“උඹ එහෙම කිව්ව එක එවෙලෙ හොඳයි කියල කිව්වට මට දැන් බයත් හිතෙනව මිලින්දය මොනව කරාවිද කියල?” කාවින්දි කිව්වේ නදී සියලුම විස්තරේ ඇගේ කණේ තිබ්බයින් පස්සේය. එවෙලේ චන්ද්‍රකාන්ති උන්නෙත් කෙල්ලන් දෙදෙනාට බොන්නට තේ වක්කරගෙන විත් නදීගේ කාමරයට එබෙමිනි.
“මටත් ආන් ඒ බය නම් තියෙනවා” කියා චන්ද්‍රකාන්ති කියද්දී නදීත් කාවින්දිත් එකිනෙකා දෙස බැලුවේ වෙනදාට ඕන දේකට කට සැර ආච්චි අද බයෙන් ද තිගැස්මෙන්ද ඒ වචන එලියට දාපු එක ගැනය.
“ඔහොම ඉතින් බයෙන් ඉන්න ගියොත් ජීවත්වෙන්න වෙන්නෙ හැමෝටම ඔලුව නවාගෙන. අපිත් මේ වත්තෙ මිනිස්සුනෙ. මොකටද බයවෙන්නෙ” නදී කිව්වේ කොහෙන්දෝ ආව හයියකිනි. එහෙත් ඒ හයියම ගැහැණියකට වෙලාවකට අනතුරක් කරන්නට හේතු වන්නටත් හැකි බව චන්ද්‍රකාන්ති දැන උන්නාය.
“උඹ බය නැති එකයි මට තියෙන ලොකුම බය කෙල්ලෙ. මොන දේ උනත් උඹට හයියකට කියල කෙනෙක් නෑනෙ. ඕකුන් මහ නොසන්ඩාලයො, ගෙට පැනල උඹව කුදලගෙන යන්න හැදුවොත් මොකෝ මං උන් එක්කල පොර බදින්නද? අප්පෙක් කියල එකෙක් ඉන්නව ඌ බැලුවොත් ඇත්තන් බීගත්ත ගමන්”
“ආච්චි බයවෙන්න එපා. මම බය නෑ ඌට. මොනව කරන්නද ඌ මට? ගෑණු කියල ඔහොම බයට හිටියෙ ඉස්සර ආච්චි, දැන් ගෑණුන්ට එහෙම ඉන්න බෑ මේ පොළොව උඩ පයගහල ඉන්න ඕන නම්”
“බය නැති එක හොඳයි කෙල්ලෙ. ඒ උනාට ගෑණියෙක් ඕනවට වඩා බය නැති එකම තමයි කවදහරි ඒ ගෑණිව බිලිගන්න පාරාවලල්ලක් වෙලා එන්නෙ. පිරිමි කැමති නෑ බං ගෑණු බය නැති උන් වෙනවට. මොකද උන් දන්නව එතකොට උන්ට තව දුරටත් ඒ ගෑණුන්ව යටත් කරගෙන බය කරගෙන ඉන්න බැරි බව. උන් ඒකයි කැමති ගෑණු බය වෙලා ඉන්නවට. බය නැති ගෑණුන්ට තමයි පිහි පාරවල් කන්න වෙන්නෙ, ඇසිඩ් පාරවල් කන්න වෙන්නෙ. අපි වගේ තැන්වල ගෑණුන්ට විතරක් නෙවෙයි කෙල්ලෙ ඕනම තැනක ගෑණියෙක්ට බයෙන් ඔලුව පාත් කරන් ඉන්න තාක්කල් විතරයි ජීවිතේ බේරන් ඉන්න පුලුවන් වෙන්නෙ”
චන්ද්‍රකාන්ති එසේ කියා කාමරයෙන් එලියට ගියේ ලොකු බරක් නදීගේ හිත අස්සේ තියාය. ආච්චි කිව්වේ බොරුවක් බව හිතන්න නදීට පුලුවන්කමක් නැත. තමන් එදා මිලින්ද ඇසූ දෙයට උත්තර දෙද්දී මිලින්දගේ ඇස් අස්සේ දැල්වුන කෝපය නදීට අමතක කරන්න හැටියක් නැත.
“මං දන්නව නංගිට එහෙම එකපාර උත්තරයක් දෙන්න බෑ, තාත්තගෙන් එහෙමත් අහන්න ඕන ඇතිනෙ. ඒ උනාට මං කැමතියි නංගිගෙන් පොසිටිව් ආන්ස්වර් එකක් අරගෙනම ගෙදර යන්න. හිත සන්තෝසෙන් මට අද නිදාගන්න ඇහැකි නංගියා එතකොට. මෙච්චර දවසක් මේක අහන්නෙ කවද්ද කියල හිත හිත ඉඳල මට නින්ද ගියේ නෑ”
“මං කැමති නෑ අයියෙ” මිලින්ද බලාපොරොත්තුවෙන් උන්නේ එයට හාත්පසින්ම වෙනස් උත්තරයක් අහන්නට බව දැන උන්නත් නදීට කියන්නට තිබුනේ වෙන කතාවකි. මිලින්දගේ දෙනෙත් කුඩා වුනේ ඒ බලාපොරොත්තු නොවුන උත්තරේ හන්දාය.
“හදිස්සියක් නෑ නංගි, ඔයා කලබල වෙලා උත්තර දෙන්න ඕන නෑ, හොඳට හිතල කියන්න” මිලින්ද වචන ගැටගහගත්තේ මේ අපහසුතාවයෙන් මිදෙනු පිණිසය.
“නෑ අයියෙ මේ හොඳට හිතල තමයි මම උත්තර දුන්නෙ” නදී කිව්වේ එක එල්ලෙ මිලින්ද දෙසම බලාගෙනය. නදීගේ ඇස්වලින් වාශ්ප වී ආ කුමක් හෝ දරාගන්නට නොහැකි සැරක් තම දෙනෙත පුච්චනවාක් මෙන් දැනුන හන්දා මිලින්ද මොහොතකට අහක බැලුවේය. කවුරුන් හෝ මේ දෙස බලා ඉන්නවාද කියා සෙව්වේය.
“ඇයි අකමැති?” මිලින්ද වනාහී කුමනාකාරයේ සර්පයෙක්ද වග නදීට තේරුනෙ කෝපය නිසා එකපාර වෙනස් වූ ඔහුගේ කටහඬෙනි. ඒ මෙතෙක් වේලා සත්‍ය ප්‍රේම භෘංගරාජයාගේ වෙස් ගෙන රඟපෑ මිලින්දගේ කටහඬ නොවේ.
“අපි පොඩිකාලෙ ඉඳල දන්න බව ඇත්ත අයියෙ. මම කවදාවත් අයියා ගැන ඒ විදියට හිතල තිබුනෙ නෑ. අනික මම මේ හැමදේම කරන්නෙ අයියෙ ගොඩයන්න. මට මුලු ජීවිත කාලෙම අපෙ ආච්චිල තාත්තල වගේ මේ වත්තෙම ඉන්න ඕන නෑ. ඒ හන්ද මම හොයන්නෙ අයියෙ හරිහමං රස්සාවක් එහෙම කරන, මට මෙතනින් එලියට යන්න උදව් කරන කෙනෙක්ව. මං දන්නවනෙ අයියට ඒක කරන්න අමාරු බව. අනික මට කවදාවත් අයියා ගැන ඒ විදියට හිතන්නත් බෑ. ඒ නිසා මම කැමති නෑ. අයියට වෙන මට වඩා හොඳ කෙනෙක් හම්බුවෙයි” නදී එහෙම කියා ආපසු හැරී ගෙට යන්නද හැදුවද මිලින්ද එයට ඉඩක් දුන්නේ නැත.
“දැන් නංගිට තියෙන ප්‍රශ්නෙ මට රස්සාවක් නැති එකනම් හරි මම රස්සාවක් හොයාගත්තොත් නංගි කැමති වෙනවද?”
“නෑ අයියෙ, සොරි තරහ වෙන්න එපා. මට අයියා ගැන එහෙම දෙයක් හිතන්නවත් බෑ. අපි මේ එකට පොඩිකාලෙ ඉඳල සෙල්ලම් කරපු අයනෙ. ඉතින් කොහොමද එහෙම දෙයක් හිතන්නෙ?” කියා නදී ගෙට රිංග ගත්තාය. මිලින්ද ආපසු හැරී ගියේ තව මොහොතක් එතන නතර වී බලා ගෙන ඉඳය. ඒ ද “හරි එහෙනම් උඹ එහෙමයි නේද?” කියා හිතුවිල්ලක් හිත අස්සේ පැලවී ගෙන එද්දීය.
චන්ද්‍රකාන්ති කිව්වේ ඔන්න ඔය බය ගැන ය. සතියක් පමණ නදී මිලින්ද “දැන් මොකක් හරි පිස්සුවක් කරාවි” කියා බලාගෙන උන්නත් සුපුරුදු ලෙස ස්පීකරෙන් සින්දු දාගෙන උන්නට වෙන කිසිම දෙයක් කරේ නම් නැත. බාගදා මිලින්ද ලැජ්ජාව නිසාම කරබාගෙන ඉන්න හිතුවා යැයි නදී හිතුවාය.
ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ සංවත්සර පාටිය ආවේ ඔන්න ඔය අතරේය. රු. තුන්දාහක් දී මංජරී එකෙන් නදීට පාටියට අඳින්නට ඇඳුමක් අරගන්නට ගියේ නදීත් කාවින්දිත් ය. “හැමෝම ගවුම් තමා ඇඳන් එන්නෙ” කියමින් පත්තරේ දුටු මෝස්තරේකට අනුව යමින් කලු පාට කලිසමකුත්, කලු පාටින්ම දිලිසෙන ගල් ඇල්ලූ අත් දිග හැට්ටයකුත් මංජරී එකෙන් අඩු ගාණට අරගන්නට නදීටත් කාවින්දිටත් පුලුවන් විය.
“දැන් මොකද්ද මේකට දාන සපත්තු?” කියා කාවින්දි අහන්ද්දී ඔෆිස් දාන සෙරෙප්පු දෙකම දාන්න පුලුවන් බව නදී කිව් හන්දා ඇඳුමට ගැලපෙන එල්ලෙන කරාබු ජෝඩුවක් පමණක් ගන්නට නදීට උදව් කරාය.
“දැන් ඔය ඉස්සර වගේ ලොකුවට මේක අප් දාන් යන්නෙ නැ, අපි පොඩි මේකප් එකක් දාමු” කියා පාටිය දවසේ නදීව එතන ඉන්න අනිත් කෙල්ලන් හා පෑහෙන්නට පුලුවන් අන්දමේ මනුස්ස ස්වරූපයකට ගෙන එන්නටත් කාවින්දි අත දුන්නාය.
නදී උන්නේ පොඩ්ඩක් විතර බයකින් බව අමුතුවෙන් කියන්න ඕන නැත. මීට කලින් මෙහෙම ලොකු හෝටලේක පැවැත්වෙන පාටියකට තියා මගුලකටවත් නදී ගොසින් නැත. නදීලා වැනි මිනිස්සු දන්න පාටි යනු ඔය නත්තල් කාලෙට වත්තෙ මිනිස්සු එක්කහු වෙලා කරන කන බොන පාටි හෝ ඉඳ හිටක තියෙන ඇට් හෝම් එකක් හෝ කෙල්ලෙක් වැඩිවිය පත්වීම වෙනුවෙන් තියෙන පාටිය. ඒ ඇරෙන්න මේ වගේ වෛවර්ණ ඇඳුම් ඇඳ, මේකප් දාගෙන යන පාටි නදීලට හීන ය. වත්තෙ පාටි ඉතින් කෙරෙන්නේ වත්තෙ මිනිස්සු සියල්ලන්ගේම සහයෝගයෙනි. කසිප්පු පෙරන විසප්පු කපිලගෙ පොට් එකෙන් සපයන මත් පැන් ද, මිලින්දගේ සද්ද අනුග්‍රහයෙන්ද, හැම ගෙදරකින්ම පාහේ එන මඤ්ඤොක්කා පිඟානක්, ඌරු මස් පිඟානක්, කඩල බැඳුමක් වගේ එකකින් පිරිමැහෙන අන්දමේ පාටි මිසක් මේ කේක් කපා, වයින් බිබී දමන පාටි සංස්කෘතිය අල්විස් වත්තටත් එහි වෙසෙන මිනිස්සුන්ටත් බොහෝ ඈතින් රැඳුණකි.
නදී ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ සංවත්සර පාටිය පැවැත්වෙන හෝටලයට යන්නට කතා කරේ වස්තුටය. “හත වෙද්දි විස්සෙ කණුව ළඟට එනෝ හොඳේ” කියා නදී කියු පණිවිඩයට අනුව වස්තු හතට පහක් තියා විස්සෙ කණුව අද්දර වීල් එක නතර කරගෙන උන්නේය. නදී ගෙදරින් එලියට බැස්සේ පොඩ්ඩක් විතර ලැජ්ජාවෙන් ය. මීට කලින් මෙහෙම ලකේට ඇඳගෙන මේකප් දාගෙන තමන් මේ ගෙදරින් එලියට බැස නැත. මේවා ඉතින් වත්තෙ උන්ට මාසයක් විතර කතා කියන්නට හේතුවන බව දන්නා උනත් ගේ අස්සට වී ඉන්න හැටියක් නැති නිසා “වැඩිය කවුරුවත් එලියෙ ඉන්නවද කියා බලපං” කියා කාවින්දිව ඔත්තු බලන්නට දමා නදී ගෙයින් එලියට පැනගත්තාය.
වෙලාවද අවේලාවද මන්දා කොහෙදෝ රස්තියාදුවක ගිහින් උන් මිලින්දයාද ගෙට ඇතුල් වෙන්න ආවේම ආන් ඒ මොහොතේමය.
උගෙ ඇස් දෙක තිබුනේ නළලේය.
කට ඇරී තිබිච්ච විදිහට හැන්දෑව වෙද්දී රාජකාරිය සඳහා එලියට බහින මදුරුවන්ද කට අස්සට රිංගුවාද කොහෙද කියාත් නදීට හිතුණි.