ශාරදාකාසේ – 13

 නිශාමනී කඩිනමින් කෑම පිසීමේ කටයුතු නිමා කොට, දින ගණනකින් අස් පස් නොකරන ලද ගේ අතුගෑවා ය. ගෙදර ඇත්තන්ගේ හිත් මූසල වී වල් බිහි වී ගිය කල ගෙවල් දොරවල් වල ද සිරියාව පලා යන්නට මහ කාලයක් ගත වන්නේ නැත. මල් පූජා කිරීම වෙනුවෙන් ම ඇය සිටුවා ගෙන තිබූ දෑසමන් පඳුර යට සිය දහස් ගණනක් මල් පර වී වැටී තිබුණේ ය. එතැන ඉපිද තිබුණේ මහත් ශෝකී බවකි. මලකට ලොව වන ලොකු ම සුවය බුදුන් පා මුල පර වී යාම නොවේදැයි නිශාමනී ගේ ගැහැනු සිත සුසුමක් හෙළුවේ ය.

එදා ගෙට ගොඩ වන විට ම ආකාස ට හුරු පුරුදු සුවඳ දැනිණ. හැන්දෑවට මල් පහන් හඳුන්කූරු පූජා කොට, ගෙතුළත් පිටතත් සුවඳ දුම් ඇල්ලූ කල හාත්පස පැතිරෙන මේ නිරාමිස සුවඳ හා නිශාමනී ගේ සිනහවේ කාන්තිය මුසු වූ විට ගෙදර කියනා හැඟීම ආකාස තුළ ඇති කරයි. හවසට ගෙදර එන විට දැනෙනා ඒ සුවඳට වසර ගණනක් තිස්සේ ඔහු පුරුදු ව ද ඇබ්බැහි ව ද සිටියේ ය. පිරිමියෙකු දැන හෝ නො දැන යමකට හෝ යමෙකුට ඇබ්බැහි වීම යනු ජීවිත කාලය පුරා ම ඒ ඇබ්බැහියත් සමගින් රහසිගත ජීවතයකට හුරු වීමයි. ආකාස ට ද එවන් රහසිගත ජීවිතයක් තිබිණ. හවසට ඔහු සුවඳවත් ගෙදරකට ආවේ ය. එහි සුවඳවත් ගැහැනියක් නිරන්තර මුව මඬලෙහි පොපියන මඳහසකින් කාර්යක්ෂම ලෙස ගෙහි ඔබ මොබ යමින් යුහුසුළුව වැඩ කළා ය. රස අහර පිසුවා ය. ප්‍රණීත තේ හැදුවා ය. ප්‍රිය තෙපුල් බිණුවා ය!

එදා කෑම මේසය බෙහෙවින් සරුසාර වූයේ නැත ද රස පාට ඉතිරිණි. බතට එළවළු, බිත්තර හා බටර් මුසු කොට, චිකන් කරියක් පහේ දැවටෙන්නට උයා, අල හොද්දක් ද අන්නාසි ව්‍යංජනයක් ද පමණක් මේසය මත විය. පුටුව ඇද අසුන් ගන්නටත් මත්තෙන් ආකාස ගේ කටට කෙළ ඉනුවේ ය.

“සු..වඳ…”

ඔහු ට කියවිණ.

“සුවඳ විතරක් තිබ්බහම මදෑ”

නොරිස්සුම් සහගත වචන අහුරක් අරමුණකින් තොර ව විසි කර දමමින් ම ශාරද බත් හැන්දක් බෙදා ගත්තේ ය.

“ඇයි මොනාද තමුසෙට අඩුයි වගේ දැනුණෙ….අඩු පාඩුවක් තිබුණනං නෝනට කියන්න තිබුණනෙ”

ආකාස කටට දිවට නො දැනී කියා ගත්තේ ය. කෙසේ හෝ එසේ කියා ගත හැකි වීම ගැන ඔහු ට සතුටක් දැනිණ. නිශාමනී කෑම මේසයට ආවේ එසඳි ට කෑම කවා නිදි ගැන්වීමෙන් ද අනතුරුව ය. එතකොට අයියා මලෝ කෑම කමින් සිටියහ.

“මල්ලි අපි තීරණයක් ගත්තා. ඩිවෝස් වෙන්න”

නිශාමනී කතාවෙන් ම බත් බෙදා ගැනීම ඇරඹුවා ය. ආකාස ගේ අත ගැස්සී ගියේ ය. එතකොට ඇය මේ වගේ භෝජන සංග්‍රහයක් පැවැත්වූයේ මේ ගෙදරට වන නෑ කම් අතැර දා යන බව කියන්නද?

ආකාස ට නො දැනී ම ඔහු ගේ වම් අත පපුවේ වම් පැත්ත යන්තමින් අල්ලා ගත්තේ ය. ඔහු ප්‍රශ්නාර්ථයෙන් සිය සොයුරා දෙස බැලුවේ ය. ශාරද ඒ බැල්ම බලාපොරොත්තුවෙන් සිටියා සේ බැල්මකින් අප්‍රසාදය හැඟවූයේ ය. 

“මේ ගෑනිට පිස්සු ඕයි”

නිශාමනී ගේ දෙතොල් සිනහවකට ඇද විය.

“පිස්සු හොඳ කර ගන්නයි යන්නෙ”

“දැන් මොකද්ද වෙන්නෙ කියල මට කියනවද…”

එවර නො සන්සුන් වූයේ ආකාස ය. ඔහු ගේ හඬ තරමක් දැඩි විය. 

“මං කිව්වෙ. මිනිස්සු හම්බ කරල ගෙනත් දෙන දෙයක් කාල ඉන්න බැරි ලෙඩක් හැදෙනව හිටපු ගමං ගෑනුන්ට. ඒකයි මෙයාටත් වෙලා තියෙන්නෙ”

“ශාරද…ඔයා හිතං ඇති මොනාහරි කන්න ගෙනත් දැම්මයි කියල ගෑනු කියන්නෙ මේ ඒ කෑම ටිකට ජීවිතේ ම ඒ පිරිමියට සින්නක්කර ලියල දෙන්න බලං ඉන්න හිඟන්නියො ජාතියක් කියල. නෑ ශාරද. දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න ගෑනුත් ඇති. හැබැයි මට එහෙම ඉන්න ඕන කමක් නෑ. මං එහෙම ඉන්නෙත් නෑ”

“ඉන්නැත්තං යනව”

“යනව තමයි. හැබැයි ඔයා කියනවට නෙවෙයි. යන විදිහට. නීත්‍යානුකූලව”

“අයියෝ මොකද ආ මේ වෙලා තියෙන්නෙ…ඕගොල්ලන්ට මීට වැඩිය ඩීසන්ට් විදිහට මේ ප්‍රශ්නෙ විසඳ ගන්න බැරිද ආ…”

ආකාස කතා කළේ තරමක් උස් හඬිනි. ඒ හඬට ශාරද සේ ම නිශාමනී ද මඳකට නිහඬ වූහ. සැබවින් දබර කර ගැනීමේ උවමනාවක් නිශාමනී ට වූයේ නැත. ඇය හවස සිට ම සූදානම් වූයේ සිය තීරණය වගකිව යුතු ලෙස ශාරදට හා ඔහු ගේ එක ම ඥාතියා ට දැනුම් දීමටයි. 

“මං දවාලෙත් ශාරද ට කිව්වනෙ. දැනුත් කියන්නෙ ඒකයි. මට තව දුරටත් ඔයත් එක්ක එක ජීවිතයක් ගත කරන්න ඕන කමක් නෑ. ඒක නිසා මං ඩිවෝස් එක බාර දෙනව ලෝයර් කෙනෙක්ට. ඔයත් හොඳටම දන්නවනෙ ශාරද ඔයායි පංචලීයි අතරෙ තියෙන සම්බන්දෙ ගැන. ඉතින් ඔය දෙන්නා හොඳින් ඉන්න. මට මගෙ කෙල්ල ගැන බලාගන්න පුළුවන්. හැබැයි දැං අර පංචලී කියන ගෑනු ළමය ඉන්නෙ ඔයා මිසක් වෙන පිහිටක් නැති තත්වෙක කියල මං දන්නව. කරුණාකරල ඒ කෙල්ලව කසාද බැඳල එයාටවත් අවංකව ඉන්න බලන්න”

“බම්බුවක්ද ඕයි කියන්නෙ…”

ශාරද ඔහු ට යාබද ව තිබූ මේස පුටුවකට පයින් ගසමින් ගෙරෙව්වේ ය. නමුත් නිශාමනී මඳකිනිදු ගැස්සුණා හෝ නොවේ. ඇය සන්සුන් ව ද ස්ථිරසාර බැල්මකින් යුතුව ද සිටියාය. 

“අයියෙ පිස්සු කෙළින්නැතුව එයාට කතා කරන්න දෙනවකො. හැම මනුස්සයෙක්ටම තියෙනව තමන්ටයි කියල කතාවක්. තමන්ගෙ පැත්තෙන් කියන්න දෙයක්. උසාවියෙදි වුණත් විත්තියයි පැමිණිල්ලයි දෙකටම කියන්න තියන දේවල් වලට අවස්ථාව දෙනව. පොඩ්ඩක් කලබල නොවී ඉන්නවකො”

“ශාරද නෙවෙයි හරිනං ඔහොම හැසිරෙන්න ඕන මං. ඒත් ශාරද කියන විදිහට එයා පංචලී ළඟට යන්න හේතුව හදල දීපු වරද මමනෙ. මගෙ නොලැබුණ මානසික සුවයක් හොයාගෙනනෙ ශාරද එතනට ගියේ”

ශාරද පංචලී දෙස බලා රැව්වේ ය. ඔහු වමත මිට මොළවා ගත්තේ ඇය ට පහර දෙන්නට ඒ අත එසවිය හැකි වෙතැයි සිතුණ බැවිණි. 

“මානසිකව එක තැනකයි කායිකව තව තැනකයි ජීවත් වෙන්න ඕන නෑනෙ ශාරද. අනික ඒක මොන වදයක්ද…ඊටත් වඩා ඔයා මානසික සුවයක් ලබන ගෑනිගෙ අනාගතේ ගැන ඔයා දරන වගකීම මොකද්ද…ඒත් අහිංසක ගෑනියෙක්නෙ. පිරිමියෙක්ට පණ ඇරගෙන ආදරේ කරපු ගෑනියෙක්නෙ. ඒ ආදරේ වෙනුවෙං ඔයා පංචලී ට දෙන සහතිකේ මොකද්ද..මටනං කසාද සහතිකේ කියල එකක් හරි දුන්නනෙ”

නිශාමනී ගේ කට කොනක් සමච්චලයට ඇද විය. ශාරද ඇය ට රවා බත් කටවල් කිහිපයක් කා ගෙන කා ගෙන ගියේ ය. 

“අපි බොරුවට මේ ගැන වාද කර කර ඉඳල වැඩකුත් නෑ මං හිතන්නෙ. මං විශාවාසයක් තිබ්බනං…ඔයා ඒක කඩල ඉවරයි. කොච්චර දුක වුණත් කොච්චර හීන මානයක් දැනුණත් මට ආයෙ ඔයාවනං එපා එපා එපාමයි”

එසේ කියත්දී නිශාමනී ගේ ඇසින් කඳුළක් විසි විය. ශාරද සේ ම ආකාස ද ඇදෙස බැලූයේ එකට ම ය. 

“කොහෙං හරි එකෙක් ලෑස්ති කර ගෙන ඇති දැං. ඒකයි හදිස්සියෙම දික්කසාද වෙන්න ඕන වුණේ. බලමුකො වෙන හැටි. තමුං කොච්චර දැඟළුවත් මං ඩිවෝස් එක දෙන්නෙ නෑ”

ශාරද ඒ දැඩි ප්‍රකාශයත් සමග කෑම මේසයෙන් නැගිට ගත්තේ ය. භයානක නිශ්ශබ්දතාවයක් ද ඝණ අන්ධකාරයක් ද තමන් ව වෙලා ගන්නවා නිශාමනී ට දැනිණ. මේ මොහොතේ නම් ඇය ට කඳුළු ආවේ ය. ඕ ගවුම් කරෙන් කඳුළු වල තෙත මාත්තු කළා ය.

“මේ ප්‍රශ්නෙ විසඳ ගන්න මීට වැඩිය හොඳ විදිහක් ඇත්තෙම නැද්ද…”

දුර ඈත මන්දාකිණියකින් නැගුණ මුණිවර හඬක් සේ ඇය ට ඒ බරසාර පිරිමි හඬ ඇසුණේ ය. ඒ හඬෙහි කැටි වූ තිබූ සංවේදනා කෝටි ගණනක් වෙන වෙන තාන වලින් වෙන් කර ගනිමින් ඇය සිය සන්තානය දිගේ දීර්ඝ සංචාරයක ගියා ය. ඒ අතරින් ඇය ට වඩාත් සංවේදනය වූයේත් වඩාත් බරට දැනුණේ ත් ආදරය කියනා හැඟීම ය. 

ඕනෑ ම මනුශ්‍යයෙකු ට ඕනෑ ම කෙනෙකුට ආදරය කළ හැකි බව ඇය හඳුනා ගත්තේ ආකාස ගේ මේ ස්වර තානයන් ගෙනි. කටහඬින් මිස ඔහු බැල්මකිනිදු ඇය ට වෙනස් හැඟීමක් දැනවූයේ නැත. සිය සහෝදරයා ගේ පතිණිය ට නියපොතු තුඩක පාපී ස්පර්ශයක් දැනෙන්නට ඔහු ඉඩ දී නැත. නිශාමනී ඒ ගාන්ධර්ව හඬ තුල ගැබ් ව තිබි ප්‍රේමයේ ඉසියුම් තත් කම්පනය හැඳින ගෙන බෝ කල් ය. නමුත් ඉන් කිසිවෙකුට හානියක් නොමැති බව ද, නිදහස් මිනිසෙකු ට ඕනෑ ම නිදහස් මිනිසෙකු ගැන ප්‍රේමයක් දැනිය හැකි බව ද, නමුත් එය තමන් ගේ හදවතට සීමා කර ගෙන සිටිත යුතු බව ද ඇය ඉගෙන ගත්තේ ආකාස වෙතිනි. මේ ගුප්ත, නිහඬ, ගැඹුරු ආදරවන්තයා ව දැක දැක ඇය නො දැක්කා සේ සිටියා ය. දැනුත් සිටින්නී ය.

“හොඳම විදිහ තමයි මල්ලි මේ…අපිට තවත් එක ජීවිතයක් ගැන හිතන්න පුළුවන් කමක් නෑ”

සිය හදවත පත්ල තර ව බදා වැළඳ ගත් ක්ෂණික හැඟීම කුමක් දැයි අරුත් පසිඳ ගන්නට තරම් ආකාස ඒ විශ්ලේෂණය කරන්නට ගියේ නැත. ඔහු ට තර්ක කර වෙනස් කළ හැකි ආස්ථරයක නිශාමනී ගේ තීරණාත්මක බව පැවතියේ ද නැත. එහෙයින් ආකාස සිය බත් පතෙහි ඉතිරි අර්ධය හිස් කළේ නිහඬව හිස පහළට යොමා ගෙන බත් පත පමණක් රස විඳිමිනි. පසුගිය දින ගණනාව පුරා කඩ කෑම වල නීරස බවින් අපුල් ගැන්වී සිටි ඔහු ට, මේ දිව බොජුනක් සරි බව සිහි විය. ජීවිතයෙහි රස ම තැන් මග හැර ගොස් බොහෝ මිනිසුන් නීරස තැන් හි නවාතැන් ගැනීම, සියලු හැල හැප්පීම් වලට හේතුව බව ඔහු ගේ යටි හිත යන්තමින් සිහිපත් කරමින් සිටියේ ය.

කෑම ගැනීමෙන් අනතුරුව ආකාස මිදුලට බැස්සේ ශාරද එහි වන සෙවනැලි දුටු නිසා ය. අයියා මලෝ ටික වෙලාවක් සුසුම් වලින් පමණක් සිය හදවත් වල වන අන්ධකාරය උනුන්ට දැනෙන්නට හැරියහ.

“මොකද්ද දැං මේකට කරන්නෙ…”

නිහඬ බව බින්දේ ආකාස ය. ශාරද නැවතත් කළේ සුසුමක් හෙළනා එක ය. 

“නිශාමනී හොඳටම හිත රිද්දගෙන ඉන්නෙ. වෙන ගෑනියෙක් වගේ පොළොවෙ හැපි හැපි ඇඬුවෙ නැතුවට…තමුසෙත් එක්ක රණ්ඩු ඇල්ලුවෙ නැති වුණාට…එයාගෙ හිත හොඳටම කැඩිල බිඳිල තියෙන්නෙ. ගෑනියෙක් ඒ වගේ දැඩි තීරණේකට එන්නෙ එහෙම තැනකදි. නැතුව තමුසෙ හිතනවද ඒක ලේසි දෙයක් කියල. ගෑනියෙක් ඩිවෝස් එකට කොච්චර බයද කියල තමුසෙ දන්නැති පාටයි”

ශාරද ආකාස දෙසට හෙලුවේ හැඟුම් විරහිත හිස් බැල්මකි.

“ගෑනු විතරක් නෙවේ මල්ලි. පිරිමිත් දික්කසාදෙට මාර බයයි”

ශාරද ඒ ටික කියා ගත්තේ උගුර යටිනි. අසීරුවෙනි. නමුත් මේ මොහොතේ එය නො කියා බැරි විය.

“මට දික්කසාදයක් ඕන වුණෙ නෑ ඕයි. කොටින්ම ශාමියි පොඩි එකියි අත් ඇරල වෙන කසාදයක් කර ගන්න කවදාවත් මට ඕන වුණෙ නෑ. තමුසෙවත් මාව විශ්වාස කරනව මල්ලි”

එවර නම් ශාරද ගේ හඬ බිඳිණි. ආකාස අයියා ට නො දැනෙන සේ හුස්මකින් පෙනහලු පුරවා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles