වගකීම

ඉස්කෝලේ කෑම ටෙන්ඩරේ  පාස් වුනාට පස්සේ දුලානි ගෙදර ආවේ රටක් රාජ්ජයක් ලැබිලා වගේ. මේ ගැන කපිලටත් කියලා සතුට බෙදා ගන්නකල් දුලානිට ඉවසිල්ලක් තිබුනේ නැහැ. ගෙදරම පිටිපස්සේ හදාගෙන යන කොරටුව, කුකුල් පාලනය වගේම මී ගව පාලනය නිසා මේ ටෙන්ඩර් එකෙන් තමන්ට ඔලුව උස්සන්න පුලුවන් බව දුලානි දන්නවා.

ඒත් මේ ගැන කපිලට කීව ගමන් කපිලගෙන් ලැබුන පිළිතුර එක්ක දුලානිගේ හිත බර වුනා.

“මේක මේ ලේසියට ගන්නෙපා දුලානි …. අපේ දරුවට කෑම හදන පිරිසිදුවෙන්ම ඒ වගකීමෙන්ම මේ වැඩේ කෙරෙන්න ඕනි බව මතක තියාගන්න … ඔයා ඔය ටෙන්ඩර් එක පස්සේ දුවනකොට මම එච්චර ඕකට උනන්දු නොකර හිටියෙත් ඔය හින්දාමයි … අපේ පොඩි කුස්සියේ දරුවෝ සීයකට  දවස් පහක් උයනවා කියන එක ලේස්සි දෙයක් නෙවෙයි …”

දුලානි එදා රෑ තිස්සේම කල්පනා කලේ කපිල කියපු දේ ගැන. ඊට පස්සෙන්දා උදේ කපිල වැඩට යනකොට දුලානි ගිහින් ඇගේ රත්තරන් මාලය කපිලගේ අතේ මෙලෙව්වා.

“ඔයා ඕක බැංකුවට තියලා රුපියල් පනස්දාහක් විතර ගේන්නකො… අපි කුස්සිය පිටිපස්සෙන් පොඩි මඩුවකුයි, මැට්ටෙන් බැඳලා ශීට් දාලා කුස්සියකුයි හදාගමු… ඔයා කිව්වත් වගේ අවුරුද්දක් යනකල් අපිට මේ වගකීම පැවරෙනවනේ…”

” හ්ම්ම් … ඕක තියාගන්න … මගේ ලඟ අර ඇක්සිඩන්ට් එක වෙලාවේ ලැබුන සල්ලි වලින් ටිකක් තියෙනවා.. මම ඒවාගෙන් වැඩේ කරලා දෙන්නම් … ඔයා පී එච් අයි මහත්තයා හම්බෙලා මේ සැකසුම් වෙන්න ඕනි විදිය අහලා බලන්නකෝ …”

කපිල දුලානිගේ හිස සිඹලා නෙතුමිවත් එක්කගෙනම නිවසින් පිටවුනා. දුලානි දවල් වෙලා පී එච් අයි මහත්තයා මුණ ගැහිලා කුස්සිය  සහ මඩුව සැකසෙන්න ඕනි විදිය ගැන උපදෙස් ගත්තා.

” ඇත්තටම මට සතුටුයි දුලානි මිස් මේ වගකීම ගන්න සූදානම් වෙන විදිය ගැන… ගොඩක් අය ඉස්කෝලේ කෑම ටෙන්ඩරේ ගන්න බලන්නේ තමන්ගේ ලාබේ හදාගන්න…. ඒත් මෙච්චර වගකීමක් එක්ක මේ වැඩේ කරන්න සූදානම් වෙන එකම මට සතුටුයි…”

සමු අරගෙන එන්න සූදානම් වෙනකොට පී එච් අයි මහත්තයා කීව කතාව දුලානි කපිලටත් කිව්වේ සතුටින්. තමන් කරන දේ වගකීමක් එක්ක කරන්න සූදානම් වෙනවාය යන  සිතුවිල්ල දුලානිව මේ වැඩේට උනන්දු කරවමින් තිබුණේ.

සති අන්තේ දෙන්නා එක්ක කපිලගේ හිතවත් බාසුන්නැහේ කෙනෙකුත් එකතු කරගෙන පී  එච් අයි මහත්තයාගේ උපදෙස් වලට අනුවම ගොඩ නැංවීම් ටික කලා. සඳුදා කපිලත් නිවාඩුවක් දාලා තිබුනා. දෙන්නා එක්කම ටවුමට ගිහින් අවශ්‍ය කරන මූලික කලමනා, ආහාර පාසැලට අරහෙන යන බඳුන් අරගෙන ආවා.  ඊට පස්සේ ලැබුණ උපදෙස් වලට අනුව ආහාර වේල් ගලපලා සකස් කලා’. ඒ සතියේම දුලානි කුලු බඩු ගෙනල්ලා සෝදලා, වේලලා, කොටාගෙන සකස් කර ගත්තා.

සඳුදා- රතු කැකුළු බත්, බිත්තර භාගයයි, කැරට් සම්බෝල, අල කිරි හොදි

අඟහරුවාදා – රතු කැකුළු බත්, දඹල එලවළු, තක්කාලි දාපු  ගොටුකොල සම්බෝල, බිත්තර

බදාදා –  කොස් තම්බලා, පොල්, කට්ට සම්බල් උම්බලකඩ දාලා /  උදේ හරි පාසල නිම වෙන වෙලාවට හරි කිරි වීදුරුවක්

බ්‍රහස්පතින්දා – මුං ඇට, පොල් , කට්ට සම්බල් / උදේට හරි පාසැල් නිම වෙන වෙලාවට කලින් හරි කුරක්කන් හැලප

සිකුරාදා – රතු කැකුළු බත් , පලාවක්, වම්බටු බැදුමක් එක්ක බිත්තර

පුළුවන් හැම දවසකම ගෙදර තියෙන පලතුරු වලින් පලතුරු සලාදයක් හදාගෙන යන්නත් දුලාරි හිතුවා. දුලාරිගේ වත්ත පිටිපස්සේ වෙනමම එලවළු කොටුවකුයි, පලතුරු වත්තකුයි තිබුනා. පොලට අරගෙන ගිහින් ඒවා විකුනන එක දුලානි නවත්තලා දැම්මේ ඇතිවුන හිත නොහොඳකම් නිසා. නැත්නම් ඒ ආදායමෙන් දුලානි ගෙදර වියදම් ඔක්කොම බලා ගත්තා.

සඳුදා උදේ හතර වෙනකොට දෙන්නම ඇහැරුණා. දුලානිට මේ දේවල් තනියම කරගන්න බැරි බව කපිල දන්නවා. කපිල කැරට් සුද්ද කරලා ග්‍රේටරයෙන් හීනියට ගෑවා. කලින් දවසේ රෑ ලූණු , සුදු ලූණු සුද්ද කරලා ශීතකරණයේ දාලයි තිබුනේ. ලූණුත් කපල කැරට් තිබුන භාජනේටම දැම්මා. ඒ අතරේ දුලානි අල ටික තම්බෙන්න තියලා ඊට උඩින් කලින් සකස් කරගෙන ආව දැල් ආවරනය තියලා බිත්තර ටික ඒ උඩින් තිව්වා. ඒ අතරේ හාල් ගරලා මුට්ටියට දාලා තිව්වා.

මේ බිත්තර, ලූණු. කැරට් ඔක්කොම දුලානිගේ වෙහෙසින් හැදුන දේවල්. කලින් දවසේ ගාලා තිබුන පොල් වලට උණු වතුර දාලා තියෙන අතරේ දුලානි තුන්දෙනාටම තේ හැදුවා. හය වසරේ උන්න නෙතුමිත් කලින්ම නැගිටලා කුස්සියට ආවා.

“මම අල සුද්ද කරන්නම් ..”

තාත්තයි දුවයි හරි හරියට අල  සුද්ද කරන අතරේ, දුලානි පොල් ටික මිරිකලා, කලමනා දාලා ලිපේ තිව්වා. හය වෙනකොට කපිලයි, නෙතුමියි සූදානම් වෙන්න ගියා. දුලානි බිත්තර ටික සුද්ද කරලා ගෙනියන භාජනෙන්ම තිව්වා. කැරට් සම්බෝලේට කලමනා දාලා කලවම් කරලා භාජනේට දැම්මා. ඊටත් පස්සේ අල කිරි හොද්දත් ගෙනියන්න සකස් කරගත්තා. බත භාජනේට දැම්මේ අන්තිමටම.

කපිලයි නෙතුමියි හත වෙනකොටම නිවසින් පිට වුණා. දුලානි කෑම ටික ගෙනියන වීල් එකත් ගෙන්නගෙන හත හමාර වෙනකොට ඉස්කෝලේට යන්න පිටත් වුනා. කෙසෙල් ඇවරි තුනකුත් දාගන්න අමතක කලේ නැහැ.

පොඩ්ඩක්වත් ඉතුරු නොකර කෑම කන දරුවෝ නිසා දුලානි බලාගෙන හිටියෙ ආසාවෙන්.

“දුලානි අක්කා කෙසෙල් ගෙඩිත් ගෙනල්ලානේ..”

තරුන විදුහල්පතිතුමියත් උන්නේ සතුටින්.

“අපේ වත්තේ ඉතින් පලතුරු අඩුවක් නෑ මැඩම් .. පුලුවන් පුලුවන් දවසට මම පළතුරුත් ආහාර වේලට එකතු කරන්නම් ..”

“ඇත්තටම මේ තරම් වගකීමකින් මේ වැඩේ කරන්න සූදානම් වෙන එක ගැන මම දුලානි අක්කට ස්තූති වන්ත වෙනව..  මේක ලාබ ලබන ව්‍යාපාරයක් ම කරගන්නේ නැතුව, ඇත්තටම දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් වගකීම් අරගෙන වැඩ කරන අය මේ සමාජේ අඩුයි .. අඩුයි කියනවටත් වඩා මේ තියෙන ආර්තික තතව එක්ක එහෙම කරන්න තියෙන ඉඩ කඩ අඩුයි .. එහෙම තතවයක් යටතේත් දුලානි අක්කා මේ වැඩේ පටන් ගන්න විදිය ගැනම මම බොහෝම ස්තූතිවන්ත වෙනවා….”

දුලානි සන්තෝසෙන් හිනා වුණා. මාසයක් ගෙවුනා. දරුවන්ගේ ආහාර ගැන කිසිම පැමිණිල්ලක් නොලැබෙන වගකීමෙන් දුලානි තමන්ට පැවරුන රාජකාරිය කලා. මාසේ අවසානයට  බලාපොරොත්තු වුන ලාබය ඉක්මවන ලාබෙකුත් ලැබිලා තිබුනා.

එදා හවස කපිලගේ අයියායි නෑනයි ආවේ ලොරියෙන්.

” නංගී ඉස්කෝලේට කෑම දෙනවා කිව්වනේ …… අපේ පොල් ටිකක්  අරගෙන ආවා … තාත්තා මෙන්න මේ  වී ගෝනි පහත් දෙන්න කිව්වා…. .. මේ වෙලාවේ ඉස් ඉස්සෙල්ලාම කරන වැඩේට අපි උදව් කරන්න ඕනි නේ…ඒක අපිට මඟාරින්න බැරි වගකීමක් … අනෙක දරුවන්ට දෙන කෑමනේ….මේ වැඩේ අතෑරුනත්, නංගි ඉන් පස්සේ හෙමි හෙමින් කෑම කඩයක් පටන් ගන්න කියලා තමයි මම නම් ආයෙම කියන්නේ …නංගිගේ කෑම වලට ආයේ ගහන්න කෙනෙක් මේ අහලක ඉන්න එකක් නෑ…….”

දුලානි ආඩම්බරෙන් හිනා වුනා. මාසේ , දෙක, තුන වැඩේ කරගෙන ගියා. දුලානි පුලුවන් තරම් වෙහෙසිලා දරුවන් වෙනුවෙන් උපරිමයක් කලා. ඒ නිසාමද මන්දා, දුලානිලා ලාබ ඉපැයුවා.

අද දුලානිගේ ආහාර සැපයීම අවසන් වෙන දිනය. කොන්දේසි වල හැටියට ඊලඟ වාරය අයට හිමි වෙනෙනෙ නැහැ.

“දුලානි අක්කා මේක කලේ රාජකාරියකට එහා ගිය මවුවත් කමකින් … ඉතින් මේ උපහාරය ඇය අනිවාර්‍යන්ම ලබන්න ඕනි ..”

උදේ රැස්වීමේදි විදුහල්පතිනිය සහ ආචාර්‍ය මණ්ඩලය එකතු වෙලා දුලානිට සමරුවක් දුන්නා. ළමයි හැමෝම දුලානිව වැලඳගෙන ස්තූතිවන්ත වුනා.

“”මේක මේ ලේසියට ගන්නෙපා දුලානි …. අපේ දරුවට කෑම හදන පිරිසිදුවෙන්ම ඒ වගකීමෙන්ම මේ වැඩේ කෙරෙන්න ඕනි බව මතක තියාගන්න ………….”

දුලානිට කපිලගේ හඬ ඇහුනා. තමන් ගැන ආඩම්බරයක් දැනුනා.

අද දුලානිගේ ” මමාස් ෆුඩ් කෝනර්” විවෘත වෙන දවස. මුල් දවසේ ආරාධනය පාසැලේ විදුහල්පතිනිය ඇතුලු සියල්ලන්ටම.

” වගකීමෙන් වගවීමෙන් කරන කිසිම දෙයක් වරදින්නෙ නැහැ…”

දුලානි බිත්තියක ලියලා තිබුන ඒ කියමන දිහා බලාගෙන කෑම කන අය දිහාත් බලල සැනසුම් සුසුමක් හෙලුවා.

අපේක්ෂා ගුණරත්න 

More Stories

Don't Miss


Latest Articles