කටක් උගුරෙන් පහලට යවාගත්තේ අපහසුවෙනි.
කල්පනා විසින් කියූ සියල්ලම අමතක කරන්නට පුලුවන් උනත් දරුවන් දෙදෙනාට හිඟන පැටවුන් කියා ඇය ඇමතීම අමතක කරන්නට සිසිමාධවීට පුලුවන් උනේම නැත. දරුවන් දෙදෙනා නිදි කරවද්දී සිසිමාධවී දෙව්මිවත් චනුකවත් වෙනදාට වඩා සිපගත්තේත් ඒ නිසාමය. මුලුතැන්ගෙය අස් කර විදුලි පහන් නිවා කාමරයට විත් ඇඳේ ඇලවෙද්දී උනත් කල්පනා විසින් දරුවන් දෙදෙනා මුල් කරගෙන කියූ ඒ කතාව අමතක කරන්න සිසිමාධවීට පුලුවන් උනේම නැත.
කඳුලු නිදහසේ ගලා ගියේ දරුවන් දෙදෙනා නිදාගෙන ඉන්නා බව දන්න හන්දාමය. සිසිමාධවී ඒ කඳුලු අස්සෙන්, ඉකිය හයියෙන් නැගෙන්නට යද්දි අතෙන් කට වසාගත්තේ දරුවන් දෙදෙනා ඇහැරෙතැයි බියෙනි.
“අනේ ඔයාට ආයෙ එන්න බැරිද කෝසල?අපිට ලුණුයි බතුයි කාල හරි කාගෙන්වත් කතාවක් අහන්නෙ නැතුව ඉන්න ඔයාට ආයෙ එන්න බැරිද කෝසල? මං කොහොමද මේ දරුවො දෙන්නත් එක්ක ඔයා නැතිව මේ ජීවිතේට මූණ දෙන්නෙ?
කොහෙ හරි ඉඳන් බලන් ඉන්නවනම් මට කරන්න ඕන මොකද්ද කියල කියන්න කෝසල. කවුරු දිහා නොබැලුවත් අපෙ දරුවො දෙන්න දිහා බලන්න” කියා ඒ ඉකිය තද කරගෙනම දෑස් තද කරගෙන සිසිමාධවී උණු කඳුලුවලට ඔහේ කම්මුල් දිගේ වැගිරී කොට්ටයට වැටී වියැකී යන්නට ඉඩ දුන්නාය.
කෝසල උන්නානම් මේ සියල්ල තමන්ට මීට වඩා ශක්තිමත්ව දරාගන්නට පුලුවන් බවත්, තමා දරුවන් දෙදෙනා වෙනුවෙන් වෙනදාට වඩා ශක්තිමත්ව ඉන්නට ඕන බව දැන උන්නද එය කිරීම කෙතරම් නම් අපහසුද කියාත් සිසිමාධවී තේරුම්ගත්තේ මේ රැයේය.
“ තමන් ගේ අස්සට රිංග ගත්ත මදිවට දැන් මේ හිඟන පැටව් වගේකුත් මේක අස්සට දාගෙන. කාගෙ කණෙන් රිංගුවත් මගෙ කණෙන් නම් රිංගන්න පුලුවන් වෙයි කියල හිතන්න එපා. හීන් සැරේ එන්නෙ මොනව බලාපොරොත්තුවෙන්ද කියල මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට නොතේරුනාට මට නම් තේරෙනව” කල්පනා කියූ එකී වදන් දෝංකාර දිදී කන් අස්සේ පෙරලිකරද්දී සිසිමාධවී උන්නේ නින්දෙන් කෝසලව අමතමිනි. සිහිනයෙන් පැමිණ මේ දුකෙන් තමාව මුදවාගන්නා මෙන් සිසිමාධවී කෝසලගෙන් ඉල්ලා සිටියාය.
තමන් කිසිම දවසක තිලකරත්න නිවසේ වැඩට ගියේත්, කරන්නට දෙයක් නැතිම තැන ඉරිදා දවසක දරුවන් දෙදෙනාව එහි රැගෙන ගියේත් අසරණකම නිසා බව කල්පනාට තේරුම් කර දෙන්නට හොඳ යැයි සිතුවාට එය තේරුමක් නැති දෙයක් බව සිසිමාධවී නොදන්නවා නොවේ. සමහර මිනිසුන් වචන පාවිච්චි කරන්නේ කිසිසෙත්ම නොහිතා නොබලාය. එහෙව් මිනිස්සුන්ට අපි මොන දේ කිව්වද ඔවුන් එය තේරුම් නොගන්නා බව ඇත්තකි. තමන්ට තිලකරත්න නිවසෙන් අයිතිකරන්න, ලබාගන්න කිසිවක් නැති බව සිසිමාධවී දනී. කල්පනාට එහෙම හිතන්නට හේතු වූ කාරණාව කුමක්ද කියා සිසිමාධවීට හිතාගන්නට බැරිත් ඒකය.
දෙව්මිත් චනුකත් තුරුල් කරගත් සිසිමාධවීගේ දෙනෙත් නිදිබරව පියවෙද්දිත් තිලකරත්න නිවසේ කෑම මේසය තිබුනේ අයිරාංගනීත් සුමධුරත් අතර වූ නිහඬතාවයකින් පිරී ගොසිනි. එහෙත් ඒ නිහඬ යාමය තුල පවා අයිරාංගනීගේ සහ සුමධුරගේ හිත් දෙවිදියකින් ගැහෙමින් තිබුණහ.
“පුතාට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඇයි මං කතාකරන්න ඕන කිව්වෙ කියල” ඒ නිහඬතාවය බිඳින්නට පලමු ගල ගැසුවේ අයිරාංගනීය. නිහඬතාවය තුල බොහෝ දේ සිතන්නට නිදහස තිබුනද, නිහඬව සිටින තාක් කල් හැඟීම් සඟවා ගෙන ඉන්නට නිදහස තිබුනද ඒ වනාහී දිගුකාලීනව කරන්නට බැරි දෙයක් බව අයිරාංගනී දනී. ඉතින් හොඳම දේ හිත හැදෙන්න හෝ හිත රිදෙන්න මේ ගැන කතා කරන එක පමණකි.
සුමධුර අම්මා ඇසූ දෙයට කිසිවක් නොකියා හිස වනන අතරම වියලී ගොස් තිබුණ උගුර තෙමාගනු පිණිස වතුර උගුරු කිහිපයක් බිව්වේය. අයිරාංගනී මොහොතක් සුමධුර දෙසම බලා හිඳ ආයෙම වරක් තම සිතුවිලි වචන කරන්නට කටයුතු කරාය.
“කල්පනා ඉස්සර ඉඳල හැමදේටම කලබල වෙන කෙනා කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කල්පනා ඇත්තටම මම වගේද තාත්තා වගේද කියල කියන්නවත් මම දන්නෙ නෑ. එයා අපි දෙන්නටම වඩා සෑහෙන වෙනස් නෙ.
දැන් අද ඇවිල්ල උනත් කරේ තමන්ට කිසිසේත්ම අදාල නැති ප්‍රශ්නයක් ඇදගෙන නිකන් අර ළමයගෙ අසරණ දරුවො දෙන්නගෙ හිතුත් රිද්දල අපෙ හිතත් රිද්දල ගිය එකනෙ. කාටවත් කිසිම ප්‍රයෝජනයක් උනේ නෑ. අන්තිමේ අර කෙල්ල ගෙදර ගියේ රෑට කෑම ටික අරගන්නෙවත් නැතුව”
අයිරාංගනී එහෙම කියා කතාව මොහොතකට නවතද්දී උනත් සුමධුර ඉන්නේ කෑම මේසය මත තබාගෙන උන් එකිනෙක පටලාගත් තම දෙනෙත වෙත නෙත් යොමා ගෙනය. හිස ඔසවා අම්මා දෙස බලන්න බැරි අපහසුවක් මෙන්ම, අම්මා කියන ඒවාට සම්මාදම් විය නොහැකි වචන අහිමි වුණ බවක්ද සුමධුරට සිතුණි.
“ඒ හැමදේම අමතක කරමුකො. මට ඒ ඔක්කොටම වඩා දැනගන්න ඕන ඔයා කල්පනාට අන්තිමට කිව්ව කතාව පුතා.
ඔයාගෙ හිතේ සිසිමාධවී ගැන අදහසක් තියෙනව කිව්ව කතාව. දරුවො දෙන්න එක්කම උනත් සිසිමාධවීව භාරගන්න ඔයා කැමතියි කිව්ව කතාව.
පුතා දන්නවනෙ මම කවදාවත් කිසිම දවසක ඔයාලගෙ පර්සනල් ලයිෆ් එකේ ඩිසිශන්ස්වලට ඇඟිලි ගහන්න ආව අම්මා කෙනෙක් නෙවෙයි කියල. හැබැයි ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉතින් දරුවෙක් කසාද බඳිනව වගේ මුලු ජීවිත කාලෙටම බලපාන තීරණයක් අරගන්න යද්දි ඒක ගැන අහන හොයන කරන එක කරනවා. ඒක සාමාන්‍ය දෙයක්නෙ. දරුවන්ට ආදරේ කරන ඕනම පෙයරන්ට් කෙනෙක් කරන දෙයක් ඒක.
මට පුතාගෙන අහන්න ඕන එකම එක දෙයක් විතරයි. පුතා ඒ කතාව කිව්වෙ ඇත්තටම එහෙම නැත්තම් කල්පනාගෙ කට වහන්න හිතාගෙන විතරද? මොකද පුතා අපි නොහිත කියන එක වචනයක් ඇති අපේ මුලු ජීවිතේම අනිත් පැත්ත ගහන්න. ඒකයි මට පුතා හිතන දේ ගැන දැනගන්න ඕන”
අයිරාංගනී කතාව නවතා මද ඉසිඹුවක් ගනිමින් සුමධුර දෙස එක එල්ලේ බලද්දී සුමධුරට අම්මාගේ දෙනෙත් මගහැර වෙන ඉසව්වක් බලන්න පුලුවන්කමක් තිබුණේ නැත. අනෙක් අතට අම්මා වනාහී කොහොමත් කවදත් සම්ප්‍රදායිකව හිතා බලා තීරණ ගත් හෝ කටයුතු කල අයෙකු නොවන බව සුමධුර දනී.
එහෙත් මේ මොහොත වෙනස් ය. ලෝචනාට අම්මා එදා කැමති වූ බව ඇත්තකි. ඒ ඇය අවසානයේ තමාව හැර ගියද තම පවුලට, උගත්කම්, වත්කම් වලට ගැලපෙන අයෙකු වූ නිසාවෙනි.
එහෙත් සිසිමාධවී වනාහී එවන් අයෙකු නොවේ. ඇය තරුණ වියේදිම දෙමව්පියන්ට මුරණ්ඩු වී පැන අවුදින් තමාට, තම සමාජ තත්ත්වයට නොගැලපෙන තැනකින් විවාහයක් කරගත් අයෙකි. දරුවන් ලැබ සැමියා මල පසු වැන්දඹුවක් වූ අයෙකි.
තම නිවසේ සේවිකාවකි. ඇයව කෙතරම් දුහිතෘ තනතුරේ තබා සැලකුවද තම එකම පුතුගේ බිරින්දෑ වශයෙන් ඇයව දකින්නට අම්මාට නොහැකි වන බව සුමධුර නොදන්නවා නොවේ.
ඇයට ආදරය කල සිතින් ඇය සතුව ඇති සියලු අඩුපාඩු, ගැටලු තමන්ගේ කර සිතන්නට තමන්ට හැකි වුනද අම්මාට එය කරන්නට අපහසු බව ද, අම්මාගෙන් එවන් දෙයක් බලාපොරොත්තු වීමද සුමධරට නොරහසකි.
මේ කතාව මෙතනින් නතර කරන්නට නොහැක. ඉතින් අම්මාගේ පිළිතුර කුමක් වුනද මේ කතාව මෙතනින්, මෙදවසින් අවසන් කරන්නට හැකි වේ නම් එය අම්මාගේත් තමාගෙත් හිතට සහනයක් වනු ඇත. සුමධුර වදන් ගොනු කරේ ඒ නිසාය. අයිරාංගනීත් සුමධුරත් අතර වූයේ ඇල්පෙනෙත්තක් බිම වැටුනා වුවද එහි නාදය නින්නාද දෙමින් ඇසෙන අන්දමේ ගැඹුරු නිහඬතාවයකි.
“මම ඇත්තටම මාධවීට කැමතියි අම්මා. එයා කසාද බැඳල, ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියල දන්නෙ නැතුවයි ඇත්තටම මම එයාට කැමති වුණේ. ඒත් එයා ගැන ඇත්ත දැනගත්තම වුණත් මට එයාව හිතෙන් අතාරින්න බැරිවුණා හැබැයි මම කවදාවත් එයාගෙ ෆැමිලි ලයිෆ් එකට ප්‍රශ්නයක් කරන්න හිතුවෙ නෑ අම්මා.
ඒක ආදරේද අනුකම්පාවද කියන්න මම හරියටම දන්නෙ නෑ. හැබැයි ඒ දෙකම එකතුවෙච්ච මොකක් හරි ෆීලින් එකක් කියල මට තේරෙනවා
ඒත්, අම්මා හිතනවනම් එයා මට ගැලපෙන්නෙ නෑ කියල මම කවදාවත් අම්මට පිටින් යන්නෙ නෑ අම්මා. මට එහෙම කරන්න උවමනාවක් නෑ”
ඒ වදන් අවසානයේ ප්‍රශ්නාර්තයක් නොරැඳී තිබුණේ සුමධුර නැගුවෙ ප්‍රශ්නයක් බවත් තමා එයට පිළිතුරක් දිය යුතු බවත් අයිරාංගනී දැන උන්නාය.
“මම කැමති නෑ පුතා”