පැණි ලුණු දෙහි සහ සංසක්කාරී රැගෙන එන මනෝහාරි ජයලත්.

0
385
Manohari jayalath

මනෝහාරි ජයලත් වෘත්තියෙන් නීතිඥවරියක්.ඇය සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ මැට්ටි නම් යොවුන් නවකතාව හරහා.පසුගිය විසිතුන් වැනිදා ඇය විසින් රචිත කෘති දෙකක් දොරට වැඩියා.මේ ඒ ගැන ඇය Smartlady සමඟ බෙදා ගත් ආකාරයයි.

සමාජ ජාලා කියන්නේ සමාජයට එක්වුණු විනාශයක් කියලා ජනමතයක් තියෙන කාලෙක තමා මම ලියන්න ගත්තේ. මං හිතන විදියට සමාජ මාධ්‍ය තමා මට ලියන්න සුවිශාල වේදිකාවක් දුන්නේ. ඒ නිසා මම කියන්නම ඕනේ හැම දේකම හොඳ නරක පවතින්නේ අපේම යෙදවීම් අනුවයි.

වසරක් වගේ කාලයක් ලිට්මස් කතා ලියලා මම “ලේඛිකාවක් ” කියලා හැඳින්වෙනකොට මට මහා සතුටක් දැනුනා. ඒ මෙහෙයවීමයි ” මැට්ටි” පොත නිර්මාණය කළේ.

23 වෙනිදා දොරට වැඩියා පොත් දෙකක්. ප්‍රකාශන ආයතන දෙකකින්.

මේක සැලසුම් කළ දෙයක් නෙමෙයි. වාසනා ගුණයත් එක්ක කලවන් වෙච්චි අපූරු දෙයක්.

ඒ පොත් දෙකෙන් එකක් පැණිලුණුදෙහි (ලිට්මස් කතා)

මේ මං පැණිලුණුදෙහි පොතේ ලියපු හැඳින්වීම වගේ එක,

මම මේ කතා එකතුව ලියන කොට වසන්තයයි ගිම්හානයයි වගේ, අව්වයි වැස්සයි වගේ, මගේ හිතෙත් ප්‍රහර්ෂය වගේම හිතේ ඇමිණිලා හුඟක් රිදුම් දුන්න කටුත් තිබුණ.ඉතිං මට රිදුණු කටු ඔබටත් ඇනීමෙන් පලක් නෑනේ.ඒ නිසා මම ඔබ සමඟ බෙදා ගැනීමට ප්‍රහර්ෂය තෝරා ගත්තා.

මට පේනවා වෙලාවකට දුවලා දුවලා යද්දි ජීවිතේ හතර ගාතෙන් වැටිලා ඉන්නවා. ගොං බෙට්ටක් වගේ.
ඉතිං ඔය ගොං බෙට්ටට දුක් ගී ගයනවාට වඩා ” අපොයි ඉතිං මේක මගෙන් ම වැටිච්ච ගොං බෙට්ටනේ !!” කියලා හිතලා ඒකත් උස්සන් එතනින් යන එක කොච්චර ලේසිද…

අඬනකොට කඳුලු දරාගන්න දෑස් තියෙනවා. සතුටු වෙනකොට හිනාව දරාගන්න දෙතොල තියෙනවා.

එතකොට ආනන්දය හා ප්‍රහර්ෂය රැඳෙන්නේ කොතනද…

මනසේ
හදවතේ
මුලු සිරුරේ
ඇට නහර මස් ඇටමිදුලු තුල

මේ හැම තැනම වෙන්න පුලුවන්. ඒ නිසා තමයි අපිට ප්‍රහර්ෂාත්මක කතා, වචන,සිද්ධි නැවත නැවත සිහිවෙන ගානේ අපිව කුළුගැන්වෙන්නේ. ඒ නිසා තමයි ඒ වෙලාවට දෙතොලට හිනාවත් හිනාවෙන් කඳුලත් උපදින්නේ.

ලිට්මස් කතා කියන්නේ මගේ පෑනෙන් ඉහිරිච්ච හිනා වරුසාව. මේ කතා වලට ලිට්මස් කතා කියන්නේ ඇයි කියලා පලවෙනි කතාවේ ලිවුවා. හැබැයි මේ පොතේ වැඩි පුරම තියෙන්නේ අලුත් කතා.

මං මේ කතා පොතෙන් කිසි දෙයක් උගන්නන් නෑ. මං ඉගෙනගත්තු දෙයක් ගැන කියනවා විතරයි.

ජීවිතේ අපිට හිනා වෙන්න ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒවා නොදැක්කා සේ ඉන්න එපා. එතකොට ඔබට පේන්නේ දුක් දොම්නස් මනස්තාප විතරයි. ඒවා හරි බරයි. ජීවිත ගමනට අතිරේක බරක් මොකටද?

මට මං හුස්ම ගන්න විදියටත් හිනා වෙන්න පුලුවන්. පාන් පෙත්තක බටර් ගාන එකෙත් හිනාවෙන්න දෙයක් තියෙනවා.ඇන්ග්‍රිබර්ඩ්ස්ලා, මහ රැජින. නැනී, අර උන්දෑ තමා මට හතර හිනා කියන්නේ. හැම මොහොතකම හාස්‍යය අපි තුලම තියෙනවා. හරිම නිර්මල විදියට.

අපි හැමෝටම පෞද්ගලික දුක් දොම්නස් තියෙනවා. සමහර වෙලාවට හරිම විඩා බරයි. කඩා වැටිච්ච දවස්.අන්න ඒවගේ වෙලාවට හිතට සතුටක් හිනාවක් දෙන්න හැපි පිල් එකක් විදියට මේක පාවිච්චි කරන්න.
පලවෙනි ලිට්මස් කතාව මුහුණු පොතේ පල කල දවසේ ඉඳන් මට දහස් ගණන් ප්‍රතිචාර දැක්වූ ඔබට ස්තුති.ගොඩක් ස්තුති.

23 වෙනිදාම විදර්ශන පොතක් හැටියට නිකුත් වුණු “සංසක්කාරී ” කියන්නේ මාව හෙලවිලා මායං වෙලා මගෙන් එලියට පැන්න නවකතාවක්. අති උදාර විශ්වාසයට හා ප්‍රේමයට හදවතේ ලොකු ඉඩක් බොහෝවිට මුලු ඉඩම වෙන් කළ කෙල්ලක ගැන. මෙතෙක් ලොකුම ඇගයීමට ලක් උනේ ඒ පොතේ බස් වහර.

මනෝහාරි මහත්මියගේ සාහිත්‍ය දිවිය වඩවඩාත් සාර්ථක වන්නට අප සුබ පැතුම් රැගෙන එනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here