මියුරු පෙම් වසන්තේ – 25

උදේ පාන්දරම ඊමේල් එකට ඇවිත් තිබ්බ වෝනින් නෝටිස් එක සනුකිගේත්, ලිඩියාගේත්, තේමියගේත් දෙලොව රත් කරන්නට හේතුවෙච්ච එකය. නදීගේ බීම එකට ඇල්කොහොල් එක්කහු කරන්නට හේතුවෙච්ච එක එච් ආර් එකෙන් වෝනින් ලෙටර් එකක් එන්න හේතුවක් වීම ගැන තුන්දෙනාම උනේ බයවෙලාය.

“කවුද බං කම්ප්ලේන් කරන්න ඇත්තෙ?” සනුකි ඇහුවේ උදේ කෑම වෙලාවේ කැන්ටිමේ කෙලවරකට වී ලිඩියාත් තේමියත් එක්ක හීන් සැරේ කොඳුරන ගමන් ය. මූණේ කොච්චර මේකප් තවරගෙන උන්නත් සනුකිගේ මූණ තිබ්බේ තරහෙනුත් බයෙනුත් රතු වෙලා අවලස්සන වෙලාය.

“වෙන කවුද ඉතින් අර මල සමයම වෙන්නැති” ලිඩියා කියන්නේ නදී ගැන බව ඉතින් තේමියටත් සනුකිටත් අමුතුවෙන් කියා දෙන්නට උවමනා නැත.

“ඒකි ගිහින් අපි ගැන එහෙම කම්ප්ලේන් කරාවිද?” කියා තේමිය ඇහුවේ ඇත්තටම නදී වනාහී එච්චර බය නැති කොන්දක් ඇති කෙල්ලෙක් යැයි ඔහුට තවමත් සැක හන්දාය.තමන්ගේ බීම වීදුරුවට මත් වෙන දේවල් දැම්මේ අපි තුන්දෙනා බව දන්නවා උනත් ඔහොම බය නැතුව තමන් වගේ මෙතන අවුරුදු ගාණක් වැඩ කල මිනිස්සුන්ට විරුද්ධව කම්ප්ලේන් කරන්න තරම් හයියක් නදීට තියෙනවා යැයි කියා හිතන්න තේමියට අමාරුය.

“ඔය කරල තියෙන්නෙ” කියා සනුකි කිව්වේ තේමිය වෙතටත් හිතේ තියෙන තරහෙන් බිඳක් පා කරමිනි. මේ ඔක්කොම කරදර සහ ලැජ්ජාවල් තේමියගේ මෝඩ අදහස් නිසා බව නොහිත ඉන්න සනුකිට බැරිය.

“අනේ මන්දා, සමහරවිට එදා දෙබොස්ගෙ කරේ නැගල නැටුවයින් පස්සෙ ඒකිගෙ බය සැක ඔක්කොම නැතිවෙලා ගිහින් එච් ආර් එකට කම්ප්ලේන් කරාද කියල කවුද දන්නේ?” එහෙම කියන්නේ ලිඩියාය.

“හරි ඒක උනත් ඒකි කොහොමද දැනගත්තෙ බීම එකට ඇල්කොහොල් ඇඩ් කරේ අපි කියල?” තේමිය ආයෙමත් අහන්නේ උත්තරයක් හිතාගන්න බැරි ප්‍රශ්නයයි.

“දැන් අපි හිතන්න ඕන ඒක ගැන නෙවෙයි, මේ ආව වෝනින් එකට අපි මොකද කරන්නෙ කියල? ඔය ඉන්සිඩන්ට් එක ගැන කතාකරන්න දැන් හවස මීටින් එකක් කෝල් කරල තියෙනවනෙ. අපි මොකද්ද කියන්නෙ ඒ වෙලාවට?”

“මම නම් කියන්නෙ අපි කියමු අපි දන්නෙ නෑ ඔය බොරුවට තමයි අපි ගැන කම්ප්ලේන් කරල තියෙන්නෙ කියල” තේමිය එහෙම කිව්වේ වැඩිය දුර දිග හිතන්නේ නැතුවය.

“එව් එව්, එච් ආර් එක මේන් කියල ඕක පිලිගනීවි අපි කියන දේ? තව නිකන් ගොං අයිඩියාස් දෙන්නෙ නැතුව ඉන්න තේමිය. ඔයාගෙ මහ ලොකු මාස්ටර් මයින්ඩ් එකෙන් කරගත්ත එක ගොඩං වැඩක් නිසා අන්තිමේ අපි තුන්දෙනාටම ලැජ්ජ වෙන්න වෙච්ච එකයි මට අවුල්.

හිතුනොත් මං කියනව මං නම් සම්බන්ධ නෑ ඔයා තමයි මේ ඔක්කොම කරේ කියලා” කියමින් සනුකි එතනින් වේගයෙන් නැගිට අත සෝදාගෙන කැන්ටින් එකෙන් පිටව යද්දී තේමිය කරේ ලිඩියාගේ මුහුණ දෙස බලා ඉන්න එකය. සනුකි කී දේ වරදක් උනත් මේ වෙලාවේ තමන් බලන්නත් ඕන තමන් බේරෙන විදියක් මිස තුන්දෙනාම බේරෙන විදියක් නොවන බව ලිඩියා දනී.

හැබැයි ඉතින් අඩුම තරමේ ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් අවුට් එකක්වත් අරගෙන දෙන්න කොල්ලෙක්ට ඉන්නේ මේ ඔෆිස් එකේ තේමියය. ඌව තරහ කරගෙනත් බැරිය. හැබැයි එහෙම කියා මේ ප්‍රශ්නෙන් ගැලවෙන විදියක් නොහිතත් බැරිය.

“සනුකි කිව්ව ඒව හිතන්න එපා, ඒ උනාට දැන් මේව අපේ ඊලඟ ඇප්‍රේසල් වලට එහෙමත් ප්‍රශ්නයක් වෙනවනෙ. කවුද දන්නෙ දෙන්න තියෙන ඉන්ක්‍රිමන්ට් එහෙමත් අයින් කරාවිද කියල?” ලිඩියා තමන්ගේ හිතේ තියෙන සැකය තේමිය එක්ක බෙදාගත්තාය.

ලිඩියා තනන්නේ තමන්ගේ හිත සනසන්න බව දන්නවා උනත් තේමිය නම් උන්නේ සනුකි කිව්ව දේවල් එක්ක හිත රිද්දගන්න පුලුවන් උපරිමේටම රිද්දගෙනය. සනුකිව තමන්ව අල්ලල දීල හරි බේරෙන එක තේමියට ප්‍රශ්නයක් නැතත් සනුකි නිකන් තමන්ව බූරුවෙක් ගාණට දාලා කතා කරන එකනම් දරාගන්න අමාරුය.

මොන දේ උනත් තමන් ඔය නදීගේ කෝප්පයට ඇල්කොහොල් දාන වැඩේ පවා කරේ සනුකි නදීට අකමැති නිසා තව ටිකක් ඇයව තමන්ගේ පැත්තට නම්ම ගන්න අදහසින් බව දන්නේ තමන් පමණකි. මේ වැඩේ සාර්තක උනානම් සනුකි ඉදිරියේ තමන්ගේ වීරයෙක් වගේ රඟපාන්න තිබ්බ නේද කියා හිතෙද්දීත් තේමියට හිතට මාරම අවුල් ය. මේ නැතිඋනේත්, කෙල උනේත් එසේමෙසේ චාන්ස් එකක් නොවේ.

“ඒ උනාට සනුකි එහෙම කතා කර එක වැරදිනෙ, එයා ඕකට අකමැති නම් එයාට එපා කියන්න තිබ්බෙ එවෙලෙ. එවෙලෙ ඔයාලා දෙන්නම නිකන් හොඳට හිනා වෙවී ඉඳල දැන් එයා එහෙම කියන එක මාර වැරදිනෙ” සනුකි නැති හන්දා හිතේ තිබ්බ වේදනාවෙන් කොටසක් තේමිය බෙදාගත්තේ ලිඩියා එක්කය.

“අනේ අනේ මේ, මම නම් ඔන්න කාටවත් කිව්වෙ නෑ මුකුත් කරන්න කියල. සනුකි එක්ක තියන ප්‍රශ්න එයා එක්ක බෙදාගන්න මාව නම් අල්ලගන්න එපා” කියා ලිඩියාත් කෑම මේසයෙන් නැගිට ගිය පසු තේමිය හීන් සැරේ කෑම අරගත්තේ දහසක් දේ කල්පනා කරමිනි.

හවස් වෙද්දී හිත අස්සේ මහමේරුව වගේ බයක් පිරිච්ච එක පුදුමයක් නැත. දවාලේ කැන්ටිමේ වෙච්ච දෙයින් පස්සේ තුන්දෙනා වෙනදා වගේ තැන් තැන්වල ඕපදූප කතා කර කර හිටියේ නැතත් තුන්දෙනාම හිතෙන් උන්නේ පුදුමාකාර විදියට බයවෙලාය. ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයට පැමිණි කාලය තුල එහෙමකට කියා වැඩවලට උනන්දු උනේ නැතත් සනුකිත් තේමියත් ලිඩියාත් මේ කාර්‍යාලය ඇතුලේ තමන්ගේ තැන තියාගන්නටත්, කැපී පෙනෙන්නටත් නොකල දෙයක් නැත. මේ ගෙවිච්ච කාලය පුරාවටම තමන් මෙහෙම ප්‍රශ්නයකට හෝ ලැජ්ජාවකට මුහූණ දීලා නැති බව දන්න හන්දා හිත් තුනම තුන් තැනක එකම විදියට බයෙන් ගැහි ගැහි තිබුණි.

එච් ආර් එකෙන් නදීට ඔය බලෙන් පොවන්න ගිය අයියල අක්කල තුන්දෙනා ගැන බලාගන්න බව දන්න හන්දා මියුරු නම් උන්නේ නදී කාර්‍යාලයෙදි හෝ තමන්ගේ ලඟ ඉන්න එක ගැන පට්ටෙටම සන්තෝස වෙමිනි.

ලිපි ගොනුවක් අරගෙන ඒකට මියුරුගේ අත්සන අරගන්න ළඟට ආ නදීව අතෙන් ඇද තමන්ගේ උකුල මතින් වාඩි කරගෙන ආදරෙයි කියන්න හිතුනත් නදී තවමත් ඉන්නේ “අපි ගැලපෙන්නෙ නෑ” කියාගෙන හන්දා ඕව කරන්න ගිහින් අන්තිමේ නදී තමන් ගැන එච් ආර් එකට කම්ප්ලේන් කරන්න බැරි නැති බව මියුරු දනී.

ඒ උනාට ඉතින් ආදරේ හංගගෙන ඉන්න එක ලේසි වැඩක් නොවේ. සයින් කර ඉවරවෙලා මේසය මත තිබූ ෆයිල් එක ගන්න දික්කල නදී ගේ අත අල්ලගෙන මියුරු පෑනෙන් ඒ අතේ මැණික් කටුවේ හාට් එකක් ඇන්දේය. අනතුරුව තරහද කියල අහන්න වගේ නදී දෙස බලද්දී හිනාවක්වත් නැතුව නදී ඇස් දෙකත් අමුතු විදියට හදාගෙන එතනින් ගියාය.

මියුරුට ඉතින් ඒත් ඇතිය.

නදී ඉන්නේ “ඔයා මට වඩා සල්ලි තියන තැනක කෙනෙක්, මම එහෙම සල්ලි තියන තැනක කෙනෙක් නෙවෙයි. ඔයාලගෙ ගෙවල් වලින් කවදාවත් මට කැමතිවෙන්නෙ නෑ” කියන සම්ප්‍රදායික අඬහැරය දාන ගමන් එකේ මෙහෙම දෙයක් හරි තරහ ගන්නෙ නැතුව කරන්න දීපු එක කොච්චර දෙයක්ද කියා නොහිත ඉන්න මියුරුට බැරිය.

මැසේජ් එක ගියේ ආන් ඒ විදියටය. පරිගණක දෙකේම වට්සැප් වෙබ් එක ඕපන් කරගෙන ඉන්න හන්දා මියුරු එවන පණිවිඩය නදීගේ ඩිවයිස් එක ග්‍රහණය කරගත් බව පරිගණකයෙන් එන හඬ ඔස්සේ මියුරුට දැනගන්න පුලුවන.

“තරහද?” කියා මියුරු අහන්නෙ මොකක් ගැනද කියා නදීට තේරෙන්නෙ නැත.

“මොකටද?” නදීටත් ඉතින් සද්ද නැතුව ඉන්න අමාරුය. මොනව කරත් මියුරු කියන්නේ හොඳම හොඳ කොල්ලෙක් බව දන්න හන්ද හිත ඇදිල යන එක ඇත්තය. ඒත් නොගැලපෙන දේ එක්කහු කරන්න බැරි හන්දා හිත මෙල්ල කරගෙන ඉන්න එක කරන බව ඇත්තකි.

“අතේ හාට් එකක් ඇන්දට”

“නෑ ඇඟ හෝදද්දි මැකෙනවනෙ”

“අතෙන් විතරයි ඉතින් මැකෙන්නෙ නේද?”

“ඒ කිව්වෙ?”

“මං දන්නවා ඔයා ඔය නෑ, බෑ කිව්වට හිත අස්සෙ මාව හිරකරගෙන ඉන්නෙ කියලා” වචන වලට පස්සේ හිනා වෙන ඉමොජියක් තියන්නත් මියුරු අමතක කරේ නැත.

“වැරදීමක් එහෙම හිතාගෙන ඉන්නවනම්”

“වැරදි වැරදි තමයි හරි පාරට එන්නෙ”

මියුරු වට්සැප් පණිවිඩයකින් එහෙම එවා අනතුරුව “මෙහෙ බලන්න” කියාත් එව්වේය.

“ඒ ඇයි?” කියා ටයිප් කර යවා නදී බැලුවාම එහා මේසයේ හිඳ මෙහා මේසයට ෆ්ලයින් කිස් එකක් එවන තරමට දැන් මියුරු දියුණු ප්‍රේමවන්තයෙක් වෙලාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles