සෙනෙහස් අවාරේ 37

කාලය ගෙවුණේ නොසිතූ තරම් ඉක්මණින්‍ ය. තිලකරත්න නිවස ආයෙම වරක් ජීවයෙන් පිරෙන්නට දෙව්මි සහ චනුකගේ සිඟිති සිනාවන්ද සිසිමාධවීගේ පහසින් පණ ලැබූ මුලුතැන්ගෙය සහ උඳ්‍යානයද හේතුවක් විය.

සුමධුර විවාහයක් කර නොගෙනම තාත්තා කෙනෙකු වී උන්නේය. දෙව්මිත් චනුකත් රෝද පුටුවේ උන් අයිරාංගනීගේත්, වැඩ ඇරී නිවස බලා එන පනස් වියට කිට්ටු වෙමින් උන් සුමධුරගේත් ජීවිතයට ඔවුන් කිසිදාක මාතක තබාගෙන නොවුන්, ලමා වියට අයිති සුරංගනා ලොවක අපූර්වත්වයක් ගෙන ආහ. ඒ වනාහී කිසිදිනක සුමධුර ලබන්නට බලාපොරොත්තුවෙන් නොවුන් චමත්කාරයක් විය.

මහන්සි වී වැඩ ඇරී එද්දී උණුසුම් තේ කෝප්පයක් සමග යම් රස කැවිල්ලක් ගෙන එන සිසිමාධවීගේ මද සිනාවෙන් පිරුණු සොඳුරු වතත්, කාර්‍යාලයේ වැඩක යෙදී ඉද්දී “සෙල්ලම් කරමුකෝ” කියා සුමධුරගේ අත් දෙකෙන් ඇදගෙන එන දෙව්මි සහ චනුකට “මහත්තයට කරදර කරන්න එපා” කියා කියන මවකගේ තරවටුව පිරි වතත් සුමධුරට සිසිමාධවී ගැන නොකී සෙනෙහස වඩ වඩාත් තහවුරු කරන්නට හේතු විය.

තමාගේ හිතේ සිසිමාධවී කෙරේ ඇත්තේ අනුකම්පාවක් නොව ආදරයක් බව සුමධුර වඩා තහවුරු කරගත්තේ ඒ කාලයේය. සිසිමාධවීව මේ ගෙදර ලේලිය කරගන්නට අම්මා අකමැති නොවන බව දැන උන්නද සිසිමාධවී තමා විෂයෙහි කරනු ලබන යටහත් පහත් බව සහ ලැදියාව තමා විසින් ආදරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නැතිවේද යන්න ගැන සුමධුර බය වුනේය. වද වුණේය.

සිසිමාධවී සහ ඇගේ දරුවන් දෙදෙනා තිලකරත්න නිවසට හෝ සුමධුර සහ අයිරාංගනීගේ හිත්වලට කිසිමාකාරයකින් බරක් නොවුවද මේ ගැන මහමෙර සේ බරක් ඉසිලුවේ කල්පනාය. ඇයට අනුව සිසිමාධවී වනාහී විජ්ජාකාරියකි. මායම්කාරියක. ගෑණු මායම් පෙන්නා අම්මාවත් අයියාවත් රවටාගෙන දේපල ලියාගන්නට ආ හැතිරියකි.කල්පනා තමන්ගේ නෑ ගෙවල් සහ හිතවත් මිනිසුන්ට සුමධුර සහ අම්මාගේ සේවිකාව අළලා බොහෝ කතන්දර කියමින් යන බව ආරංචි වුනද ඒවා ගැන කලබල වුණේ අයිරාංගනීවත් සුමධුරවත් නොවේ.

“කල්පනා ඔහොම නොකිව්වනම් තමා මං පුදුම වෙන්නෙ”

“මට දුක අම්මට මේ ජීවිතේ නිස්කාංසුවෙ ඉන්න ඕන කාලෙ මං හින්දා හිතට නිවනක් නැතිවෙච්ච එක”

“ජීවත්වෙලා ඉන්න මනුස්සයෙකුට ජීවිතේ අවසාන කාලෙදිවත් හිතට නිවනක් ලැබෙනව කිව්වොතින් තමා පුතා අපි පුදුම වෙන්න ඕන. ආශාවල් තියෙන මිනිස්සුන්ට කවද්ද කියන්න හිතට නිවනක් තියෙන්නෙ? දැන් බලන්න කල්පනා ඔය තමන්ට අනවශ්‍ය දෙයක් හින්ද තමන්ගෙ හිතේ නිවන නැති කරගෙන, තමන්ගෙ ක්ලාස් එකටත් නොගැලපෙන විදියට වැඩ කරන්නෙ මොකද? හිතේ නිවනට වඩා ආශාවල් ලොකු හන්දා. මිනිස්සු මේ අපි ගෙවන ජීවිත ගැන ඇත්තටම විශ්වාස කරන එකකුත් නෑ මෙහෙම දේවල් ඇත්තටම වෙනවද කියල හිතාවි.

මං ඇත්තටම සන්තෝස වෙනව පුතා මිනිස්සු මොනව අපි ගැන කිව්ව කරත් හිතුවත් සිසිමාධවී මෙහෙ ඇවිල්ල නතර වෙච්ච එක ගැන. ඒක ඔයාගෙ හිතෙ සිසිමාධවී ගැන තියෙන අදහස හරියට තේරුම්ගන්න උදව්වක් වෙන හන්ද විතරක්ම නෙවෙයි, ඒ ළමය ලඟදි මට හරිම මගේ කමක්, සැනසීමක් දැනෙනව. ඒක හරියට අපි පන්සලකට ගිහිල්ල බෝ මලුවෙ වාඩිවෙලා හුලඟට බෝ කොල හෙලවෙනව බලන් ඉන්නව වගේ හරි සැනසිල්ලක්.

මට සිසිමාධවීව දැනෙන විදියටම තමයි ඒ දරුවට මාව දැනෙන්නෙ කියලත් මම දන්නව. අපි කියනවනෙ පුතා අපිට මේ ආත්මෙ හම්බෙන්නෙ අපි පහුගිය ආත්මවල ඉඳල පතාගෙන ආව මිනිස්සුන්ව කියල. මං හිතන්නෙ සිසිමාධවීයි මමයි කියන්නෙත් එහෙම සංසාර ගමනෙ පතාගෙන ආව දෙන්නෙක්. අපි දෙන්නකට එකතුවෙලා ඉන්න ලැබෙන කාලෙ අඩු උනත් ඒ කාලෙ ඇතුලෙ එකිනෙකාව හොඳින් අඳුරගන්න, එකිනෙකාට සැනසීමක් වෙන්න අපි දෙන්නම හේතුවක් වෙයි.

එළියෙ ඉඳන් බලන කෙනෙක් නම් හිතාවි මම සිසිමාධවීට රැවටිල කියල. මොකද කසාදයක් කරනොගත්ත පුතෙක් ඉන්න තැනකට තරුණ ගෑණියෙක් ගෙනල්ල තියෙන එක හරියට ගින්දරයි පුලුනුයි ළං කරනව වගේ වැඩක් හන්දා.

ඒ උනාට අපිට සම්බන්ධයක් පටන් ගන්න බෑනෙ පුතා කිසිම කෙනෙක් එක්ක අපිට එයා ගැන විශ්වාසයක් නැතුව. මට පුතාව කොච්චර විශ්වාසද ඒ තරම්ම සිසිමාධවීවත් විශ්වාසයි”

අයිරාංගනී කියු ලෙසින්ම සිසිමාධවී ඇත්තටම දින ගෙවුණේ අයිරාංගනී ඇසුරෙහිත් සුමධුර ඇසුරෙහිත් පුදුමාකාර නිවනක් අත්විඳිමිනි. තාත්තා අහිමිවු දරුවන් දෙදෙනාට නාමිකව හෝ තාත්තෙකු වන්නට සුමධුර බොහෝ ඇප කැප වී කටයුතු කරන බව සිසිමාධවී දනී. ඇය ඒ ගැන සතුටු වුණාය. අනෙක් අතට සුමධුර වන යහපත් අපූරු මිනිසෙකු තනිවම, තම සේවිකාවකගේ දරුවන් දෙදෙනෙකු තමන් ගේ කරගෙන ගෙවන තනිකඩ ජීවිතය ගැන දුක් වුණාය. එහෙත් ඒ වනාහී තමන්ට ප්‍රශ්න කරන්නට නොහැකි, තමන්ට අත පොවන්නට නොහැකි තැනක් බව දන්න හන්දාම නිහඬවම එදෙස බලා උන්නා හැර ඒ හැඟීම් වචනවලට පෙරලන්නට ගියේ නැත.

සිසිමාධවීට වෙනදාට වඩා මැහුම් ගෙතුම් වල නිරතවන්න තිලකරත්න නිවසේදිම ඉඩ ලැබුණ නිසා ඇය වෙනදාට වැඩියෙන් ඇණවුම් භාරගත්තාය. ත්‍රෙඩ් වර්ක්ස් බයි මාධවී ඇරඹුණේ එලෙසිනි. ව්‍යාපාරය වඩා හොඳින් කරගෙන අයන්නට ලෝගෝ එකක් සහ ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර ඒවා දිගටම යාවත්කාලීන කරගෙන යන්නට සිසිමාධවීට අලුත් ජංගම දුරකතනයක් අරගෙන දෙන්නටත් සුමධුර කටයුතු කරේය. සිසිමාධවී මහන ඇඳුම් වල කලාත්මක ජායාරූප ගෙන ඒව ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ගිණුම් වෙත අප්ලෝඩ් කරන්නත්, ඇගේ සේවාලාභිනියන්ගෙන් එන යහපත් ප්‍රතිචාර පෝස්ට් ඔස්සේ බෙදාගන්නටත් සිසිමාධවීට කියා දුන්නේද සුමධුරය.

දෙව්මිගේ පාසලේ සෑම වසරකම ප්‍රාතමික පංතිවල පැවැත්වෙන විවිධ ප්‍රසංගයේ ඇඳුම් මැසීමේ කටයුතු භාරගත්තයින් පසු තවත් මසන්නියන් කිහිප දෙනෙකු එකතුකරගෙන නගරයේ කුඩා ඉඩක ත්‍රෙඩ් වර්ක්ස් බයි මාධවී ව්‍යපාරයක් ලෙස සුභ නැකතින් ඇරඹුණේ සුමධුරගේත් අයිරාංගනීගේත් ආශිර්වාදය මැද්දේය. ඒ වනාහී පහසුවෙන් ආ ගමනක් නොවන බව සිසිමාධවී කිසිම විටක අමතක කරේ නැත. ඒ නිසාම සේවයට කාන්තාවක තෝරගනිද්දි ඇය ස්වාමි පුරුශයා මිය ගිය පසු දරුවන් සමග අසරණ වී හිඳින කාන්තාවන්ව තෝරාගන්නට ඔවුන්ට අත හිත දෙන්නට වැඩි වශයෙන් නැඹුරු වුනාය.

ආදරය ප්‍රකාශ කරනවානම් එය කරන්නට දැනුත් පුලුවන් බව දැන උන්නද මෙතුවක් කාලයක් ඉවසුව තමාට තවත් ටික කාලයක් ඉවසන්නට පුලුවන් බව සුමධුර දැන උන්නේය. එනිසාම උදව් පදව් කරමින් සිසිමාධවී තව තවත් ශක්තිමත් කරමින් ආදරය ක්‍රියාවෙන් ඔප්පු කලා මිසක සුමධුර ඒ හැඟීම් කිසිවක් වචනයට හරවන්නට හිතුවේ නැත.

දෙව්මිත් චනුකත් හෙමින් සැරේ ලොකු උනේ තිලකරත්න පවුලේ මිනිසුන්ගේ යහපත් ගතිගුන වලින් පෝෂණය වෙමින් අම්මාගෙ ශක්තියෙන් ශක්තිමත් වෙමින් තාත්තාගේ යහපත් ගතිගුණ උරුම කරගනිමිනි. සිසිමාධවීට සතුටු වන්නට තිබූ විශාලම හේතුව වුණේ මෙතරම් දහසක් කරදර බාධක මැද්දෙත් යහපත් දරුවන් දෙදෙනකු උස්මහත් කරන්නට හැකිවීම ගැනය.

“මහත්තයයි නෝනයි ඉඳියෙ නැත්තම් මට ඇත්තටම මෙච්චර දුර එන්න වෙන්නෙ නෑ” කියා සිසිමාධවී අයිරාංගනීට දණ ගසා වැඳ කිව්වේ ඇයගේ පළමුවන විදෙස් එම්බ්‍රොයිඩරි ඇඳුම් ඇණවුම භාරගත් දිනයේය.

ඒ වෙද්දී ත්‍රෙඩ් වර්ක්ස් බයි මාධවී ඔස්සේ මැහෙන ඉතාම සුන්දර එම්බ්‍රොයිඩරි ඇඳුම් ලංකාවේත් ඩිසයිනර් වෙයා ඇඳුම් කඩවල අනිවාර්‍ය අංගයක් වෙමින් පැවති වකවානුවකි.

“අපි ඔයාට උදව් කල එක ඇත්තක්. ඒත් මේ හැමදේම ගොඩනගාගන්න මහන්සි උනේ ඔයා. මේ තියෙන්නෙ ඔයා රෑ ඇහැරන් කරපු මහන්සියෙ ප්‍රතිඵල මාධවී. මට ඇත්තටම හරි ආඩම්බරයි” කියමින් ස්තුතිය පුදනු පිණිස ඇය විසින් ගෙන ආ නවකතා පොත් කිහිපයක් අතේ රඳවාගත් අයිරාංගනී පැවසුවාය.

සිසිමාධවී සුමධුරට ස්තුතිවන්ත වෙන්න සුමධුර වෙනුවෙන් කිසිවක් මිලට ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු දවසක් විහිලුවට කිව් දෙයක් හැබෑවක් කරන්නට ඇය මහන්සි වී තිබුණාය. සිසිමාධවී සුමධුරගේ කාර්‍යාල කාමරයට ගියේ ඒ තෑග්ගද අතේ රඳවාගෙනය.

“මහත්තයා” සිසිමාධවී සෙමෙන් මුමුණද්දී සුමධුර ලැප්ටොප් පරිගණකයට ඔබාගෙන උන් හිස ඔසවා සිසිමාධවී දෙස බැලුවේය.

“මාධවී”

“මහත්තය එක්ක පොඩ්ඩක් කතාකරන්න ආවෙ? මහත්තය වැඩක් නම් මං පස්සෙ එන්නම්”

“අයියෝ නෑ නෑ එන්න මාධවී”
“අද අපේ පලවෙනි කැනඩා ඕඩර් එක ආව මහත්තය. මං ආවෙ මහත්තය මේ හැමදේටම පින් කියල කියන්න” කියමින් තමා අත වූ තෑග්ග සුමධුර අත තබමින් සිසිමාධවී සුමධුරගේ දෙපතුල ලඟ පහත් වී වැන්දාය. ඒ කෝසලගෙන් පසු තමා පිරිමියෙකුට වැන්ද පලමු අවස්තාව බව සිසිමාධවී අමතක කරේ නැත. සුමධුර මදක් කලබල වුණේය. තමා වනාහී සිසිමාධවී වන් සැබෑ, ශක්තිමත් ගැහණියකගෙ වැඳුම් පිඳුම් ලබන්න සුදුස්සෙකු නොව, ඇය වන් කාන්තාවකට බුහුමන් දැක්විය යුතු මිනිසෙකු බව සුමධුර හදවතින්ම විශ්වාස කළේය. තෑග්ග මේසය උඩට වැටුනේත්, සුමධුර වියපත් නමුත් ශක්තිමත් දෑත් වඳින්න ගිය සිසිමාධවීගේ උරහිස් වලින් අල්ලා එසවුවේත් එකවරය.

සෙමෙන් හිස එසවූ සිසිමාධවීගේත් සුමධුරගේත් දෙනෙත් මොහොතක් එකිනෙකා යාවී වචන වලට පෙරලන්නට නොහැකි බොහෝ කතාවන් හදවත් දෙකක් අතර යා කරවන්නට විය.

“මං…මං මහත්තයට පොඩි තෑග්ගක් ගෙනාවා. මහත්තය හොඳද කියල බලන්න” සිසිමාධවී මදක් පිටුපසට යමින් සුමධුරගේ ශක්තිමත් දෑතෙන්ද, දෙනෙත් සැරයෙන්ද ගැලවෙමින් දෙදෙනා අතර වූ යම නිහඬතාවයක් වේ නම් එයද, යම් අපහසුවක් වේ නම් එයද අවම කරනු පිණිස කීවාය.

“මොකද්ද ඒ තෑග්ග?” සුමධුර ඇසුවේ මද සිනාවක් සමගිනි.

“මහත්තය දවසක් කිව්වේ”

“මොකද්ද?”

“ස්තුති කරන්න ඕන නම් ශර්ට් එකක් එම්බ්‍රොයිඩර් කරල දෙන්න කියල.මං ඉතින් මහත්තය වෙනුවෙන්ම ශර්ට් එකක් මහල එම්බ්‍රොයිඩර් කරා මහත්තය. මහත්තය මායි දරුවො දෙන්නයි වෙනුවෙන් කල, කරන හැමදේටම දෙන්න ඊට වඩා වටින දෙයක් මගෙ ලඟ තිබ්බෙ නෑ වෙන” කියා සිසිමාධවී සිනාසුණාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles