ඈත දුර ආකාසේ -05

“ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාලගෙ නංගි ඔයාවත් නරක් කරනවා කියලා..”

දියත උද්‍යානයට හිරු බැස යමින් පැවති හැන්දෑවක ආදිත්‍ය ඇසූයේ බීම වීදුරුවේ පිපෙන සීත බිඳිති මත ඉරි අඳින තුරුලිගෙනි.ඇයට මේ මොහොතේ උවමනා කර තිබුණේ උණුසුම් පානයකි.එහෙත් ආදිත්‍ය ඇගෙන් නොවිමසාම ගෙන ආවේ සීත බීමකි.

“එයා ඉතිං වෙනස්නෙ.”

ඇය කෙටි පිළිතුරකින් සෑහීමට පත් වන්නට සිතුව මුත් ආදිත්‍ය උපහාසයට බර සිනාවක් පැලැන්දේ ය.

“කැම්පස්නෙ.ඔයිට වඩා දෙයක් හෝප් කරන්න බෑ..”

දැන් විනාඩි ගණනක්ම ගත වන්නේ තුරුලිට සරසවි යන්නට නොදුන් තීරණයේ බුද්ධිමත් බව පවසන්නට බව ඇය දැන සිටියා ය.ආදිත්‍ය බොහෝ පූච්චානම් දොඩන මාතෘකා අතර එයට හිමි වූයේ ඉහළම තැනකි.

“ඔයා උනත් රට පණ්ඩිතකම් ඔක්කොම පුරුදු වෙනවා බබා ඕකට ගියානම්.සතියෙන් සතිය කොල්ලො මාරු කර කර රස්තියාදු ගහගහ අර එක්ෂිබිෂන් මේ කොන්සර්ට් කියකියා නාස්ති වෙලාම යනවා..”

තුරුලි කිසිත් නොපැවසී ය.ඔහු ඕනෑ දෙයක් කියන තුරු ඇය ඔහේ අසා සිටියා ය.සඳලි නම් රනුක වුවද තුරුලිගේ වරදක් දකිද්දී එය හැකිතාක් සාධාරණීකරණය කරන්නට යත්න දැරුවා ය. නමුත් තුරුලි ආදිත්‍ය අතින් ඕනෑ පදමට අපහාසයක් තමන්ගේ අයට අපහාස වෙද්දී පවා දරා සිටියා ය.

“එයාගෙ අර ගමේ බුවා පේන්නවත් නෑ ෆොටෝස්වල.ගෑනි එක එක කොල්ලන්ගෙ කරේ නැගලා ෆේස්බුක් එකට ෆොටෝස් දානවා.මෑන් අනුරාධපුරටත් එහා ඩොටේක නිසා මෙයාට ඇන්දිලා ඇති හොඳට.නෑ බබා මට හිතෙන්නේ මිනිහා තාත්තගෙ ඉතාලි සල්ලිවලට කෙළ හලනවා ඔය..”

රනුක ගොවි පවුලක දරුවෙකු වුව ද තාත්තාගේ රුපියලකුදු දෙයක් ලබා ගෙන නැතැයි කියන්නට තුරුලිට උවමනා විණි.එහෙත් ඈ කිසිවක්ම නොපැවසුවා ය.

“රනුක ඉන්ජිනියරිංනෙ කරන්නෙ ආදි.එයාට ඉස්සරහට තාත්තගෙ සල්ලි ඕන වෙන් නෑ.හොඳ කම්පැනි එකක වැඩට ගියෑකිනෙ..”

තුරුලි යාන්තම් එවගක් පවසා ගන්නට සමත් වූවා ය.ආදිත්‍ය දිය හැකි නපුරුමද් බැල්ම දෑසට ඇඳ ගත්තේ ය.

“ඇයි අරූ උගෙ ගෑනිට හොරෙන් උඹටත් ලව් ටෝක් දැම්මද..ඌ ඒ ජාතියෙ එකෙක් කියලා මට නම් හිතුණා ඒත්..”

සත්‍ය කතාව ආදිත්‍ය නම් තුරුලිට හොරා කිහිප වතාවක් සඳලිට ඇමතුවේ ය.අක්කාට නොව තමන් මුලින්ම ප්‍රේම කළේ ඇයට බවත් පණිවිඩ කාරයාට සඳලි සහ තුරුලිගේ නම් පැටලවුණු බවත් ඔහු නිර්ලජ්ජිතව සඳලිට කිහිපවතාවක්ම පැවසුවේ ය; ඇගෙන් හොඳහැටි අසා ගන්නට ද සමත් විණි.තුරුලිට එවගක් නොකියන්නට සඳලි ප්‍රවේසම් වූයේ අක්කා ගැන සැබෑ වේදනාවකිනි.නමුත් ඉන් වාසිය අත් කර ගත්තේ ද ආදිත්‍ය ය.

ආදිත්‍ය සඳලිටත් රනුකටත් ආඩපාලි ගසමින් හුන් හැන්දෑ වරුවේම ඔවුන් දෙදෙනා තුරුලි ගැන කතාබහක පැටලී සිටිය හ.මියුරුගේ ආගමනය සඳලිට වූයේ ඉසියුම් සතුටකි.නමුත් මියුරුට ජය හිමි කරගැනීම ඇත්තේ සෑහෙන දුරක බව ඇය දැන සිටියා ය.

“මේක නිකං රියැලිටි එකක බැට්ල් රවුන්ඩ් එකක් වගේ මටනං දැනෙන්නේ..”

සඳලි හිනැහෙමින් කීව ද ඈ වසා තිබුණේ වේදනාවකි.අක්කා නොනවත්වාම දුක වැලඳ ගැනීම ගැන වේදනාවකි.ඇය ඉන් මුදවා ගන්නට මියුරු පාලමක් වන බව සඳලි සිතමින් සිටියා ය.

“හැබැයි මේකෙදි කෝච්ගෙ සම්පූර්ණ කැමැත්ත තියෙන්නේ කැතටම සින්දු කියන කෙනාට.”

රනුක සඳලිගේ වේදනාව අඩු කරන්නට විහිලුවක් සොයාගත්තේ ය. නමුත් එය ඉඳුරාම සත්‍යයක් ද විණි.අතැර දැමිය යුතු මිනිසෙකුට නොනවත්වාම ජයග්‍රහණය හිමි කර දෙම්න් තුරුලිට ජීවිතය දිනන්නට ඇති ඉඩ ඉතාමත් අඩු ය.

“හැබැයි මට තව දෙයක් හිතෙනවා සඳූ..අපි ඔය ආදිත්‍ය කාරයා තුරුලිගෙන් අයින්ම කරත් එයාට ටික කාලයක් නිදහසේ ඉන්න දුන්නොත් හොඳ නැද්ද..ඔය හිතේ තුවාල එක්ක එයා ආයේ අලුත් රිලේෂන්ශිප් එකක් පටන් ගත්තොත් ඒක මියුරුට නෙවේ එයාට ළං වෙන කාට උනත් වේදනාවක්..”

රනුක පැවසුවේ ඔහු බොහෝ වෙලාවක් සිතමින් සිටි දෙයකි.ආදිත්‍ය නිසා පෑරුණු හිතකින් පසුවන තුරුලි අතින් වෙනත් පෙම්වතෙකුට ආදරයක් නොලැබෙනු ඇතැයි ඔහුට සිතිණ.

“මේ වගේ ගොං මූසලයෝ නැති ලෝකෙ ලස්සනයි කියලා අක්කට දැනෙන එක ඊට වඩා හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ රනුක.එතකොට අක්කට හිතෙයි මෙච්චරකල් හිටියේ අපායක කියලා..”

සඳලි එසේ පැවසුවේ ආදිත්‍යගෙන් අක්කා මුදා ගන්නට කළ හැකි සියල්ලම කරන්නට තදබල තීරණයකට එළඹෙමිනි.නමුත් ආදිත්‍ය සමඟ එය පහසු නැති බව ද ඇය දැන සිටියා ය.බොහෝ ගැහැනු ළමයින් මුහුණ දෙන වීඩියෝ හෝ ඡායාරූප මුදා හැරීමේ ඛේදවාචකය ගැන අක්කා බිය වූයේ නැත.

“මං අයින් උනොත් ආදි මැරෙනවමයි කියනවා නංගි.මතකනෙ තාත්තා බැනලත් එයා ස්ලීපිං ටැබ්ලට්ස් ගත්තු හැටි.අනේ ඒ ගෙදර එකම පුතා නංගි.මං හින්දා එයා මැරුණොත්..”

අක්කා එසේ නාහෙන් ඇඬූ දාක ” ඒ කාලකන්නියා එකපාර මැරුණා වගේ නෙවේ ඔයා හැමදාම මැරිමැරී උපදින එක” යැයි සඳලි බැන වැදුණා ය.

“ඔය ආදිත්‍යට හොඳ කවුන්සලර් කෙනෙක් හොයන්න ඕන රනුක” ඇය ඒ මතකය දිග ඇවිදිමින් රනුකට එසේ පැවසුවේ එබැවිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles