සෙනෙහස් අවාරේ 39

“මාධවී”

“මහත්තය”

“මම දෙයක් කියන්න ඔයා මං ගැන වරදක් හිතන්නෙ නෑ කියල පොරොන්දු වෙනවද?”

“කියන්න මහත්තය”

“අම්මගෙ හත් දවසෙ බණ ඉවරවෙල යද්දි කට්ටිය මට කිව්වා දැන් උනත් පරක්කු නෑ කියල අම්මගෙන් හිස් වෙච්ච ගෙදර අඩුව පුරවන්න මං කාව හරි ගේන්න. මම හිතුව ඒක ඇත්තටම කරන්න හොඳම වෙලාව දැන් කියල”

“ඔව් මහත්තය” සිසිමාධවි දෙනෙත් බැල්මකින්වත් මද වෙනසක් හෝ නොකර සුපුරුදු ලෙසම බිමට පහත් කරගත් දෙනෙතින් සුමධුරට උත්තර බැන්දාය. පැත්තකින් වැටෙන ගෙතූ කෙස් කළඹ ඇගේ බෝපත් හැඩති මුහුණේ එක් පාර්ශ්වයක් වසාගෙන උන්නද ඒ පෙනුන අඩ සුන්දරත්වය පවා සුමධුර බොහෝ රස වින්දාය.

ඒ මොහොත තිබුණේ ඉඟුරු තේකක සුවඳින් සහ උණුසුමෙන් වඩා රසවත් වීය.

“ඔයා කැමතිද මාධවී මාව බඳින්න?”

තමා කෙදිනක හෝ සුමධුර තිලකරත්නගෙන් ඒ වචන අහන්නට බලාපොරොත්තුවෙන් උන්නාද කියා කියන්නට හරියාකාරවම නොහැකි වුණත් සිසිමාධවී සුමධුරගේ ඒ ආදරණීය වූද ගෞරවණීය වූද ඇරයුම ඉදිරියේ මදක්වත් කලබල වුණේ නැත. සුපුරුදු උපශාන්ත ස්වරූපයෙන්ම මදකට දෙනෙත් ඔසවා සුමධුර දෙස බලා සිනාසුණු සිසිමාධවී දෙනෙත් ආපසු බිමට හරවාගත්තේ තමන් කියන්නට යන දේ සුමධුර ගේ දෙනෙත් දෙස බලාගෙන කියන්නට හයියක් තිබේදැයි නොදන්නා නිසාවෙනි.

“මම මේක එකපාර හිතිල අහපු දෙයක් නෙවෙයි මාධවී. මම ඇත්තටමා ඔයාව දැක්ක පලවෙනි දවසෙ ඉඳලම ඔයා ගැන හිතුව මනුස්සයෙක්. මගෙ වයසෙ මනුස්සයෙක්ට එහෙම ලව් ඇට් ෆස්ට් සයිට් කියන දේ බොළඳ වැඩියි කියල කෙනෙක්ට කියන්න පුලුවන් වුණාට ආදරේ දැනෙන්න එහෙම වයස කියන දේ අදාලයි කියල මම හිතන්නෙ නෑ. ඒත් ඔයා කසාද බැන්ද මනුස්සයෙක් දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියල දැනගත්තයින් පස්සෙ මගෙ ආදරේ කිසිම වෙලාවක ඔයාට කරදරයක් ප්‍රශ්නයක් නොවෙන්න ඕන කියල හිතල මම ඒ ආදරේ අමතක කරල දැම්මා.

මම හිතං හිටියෙ එහෙම. මට ඒ ආදරේ අමතක කරල දාලා ඉන්න පුලුවන් කියල. ඒ උනාට ආයෙමත් ඔයා කෝසල නැතිවෙච්ච වෙලේ අසරණ වුන බව දැකල මට හිත අස්සෙ ඒ ආදරේ හංගන් ඉන්න පුලුවන් උනේ නෑ. ඒත් මට තිබුන ප්‍රශ්නෙ මට ඔයා ගැන දැනෙන්නෙ ආදරයක්ද අනුකම්පාවක්ද කියන ප්‍රශ්නෙ ලෙහාගන්න බැරිවෙච්ච එක. මෙච්චර කාලයක් මේ ප්‍රශ්නෙ ඔයාගෙන් මට අහන්න ගියේ මම ඒ ප්‍රශ්නෙ ලෙහාගන්න කාලෙ ගත්ත හන්දා. ඒ උනාට දැන් මම දන්නව මගෙ හිතේ ඔයා ගැන තියෙන්නෙ ආදරයක් විත්තිය.

මම අහන්නෙ මාව බඳින්, මගෙ බිරිඳ වෙන්න කියල විතරක් නෙවෙයි. මට ඔයාගෙ දරුවො දෙන්නට තාත්තා කෙනෙක් වෙන්න ඉඩ දෙන්න කියල.

මං දන්නව මට කවදාවත් කෝසල වෙන්න බෑ. මට එහෙම වෙන්න ඕනත් නෑ. ඔයාගෙ හිතෙයි ජීවිතෙයි ඇතුලෙ කෝසලට හැමදාම ඉන්න ඉඩ දීල මට ඉන්න අලුත් ඉඩක් වෙන් කරන්න කියල විතරයි මම ඉල්ලන්නේ” සුමධුර නැවතිල්ලේ කතාව කියාගෙන ගියේ තමන් ජීවිතයට සම්බන්ධ බරසාර ප්‍රශ්නයක් ඇසූ පමණින් උත්තර දෙන්න හැකියාවක් සිසිමාධවීට නොව කිසිම අයෙකුට නොහැකි බව දන්නා හන්දාය.

තමාත් සිසිමාධවිත් අතර වූ ඒ බොහෝ දේ නිහඬව කියවෙන නිහැඬියාව තුල මෙතෙක් කාලයක් කිසිවෙකුටත් නොකියා හිත අස්සේ තද කරගෙන උන් සිසිමාධවී ගැන හැඟීම් හෙමින් සැරේ දියකර හරින්නට සුමධුර හිතුවේ තවදුරටත් ඒවා හිත අස්සේ තද කරගෙන ඉන්න අපහසු බවක් දැනුන හන්දාය.

“මං මේ ප්‍රශ්නෙ අහපු ගමන් ඔයාට උත්තර දෙන්න අමාරු බව මම දන්නවා මාධවී. ඔයාට පුලුවන් හිමින් සැරේ හිතල, ඔයාට හිතෙන දේ මට කියන්න. ඔයා මෙහෙ නතරවෙලා ඉන්න නිසාවත්, ඔයා ආවෙ අපෙ අම්මා බලාගන්න නිසාවත් මට හොඳ උත්තරයක් දෙන්න කියල මම ඉල්ලන්නෙවත් බලාපොරොත්තු වෙන්නෙවත් නෑ මාධවී. ඔයාගෙ හිතේ ඇත්තටම මම වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න පුලුවන් නම් විතරක් මාව තෝරගන්න”

සුමධුර හෙමින් සැරේ තමන්ගේ කතාව නතර කරද්දිත් සිසිමාධවී උන්නේ බිම බලාගෙන බොහෝ දුර කල්පනාවක ගිලීය.එහෙත් ඇය ඇයටම ආවේණිය වූ උවැසියකගේ නිසලතාව සුමධුර නිසාවත් මේ මොහොත නිසාවත් බිඳ ගත්තේ නැත. බොහෝ ප්‍රශ්නවලට දිය යුතු හොඳම පිලිතුර දෙන්නට ඒ නිසලතාව උපකාරී වන බව සිසිමාධවී තේරුම් ගත්තේ අයිරාංගනී ඇසුරේ ජීවත් වීමෙන් ලද පරිචය ඔස්සේය.

“මහත්තය වගෙ උත්තම පුරුශයෙක් මං වගේ ගෑණියෙක්ගෙන් ඔහොම දෙයක් අහපු එක ගැන මං ඉස්සෙල්ලා අත් දෙක එක්කහු කරල ස්තුතිවන්ත වෙනව මහත්තය. ගොඩක් තැන්වලින් පල්ලෙහට දාල සලකපු මාවයි මගෙ දරුවො දෙන්නවයි තමන්ගෙම පවුලෙ කොටසක් වගේ මහත්තයයි ලොකු නෝනයි හැමදාමත් පිලිගත්ත බව මම මගේ ජීවිතාන්තද දක්වා අමතක කරන්නෙ නෑ.

මං ආවෙ ලොකු නෝනව බලාගන්න බව හැබෑවක් උනාට අද වෙද්දි මං හිතන්නෙ මට මේ තිලකරත්න පවුලෙ උදවිය නැතුව මටයි දරුවො දෙන්නටයි හුස්මක් ගන්න පුලුවන් කමක් නෑ මහත්තය. අපි අද මෙහෙම හරි වැටිල ඉන්නෙ, හිතේ නිස්කලංකයක් තියාගෙන ඉන්නෙ මහත්තුරු දෙවිවරු වගේ හන්ද බව අපි කවදාවත් අමතක කරන්නේ නෑ.

මහත්තය මගෙන් ජීවිතේ ඉල්ලුව නම් මම දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ මහත්තය. ඒත් මහත්තය මගෙන් ඉල්ලන්නෙ මට දෙන්න බැරි දෙයක් මහත්තයා. මට ඒකට සමාවෙන්න.

මම කෝසලව බැන්දෙ ඉස්කෝලෙ යන වයසෙදි පැනල ඇවිත් බව ඇත්ත. ඒ උනාට ඒ වයසෙ ඉඳල අද වෙනකම් මම කෝසල ගැන ඇරෙන්න වෙන කිසිම මනුස්සයෙක් ගැන හිතුවෙවත් හිතන්න හිතාගෙනවත් නෑ මහත්තය. මට ජීවිතේ තියෙනකම් ඒක කරන්න පුලුවන්කමක් නෑ. මං මෙහෙම කියන එක, මහත්තය අහපු දේට උත්තර දෙන්න එක තප්පරයක්වත් ඉල්ලගන්නෙ නැතුව මෙහෙම කියන එක වරදක් විදියට, ගුණමකු කමක් විදියට මහත්තය දකින්න පුලුවන්. මට ඒකට සමාවෙන්න මහත්තය.

සමහරවිට කෝසලට කලින් මට මහත්තයව හම්බ උනානම් මං මහත්තයට කැමති වෙන්න තිබුනා. ඒත් මට දැන් ඒක කරන්න විදියක් නෑ මහත්තය. මට සමාවෙන්න. මහත්තය මගෙන් ඉල්ලන්නෙ කෝසලව අමතක කරන්න කියල නෙවෙයි බව මම දන්නවා. මහත්තය මගෙන් ඉල්ලන්නෙ මගෙ හිතේ කෝසල වෙනුවෙන් වෙන් නොකරපු ඉඩක්.
එහෙම ඉඩක් මගෙ හිතේ නෑ මහත්තය. මගෙ හිතේවත් ජීවිතේවත් කෝසල වෙනුවෙන් වෙන් නොකරපු ඉඩක්, කෝසල නැති තැනක් නෑ. ඒ හන්ද මහත්තය වෙනුවෙන් මට දෙන්න ඉඩක් නෑ මහත්තය” සිසිමාධවී ඒ වචන කියාගත්තේ සුමධුරගේ හිත තැලේවි යැයි එක්තරා වේදනාවකින් සහ දුකකින් වුවත් තවත් අන්දමක සැනසීමකිනි. සුමධුරගේ හිතට බලාපොරොත්තු දෙනු පිණිස මේ උත්තරය දෙන්න කල්වේලා නොගෙන තමා එය මේ මොහොතේම කියා දැම්ම එක වඩා හොඳ බව සිසිමාධවී විශ්වාස කලාය.

ඇතැම් දේ අපේ හිත කොතරම් රිදවන්නට හේතු වුණත්, කල් වේලා නොගෙන, පමා නොකර කියන තරමට ඒ වේදනාව හිත අස්සට පැළපදියම් කරගන්නට, ජීර්ණය කරගන්නට පහසු බව සිසිමාධවී සිතුවාය.

සුමධුර උන්නේ නිහැඬියාවකය. ඔහු කෝපයෙන්ද වේදනාවෙන්ද කියා පැහැදිලි කරගන්නට උවමනා වුවත් තවත් එක වචනයක් හෝ මේ ගැන කතා කිරීම ඔහුගේ කෝපය, වේදනාව වැඩිකරවාලන්නට හේතුවක් විය හැකි බව සිසිමාධවි සිතුවාය. ඇය නිහඬවම හිඳගෙන උන් තැනින් නැගිට්ටේ ඒ නිසාමය.

“ඔයා ඔය යන්නද මාධවී?”

“ඔව්” කියා සිසිමාධවී හෙමින් සැරේ හිස සලද්දී සුමධුර තමන් අත වූ හිස් ඉඟුරු තේ කෝප්පය සිසිමාධවී අතේ තිබ්බේය.

“මං මෙහෙම යෝජනාවක් කල එකට, මෙහෙම දෙයක් අහපු එකට ඔයා මං ගැන වරදක් හිතන්නෙ නෑ නේද මාධවී?” සුමධුරගේ හඬ තිබුණේ මද වශයෙන් බිඳීය. ඒ හා සමානම වේදනාවක් තමන්ගේ හිත අස්සේද පිරී තිබෙන බවක් මෙන්ම ඒ වේදනාව විසල් කෙල ගුලියක්ව උගුර අස්සේ වචන හිර කරගෙන ඉන්න බවක් ද දැනෙද්දී සිසිමාධවී අපහසුවෙන් වචන තොල් මතට ගෙන ආවාය.

“මං ජාති ජාතිවත් තරහ නෑ මහත්තය. මං වගේ කෙනෙක්ගෙන් එහෙම දෙයක් අහල මහත්තය මට දුන්නෙ පුදුම වටිනකමක්. ඒ වටිනකමට, මහත්තයගෙ වටින ආදරේට යුතුකමක් ඉස්ට කරන්න බැරි එකයි මගෙ හිතට අමාරු.

ඒත් මම මහත්තයගෙන් දෙයක් ඉල්ලන්නද?”
සුමධුර වචනයක්වත් නොකියා “ඔව්” කියන්නට මෙන් හිස සෙමෙන් සැලුවේය.

“ආදරේ ඇතිවෙන්නෙ වචන වලින්වත් අපි කරන දේවල් වලින්වත් නෙවෙයි අපෙ හිතේ බව කියල දුන්නෙ මහත්තයගෙ අම්මා. අපි හැමෝම හම්බුවෙන්නෙ සංසාර බැඳීම් විඳියට බව මට කියල දුන්නෙත් මහත්තයගෙ අම්මා.

මහත්තය අකමැති නැත්තම් මං කැමතියි මහත්තය හැමදාම මහත්තය ලඟ ඉන්න. ඒ බැඳීමට නමක් දෙන්න අපිට විතරක් නෙවෙයි මුලු ලෝකෙ කාටවත් බැරිවෙයි. ඒත් දරුවො මං හදපු කූඩුවෙන් ඉගිල්ලිල ගිය දවසකත් මහත්තය ලඟින් ඉන්න තියෙනම් ජීවිතේ තියෙනකම් මං ලඟ සැනසීමක් තියෙවි මහත්තය.

මහත්තය කැමති නම් විතරක් මං හැමදාම මහත්තය ලඟ නතර වෙලා ඉන්නම්”

මෙතෙක් වෙලා බිමට බරකරගෙන උන් දෙනෙත් ඔසවා සුමධුරගේ කාලවර්ණ ගැඹුරු ඇස් අස්සට එබී සිසිමාධවී එසේ කිව්වාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles