සිය පළමු කෘතියෙන්ම ඉහළ පාඨක ප්‍රතිචාර ලබන ප්‍රවීන මාධ්‍යවේදිනිය.

0
527

වසන්ති නානායක්කාර මහත්මිය ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් ලෙස අපි කවුරුත් හඳුනන චරිතයක්.ඇගේ පළමුවැනි පොත එළි දැක්වීම නිසා දැන් ඇය ලේඛිකාවක් බවටත් පත් වෙලා.ඒ ගැන අපි කළ කතාබහයි මේ.

මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද?

මේ දවස්වලනම් ගොඩක් සතුටින් ගෙවෙන්නෙ.මොකද මගේ පළමුවැනි පොත “පුංචි කාලේ මං” කෘතිය ජනගත කළා.ඒ පසුගිය දහතුන් වෙනිදා.ගොඩක් බාධක මැද තමයි ඒක ජනගත කරගන්න පුලුවන් වුණේ.මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි මේක ජනගත කරන්න හිතන් හිටියේ.මේ පොත මම ලියුවේ මගේ තාත්තා වෙනුවෙන්.එයාට තමයි මේ පොත් පිරිනැමීම තියෙන්නෙත්.මට අවශ්‍ය වුණා තාත්තාට මේ පොත ගොඩක් මම ආදරය කරන පිරිසක් ඉස්සරහා පිරිනමන්න.ගිය අවුරුද්දේ අපි BMICH එකත් බුක් කරලා තිබුනා මේ ජනගත කීරීම කරන්න.නමුත් ආපහු කොරෝනා දෙවෙනි රැල්ලත් එක්ක ඒක අපිට කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ.කොහොමහරි ඔහොම පරක්කු වෙලා පරක්කු වෙලා අවසානයේදී මට මේ පොත ජනගත කරන්න අවස්ථාව එනකොට් තාත්තා ජීවතුන් අතර නැති අවස්ථාවක තමයි මුහුණ දෙන්න වුණේ දැන් තාත්තා නැති වෙලා මාස 5ක් විතර.ගිය අගෝස්තු වලදී නැති වුණේ.ඉතින් කොහොමහරි පසුගිය දහතුන්වෙනිදා ජනගත කළා.දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ආශිර්වාදය ඒගොල්ලන්ගේ මැදිහත් වීම දෙරණ පවුලේ මැදිහත් වීම ඒ ගොල්ලන්ගේ සියලු දායකත්වය එක්ක තමයි ජනගත කිරීම කලේ.මේ දවස්වල ගොඩක් සතුටින් ඒ නිසා ඉන්නවා.

ඔබ මාධ්‍ය ආයතනයක ඉහල තනතුරක් දරන කෙනෙක් විදියට මේ පොත ලියන්න වෙලාව වෙන් කරගත්තේ කොහොමද?

වෙලාව වෙන් කරගත්තේ කියන්නේ ඔයාටයි මටයි අපි ඔක්කොටමයි තියෙන්නෙ පැය විසි හතරයි.
ඒ පැය 24 ඇතුළත තමයි අපි හැමෝම වැඩ කරන්නෙ.එකම දේ තියෙන්නේ අපි වැඩ කරනකොට කාලය බෙදාගන්න ඕන.ගෙදර වැඩ කරගන්න ඕන.උයන පිහින දෙවල් කරගන්න ඕන.දුවගේ වැඩ කරගන්න ඕන.ඒ විතරක් නෙවෙයි රැකියා ස්ථානයෙත් විශාල කාරයභාරයක් මට තියෙන්නෙ.මොකද මම අද දෙරණ 24 පැය නාලිකාවේ සාමාන්‍යාධිකාරීනී හැටියට කටයුතු කරනවා.ඒකේ පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම භාරව ඉන්නේ මම.ඒ කටයුතුත් මම හරියට කරන්න ඕන.ඒ එක්කම මම master එකක් කරනවා.අධ්‍යාපන කටයුතු විභාග කටයුතු ඒවත් කරන්න ඕන.ඒ එක්කම ලියන වැඩේ වගේම පොත් කියවන වැඩෙත් කරන්න ඕන.මොකද මම පුංචි කාලේ ඉදලා පොත් කියවන්න හරි කැමතියි.ඉතින් හැමදේකටම අපි හරියට කාලය සංවිධානය කරගත්තොත් පුලුවන්.ටිකක් අපහසුයි තමයි.ඒකට හේතුව ඉතින් මේ පැය 24ක් වැඩ කරනකොට නිදාගන්න ලැබෙන කාලය අඩු වෙනවා.සාමාන්‍ය මම රෑ 12.30 ත් පහුවෙනකම් වැඩ කරන කාලේ වැඩියි.ඒකත් එක්ක මං කොහොමහරි මේ පොත විතරක් නෙවෙයි තව ඉදිරියේදි මේ වගේ පොත් කීපයක් දැනටමත් සූදානම් වෙමින් තියෙන්නෙ.මම හිතන්නෙ මම කාලය හොයාගෙන තියෙන්නෙ හුගක් දේවල් වලට.

මේ පොත පළමුවැනි පොතද?

මේ මගේ පළමුවෙනි පොත.ඒ කියන්නේ කෘතියක් විදියට මුද්‍රණය කරපු පලවෙනි පොත. මාධ්‍යවේදිනියක් විදියට මේ ආපු ගමන් ගැන කතා කරොත්.මාධ්‍යවේදිනයක් විදියට මම ලේඛනයෙන්ම තමයි ආරම්භ කරන්නෙ.පුංචි කාලෙනම් මම පත්තරවලට කවි පොඩි පොඩි කතා ලියලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ.ඊටපස්සෙ මම උසස් අධ්‍යාපනයෙන් පස්සෙ ජන සන්නිවේදය පිළිබධ පාඨමාලාවන් දෙකක් කරනවා.ඊටපස්සෙ මම මාධ්‍යවේදිනියක් හැටියට පළවෙනි වතාවට සම්බන්ධ වෙන්නෙ පුවත්පත් කලාවේදිනියක් හැටියට.දිවයින පත්තරයේ.අනූ දෙකවසරෙදි. එතන ඉදලා වසර තුනක් විතර මම දිවයින පත්තරේ කන්තලේ වාන් ඇළ කියන ගමේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකාරිනිය හැටියට වැඩ කරනවා.එතනින් තමයි මගේ මාධ්‍ය ජීවිතයේ පළවෙනි ආරම්භය.ඊටපස්සෙ ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වෙනව බාහිර ශිල්පිනියක් හැටියට.ඊටපස්සෙ 1997 දී ස්වර්ණාවාහිනිය පටන් ගන්නේ.එතකොට මම ඒකට සම්බන්ධ වුණා.එතනදි නිවේදිකාවක් හැටියට සහය නිෂ්පාදිකාවක් හැටියට වීඩියෝ සංස්කරණ ශිල්පිනියක් හැටියට සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් හැටියට වැඩ කළා.ස්වර්ණාවාහිනියේ අවුරුදු අටක් වැඩ කළා.2005 දී ස්වර්ණාවාහිනියෙන් අයින් වෙන්නෙ.ඊටපස්සෙ සම්බන්ධ වෙනවා දෙරණ ආයතනයට.දෙරණ ආයතනයේ මේ වෙනකොත අවුරුදු 16 ක් වෙනවා මගේ සේවා කාලය.

කොහොමද පොත් කියවන්න තියෙන නැඹුරුතාවය.

පොත් කියවන එකනම් මගෙ පොඩිකාලේ ඉදලම තියෙන නැඹුරුතාවයක්. පොඩි කාලෙ ඉඳලම මම හුගක් කැමැතියි කියවන්න.තාත්තා තමයි ගොඩක්ම මට කියවන ඒවට උදව් කළේ ඒ කාලේදී.එයාට පුලුවන් හැටියට මට පොත් ගෙනත් දෙනවා.මමත් ගොඩක් වෙලාවට ඉල්ලුවේ පොත්පත්.පොඩි පොත් රාක්කයක් තාත්තා මට මුලින්ම හරිගස්සලා දුන්නා.ඒකේ පොත් ප්‍රමාණය වැඩි වෙනකොට තවත් එකක් හදලා දුන්නා.මම හිතන්නෙ පුංචි කාලේ ඉඳලම මං හුඟක් පොත්පත් විශේෂයෙන්ම මම නවකතා,කෙටිකතා,කවි ඒ වගේ දේවල් කියවන්න කැමතියි.ගොඩක් කැමති පරිවර්තන කෘති කියවන්න.මම තවමත් ළමා කතා කියවන්න කැමති කෙනෙක්.මට හොදට මතකයි ගොඩක් පුංචි කාලේ ඉදලා තාත්තා මට ළමා කතා ගෙනත් දෙනවා.ඒ නිසා පුංචි කාලේ තිබුණු ඒ නැඹුරුව වෙන්නැති මම පොත්පත්වලට ආදරය කරන්න ආස කරන්න හේතුව.

මාධ්‍යවේදිනියක් විදියට ගෙවෙන වෘත්තීය ජීවිතය කොහොමද?

වෘත්තීය ජීවිතයේ ගොඩක්ම වැඩ වැඩියි.වැඩ වැඩිවෙන හේතුව තියෙන්නෙ අපි ඒ කාලේ වැඩ කරපු විදියට නෙවෙයි දැන් කෙරෙන්නෙ. අපිට ලැබිලා තියෙන තනතුරු එක්ක ලැබිලා තියෙන වගකීමුත් වැඩියි.දෙරණ ආයතනය ගත්තොත් එහෙම නාලිකා දෙකක් තියෙනවා.ටීවී දෙරණයි අද දෙරණයි.මම අද දෙරණට සම්බන්ධ වෙලා ඉන්නෙ.අද දෙරණ නාලිකාවේ සාමාන්‍යාධිකාරී තනතුර දරන කෙනා හැටියට මට සම්පූර්ණයෙන්ම පරිපාලන කටයුතු කරන්න තියෙනවා.ඉතින් පරිපාලන කටයුතු සිදු කරනවා කියන්නෙ ගොඩක් වෙලාවට එතන ඉන්න පිරිසගේ හැම ප්‍රශ්නයක්ම සමහර වෙලාවට පෞද්ගලික ප්‍රශ්න පවා මට විසදන්න වෙන අවස්ථා තියෙනවා.එහෙම වෙලාවට උදේ ගියාම එක්කෙනෙක්ගෙ ප්‍රශ්නයක් විසදන්න මට වරුවක් විතර වැය කරනවා.ඒක එයාගේ මානසික ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.එතකොට ඒ මානසික ප්‍රශ්නය නිසා එයාට ගෙදර ගැටලුවක් ඇති වෙලා තියෙනවා වෙන්න පුලුවන්.එහම නැත්නම් එයාට වැඩට එන එක අපහසුතාවයක් වෙන්න පුලුවන්.ආර්ථික ප්‍රශ්න වෙන්න පුලුවන්.ගොඩක් දේවල් ඒ එක්කෙනෙකුට බලපානවා.ඉතින් ඔය හැම දේකටන මම ඇහුම්කන් දීලා ඒගොල්ලෝ සෑහීමකට පත් වෙන උත්තරයකුත් මම හොයලා දෙන්න ඕන.ඒක මගේ කළමනාකාරිත්වය බලාපොරොත්තු වෙන දෙයක්.ඉතින් මම ඒ කොටස වැඩියෙන්ම කරනවා.ඊට අමතරව මම 24 නාලිකාවේ වැඩසටහන් ගණනාවක් කරනවා.මමම තමයි ඒ වැඩසටහන් නිර්මාණය කරලා තියෙන්නෙ.ඒ වැඩසටහන්වලට නම් පවා යෝජනා කරලා තියෙන්නෙ මමමයි.මොකද මට හිතුණා එක එක අංශවලින් වැඩසටහන් නිර්මාණය කරන්න ඕනේ.ඒවා මිනිසුන්ට කොයි විදියටද ඵලදායී වෙන්නෙ කියලා මම හොයලා බලනවා.
විශේෂයෙන් සෙනෙහස කියන වැඩසටහන මම ආරම්භ කලේ අපේ කාන්තාවන්ට මානසිකව ඇතිවෙන ගැටලුවලට උත්තර හොයන්න.දරුවන්ට වැඩිහිටියන්ට එත්කොට මේ සෙනෙහස කියන දේ ඇතුළේ මිනිස්සුන්ව ජීවත් කරන්න පුලුවන් විදිය මොකක්ද කියලා ලෝකෙට කියලා දෙන්න.අන්න ඒ වගේ තේමාවක් එක්ක තමයි සෙනෙහස කියන වැඩසටහන මම පටන් ගත්තේ.දැන් අවුරුද්දකටත් වැඩියි.ඒ එක්කම මම පටන් ගත්තා the challenge කියලා වැඩසටහනක්.ඒකේ අපේ ජීවිතවල තියෙන් අභියෝග, ක්‍රීඩාවේ තියෙන අභියෝග, අධ්‍යාපනයේ තියෙන අභියෝග මේ වගේ ඕනම මාතෘකාවක අපිට තියෙන අභියෝග කතාකරන්න the challenge කියන වැඩසටහන මම නිර්මාණය කළා.ඊටපස්සෙ කොරෝනා සමයත් එක්ක අපේ management එකේ තිබ්බ අදහසක් අනුව to the point කියන වැඩසටහන පටන් ගත්තා.ඒ වැඩසටහනේ අරමුණ වුනේ අපේ ලංකාවේ ඉන්න කුඩාම ව්‍යවසායකයාගේ ඉඳලා ඉහළටම ගිය ව්‍යවසායකයාගේ දක්වා පුද්ගලයන් ගැන කතා කරන්න.සමහර විට කුඩා ව්‍යවසායකයාගේ තියෙන ප්‍රශ්න කතාකරන්න.සමහර විට කුඩාම ව්‍යවසායකයෙක් වෙලා ලොකු තැනකට ගිය කෙනෙක් ගැන කතාකරන්න.ආර්ථිකමය වශයෙන් අපේ රට ගොඩනගන්න ඕන තැන කතාකරන්න. උදාහරණ දෙන්න.ඒ වගේ චරිත මම අරගෙන එනවා.ඊටපස්සෙ සාහිත්‍ය වැඩසටහන්ක් මම කරනවා.ඒකන්ම් 24 channel එක පටන් අරන් අවුරුදු හතරකටත් වැඩියි.අපේ මුල් කාලේ පටන් ගත්ත එකක් talking book කියලා කියන්නෙ.එක පටන් ගත්තේ ලංකාවේ විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යයේ සාහිත්‍යය ගැන කතාකරන්නෙ නැහැ.පොත් පත් ගැන කතාකරන්නෙ නැහැ.හරිම අඩුයි කතා කරනවා.ඒකට උත්තරයක් විදියට තමයි අපි talking book පටන් ගත්තේ.ඒකේ මම සාහිත්‍යවේදීන්ව ගෙනල්ලා ඒ ගොල්ලන්ගේ නිර්මාණ ගැන ඒ ගොල්ලන්ගේ පොත්පත් ගැන කතාකරනවා.ඒ එක්කම ජීවිතයට ඉඩක් කියන වැඩසටහනක් කරනවා.ඒ වැඩසටහන වෛද්‍යවරුන්ගේ එකක්.වෛද්‍ය සාකාචචාවක් විදියට යන වැඩසටහනක්.මෑතක මම පටන් ගත්තා වර්ණ කියලා වැඩසටහනක්.ඒ වර්ණ කියම වැඩසටහන ඇතුළෙදි අන්තර්ගතය විදියට මම දුන්නෙ ලංකාවේ කලාව ගැන.විවිධ කලා ක්ෂේත්‍රයන් තියෙනවා.අපි දැන් ගොඩක් වෙලාවට දන්නෙ නාට්‍ය සිනමාව.ඔය ටික විතරයි.නමුත් මූර්ති,කැටයම්,වෙස්මුහුණු, වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට කතාකරන්න පුලුවන්.ඒ හැම ඉසව්වකටම යන්න තමයි වර්ණ මම හැදුවෙ.ඒ වගේ වැඩසටහන් පෙළක් මම ඉදිරිපත් කරනවා මගේ වෘත්තීය ජීවිතයේදී.ඊට අමතරව මම පාසල්වල දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කරන්වා.පසුගිය දවසකත් මම ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට ගියා මරදානේ.ඒ ගොල්ලන් බලාපොරොත්තු වෙනවා මම ඉගෙනගත්ත මාධ්‍ය දැනුම ඒගොල්ලන්ට අවශ්‍ය නිසා ඒ දරුදැරියන්ටත් උගන්න එකත් මම වෘත්තීය ජීවිතයේදී කරනවා.

එළි දක්වලා කෙටිකාලයකින් පොතට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මට හිතාගන්න බැහැ.පහුගිය 13 වෙනිදා තමයි පොත ජනගත කලේ.මේ වෙනකොට සති එකහමාරක් වගේ වෙන්නේ.මේ කාලය ඇතුළත මට විශාල පාඨක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා.ගොඩක් අය මේ පොත ඉල්ලන තැන තමයි තියෙන්නෙ.හේතුව මේ පොත ප්‍රකාශයට පත් කළේ මමමයි.ඒ නිසා මම online තමයි දැනට ගොඩක් පොත් යවන්නෙ.ඉතින් ගොඩක් අය මේ පොත් ඉල්ලන තත්වයක් තියෙන්නෙ.තාම පාඨකයින් අතට පත් වෙමින් තියෙන්නෙ.පත් වෙච්ච බොහෝ අයගෙන් මේ වෙනකොට පුදුමාකාර ප්‍රතිචාර ලැබෙනවා.මම හිතුවෙත් නැහැ එච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා.මොකද අපෙ ආයතනය ඇතුළෙන් මේ වෙනකොට සියලු දෙනාම මේ පොත කියවලා තියෙන්නෙ.මේ book launch එක කළෙත් අපෙ ආයතනය ඇතුළෙම තියෙන ශ්‍රවණාගාරයේ.එදා හිටපු හැම කෙනෙක්ම මේ පොත අරගෙන කියවලා මේ වෙනකොට මට ප්‍රතිචාර දක්වලා තියෙනවා.ඊට අමතරව මගෙන් පිටට ගිය පොත් යම් ප්‍රමාණයක් තියෙනවා.ඒ අය දැන් ප්‍රතිචාර දක්වනවා.අද වෙනකොට ඩලස් අලහප්පෙරුම ඇමතිතුමත් ඉල්ලීමක කරා පොත කොහෙන්ද ගන්න තියෙන්නෙ කියලා.ඒ වගේ මේකට මම නොහිතන විදියට ප්‍රතිචාර ලැබෙනවා.මමවත් හිතුවෙ නැ මගෙ පළවෙනි පොතට එච්චර ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.

තව පොත් කරන්න ඒකම හේතුවක් වෙයි නේද?

දැනටමත් මට ගොඩක් ඉල්ලීමක් කරනවා මම කතා මාලාවක් රැජිනිය පත්තරේට කළා .ගීත් ගුණසේකර තමයි කතෘ.ගීත්ගේ ඉල්ලීමකට මම ලිවුවා ඒ පුවත්පතට මට හිතෙන හැටි කියලා තීරූ ලිපි ගණනාවක්.දැන් බෝහෝ දෙනෙක්ගෙන් ඒ තීරු ලිපි ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා.ඊළග අදියරේ මම හිතන්නෙ ඒ පොත තමයි පාඨකයා අතට පත් වෙන්නෙ කියලා.

අවසාන වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න අයට ඔබට කියන්න තියෙන්නෙ මොනවාද?

මාධ්‍යට එන්න කැමැත්තෙන් ඉන්න අයට කියන්න තියෙන පළවෙනි දේ තමයි මම මේ වෙනකොට දකින ලොකුම දුර්වලකම හුගක් අය හිතන් ඉන්නෙ මේ මාධ්‍යට බොහොම ලේසියෙන් එන්න පුලුවන් සහ බොහොම ලේසියෙන් වැඩ කරන්න පුලුවන් කියන එක.ඒක තමයි අපි පළවෙනියෙන්ම අපේ මනාසෙන් අයින් කරගන්න ඕනේ.ගොඩක් අපි ලගට සම්මුඛ පරීක්ෂණවලට එන අය ඉස්සෙල්ලම ඇවිල්ලා කියන්නෙ මන් ප්‍රවෘත්ති කියන්න ආසයි කියලා.ඉතින් දාහක් ගත්තොත් මේ මාධ්‍ය ඇතුළේ මම හොද මාධ්‍යවේදීනියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන අය එක්කෙනයි දෙන්නයි.අනිත් සියලු දෙනාම ප්‍රවෘත්ති කියන්න බලාපොරොත්තුවෙන් තමයි එන්නෙ.නමුත් මේක ඇතුළේ අපිට ගොඩක් ඉඩප්‍රස්තාව තියෙනවා.හැබැයි ඒ හෑම ඉඩ ප්‍රස්තාවක්ම තියෙන්නෙ තමන්ගේ කැපවීම උනන්දුව දැනුම වර්ධනය කරගැනීම ඔය හැම දෙයක්ම ඇතුළේ.කෙනෙක් හිතනවනම් ආපුගමන්ම හැමදේම ලැබෙයි කියලා.එහෙම වෙන්නෙ නැහැ.අනිත් එක තමයි විභාග පාස් කරා කියන එකත් මේකට උත්තරයක් වෙන්නෙ නැහැ.ගොඩක් අය විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා මට මෙහෙම උපාධියක් තියෙනවා විශේෂවේදී උපාධියක් තියෙනවා කියලා කිව්වත් සමහරවිට අපේ ප්‍රවෘත්ති අංශයකට ආවට පස්සේ වැඩ කරන්න බැහැ.ඉතින් ඒකට මම හිතන්නෙ පළවෙනි දේ අපිට හොදට ලිවීමේ හැකියාව තියෙන්න ඕන.කියවන්න ඕන.හොදට තොරතුරු දැනගන්න පුලුවන් වෙන්න ඕන.ඒ වගේම අපි හොද මානුෂික සබඳතා ඇතිකරගන්න ඕන.අනිත් එක තමයි කැප කිරීම.උදේ ඇවිල්ලා 8-5 රස්සාවක් කරපු කෙනෙකුටනම් මාධ්‍ය ජීවිතය ගැළැපෙන එකක් නැහැ.මේකේදි ඉතින් වෙලාවක් කලාවක් නැතුව කැපකරලා වැඩ කරපු තරමට තමයි අපිට ප්‍රථිපල ගන්න පුලුවන් වෙන්නෙ.

වසන්ති නානායක්කාර මහත්මියගේ මාධ්‍ය ජීවිතයට සහ ලේඛන දිවියට අපේ සුබ පැතුම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here