හිමගිරි අරණ -39

ඒ මොහොතේ හිමාෂා කඳුළු නොපිසුවා නම් පාරමීට එතැනට පැමිණ විකාර කියවමින් හිඳීම පහසු කරන්නට තිබිණි.නමුත් හිමාෂාට රවිඳු ඉදිරියෙහි අඬන්නට සිදු වූයේ කුමක්දැයි ඈ කල්පනා කළා ය. 

මේ කඳුළු ඈ වෙනුවෙන් වැටෙන ඒවා නොවේ!

රවිඳු නැවත වතාවක් තමා ප්‍රතික්ෂේප කිරීම හන්දා හිමාෂාට අඬන්නට හේතුවක් නැති බව පාරමී සිතුවා ය.මින් පෙර දිනයකදී ද රවිඳු සමඟ කතාවක පැටලී සිටි හිමාෂා කතා කරේ මොනවාදැයි අසද්දී ඒ ඈ ගැන බව පැවසූ පාරමීට සිහි වේ.හිමාෂාගේ දියණියගේ උපන්දින සාදය දිනයේ රවිඳු ඔවුන්ට ඕනෑවට වඩා සමීප වන්නට දැරූ උත්සාහය ගැන ආ කෝපයෙන්ම පාරමී එතැනට ගියා ය.

“වැඩ තියන වෙලාවෙ මොකද මේ?”

අංශ ප්‍රධානියාවත් එතරම් රළු ස්වරයකින් නොඅමතන බව හිමාෂාට සිතිණ.ඇය හිනැහෙන්නට සැරසුණා ය.නමුත් පාරමීගේ බැල්ම හමුවේ එය පහසු නොවන බව ඇයට සිතිණ.වරදක් කර හසු වූ තරමේ හැඟීමක් දැනෙද්දී හිමාෂා ඉවත බලා ගත්තා ය.

“මිනිසුන්ට කරදර එන්නේ වැඩ තියෙන වෙලාව බලලා වැඩ නැති වෙලා බලලා නෙවෙයිනෙ.එහෙම ප්‍රශ්න එනවනම් ඉතිං අපිට කවද හරි මැරෙනකොටත් තව කරන්න වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවා කියලා මරණේ කල් දාගන්න පුළුවන්.”

රවිඳු එසේ පැවසුවේ නොකැමති හඬකිනි.එය පාරමීගේ කෝපය තව තවත් උත්සන්න කරන්නට හේතුවක් වූවා ය.මේ ගැන හිමාෂාගෙන් කෙලින්ම ප්‍රශ්න කරන්නට ඇය සැරසුණා ය.නමුත් එයට පෙර තවත් කාර්යාල සගයෙකු කොරිඩෝවෙන් එබී බලා හිමාෂා ඇමතුවේ උස් හඬකිනි.

“හිමාෂෝ,කයිය ගහන්න පස්සෙ පුලුවන්.පොඩ්ඩක් එනවද? මට ඔයාගෙ ෆයිල් එකක් ඕන.”

ඒ හඬ ගැසීම හිමාෂාට විශාල සහනයක් වී දැනිණ.ඇය සමුගැනීමක් වත් නොකර වහා එතැනින් ඉවත් වූවා ය.පාරමීගේ සැකය පිරුණු දෑස් දෙස බලන්නට බැරි කුමක් දෝ හැඟීමකින් ඇය පිරී ගොස් සිටියා ය.

“හිමාට අඬන්න මෙතන මොකක්ද සිද්ධ වුණේ? ඇයි එයා ඔයා ඉස්සරහට වෙලා අඬන්නේ?”

මොන තරමේ ඉල්ලීම් කළත් වැරදීමකින් හෝ මේ යුවතිය ජීවන සහකාරිය බවට පත් කරගත යුතු නැති බවට රවිඳු දැඩි සේ සිතට ගත්තේ ඒ වචන ඇසෙද්දී ය.සැකයේ වාසිය සමහරවිට නිවැරදිවම ක්‍රියා කරන තැන් තිබේ.නමුත් අසීමිත සැකය කිසිදිනෙක සබඳතාවයකට යහපත් නොවේ.පාරමී හිඳින්නේ අසීමිත සැකය හිස දරාගෙන ය. 

“හිමා අඬන්න ගත්තේ මෙතෙන්ට වෙලා නෙමේ.ඔෆිස් රූම් එකේ ඉඳන් අඬලා බැරිම තැන තමයි එයා මෙතනට ආවේ.ඔයාලා ඒක නොදැක්කා ට මං ඒක දැක්කා.”

විශාල ගැටළු තොගයක් හිස මත තබා ගත් මිතුරිය හදිසියේ හැඬූ කාරණාව අසන්නට පාරමීට වහා එතනින් නික්මෙන්නට තිබිණි.නමුත් මේ මොහොතේ ඇයට ඊට වඩා කෝප ගන්නට කාරණාවක් නිර්මාණය වී තිබිණ.

“අපි කවුරුත් එයා අඬනවා නොදැක්කා ට ඔයා කොහොමද දැක්කේ?ඔයා වැඩ නොකර එයා දිහා බලන් ඉන්න එකද කරන්නේ?”

පාරමී දෙස රවිඳු බැලුයේ නොපහන් දෑසකිනි.ඇය හිඳින්නේ ඊර්ෂ්‍යාවෙන් පීඩිතව බව ඔහුට වැටහේ.ඒකපාර්ශවික ප්‍රේමයකින් දැවෙමින් හිඳියදී එවැනි හැඟීම් ඕනෑම යුවතියකට ඇති වේ.නමුත් අනෙක් අය හඬා පිට කරන වේදනාවන් පාරමී පිට කරන්නේ වෙනත් ආකාරයක ය.තමන්ට සමීප වන අය සහ ඒ මිත්‍රත්වයේ ප්‍රමාණය තීරණය කරන්නට පාරමීට ඇති අයිතිය ගැන රවිඳුට ඇති වූයේ කෝපයකි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles