ඉඳුදුන්න -23

“ඇයි අම්මේ..නංගි මොකක් කරගෙනද?”

අමන්දී ඇසුවේ බියෙනි.මේ පළාත්වල ගැහැනු දරුවන් කරගන්නා ලොකුම වරද හදිසියේ ගැබ්බර වීම ය.

“සුරංගය එක්ක පැටලිලා.තීවිල් කාරයෙක්ට දෙන්න නෙවෙනෙ දුවේ මේකිව මේ තරම් ආදරෙන් උස්මහත් කළේ..”

ශාන්ති ඉකි බිඳින්නට ගත්තා ය.අමන්දී මේ දේ මේ අයුරින් වන බව දැන සිටියා ය.නමුත් එය මෙවැනි ගින්නකට හේතුවක් බව නොදැන සිටියා ය.ඇය ශාන්‍ති අසලට ළං වූයේම ඒ ගැන සිතමිනි.

“අම්මේ, ඔහොම කෑගහල රණ්ඩු කරල ප්‍රශ්න විසඳන්න බෑනෙ.නංගි පොඩි ළමයෙක් නෙවෙයි.අවුරුදු විස්සක කෙල්ලක්.අම්මා ඔහොම ගැහුවම හෙට උදේ වෙනකොට සුරංග එක්ක යන්න ගියොත්..?”

අමන්දී ඇසුවේ සැබෑ වේදනාවකිනි.සඳුනි හිතුවක්කාර කෙල්ලක බව ඇය දනියි. කුමන මොහොතක හෝ ඈ එවැනි කමකට නැති තීරණයක් ගන්නට ඇති ඉඩ වැඩි බව අමන්දීට සහතික ය.

“මේක කොහොම නවත්තන්නද කියල මට හිතා ගන්න බෑ දුවේ..”

ශාන්ති කියන්නේ හැඬුම අතරිනි.අමන්දී ඈ තුළ වූ සැකයක් මේ මොහොතේ බේරුමක් කරගන්නට සිතුවා ය.

“අම්මේ,අර ගලේ පන්සල තියෙන්නෙ.මට දවසක් කඩේට ආපු ගෑනු කෙනෙක් ඒක ගැන කිව්වා.ඒ ඇත්ත කතාවක්ද? අපිට පුලුවන්නෙ නංගිට සුරංගව එපා වෙන්න මොනවා හරි කරන්න..”

හැට්ට අතින් මුහුණ පිසදා ගත් ශාන්ති නැගුවේ හිස් බැල්මකි.මේ ඇය ඉතා වේදනාවෙන් සහ කෝපයෙන් හිඳින මොහොතකි.සිතා බලා බොරු කියන්නට ඇයට මේ මොහොතේ සිහි වන්නේ නැත.

“ඔය හාමුදුරුවෝ හිටු කියල මිනිස්සු රවට්ටන්න හපනෙක් දුවේ.ඕවා ඇත්තනම් මිනිස්සු මෙහෙම ඉඳීයැ .ඒත් මේ ගමේ මිනිස්සු හැමදාම රැවටෙනව..”

ශාන්ති එසේ කීවේ කඳුළු අතරිනි.අවිශ්ක මේ කාරණාව ගැන අනවබෝධයක හිඳීම නැවතීමට කාලය බව අමන්දී සිතුවා ය.ඒ ගැන ඔහු හා පසුව සාකච්ඡා කරන්නටත් ඔහු අම්මා ගැන වෛරයෙන් හිඳීම නැවතිය යුතු බවටත් අමන්දී සිතා ගත්තා ය

නමුත් මුළුතැන්ගෙය දෙසට එමින් සිටි අවිශ්කට ඒ කතාව ඇසිණ.හිත සසැලී තිබූ මොහොතක දී වුව අම්මා ගැන අඳුරු වළාකුළු හදවතින් පලා යන අන්දම ඔහුට දැනිණ.

අමන්දී එදා දවසම සඳුනි ගැන කල්පනාවෙන් ගෙවන්නට ඉටා ගත්තා ය

“තරුණ ළමයිනෙ.අම්මා ඔහොම ගහන්න බනින්න ගිය එක හරි වැරදි.සුරංගට කතා කරන්න අපටත් තිබ්බා..”

ඇය අවිශ්ක සමඟ පැවසුවා ය.අවිශ්ක සුසුමක් හෙළී ය.

“මොන කතාද..අම්මා සුරංගලගෙ ගෙදර ගිහින් කෑකොස්සන් ගහල ඔය ඇවිත් තියෙන්නෙ..”

අවිශ්ක පැවසුවේ ශෝකයෙනි.ඔහු හිඳින්නේ කෝපයෙන් දැයි අමන්දීට සිතා ගන්නට අසීරු විය.සුරංග ඔහුගේ වලිගය බඳු මිතුරෙකි.ඔහු මස්සිනා කරගන්නට හරස් වන එකම කාරණාව දුප්පත්කම නම් එයට එරෙහි වන්නට අවිශ්ක දෙවතාවක් සිතන්නේ නැත.නමුත් සුරංග අනාගතය ගැන එතරම් නොසිතන තරුණයෙකු වීම ඔහු කම්පනයට පත් කරන්නට සමත් විය.

“සුරංගට ඔය ඉඩමක් කඩමක් දුන්නොත් දියුණු වෙන්න ට්‍රයි එකක් ගන්නේ නැතිවෙයිද? හිත් කඩන එකත් පවක් අවිශ්ක..”

අමන්දී ඇසුවේ වේදනාවෙනි.ආදරය විසුණු වීමේ වේදනාව මොනතරම් අමිහිරිදැයි ඈ හොඳින් දැන සිටියා ය.ඒ වේදනාව මේ කුඩා කෙල්ල කෙසේ උහුලාවිදැයි අමන්දී සිතුවා ය

ඒ කාලය හිත නොසන්සුන් කාලයක් වූයේ අමන්දිට පමණක් නොවේ.ඉඳුවර ද තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් නොසන්සුන් කාලයක් ගෙවමින් සිටියේ ය.
නාලිකා ප්‍රධානියා සමඟ කතාබහේ නිරතව හිඳ පිටව ආ මොහොතේ පටන් ඔහු අනාගතය ගැන සිටියේ නොසන්සුන් හදකිනි.

ඔහු ප්‍රධානියාගේ දියණියව එළිපිටම ප්‍රතික්ෂේප කර අවසන් ය!

නමුත් ෂෙරිල් තමන්ට සමීප වන්නියන් බලහත්කාරයෙන් පසෙකට කරන්නට තැත් කිරීම ඉවසන්නට ද ඉඳුවර අපොහොසත් විය.ඇය කෙරෙහි ඔහු ආදරයකින් පසු වීම එක කාරණාවකි.නමුත් ඇගේ අනාගතය වැනසී යාම ද සියල්ලටම වඩා නරකකි.

“යුගාන්තව ස්ක්‍රිප්ට් රයිටර් කමින් අයින් කරල..”

එක් දිනක් රූගත කිරීම් කැලැඹ ගියේ ඒ ආරංචියෙනි.

“මොකක්ම හරි ගේමකට මිනිහා සම්බන්ධයි කියලයි ආරංචිය..”

සිතිජ ඉඳුවර සමඟ පැවසී ය.ඉඳුවර සිනාවක් පමණක් දෙන්නට ප්‍රවේසම් විණි.

“ඇත්තටම ස්ක්‍රිප්ට් එක අවුල් වෙවී ආවනෙ.ෂෙරිල් එක්ක මොකක් හරි නාඩගමකට මිනිහා ආවේ.ෂෙරිල් සල්ලි කුට්ටියක් දීලා මිනිහා ෂේප් කරගන්න ඇති..”

සිතිජ පවසන්නේ කළකිරීමෙනි.මුදලට කලාව පවා පාවා දෙන මිනිසුන් ගැන ඉඳුවරට ඇති වූයේ ද අප්‍රසන්න බවකි.

“අලුත් ස්ක්‍රිප්ට් රයිටර් මලිත් වික්‍රමසිංහ.මෙච්චර ප්‍රසිද්ද පත්තරකාරයෙක් මෙහෙම නාට්‍යයක ස්ක්‍රිප්ට් රයිටර් කරන්න පුලුවන් උනෙ ලොක්කගෙ සල්ලිවලට තමා..උඹලා හරියට රඟපානවලා.නැත්තං අපරාදේ..මලිතයට ගෙවන සල්ලි..”

අධ්‍යක්ෂකවරයා ඉඳුවරට සහ සිතිජට පැවසුවේ සිනා අතරිනි.යුගාන්ත සහ ඔහු අතර ද නොයෙක් ගැටුම් ඇති විය.එනිසාම මලිත් එතැනට පත් වීම අධ්‍යක්ෂකවරයාට සතුටකි.

“ඉඳුවර, මේ ඔයාගේ ලයිෆ් එකේ හොඳම කාලෙ පටන් ගන්න යන්නෙ.පරිස්සමින් ගේම ගහන්න..”

අධ්‍යක්ෂකවරයා ඉඳුවරට විශේෂයෙන් පැවසුවේ ය.

ය.ෂෙරිල් සහ යුගාන්ත ඔවුන්ගේ උගුලට අසු නොවූ තරුණයාගෙන් වෙන් වෙන්ව පලි ගන්නා බවට ද අධ්‍යක්ෂකවරයාට සහතික ය.

“උඹ ෂෙරිල්ගෙ ගැටවලට අහු වෙලා නාස්ති වෙන්න ඕන නෑ කියල ලොක්ක හිතුව එක මාරම දෙයක්. හැබැයි ෂෙරිල් දැන් වැඩියෙන් ගැට පටලවයි. යුගාන්තයත් ඇත්තෙ තරහින්.උඹට හරි පරිස්සම් වෙන්නම වෙනව පුතේ…”

ඉඳුවර දේදුන්නක් ව මැකී යා යුතු නැති බව තරයේ විශ්වාස කළ අධ්‍යක්ෂකවරයා කල්පනාවෙන් හිඳින්නට ඔහුට නැවත නැවතත් සිහි කළේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles