රිදී ට පෙර චන්දුල වේගවත් අඩි තබා ගෙදර ගියේ ය. ඔහු වෙව්ලමින් සිටියේ ය. එ් කෝපය දත් ඇඳි පවා එකිනක හප්පන්නට තරම් හේතු වූයේ ය. ඔහු ගෙතුළ ඒ මේ අත දෙතුන් වරක් ඉක්මන් ගමන් ගියේ ය. ඇස් වලින් කේන්තිය විදිමින් තිබිණ. ගෙයි මැද කෑල්ලේ ඇඳේ වැතිර සිටි ජුලී නැගිටිමින් “බත් බෙදන්නෙයි රාජා” කියා විමසුවා ය. ඒ ප්රශ්නය නෑසෙන තරමට, ඊට උත්තරයක් නො දෙන තරමට ඔහු සිටියේ කැළඹීගෙනයි.
රිදී ට සිය දෙපා බරට දැනිණ. ඊටත් වැඩිය හදවත බරට දැනිණ. සිසිර ගේ මූණ ඈ මේ දකින්නේ වසර විසි ගණනකට පසුයි. ඔහු යන්නට ගියාට ම පසුයි. රිදී ඔහු ට කවදාවත් ආදරය නො කර සිටියේ නැත. ඔහු ඔවුන් අතැර ගියා කියා හෝ ආදරය කරන එක නවතා ගන්නට ඈ සමත් වූයේ නැත. හැම හුස්මක් ගානේ ම ඇගේ ගැහැනු හදවතේ ඔහු ජීවත් වූයේ ය. ආයේ එක වතාවකට හෝ ඔහු දකින්නට ලැබෙනවා නම් යන ආශාවේ පැතුම ද හදවතේ කොතැනක හෝ නො තිබුණා යි කිව නො හැක. මේ උදා වූයේ ඒ පාරිශුද්ධ වූ ප්‍රාර්ථනය අනපේක්ෂිත ලෙස සාක්ෂාත් වූ අහඹු නිමේශයකි. එබැවින් ඇයට කිසිත් පැහැදිලි ලෙස පෙරපර ගලපා ගත නො හැකි ය.
“කොල්ල මාත් එක්ක කතා කරන්න කැමති නෑ වගේ නේද…”
සිසිර බලාපොරොත්තු සුන් වූ තානයකින් සිය මුල් බිරිය විමසුවේ ය. ඇයට ඔහු ගැන දැනුණේ හද පලාගෙන මියැදෙන්නට තරම් සංවේගයකි. සන්තාපයකි. මලානික බොර පාට ඇස් වලින් ඒ ශෝකය වාං දමන්නට විය.
“එහෙම නෙවෙයි. රාජාට බඩගිනි ඇති. ඊටත් වැඩිය කාලාන්තරේකින්නෙ ඔයාව දකින්නෙ…”
ඇය උත්සාහ කළේ ඒ මොහොත තුළ ඔහු ගේ හදවතට ඉතා කුඩා රිදුමක් හෝ කාන්දු වීම වලකාලන්නටයි. ඇයට කොයිතරම් රිදුණත් ඔහු ට නො රිදී හිඳිනා එක හැමදාමත් ඇගේ පැතුම වූයේ ය. ඇගේ සංසාරික ප්‍රාර්ථනය වූයේ ය. නමුත් රාජා වෙනස් බව රිදී ඉඳුරා දනී. ඔහු හුස්ම ගන්නා රිද්මයෙහි වෙනසක් වුණත් මුලින් ම, චන්දුලටත් කලින් එය දැනෙන්නේ ඇයටයි. ඉස්සර- ඔහු කුඩා කල පටන් එහෙම ය. චන්දුල ගේ ගෙල ඉදිරිපිට වළ ගැහෙනවා දකිත්දී, ඔහු හුස්ම ගන්නා වේගය වැඩි බව ඉවෙන් වාගේ දැනෙත්දී, ඔහු ගේ පපු පෙදෙසින් අසාමාන්‍ය හඬක් නැගෙනා බව දොස්තරටත් කලින් දැනෙත්දී, ඇය ඔහු ඔසවාගෙන නෝනා වාට්ටුවට දුවන්නී ය. චන්දුල ට අවුරුදු නවයක් දහයක් වන තුරාවට පපුවේ ඇඳුමට ගිල්ලවූ බෙහෙත් කන්ද මෙතෙකැයි ගිනිය නො හැකි ය. දුම ඇල්ලූ වාර ගණන සිහි කරගත නො හැකි ය.
“බබාට නෙබියුලයිස් කරගන්න අම්ම”
කියා වෛද්‍යවරියක කියන්නටත් පෙර,
“දුම චුට්ටක් අල්ලල දෙන්න දොස්තර නෝනා කොල්ලට”
යනුවෙන් ඇගේ හදවත යාදිනි නගමින් තිබූ හැටි රිදී ට අමතක වන්නේ නැත.
සිසිර හිතුවේ රිදී ගේ ගෙදරට හරසරින් ඔහු පිළිගැනෙනු ඇති බවයි. නැවතත් ඔහු පැමිණි ප්‍රීතිය ඔහු ගේ මුල් බිරිඳත් දරු දෙදෙනාත් එක්ව නිම් හිම් නැති සතුටකින් සමරනු ඇති බවයි. යන්නට නොදී ඔහුව යළි වත්තේ ම නවතාගනු ඇති බවයි. එහෙම පැමිණි ඔහු ගේ බලාපොරොත්තු බිඳිණි. හීන කුඩුපට්ටම් විණි. රිදී නිකමටවත් “ගෙදරට ගොඩ වෙලා කහට එකක් බීල යං” කියාවත් කීවේ නැත!
සැබවින් ඔහු ගෙදර කැටිව යන්නට ඇයට උවමනා විණි ද නැති ද කියා රිදී ට නිශ්චිත නැත. නමුත් ඔහු දකින්නට ලැබෙනවා නම් කියා හැමදාමත් හදවත පත්ලේ වූ පැතුම, ඒ පැතුම ඉටු වීමත් සමග අහෝසි වී ගියේ ය. ඔහු යළි දුටුවාට පස්සේ ඔහු යළිත් ඔවුන් සමග ඉන්නවා නම් යනුවෙන් තිබූ ආශාව බිඳී ගියේ ය. චන්දුල ගේ කෝපය සිහිපත් වෙත්දී ඒ සියල්ල විස්ථාපනය වී හදවත ගැස්මකින් පිරී ගියේ ය.
“මං එහෙනං ගෙදර දුවන්නං…රාජා බඩගින්නෙ බලං ඇති”
කියමින් සිසිර එහි සිටියදී ම රිදී ඉක්මන් ගමනින් ගෙවල් පේළිය පැත්තට ගියා ය. සිසිර බලා සිටියේ අපේක්ෂා භංගත්වයේ කළු කුහරය තුළ ගිලී යමිනි. ඔහු ට දැඩි පිපාසාවක් දැනිණ. දිව ගිලෙන්නට එනවා සේ දැනෙන්නට විය. පොදු පයිප්පයකට දෝත තබා වතුර බීගෙන බීගෙන යන්නට උවමනා වී ද ඔහු ත්‍රීරෝද රියට නැගගත්තේ ය.
ජුලී චන්දුල ට බත් බෙදමින් සිටියා ය. එහෙම වුණ එක හොඳයි කියා රිදී ට දැනී නො දැනී ගියේ ය. නො එසේ ව හැන්ද අල්වා ගන්නට බැරි තරමට ඇගේ අත වෙව්ලනු ඇත. චන්දුල වදනකුදු නො බිණුවේ ය. නමුත් තවමත් ඔහු නො සන්සුන් ය. ජුලී බත් පිඟාන චන්දුල අත තබමින් මාරුවෙන් මාරුවට අම්මාත් පුතාත් දෙස බැලුවා ය.
“මුන් දෙන්නට මගදි යකෙක් ගැහුවවත්ද”
යන ප්රශ්නය හිතෙන් නැගුවාට එය මුවින් විමසාගන්නට බැරි දෙගිඩියාවක් ජුලී ට දැනිණ. චන්දුල ඇඳ කොනක හිඳ, අතක් මත බත් පිඟාන තබාගෙන, බිම බලාගෙන ම බත් කන්නට වූයේ ය.
“මොකැයි බං වුණේ…”
කියා ජුලී විසින් රිදී විමසනු ලැබූයේ මිදුලේදීයි.
“සිසිර ආව”
ඇය චන්දුලට නෑසෙන සේ මිමිණුවා ය. ජුලී ගේ මුව විවර විය.
චන්දුල ගේ හිත යකා ගේ කම්මල සේ අවුල් ව තිබිණ. මතක කාලයේ පටන් ඔහු ට තාත්තා ගැන වූයේ අප්රසාදයකි. ඒ නො පහන් බව වැඩිපුර දැල්වුණේ නංගී- පාරුල් නිසාවෙනි. පාරුල් දැරිය දුක් විඳිනවා දකින වාරයක් පාසා චන්දුල සිසිර ගැන වෛරයෙන් සිතුවේ ය. සිසිර විසින් ලොන්ඩරි වත්තේ අත්හැර දමා යනු ලැබූ පීතෘත්වය, පාරුල් ගේ නාමයෙන් ඇහිඳ හදවත මත පැළඳ ගන්නා විට චන්දුල ද ළමයෙකි. නංගී ගේ කුස හිස් නො කිරීම ඒ කාලේ ඔහු ගේ ඒකායන අරමුණ විය. සිය පාන් පෙත්තේ මදය ගලවා ඇයට දෙන්නට තරම්, සිය බත් පතින් කටක් දෙකක් ඇයට කවන්නට තරම් ඔහු හදවතින් ඇයට තාත්තා වූයේ ය. පසුව පාරුල් ගේ සිහින ලොකු වෙත්දී, ඇයට ඉගෙන ගන්නට ඕනෑ වෙත්දී, ඔහු ඉස්කෝලේ ගිහින් ඇවිත් කුළියට ශිවම් ගේ රෙදි මැද්දේ ය. ඒ ලැබෙනා සොච්චමක් පාරුල් ට පත පොතක් ගෙන දෙන්නට වැය කළේ ය. පස්සේ ඔහු සිය පවුලේ ඉතිරිව හිඳිනා එක ම පිරිමියා වශයෙන් වතුර ටැංකියට බැස්සේ ය. දෙවියන්ගේ නාමයෙන් ඒ දුක් කඳ උහුලා ගන්නට ඔහු ට හයිය තිබිණ. නමුත් දැන් වැස්සට කලින් මෙරු මතුවෙන්නා සේ හදිසියේ ම තාත්තෙකු මතු වී තිබේ. චන්දුල ගේ උගුර මුල ම ගිනියම් ගුලියක් හිර වී ඇති සැටියකි. ඔහු බත් පිඬ ගිල ගත්තේත් ඒ ගුලිය අතරින් අසීරුවෙනි. නමුත් රිදී ගේ හිත රිදෙන්නට වචනයක් නො කියා ඔහු තමන්ව ම රිදවා ගන්නට වූයේ ය. එනමුත් එයින් අම්මා කෙතරම් රිදවුම් ලැබුවා දැයි පුතා දන්නේ නැත!
තාත්තා වත්තට පැමිණි බව පාරුල් දැනගත්තේ උමා දුරකතන ඇමතුමක් දී පැවසූ බැවිනි. උමා ට ඒ කීවේ රිදී ය. ඒ චන්දුල මූණ පුම්බාගෙන සිටීම ගැන ඈ රහසින් රිදී විමසූ අවස්ථාවේ ය.
පාරුල් ට තාත්තා ගැන කිසිදු මතකයක් නැත. කිසිම හැඟීමක් ද නැත. ඇය කවදාවත් තාත්තා කොහිදැයි මව විමසා නැත්තේ ය. තාත්තා දකින්නට ඇත්නම් යයි ආශාවක් නිකමටවත් හිතේ ඇති වී නැති බව ද විශ්වාස ය. නමුත් උමා මේ පණිවිඩය දුන් විට ඕ තිගැස්සී ගියා ය. පුස්තකාලයට යන්නට යොදාගෙන නො තිබුණේ වී නම් ඇය ඒ මොහොතේ ම ගෙදර දිව එනු ඇත. පුස්තකාලයට ගඟුල් එන්නට නියමිත නො වූයේ නම් ඒත් එනු ඇත. ඇයිදෝ මන්දා ඔහු දැකීමෙන් පසුව ම ගෙදර යා යුතු යයි සිතිවිලි මාත්‍රයක් පපුවෙහි ඇමිණෙමින් තිබිණ.
“යං”
කියා අතරමගක දී ගඟුල් නැගී සිටියේ ය. සිදු වූයේ කුමක් දැයි පාරුල් ට එකවර වැටහුණේ නැත. ඇය පසුවූයේ නින්දක ගැඹුරු ම කලාපයේ දී දුටු අවිනිශ්චිත සිහිනයක අතරමගකින් අවදි වී ගත්තා වන් දෙගිඩියාවකයි. පොත් ටික එකතු කරගෙන අලියෙකු ඇප්ලික් කළ මල්ලේ ඔබා ගනිමින් ඕ ඉක්මන් කොට ඔහු පසුපස වැටුණා ය. පුස්තකාලය තුළ වන්නේ ගුප්ත නිහැඬියාවකි. දුඹුරු පාට ආලේප කළ ලැටිස් ගැසූ බිත්ති වලින් මායිම් වන කොරිඩෝර දිග යත්දී ඒ ගුප්ත හැඟීම වඩාත් තීව්ර වේ. ගඟුල් ගේ සපත්තු අඩි හඬ පවා පාරුල් ගේ හද ගැස්ම වැඩි කළේ ය.
“මොකද්ද වෙලා තියෙන්නෙ…”
ගඟුල් විචාලේ පිටතටත් පැමිණි ඉක්බිතියි.
“ඇයි…”
ඇය අරමුණකින් තොරව පාවෙන්නා සේ දැනෙන දෑස් ඔහු වෙතට දැල්වූවා ය.
“පොත පෙරලං හිටියට ඔයා වැඩක් කළේ නෑනෙ. ඔයාගෙ හිතේ පාඩං කරපු මොනාත්ම තියනවද කියල කියන්න. ඇයි පාරු මොකද්ද අවුල… අර පිස්සු පසනය ආයෙත්…”
“තාත්ත ඇවිත්…”
ඇය උන්මන්තක හඬකින් මිමිණුවා ය. ගඟුල් පාරුල් ගේ නෙත් විල් මත කිමිදගත්තේ ය.
“තාත්ත…”
ඇය හිස සැළුවේ හිස් බැල්මෙනි. මේ ඇය දැනුවත්ව තාත්තා කියන වචනය කියනා ප්‍රථම වතාව වන්නට පුළුවන. තාත්තා කියන මනුශ්‍යයා හින්දා මෙතුවක් දැනී නැති විදිහේ හිරවීමක් අද හෘත් පේශි වලට දැනේ. අප්‍රාණික බවක් දෙපා වලට දැනේ. නමුත් ඇගේ ඇස් හිස් ය.
ගඟුල් ක්ෂණිකව මෘදු වූයේ ය. යුවතිය ගේ බඳ පිටුපසින් යන්තමින් අත තබා ඈ ඉස්සර කොටගෙන රිය වෙත විත් ඈ ඊට ගොඩ කළේ ය. පාරුල් හිත රිද්දවාගෙන හිඳිනා බව ඔහු ගේ සිරුරේ සම් මස් ඇටමිදුළු විනිවිද දැනේ.
“අයිය කේන්තියෙන් ඉන්නෙ කියල උමා කිව්ව. අයිය සිං කරපු ප්‍රෝග්‍රෑම් එක දැකලලු තාත්ත ඇවිත් තියෙන්නෙ. ඔයා දන්නවද මං කවදාවත් තාත්ත කියල කෙනෙක් දැකල නෑ. කවදාවත් මට තාත්ත කෙනෙක් ඕන වෙලත් නෑ. ඉස්සරහට ඕන වෙන එකකුත් නෑ. ඒත් අයියට රිදිලනං මටත් රිදෙනව ගඟුල්. තාත්ත විතරක් නෙවෙයි මට මං අදහපු දෙවියා වුණෙත් අයිය. මට බයයි මෙතනිං ඉස්සරහට අයිය සින්දු කියන්න යන්නෙත් නැතිවෙයිද කියල. අනිත් අතට මට අම්ම ගැන දුකයි. අයිය තාත්තට කොච්චර බැන්නත් අම්ම තාත්ත ගැන වචනෙකින්වත් වරදක් කියනව මට ඇහිල නෑ. දොසක් කියනව ඇහිල නෑ. ඒ වුණාට අම්මගෙ පපුව ඇතුළෙ මොන ගින්දරක් තියෙන්න ඇද්ද දෙයියනේ. එයාගෙ තරුණ කාලෙ වතුර ටැංකියට දිය කරලයි අම්ම අපිව මේ තත්වෙට ගෙනාවෙ. එහෙම දුක් කන්දක් දරාගෙනත් එයා තාත්තව පපුවෙ උඩමළුවෙ තියං හිටිය කියල මං දන්නව. අම්ම නිදියන්න ගියාම හූල්ලනව. ඉඳහිට එයා තනියම කඳුළක් හලනව. මං නිකමටවත් අහන්නෑ ඇයි අම්මෙ කියල. ඇහුවොත් එයාගෙ හිත තවත් රිදෙයි අම්ම තවත් අඬයි කියල මට බයයි. අද අම්මගෙ ඇස් දිළිසෙනව කියල උමා කිව්ව. ඒ කියන්නෙ කාලෙකට පස්සෙ තාත්තව දැකල අම්මගෙ පපුවට සැනසීමක් දැනිල ඇති. මං ආදරේ ගැන ඉගෙන ගන්නෙ අම්මයි උමායි දිහා බලාගෙන. මං දන්නෑ මට කවදාවත් ඒ දෙන්න වගේ ආදරේ කරන්න පුළුවන් වෙයිද කියල. මං දන්න මගෙ තාත්ත අයිය. ඒත්… මං දන්නෑ… අම්ම සතුටු වෙනවනං අපේ ඇත්ත තාත්ත ආයෙ අපේ ගෙදර එනවනං ආපුදෙං කියල හිතෙනව. අම්මට පුළුවන්නං එයාට සමාව දෙන්න… දරුවො දෙන්නෙකුත් එක්ක රෙදි හෝදන පවුලක ගෑනියෙක් නිසා දාල ගිය පිරිමියට ආදරේ කරන්න ඉඩක් තාමත් අම්මගෙ පපුවෙ තිබිලනං… මායි අයියයි ඇත්තටම මොන ආදරයක්ද දන්නෙ…”
පාරුල් ගේ ඇස් දාර වල කඳුළු ගුලි දෙකක් එල්ලී ගති. ගඟුල් සුරතින් සුක්කානම දරනා ගමන් වමත පාරුල් ගේ හිස මත තැබුවේ ය.
“දේවල් සිද්ද වෙන හැටියට වෙන්න ඇරල බලං ඉන්නකොට ලේසියි පාරු. අමාරුවෙන් දේවල් වළක්වන්න ගියාම හරි අමාරුයි. ආදරේ කියන්නෙ මහ පුදුම කැපකිරීමක්. දැනගෙන හරි නොදැන හරි අපි හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් ඒ කැපකිරීම කරනව. අර ශාරුක් වුණත්. සමහර විට අපි නොදන්න අපි නොදැක්ක දේවල් සිද්ද වෙලා තියෙන්න පුළුවන්. ඉතිං ඉරණම වෙනද විදිහට නතර වෙලා ඉන්නැතුව වෙනසක් කරන්න හදනව වගේ දැනෙනවනං හොඳම දේ කලබල වෙලා අපිට ඕන විදිහට දේවල් සිද්ද කරගන්න හදන එක නෙවෙයි. ඒ දේවල් වලට වෙන්න ඇරල බලං ඉන්න එක. තේරුණාද ඔයාට…”
පාරුල් හිස සැළුවේ සැබවින් එතෙක් වූ හිත් බර සැහැල්ලු වෙමින් පවතිත්දී ය. තාත්තා කියන පුද්ගලයා ගැන මෙතෙක් නො දැනුණ අනුකම්පා සහගත බවක්, තුනී මීදුමක් සේ ගලා හැලෙමින් තිබිණ.