සෙනෙහස් අවාරේ 40 – අවසාන කොටස

වසර විස්සකට පසු

කාළය ගෙවෙන්නේ ඇහිපිල්ලමක් ගසන සැණකින් බව සුමධුරත් සිසිමාධවිත් තේරුම් ගත්තේ තමන් වයසට ගිය බව දුටුවාට වඩා තම උකුල උඩ වාඩි වී සෙල්ලම් කරමින් උන් දෙව්මිත් චනුකත් උස් මහත් වූ අන්දම දැකීමෙනි.

කුඩා කල සිට අම්මා තමන් උස් මහත් කරන්නට වින්දාවූ දුක දුටු දෙව්මිත් චනුකත් හොඳින් ඉගෙන ගනිමින් යහපත් වැඩදායී දරුවන් ලෙස උස් මහත් වූහ. ඒ සිසිමාධවී ඔවුන් වෙනුවෙන් කල සියලු කැපකිරීම් ද දරාගත් සියලුම දුක්ඛ දෝමනස්සයන්ටද උපරිම සාධාරණය ඉශ්ට කරමිනි.

සුමධුර තිලකරත්න අනුවම යමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නගර සැලසුම්කරණ උපාධියක් හැදෑරූ චනුක සුමධුරට ඔහුගේ පියාගෙන් උරුම වූ ව්‍යාපාරවලට සුමධුරගෙ ලෙයින් ජනිත නොවුනද හදවතින් පුත්‍ර රත්නය වී භාරගත්තේය.

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක වූ දෙව්මිට, සෑම සති අන්තයකම පාහේ රස කැවිලි ද පොත්පත් ද තව බොහෝ තෑගි බෝගද රැගෙන එන, මිතුරියන් සමගද ඉතා කෙලිදෙලෙන් පසුවන පියෙකු උන්නාය. ඒ වෙන කවුරුවත් නොව සුමධුර තිලකරත්නය. ඔහු තමන්ගේ පියා නොවේය කියා චනුකවත් දෙව්මිවත් කිසිම තැනක නොකිව්වා සේම කෝසලව කිසිම කෙනෙකුගේ හිත්වල උන් තැනින් එක අඟලක්වත් එහාට වූයේද නැත.

අයියා සමග අමනාපයෙන් උන් කල්පනා දරුවන් දෙදෙනාව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ යවා අනතුරුව රහල් සහ තමන් ද ඔස්ට්‍රේලියාවේම පදිංචියට ගියාය. ඉන්පසු මහගෙදරට විත් සිසිමාධවීට බැණ වදින්නට කිසිවෙකු උන්නේ නැත.

වියපත් මිනිසෙකුත් තරුණ කාන්තාවකුත් එක ගෙයි වාසය කිරීම බොහෝ දෙනෙකුට කටකතා හදන්නට හේතු වූ බව ඇත්තකි. ඒ කතා තිලකරත්න මැදුරේ ගේට්ටුවෙන් මෙහාට නොඇවිත් රැඳුණ නිසාවෙන්ම සුමධුර සහ සිසිමාධවී ඒ ගැන බිඳක්වත් සසැලුනේ නැත.

සුමධුරගේ ආදරය ප්‍රතික්ශේප කිරීම ගැන සිසිමාධවී පසුතැවුණේවත් සුමධුර ඒ ගැන දුක්වුණේ හෝ පසුව විමසුවේ හෝ නැත. ඔවුන් උන්නේ ඔවුන්ගේම ක්‍රමයකට එකිනෙකාට සංසාර ගමන පුරා ආදරය කරන්නට පිළිණ දෙමිනි. ආදරය වනාහී අතැඟිල්ලකින්වත් නොඅල්ලා ඇතිවිය හැකි දෙයක් බවත්, අවාරයක පිපෙන මලක් මෙන් සුන්දර දෙයක් වන්නට් හැකි බවත් සිසිමාධවී සුමධුර ගෙන්ද සුමධුර සිසිමාධවී ගෙන්ද ඉගෙන ගනිමින් උනි.

දෙව්මි දිනක් අම්මාගෙන් ඇත්තටම ඒ ගැන විමසුවාය. සුමධුර තිලකරත්න වනාහී ඇත්තටම හොඳ මිනිසෙකු බවත් තමාත් අයියාත් කෙදිනක හෝ මේ නිවසින් පියඹා ගිය දිනක අම්මාට අත්වැලක්, හයියක් වන්නට ඔහු වන් මිනිසෙකු හිඳිය යුතු බවත්, තරුණ වයස දරුවන් වෙනුවෙන්ම කැපකල අම්මා තනි නොවනු පිණිස විවාහයක් කරගන්නවාට තමන් හෝ අයියා අකමැති නැති බවත් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වී දෙව්මි කීවේ විශ්ව විද්‍යාලයේදීම හමු වී ප්‍රේමයෙන් බැඳුන කුරුණෑගල පැත්තේ පිරිමි ළමයෙකු වූ කේශිත සමග විවාහය තීන්දු කරගත් දින වකවානුවේය.

“අම්මා ඇයි ආයෙම මැරි කරන්න නොහිතුවෙ? තාත්තා නැතිවෙද්දි මමයි අයියයි දෙන්නම පොඩිනෙ. අම්මට ඇත්තටම ආයෙ මැරි කරන්න තිබුණා”

සිසිමාධවී දෙව්මි දෙස බලා මද සිනාවක් පෑවාය. දරුවන් උස් මහත් වෙද්දී අම්මලා වයස්ගත වුණත් සිසිමාධවී තුල තවමත් තරුණ බව ඉතිරි වී තිබුණාය.

“මම ආයෙ මැරි කරානම් මට මේ විදියට ඔයාලව උස්මහත් කරගන්න පුලුවන් වෙයි කියල පුතා හිතනවද?”

“අම්මා සුමධුර අංකල් වගේ කෙනෙක්ව මැරි කරානම් ඇත්තටම අම්මට මේ හැම දෙයක්ම තනියෙන් මහන්සිවෙලා කරන්න වෙන එකක් නෑ. සුමධුර අංකල් හොඳයිනෙ. අම්මට එහෙනම් උදව් වෙන්න කෙනෙක් ඉන්නවා”

සිසිමාධවී ආයෙම කලේ දෙව්මිගේ මුහුණ බලා සිනාවෙන එකය.

“කසාදයක් කරගනිද්දි අපි බලන්න ඕන දේවල් මහගොඩක් තියෙනව පුතේ. එකිනෙකාට උදව් කරගන්න එකත් ඒවයි එක කාරණාවක්. ඒත් කසාදයක් අස්සෙ මුලින්ම තියෙන්නෙ අපි දෙන්නට දෙන්න බෙදාගන්න ආදරයක්. ආදරයක් නැතුව කසාදයක් සර්ව සම්පූර්ණ වෙන්නෙ නෑ”

“මම හිතුවෙ සුමධුර අංකල් අම්මට ආදරෙයි කියල”

“ඔව් ඇත්ත, සුමධුර මහත්තය මට ආදරේ කලා. කසාද බඳින මනුස්සයෙක් හොයන ජාතියෙ ආදරයක් ඒ මනුස්සය ලඟ තිබුණා. අදටත් තියෙනව. සුමධුර මහත්තය ගැන ආදරෙන් හිතන්න බැරි වුනේ මට පුතේ. මගෙ හිතේ ඔයාලගෙ තාත්ත ගැන පිරිච්ච ආදරේ තවමත් තාත්තට මුලින්ම ආදරේ කිව්ව දවසෙ වගේම පිරිල තියෙනව. ඒ ආදරේ දවසෙන් දවස අලුත් වෙනව ඇරෙන්න එක බිංදුවකවත් හිඩසක් ඇතිවෙලා නෑ. එහෙම හිතක් තියෙන මම රැකවරණයකුයි උදව්වකුයි විතරක් බලාපොරොත්තුවෙන් සුමධුර මහත්තය වගේ හොඳ මනුස්සයෙක්ව කසාද බඳින එක ඒ මනුස්සයට කරන ලොකු වරදක්. වගකීම් ඉශ්ට කරන්න පුලුවන් උනත්, මිනිස්සු ආදරේ බලාපොරොත්තු වෙනව පුතා. ඒ ආදරේ තමයි බැඳීමක් ඇතුලෙ දෙන්නවම වගකීම්, යුතුකම් ඉශ්ට කරන්න, අනිත් කෙනා වෙනුවෙන් පෙනී හිටින්න මග පාදන්නෙ. මගෙ මුලු හිතෙන්ම මට ඒ මනුස්සයට ආදරේ කරන්නෙ නැතුව එහෙම බැඳීමකට යන එක වරදක් කියල හිතුණ හන්දයි මම ඒ තීරණේ නොගත්තෙ”

“මම අම්මගෙන් දෙයක් අහන්නද?”

“අහන්න”

“කවදමහරි දවසක අම්මා දුක් වෙන එකක් නැද්ද අම්මා සුමධුර අංකල්ට අකමැති උනා කියල”
“නෑ පුතා”

“ඇයි ඒ?”

“මොකද මම කවදාවත් සුමධුර මහත්තයට අකමැති උනේ නැති හන්දා. ආදරේ කියල ගොඩක් අය දකින්නේ දෙන්නෙක් යාලුවෙන එක, කසාද බඳින එක උනාට ආදරේට ඊට එහා ගිය තව තේරුම්, බැඳීම් මහ ගොඩක් තියෙනව පුතේ. ඔයාලා දකින ආදරේට වඩා වෙනස් උනත් මමයි සුමධුර මහත්තයි එකිනෙකා වෙනුවෙන් පෙනී ඉඳගෙන මේ බෙදාගන්නෙත් එක්තරා විඳියක ආදරයක්. වෙනසකට තියෙන්නෙ ඒ ආදරේ ඇතුලෙ එකිනෙකාව නැතිවෙයි, අනිත් කෙනාව වෙන කෙනෙක් අයිති කරගනීවි කියල බයක් අපි දෙන්නට නැති එක”

විශාල විවාහ මංගල්‍යයක් ගන්නට දෙව්මිත් කේශිතත් අකමැති වූ නිසාවෙන්ම දෙව්මි – කේශිත විවාහ මංගල්‍යය පැවැත්වුනේ තිලකරත්න මැදුරේම කුඩා පිරිසකගේ සහභාගිත්වයෙනි.

බෝගන්විලා යායට එහා පැත්තෙන් තනා තිබූ මනහර කුඩා පෝරුවට දෙව්මිව ආඩම්බරයෙන්ද, පිය සෙනෙහසෙන්ද අතින් අල්ලා රැගෙන ආවේ සුමධුර තිලකරත්නය. සිසිමාධවීගේ ත්‍රෙඩ් වර්ක්ස් බයි මාධවී හි අතුරු ව්‍යාපාරයක් වූ බ්‍රයිඩ්ස් බයි මාධවී හි නිමවන ලද මනහර සාරිය හැඳ, සරලව සැරසී පෝරුව මත හිනැහෙමින් උන් දෙව්මිව සුමධුර දුටුවේ තරුණ මාධවියගේම වඩා සුන්දර අනුරුවක් ලෙසිනි.

දුවෙක් දීග දෙද්දී වඩා හඬන්නේ අම්මා වුවද දෙව්මි කේශිත සමග සුබ මොහොතින් මධුසමයට පිටව යද්දී දෙව්මි සුමධුරවද, සුමධුර දෙව්මිවද බදා ගෙන හැඬුවේ “දුවේ නුඹ මගෙ ප්‍රාණයයි” ගීතය වාදනය වෙද්දීය. කෝසල ඒ අසලම මේසයක් මත ජායාරූපයක් තුළට වී තම සුපුරුදු සිනහව පාමින් මේ සොඳුරු දසුන දෙස බලා උන් බව දැක සිසිමාධවී සිතුවේ එක් දෙයකි.

“මම ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් හැම යුතුකමම කලා කෝසල. ඔයා ඉන්න තැනක ඉඳන් අපි දිහා බලාගෙන සන්තෝස වෙනවනම් මට එච්චරයි වටින්නෙ”

එදා දෙව්මිගේ කුඩා විවාහ මංගල උත්සවය අවසානයේ ඔංචිල්ලාවේ වාඩි වී සිනාවෙමින්, එක් පැත්තක් බලාගෙන උන්, සරල සුදු සාරියකි සැරසී උන් සිසිමාධවී ගේ ජායාරූපයක් සුමධුර මංගල ජායාරූපශිල්පියාට කියා රැගෙන එය රාමු කරවා ගෙදර තැනක එල්ලා තැබුවේය.

අදටත් ඒ ජායාරූපය බාන්ස් පෙදෙසේ තිලකරත්න නිවසේ බිත්තියක එල්ලී සුමධුර වෙත සඳ කිරණක් වන් සුන්දර ආදරයක්, සංසාරය පුරා බෙදා හරින්නට පොරොන්දු වෙමින් හිඳී.

සමාප්තයි
—————————————————————————————————————————-

පසු සටහන:

කොටස් හතළිහක් පුරාවට සුමධුර – සිසිමාධවී – කෝසල සමග රැඳී උන්නාට ඔබට ස්තුතියි!

“සෙනෙහස් අවාරේ” කතාව මවිසින් Smartlady.lk වෙත ලියූ අනෙක් සියලුම කතාන්දර වලට වඩා වෙනස් බව මම කියන්නට කැමැත්තෙමි. මේ සුන්දර වූද අනුවේදනීය වූද කතාවට, කතා වස්තුව සැපයුවේ අපේ ආදරණීය කෞමදී ගඟුලි බණ්ඩාර අක්කාය.

ඔබ පළවෙනි කොටසේ සිට ආදරයෙන්ද වේදනාවෙන්ද බැඳුනා වූ එකී කතාවට ඔබ ප්‍රිය කරනු ඇතැයි ද යන සැකය මුලින් තිබුනද කොටසෙන් කොටස ලියවෙද්දී කමෙන්ටු වල ඔබ තබා ගිය ආදරය කෞමදී අක්කාත් මමත් වින්දේ ඉතා සතුටෙනි.

පාඨක ඔබ Smartlady අපට සිටින ඉහළම ශක්තියයි.

ඉතින් මේ ස්තුතියත්, ආදරයත් ඔබටය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles