මියුරු පෙම් වසන්තේ – 8

සෙනසුරාදා ඉරිදා දවස්වල නදී කරන්නේ කාමරේ අස්පස් කරන එකය. හැන්දෑවට ආච්චි එක්ක සෙනසුරාදා පොලට යන්නට තියෙන හන්දා උදේ වරුවේ කාමරේ අස් පස් කරගන්නා නදී ඉරිදාට හොඳට ඇඟ අතුල්ලාගෙන නාන්න හිතාගෙන ඔලුවේ තෙල් ගා මසාජ් කරගත්තාය.

පොලට යන්නට තිබුනේ බොහෝ හැන්දෑවීය. සාමන්‍යයෙන් පොළ හැන්දෑවේ හත විතර වෙද්දී අවසන් වනවා නමුත් වත්තෙ මිනිස්සු පොලට යන්නේ ඒ වෙලාවටය. ඒ එදිනෙදා උයමන් වලට ඕන කරන එලවලු ආදියද, කඩයප්පන් හදන පවුල්වල අයගේ දෛනික කඩයප්පම් අවශ්‍යතාවය සඳහා ඕන කරන එලවලු ආදියද අරගැනීම සඳහාය. සාමාන්‍යයෙන් කට්ටිය දහවලේ හෝ හැන්දෑවේ පැමිණ එලවලු කීර ආදිය අරගත්තද වත්තෙ මිනිස්සු පොලට හතෙන් පස්සෙ එන්නේ හේතුවක් ඇතුවය.

මිල දී ගන්නේ නැතුව තේරිච්ච, එහෙන් මෙහෙන් තැලිච්ච, විකුණන්නේ නැතුව අයින් කර තැබූ එලවලු හිතාගන්නට බැරි තරම් අඩු මිලකට අරගන්න පුලුවන් ඔය වෙලාවට ගියොත් පමණක් බව වත්තේ මිනිස්සු අවුරුදු ගණක් වත්තේම ජීවත් වී දැන ගෙන උන්නහ.චන්ද්‍රකාන්තිත් නදීත් හැන්දෑවේ පොල පැත්තට ඇදෙන්නෙ එලවලු ටිකක් අරගෙන එන්නටය.නදීට උදේ රැකියවට අරගෙන යන්නටද, ගෙදර එදිනෙදා කෑමටද එලවලු අඩු ගාණට පුලුවන් වන්නේ ඒ වෙලාවට ගියෝතින් විතරය. ඒ වෙලාවට එන්නෙ නැති බැරි තැන්වල එවුන් වුවත් එතනත් පොරකෑම් නැතුව නොවේ.

“නැති බැරි එවුන් අතරෙත් ඉන්නවා බං ඇති හැකි එව්න්, හරියට අර සල්ලිකාරයො අතරෙත් කෝටිපතියො ලක්ශපතියො ඉන්නව වගේ, නැති බැරි එවුන් අතරෙත් දාහෙපතියො,සීයෙපතියො ඉන්නවා. ඉතින් ඒ වගේ දාහෙ, සීයෙ ඒව අස්සෙ අපි වගේ දහයෙ උන්ට හම්බෙන්නෙ නැති බැරි කමෙත් අන්තිම දංකුඩ ඩිංගිත්ත”

“ඇයි ආච්චි අපි පොළට ගියාම සමහරු අපි එක්ක රණ්ඩු වෙන්න එන්නෙ එලවලු අරගන්න යද්දි?”” කියා නදී පුංචි කාලේ අහද්දී චන්ද්‍රකාන්ති එසේ කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. අනන්ත වාරයක් කුඩා කාලයේදී අසන්නට ලැබුණ ඒ කතාව නදී තේරුම් ගත්තේ ජාතියෙන් දායාද වුණ ඇඟටත් හදවතටත් බද්ධ වී අල්විස් වත්තේ දුඹුරු පැහැ පොළොව යටට ඇදුණ මුල් ටිකෙන් ටික කාලයත් සමග වඩා ගැඹුරට විහිද යද්දීය.

නැති බැරිකමෙත් ඇති හැකි අය ඉතුරු වී තිබුණ එලවලුවලින්ද හොඳ ඒවා තෝරා ගෙන තිබූ අතර ඉතිරි වී තිබුන කැරට් අල, අර්තාපල් අල, වට්ටක්කා වල බොහෝ කොටස් තැලුණ ඒවාය. ඒ තැලිච්ච තැන්වලින් එන්නේ ගඳක් වුනත් අල්විස් වත්තේ කුණු කාණුවෙන් එහ දුඟඳ හා බලද්දී නදීට මෙය සුවඳකි. පලා ජාති නම් බොහොමයක් ඒවා ඉතුරු වී තිබුනේ කහපැහැ ගැන්වුන කොළත් තැලී තෙත බරිත වුණු ඒවත් පමණකි. හොඳ ඒවයින් ගොටුකොල හෝ මුකුණුවැන්න නටු දහයක් පහලවක් හොයාගන්නට තැලිච්ච මිටි හෙන තොගයක් හාරවුස්සන්නට වේ.

තැලිච්ච තැන්වලින් කපා ඉවත් කල පසු කන්නට ගත හැකි ලෙස සුද්ද කරගන්නට හැකි තරම් එලවලුද කීරද එක්කාසු කරගත් පසු නදීත් චන්ද්‍රකාන්තිත් පාර දිගේ කලුවරේම ඇවිදගෙන ගෙදර ආහ. ඒ වෙද්දීත් විල්සන් ඇවිත් උන්නේ නැත. ඊයේ රැයේ පොලිසියේ ගෙවන්නට වුණාය කියන කාරණාව විල්සන්ට අද නොබී ඉන්නට හේතුවක් නොවේ.
“හෙට දවාලෙට බත් එක්ක කන්න වට්ටක්කා කෑල්ල උයන්නම්. තව තියාගන්න බෑ, මේක තැලිලනෙ. හෙටත් නොගත්තොත් අපරාදෙ විසික්කන්න වෙන්නෙ” ආච්චි එහෙම කියන්නේ තමන්ගෙ දැන ගැනීම පිණිස වුණත් ඇය තමන්ගෙන් එයට පෙරලා පිළිතුරක් බලාපොරොත්තු නොවන බව නදී දනී.

ඇඟ පත හෝදාගෙන ඇවිදින් නදී ඇඳේ ඇලවුනේ රෑ ගවුම ඇඟට දාගෙනය. හුලං එනතැන් අපමණක් මේ පැල්පතේ තිබ්බද ගේ අස්සේ නිතරම රැඳි තිබෙන කුයිලත් රස්නයත් නිසා නින්ද කිසිදාක සුවයක් නැත.

එහෙත් සීත කල කාමරයක, ස්පා සිලෝන් වෙතින් ගත් සුවඳ විහිදනයකින් සුවඳවත් වී තිබුණ කාමරයක, සැපවත් මෙට්ටයක හාන්සි වී උන්නද මියුරුට තිබුනේත් සුවබර නින්දක් නොලැබෙන සේයාවකි. ‍රාත්‍රිය කොතරම් සුවබර වුවද සිහිලස වුවද මියුරුගේ හිත තිබුනේ දැවෙමිනි. ඒ දහවලේ දුටු දසුන හන්දාය.

“එච්චර ලස්සන, හොඳට ඉගෙන ගත්ත හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මොකටද ත්‍රිවිල් කාරයෙක් එක්ක යාලුවෙලා ඉන්නේ? තමන් තේරුම් ගන්න ඕනනෙ තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න? සමහරවිට ඉස්කෝලෙ කාලෙ ඉඳල තිබුන අෆෙයාර් එකක්ද දන්නෙ නෑ”

නදී ගැන මෙහෙම හිතන්න හිත මෙච්චර වළිකන්නේ ඇයි කියන ගැට පදේ ලෙහාගන්න මියුරුට තේරෙන්නේ නැත. ඔහුට අනුව ඒ නිකන් හිතෙන හිතුවිල්ලකි. එහෙත් මෙච්චර කාලයකට කොච්චර ලස්සන කෙල්ලන් ඔෆිස් එකට ආවා ගියා වුවද තමන්ගෙ හිත මෙච්චර ඔවුන් ගැන හිතන්න වළිකෑවේ නැති බවත් මියුරුට මතකය.

රෑ තිස්සේ බීගෙන උන් විල්සන් කීයටද මන්දා ගෙදර ඇවිත් බූරු ඇඳේ වකුටු වී ඉන්න බව නදී දුටුවේ උදේය. දුටුවාටත් වඩා තාත්තා ගෙදර ඉන්න බව නදී දැනගන්නේ ගේ ඇතුලේ හමා යන කුණු ගන්දස්සාර කසිප්පු ගඳ හන්දාය.

“ඔය කසිප්පු වල සැරට උඹේ බොකු බඩවැල් දියවෙච්ච ගඳ තමයි කටෙන් පිටවෙන්නෙ” කියා ආච්චි කීප වංගියක් කියා තිබ්බද ඒ කතා කනකටවත් ගන්නේ විල්සන් නොවේ. නදීට අම්මාව එච්චරම මතක නැත. අම්මා රටින් ගියේ නදී ඉතාම කුඩා අවදියේය. එයත් ඇය ගියා නොව පැන ගිය බව කියන්නේ ආච්චිය.

ඉස්සර හැන්දෑව වෙද්දී අම්මා තකහනියක් වලිකන්නේ තමාව ඉක්මනින් නින්දට යවන්නට බව නදීට අමතක නැත. ඒ තමන්ට තියෙන ආදරයට බවත්, ඉක්මනට නින්දට යා යුත්තේ නිදාගන්නේ නැති පොඩි එවුන් අල්ලන්නට එන ගෝනිබිල්ලෙකු නිසා බවත් අම්මා කියූ කතන්දර නදී විශ්වාස කලේ දිනක් රෑ හදිසියේ ඇහැරෙන තුරු පමණකි.

තාත්තා අම්මාගේ ඇඟ උඩ හාන්සි වී ඇයගේ දෑත හයියෙන් අල්ලගෙන ඉන්න බවත්, වලිප්පුව හැදුණාක් මෙන් වෙව්ලන බවත් දුටුවද ඒ සිදුවන්නේ කුමන අන්දමේ කාර්‍යයක්ද කියා තේරුම් ගන්නට නදීට හැකියාවක් තිබුනේ නැත. එහෙත් ඇඳේ හාන්සි වී දෙනෙත් පියාගෙන උන්නද අම්මාගේ කම්මුල් දිගේ වැගිරී තිබුන කඳුලුත්, තාත්තාගේ මුවෙන් පිටවන කසිප්පු හෝ අරක්කු ගඳ හන්දා අප්‍රසන්න බව රැඳුන මුහුණත් එදා මෙදා තුර අමතක කරන්නට නදීට පුලුවන් උනේ නැත.

“මාව දාලා අම්මා රට ගියේ ඇයි?” කියා නදී කවදාවත් අම්මාගෙන් නෑසුවේ ඒ කඳුලුත් වේදනාබර මුහුණත් මතකයේ කොණක තවම රැඳී තිබෙන හන්දාය.

“පුංචි එකියෙක් දාලා හරිහමන් අම්මා කෙනෙක් නම් ඔහොම රට රටවල යනවද? ඕකිට ආයෙ මෙහෙ පස් පාගන්න ඉඩ තියන්නෙ නෑ මං, ගිය දිල්ලියක තොලොංචි වෙලා පලයං කියල ඉන්නවා” කියා තාත්තා කොච්චර කෑ ගැසුවද “අනේ මේ පොඩි එකීගෙ මූණ නොබල වසන්තිය කොහොම ඉන්නවද?” කියා පුංචි කල මුහුණ අතගාමින් වත්තෙ ගැහැණුන් කියද්දී උනත් නදී අම්මා ගැන වරදක් නොහිතුවාය.

ඒ “ඕනම ගැහැණියක තමාට ආදරයෙන් ද කරුණාවෙන්ද සලකන තැනක පැළවෙන්න ආස කරන හිත් ඇත්තවුන්” බව තේරුම් අරගෙන උන් නිසාවෙනි.

විල්සන් ඇහැරුනේ නදී රැකියාවට යන්නට සූදානම් වී ගෙදර ඇතුලේ එහා මෙහා ඇවිදින සද්දෙටය. ඊයේ රැයේ විසප්පු කපිලගේ පොට් එකෙන් ගැසූ කසිප්පු එකේ පදම හොඳ හින්දාද මන්දා දෙනෙත් අරින්නටත් අමාරුය. අදත් එතනින්ම කසිප්පු ඩිංගක් උගුරට හලාගන්න තිබුනානම් හොඳය. එවෙලෙට උගුර කඩාගෙන යන රස්නයක් දැනුනද බිව්වයින් පස්සෙ එන පාවෙන ෆීලින් එක විල්සන්ට ඉතින් ෆුල් හැපනින් ය. අනෙක් පොට් වල දෙන්නේ එකට තුනක් නිවපු උණු වතුර එක්කහු කල කලවම් කසිප්පු එකේ විසප්පු කපිල දෙන්නේ හොඳ ස්ප්‍රිට් එකය.

ස්ප්‍රිට් එක එහෙම ගන්න හැමෝටම බැරිය. උගුර කාරගෙන යන ඒ දැවිල්ල දරාගන්න හැක්කේ එහෙමත් එහෙකුට පමණකි. විල්සන්ට ඕව නතිං‍ය. “අපේ ඇඟවල් කසිප්පු වලට පදං වෙලා තියෙන්නෙ” කියා විල්සන් උජාරුවෙන් කියන්නේ එහෙම ලෝස් නැතුව ස්ප්‍රිට් එකම ගහන්න පුලුවන් හන්දාය.

“කෙල්ලෙ කීයක් හරි දීල පලයං, පොඩි වැඩක් තියෙනව මට” කියා විල්සන් කිව්වේ නදීගේ සද්දෙට හිස කඳ කෙලින් කර ඇඳේ වාඩිවෙන්නට අපහසුවෙන් තනමිනි. නදී උත්තර දෙන්නට පෙර චන්ද්‍රකාන්ති කුස්සියේ හිඳ කඩාගෙන ආවෙ ඔය කතාව අහන් ඉඳය.

“නෑ නෑ නෑ, දෙන්න ඕන නෑ. අනික මේ රස්සාවට ගිය අලුත එහෙම පඩි දෙන්න කන්තෝරුව උඹෙද විල්සන් ඈ?’ කියාගෙන චන්ද්‍රකාන්ති කියද්දී ඇයට විරුද්ධව නැගිට හොක්කට දෙකක් දෙන්න ඕන උනත් විල්සන්ට ඇඟ කෙලින් කරගන්න තාම අමාරුය. හැබැයි කට නම් වැඩය.

“ඕන් ආව නාකිච්චි, උඹෙ සල්ලියක් ඉල්ලුවෙ නෑනෙ, මං ඉල්ලුවෙ මගෙ කෙල්ලගෙන්, උඹ පලයං කුස්සියට”

“කුස්සියට යනව මං උඹව ඇරල වලපල්ලට, දෙන්න එපා නදියො සල්ලි. උඹ පලයං, සල්ලි ඉල්ලන පොඩි වැඩේ මොකද්ද කියල දන්නෙම නෑ අපි”

චන්ද්‍රකාන්තිත් විල්සනුත් බැණ ගනිද්දි නදී ගෙයින් එලියට පැන්නේ ඇත්තටම ඔලුව අවුල් කරගෙනය.
මේ ජීවිතය තව කොච්චර කාලයක් පුරාවට ගෙවා දැමිය යුත්තක් ද කියා නොසිත ඉන්නට නදීට බැරිය. මෙතනින් ගැලවී ගොස් වෙන තැනක පැලවෙන්නට හිතට හයිය තිබ්බද අල්විස් වත්ත හා බැඳී තිබෙන මුල් එසේ පහසුවෙන් ගලවාගෙන මින් පිටව යන්නට තමන්ට හැකිද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles