නදී කීයටවත් එහෙම දෙයක් අහවි කියා මියුරු හිතා තිබුණේ නැත.
“එහෙනම් සර් මට මෙහෙම දෙයක් දෙන්න හේතුවුන හොඳ අදහස මොකද්ද?” කියා නදී අහද්දී ඇත්තටම කරකියාගන්න දෙයක් මියුරුට තිබ්බේ නැත. ඇත්තට මෙහෙම දෙයක් දෙන්න තමන්ගේ හිතේ තියෙන අදහස හොඳ එකක් බව ඇත්තක් උනත් ඒ අදහස නදීටත් හොඳ එකක් විදියට පෙනේවිද කියා මියුරුට සැකය.
“ඔව් මං ඔයාට ආදරෙයි” කියා කිව්වත් නදී කියන්නෙ කණට දෙකක් ගහන්න පුලුවන් අන්දමේ කෙල්ලෙක් බව මියුරුට හිතුනේත් මේ වෙලාවේය. එදා බීගෙන නටද්දී නම් ඔයා කතා කරේ ඔහොම නෙවෙයිනෙ කියා කියන්න හිතුනත් මේ ගෑණි එක්ක ඕව නම් කරන්න පුලුවන් සෙල්ලම් නොවන බව තේරෙන හන්දාම මියුරු උන්නේ ලොලිපොප් එකක් ගිලිච්ච පොඩි එකෙක් වගේ කට අස්සෙ වචන හිරකරගෙනය.
“මං සර්ට කලිනුත් කිව්වනෙ, එදා මම හිතල බිව්වෙ නෑ සර්. කවුරුහරි මගේ ඩ්‍රින්ක් එකට මොනා හරි දාලා තිබිලා නිසා තමයි මම එදා ඒ ඩාන්ස් කරල එහෙම තියෙන්නෙ. මට කට්ටිය කිව්වා මම සර්ගෙ ඇඟේ එල්ලිලා නැටුවා කියල. ඒකට අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි සර්. හැබැයි මම ඒක හිතලවත් සර්ව එහෙම අල්ලගන්නවත් උවමනාවක් නෑ සර්.
සර් මේ තෑගි බෝග දීලා බලාපොරොත්තු වෙන්නෙ එහෙම දෙයක් නම් අයෑම් සොරි සර්. මම එහෙම කෙල්ලෙක් නෙවෙයි”
නදී කටර් එකවගේ කියාගෙන කියාගෙන ගියාය.
මියුරු උන්නේ අම්මා මුත්තා මතක් වෙන අන්දමට තක්බීර් වෙලා කිව්වොත් ආන් ඒ කතාව සහතික ඇත්තකි. නදී මේ කියන්නේ හීනෙකින්වත් තමන් හිතලවත් තිබ්බෙ නැති ඒවාය. තමන් වනාහී මේ කෙල්ලන් දිහා එහෙම ලේසියෙන් බලන එකෙක් නොවන බවත් කෙල්ලෙක් බීගෙන ඇඟේ නටපු පලියෙන් දපන වැටෙන්නෙ තරම් තමන් ලොන්තයෙක් නොවන බවත් නදීට හොඳවයින් දෙකක් කියන්න හිතුණත් ඔක්කොම මරාල ඔලුවට දාගත්තේ මේ ෆෝන් කට්ටක් යූස් කරන එකියකට ඇපල් දෙන්නට ගිහින් තමන්ගේම අත් දෙකෙන් හන්දා මියුරු කටවහගෙන උන්නේය.
“සර් හිතන්න එපා මෙහෙම මේ එක එක දේවල් දීල නම් මාව අල්ලගන්න පුලුවන් වෙයි කියලා” දාගෙන ඉන්න පෝනිටේල් එක ගස්සමින් නදී කියන්නේ හෙන ලොකු ලයින් එකෙන් ය. ඒ උනාට හිත අස්සේ ඇය ගැන ආදරයක් තියෙන හන්දා බණින්නත් බැරිය. ඒ උනාට මෙහෙම කට වහන් ඉන්න එක නම් තමන්ගේ පිරිමිකමට මදි කමකි.
“හරි එහෙනම් මට කියන්නකො මං මොනව කරොත් ද මට ඔයාව අල්ලගන්න පුලුවන් කියලා” මියුරු ඇහුවේ හොඳින් හෝ නරකින් හෝ මේ කතාව හොඳ තැනකින් ඉවර කරගන්න හිතාගෙනය.
“මොකද්ද?” නදී ඇහුවේ තක්බීර් වෙලාය.
“මං ඇහුවෙ මං මොනව කරොත් ද මට ඔයාව අල්ලගන්න පුලුවන් කියල” මියුරු ඇහුවේ තව අඩියක් ඉස්සරහට තබමින් නදී ළඟට ලං වෙමිනි.
“මොකටද මාව අල්ලගන්නෙ?” නදී ඇස් දෙක පුංචි කරගෙන ඇහුවේ මේක මාර ප්‍රශ්නයක් හන්දාය.මියුරු රදන්පොලට තමන්ව අල්ලන්න තියෙන හේතුව මොකද්ද කියා හිතාගන්නටවත් නදීට බැරිය. ඔහුට උවමනා කාවින්දි කිව්ව ආකාරයට තමන් එක්ක යාලුවෙන්න නම් මේ අල්ලගන්න කතාවක් කිය කිය නාඩගම් නටන්නේ මොකටදකියා නදීට හිතාගන්නට බැරිය.
“මට ඕන හන්ද” කියා මියුරු තව අඩියක් ඉස්සරහට තියද්දී ඔහු දැන් දැන් තමන්ව අල්ලාවි යැයි හිතා නදී බෑග් එකත් පපුවට තුරුලු කරගෙන අඩියක් දෙකක් පස්සට තිබ්බාය. ඒ “මූ මේ මොකාටද එන්න හදන්නෙ?”” කියා හිතන ගමන් ය.
“මාර කතාවක්නෙ ඒක. එහෙම මේ එක එක අයට ඕන විදියට අල්ලන්න නෙවෙයි මම මේ මෙහෙ වැඩට ආවෙ”
“මෙතන වැඩට එන ඕන කෙනෙක්ව මට ඕන නම් මම අල්ලනවා”
“මේ මේ ඒවට නම් එන්න ලෑස්තිවෙන්න එපා මහත්තයො හොඳේ? මහත්තයල ඉපදිච්ච පොළොවෙම තමා අපිත් ඉපදුනේ. ඔය සෙල්ලම් වානා මාත් එක්ක හරිද?” නදී ඒක කිව්ව විදියට මියුරුට බකස් ගා හිනා යන්න ආවත් මේක හිනාවෙන්න හොඳ නැති මොහොතක් බව හිතා මියුරු හිනාව දෙතොල් මතට එන එක වළක්වාගත්තේ පුදුම අමාරුවකිනි.
“ඇයි ඔයාව මොනවා කරන්නද? මේක මගේ ඔෆිස් එක, මේ ඔෆිස් එක ඇතුලෙ මම මොනදේ කරත් මේකෙ ඉන්න අය ගන්නෙ මගේ පැත්ත. ඔයා හිතනවද මේ කවුරුවත් ඔයාගෙ පැත්ත ගනී කියල”
අන්න ඒක ඇත්තය.මේවයි මේ පඩිවලට වැඩ කරන්න ආ පලියට තමන්ට මොන විදියෙ ප්‍රශ්නෙකට මූණ දෙන්න උනත් මෙතන ඉන්න උන් ගන්නේ මේ යකාගේ පැත්ත බව නදීට අමුතුවෙන් තේරුම් කර දෙන්න උවමනා නැත. සල්ලි තියෙනම් මිනිස්සුන්ට මිනී උනත් අන්තරස්දාන කරන එක මහ දෙයක් නොවන බව විස්සෙ කණුවෙ අල්විස් වත්තෙ එකියකට අමුතුවෙන් කියන්න ඕන නැත. එහෙත් එහෙමයි කියා මෙහෙම අසාධාරණයක් වන තැනක සද්ද නැතුව ඕව අහන් ඉන්න එක අල්විස් වත්තෙ එකියකට තරම් මදිය. මේ යකා කියන කතාවලට ඇඟ පොඩ්ඩක් ගැහෙනවා වගේ දැනුනත් කට අරින්න නදී තීරණය කරේ අන්න ඒ හන්දාය.
“අපෝ ඔව් මම නෑ කියන්නෙ නෑ, හැබැයි මම එහෙම මේ ලේසියෙන් කාටවත් මගෙන් ප්‍රයෝජන ගන්න ඉඩ දෙයි කියල නම් හිතන්න එපා හොඳේ. මට හිතුනා තෑගි බෝග දික්කරගෙන එද්දියි වස්තු මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ද කියලා අහගෙන කරගෙන එද්දියි මොකක් හරි දේකට වෙන්නැති කියල.
හැබැයි මං හිතුවෙ නෑ කීයටවත් ඒ මෙහෙම දෙයකට කියලා” බෑග් එක නදී පපුවට තුරුලු කරගෙන උන්නේ ආරක්ශා වන්නට වගේය.ඕන නම් ඉතින්කරන්න පුලුවන් එකම දේ මියුරු ළඟට ආවොත් මූණ සමතලා වෙන්න බෑග් එකෙන් පාරක් දෙන එකය.
“ලස්සන මූණ චුරු පට්ටං උනයින් පස්සෙවත් ආයෙ ගෑණුන්ට එක එක ඒව කියාගෙන යන එක නතර වෙයිනෙ” නදී එහෙමත් හිතුවාය.
හැබැයි මියුරු නම් හිතමින් උන්නේ වෙන දෙයකි.
“එහෙනම් ඔයා හිතුවෙ මං මොන වගේ දේකට එනවා ඇති කියලද?”
මෙච්චර වෙලා අඩියෙන් අඩිය තියමින් නදී ඉස්සරහට එමින් උන් මියුරු මේ වෙලාවේ කෙලින්ම ඉස්සරහට එන්නෙ නැතුව පොඩ්ඩක් විතර වටෙන් යන්න හිතුවේ කෙල්ලව තව චුට්ටක් විතර බය කරන්න හිතාගෙනය.මෙහෙම ආතල් ඉතින් ලේසියෙන් ජීවිතේට සෙට් නොවෙන ඒවා හන්දා වෙලාව අරගෙන ඒ ආතල් එක ගන්නට මියුරු හිතුවේය.
“මගෙ ලඟට එන්න එපා, ඔතනින් ඉන්න, එන්නෙපා”
“මාර කතාවක්නෙ, මේක මගෙ ඔෆිස් රූම් එක, මේ රූම් එකේ මට ඕන තැනක යන්න අවසර තියෙනවා. ඔයා කොහොමද එහෙම මට ඕඩර්ස් දෙන්නෙ? මමනෙ බොස්”
“ඔව් මම නෑ කිව්වෙ නෑනෙ, ඔයා ඕන තැනක මේ.ඔෆිස් එකේ ඇවිදින්න, මට කිසිම ප්‍රශ්නයක් නෑ, හැබැයි මම මෙතනින් ගියාට පස්සෙ, දැන් ඔෆිස් වෙලාව ඉවරයිනෙ. ඒ නිසා මට මේ ඔෆිස් එකෙන් එලියට යන්න අවසර තියෙනවා. සෝ ලෙට් මී ගෝ” නදී උත්සහ කලේ මියුරු දකුණු පැත්තේ මේසය අයිනෙන් තමන්ගේ පැත්තට ඇවිද ගෙන එද්දී මේසයේ වම් පස පැත්තට ගොස් මියුරුව රවට්ටා කාමරයෙන් එලියට පැනගන්න බලාගෙනය.
නදී කපටිය.හැබැයි මියුරු ඒ වගේ දෙතුන් ගුණයක් කපටිය.නදී මේ හීන් සීරුවේ ලිස්සා යන්න හදන්නේ එලියට පැනගන්න බව තේරුම් ගන්න බැරි තරම් මොට්ටයෙක් නොවේ මියුරු.
“යන්න දෙනවා හැබැයි ඊට කලින් මං අහපු දේට මට උත්තර දෙන්න ඕන” මියුරු ඇහුවේ අත් දෙක පිටිපස්සට කර බැඳගෙන නදී දිහාම බලමිනි.
“මොකද්ද?””
“ ඔයා හිතුවෙ මං මොන වගේ දේකට එනවා ඇති කියලද?”
“මං මොකක්වත් හිතුවෙ නෑ.මං මොකටද ඔයා එන්නෙ මොකාටද කියල හිතන්නෙ.ඒක හිතන්න ඕන ඔයානෙ” කියා නදී ටක්ගාලා බෑග් එකත් තුරුලු කරගෙන ටාර් ගා කාමරයෙන් එලියට පනින්න ගියත් මියුරු ඊට ඉක්මන් වුණේය. නදී කාමරයෙන් එලියට යන්න පැන්නේත් මියුරු ඉස්සෙක් වගේ නදී දිහාවට පැන්නේත් එකම වෙලාවකය.
පනින්න ගිය නදී මියුරුගේ අතක පැටලී ඇදී ඇවිත් නතර උනේ මියුරුගේ ක්ලයිව් ක්‍රිස්ටියන් සුවඳ හමන පපුතුරේය. දෙනෙත් එකිනෙක ගැටුණි. දෙතොල් වෙව්ලුණි.
“ඇයි?”” කියා නදී ඇහුවේ ඒ වෙව්ලන දෙතොලිනි.
“මං එන්නෙ මොන වගේ දේකටද කියල තේරුණේම නැද්ද? ම්ම්ම්ම්ම්ම්” මියුරුගේ හඬ ඇදී ආවේ වඩා ආදරබරව හිරිගඩු පුබුදුවමිනි.