මියුරු පෙම් වසන්තේ – 27

මිලින්ද උන්නේ ආයෙ සුම්මා සන්තෝසෙකය. අවුරුදු ගාණකට පස්සේ හෝ මෙහෙම තමන්ගේ දෙයක් කරන්න පුලුවන් කමක් ලැබීම හන්දා මිලින්ද වෙනදාටත් වඩා අඩියක් දෙකක් උඩින් වත්ත මැද්දෙන් ඇවිද්දේ “අඩෝ මං තමයි අඩෝ දැන් පොර” කියන ගමන් වගේය.

“කොහොමහරි සල්ලි ටිකක් හොල්ලල කොල්ලට ඔහොම දෙයක් දාලා දුන්න එක හොඳයි” කියා මාග්‍රට් කිව්වෙ රෑ බත් කන ගමන් උන් සෝමේ ගේ පිඟානට ලූණු බැදුමෙන් ඩිංගක් දාන ගමන් ය.

“මෙච්චර කල් උඹයි මමයි දෙන්නම එක්කහු කරපු සල්ලි ඩිංග තමයි මාග්‍රට් මං ඕකට ඔය වැඩේට දුන්නෙ. ඒකත් දුන්නෙ ඌ උනන්දුවෙන් වැඩේ කරන්න යනව කියල මට පෙන්නපු හන්දා. මේ ඉන්න තැන ඇරෙන්න අපිට මේ මොකෝ බැංකුවල අම්මල අප්පල දාපු සල්ලියක් කියල දෙයක් නෑනෙ. එහෙම එකේ පුතණ්ඩියට කිව්වනම් හොඳයි මාග්‍රට් ඔය කරන එකක් හොඳට පිලිවෙලට කරගෙන දියුණු වෙන්න කියල.

ඒකත් විනාස කරගත්තොත් අන්තිමට ඉතින් උට හොල්ල හොල්ල ඉන්න වෙන්නෙ සල්ලි නෙවෙයි” 

කාමරේ සින්දු අහ අහ උන්නු මිලින්දයට නම් ඕක ඇහුනද කියලවත් මාග්‍රට්ට ශුවර් නැත. ඒ උනත් “නෑ ඌ ආස දේනෙ, ඕක උනන්දුවෙන් කරාවි, අනික ඌ අවුරුදු ගානකට කලින් ඉගෙන ගත්ත කරුමාන්තනෙ” කියා මාග්‍රට් සෝමේට කිව්වට ඇත්තටම මාග්‍රට් ඒ වචන කියාගත්තේ තමන්ගේම හිත සුව පිණිසය.

මිලින්ද මුලින්ම කරේ අම්මලා දුන්න සල්ලි වලට තව ණයට ගත්ත සල්ලි වගේකුත් එක්කහු කර විස්සෙ කණුවට චුට්ටක් එහා තැනකින් උඩ තට්ටුවක පොඩි කඩයක් කුලියට ගත්ත එකය. ඒ කඩ කෑල්ල පුටු මේස එහෙම දමා, ලස්සන පින්තූර එල්ලා හැඩ වැඩ කරන්නට මිලින්දට තව ටික කාලයක් ගියේය. ඒ උනාට මිලින්ද උන්නේ නිකන් දැන් කඩ දහය විතර අයිතිකාරයෙක් උනා වගේ පට්ටම ගැම්මකිනි.

“මොකද්ද දැන් උඹේ ඔය කඩේ විකුණන්නෙ?” කියා මිලින්දගෙන් ඇහුවේ විල්සන් ය. ඒද හැන්දෑවේ එක ශොට් එකක් දාගෙන ඉවර වෙලා පොඩි වැඩකට කියා හන්දියට යන ගමන් මිලින්දව පාරෙදි හම්බු වෙච්ච වෙලාවකය. මිලින්ද එවෙලේ උන්නේත් ටැටූ ශොප් එකේ වැඩ වගයක් බලන්න කඩේට ගිහින් එන ගමන් ය.

“අයියෝ විල්සන් අයියා, කඩේ කියන්න එපා, කඩයක් කිව්වම නිකන් මේ එලවලු විකුනනවා වගේනේ, ශොප් එකක් කියන්නකො” කියා මිලින්ද කියන්නේ නිකන් එංගලන්තෙ ඉඳල ගොඩ බැස්ස විදියටය.

“හරි හරි මොක හරි කියහංකො මොකද්ද ඕකෙ විකුණන්නෙ කියලා” විල්සන් කියන්නේ මිලින්දට පෙරැත්ත කරමිනි.

“මොනවත් විකුණන්නෙ නෑ අප්පා ටැටූ  පියර්සින් තමා කරන්නේ”

“ඒ කිව්වේ? කන දෙයක්ද? විකුණන්නෙ නෑ කිව්වෙ නිකන්ද දෙන්නෙ?”

“අයියෝ විල්සන් අයියා, ගොං කතා කියන්න එපා. ටැටූ, පච්ච අන්න ඒව කොටන තැනක”

“අම්මටසිරි ඕන තැනක කොටනවද උඹ?”

“එහෙම මට ඕන ඕන තැන්වල කොටන්නෙ නෑ අයියෝ, කස්ටර්මර්ස්ලට ඕන තැන්වල තමයි කරන්නෙ”

“හරි හරි මොකද්ද දැන් ඕකෙ නම?”

“එන් එම් ටැටූ ශොප්” මිලින්ද කියන්නේ සිං සිං ගා වචන විසික්කරමිනි.

“එන් එම් කිව්වේ එන් එම් පෙරේරද? ඒ මනුස්සයගෙන්ද උබට ආධාර ලැබුණෙ?” විල්සන් ඉතින් බීගත්ත වෙලාවට ගොං කතාවක් නොකිව්වා නම් පුදුම බව දන්න හන්ද මිලින්ද මුකුත් කිව්වේ නැත.

“නෑ නෑ එන් කියන්නෙ නදී, එම් කියන්නෙ මිලින්ද”

“අම්මටසිරි උඹ අපේ එකීගෙ නම දැම්මෙ මොකටද කඩේට?”

“ඔය ආයෙත් කඩේලු”

“හරි හරි ශොප් එක”

“මං නදීගෙ නම දැම්මෙ කවදහරි මං කසාද බඳින්නෙ නදීව හන්දා” කහ පාටට පාට කල කොණ්ඩෙන් මූණට වැටිච්ච කෑල්ල ඔලුව ගස්සා හදාගෙනය.

“දැන් කවදහරි නදීව බඳින්න බැරි උනොත් උඹ මොකද කරන්නෙ? නම වෙනස් කරනවද?” කියා විල්සන් අහද්දී මිලින්ද ආයෙ කිසිම දෙයක් කියන්නෙ නැතුව එතනින් ගස්සගෙන පුප්පගෙන ගියේය. ගස්සන් යන මිලින්දට කියන්න කතාවක් හැබැයි විල්සන්ට නම් තිබුනේය.

“මේ මිලින්දයො” දුරස් ව යන මිලින්ද අමතමින් විල්සන් කෑගසුවේය.

“ඇයි?’ මිලින්ද හැරුනේ පාරෙ මිනිස්සු බලන් ඉන්න හන්දා ලැජ්ජාවටය.

“නදීගෙ නම නෙවෙයි මගෙ නම දාහංකො බං විල්සන් කියල. මං ඔය අනිත් උන් වගේ වෙනස් වෙන්නෙ නෑ කියල දන්නවනෙ උඹ, ඈ මොකෝ කියන්නෙ” කියා බීගත්ත විල්සන් පාරෙ දෙපැත්තට වැනි වැනී කියද්දී මිලින්ද ගියා නෙවෙයි පියෑඹුවේය.

මිලින්ද ටැටූ ශොප් එකට දාන්න යන්නේ තමන්ගේ නම බව නදී දැනගත්තේ වස්තුගේ මාර්ගයෙනි. ඒ වස්තු කෙල්ලන් දෙදෙනාවද දාගෙන ගෝල්ෆේස් පැත්තේ රවුමක් යන්න ටුක් එකෙන් ආ ගමන්‍ ය.කෙල්ලො දෙනාට ඔහොම ගමනක් යන්න සෙට් වෙන්නෙ කලාතුරකින් හන්දා විස්සෙ කණුව අද්දරින් උන් දෙන්නා වාහනේට පැනගත්තේ සන්තෝසේ ඉපිලෙමිනි.

“මොකෝ අද හදිසියෙම මෙහෙම ගමනක් යන්න හිතුවෙ උඹ?” කියා කයිය පටන්ගත්තේ කාවින්දිය. වස්තු හිස ගස්සා පිටිපස්ස බැලුවේ පොඩ්ඩක් විතර අමනාපෙන් වගේය.

“ආහ් බලපංකො මං මේකි කියන කතා, මං නික උඹල දෙන්නව මේ කොහෙවත් එක්කරගෙන ගිහිල්ලා නෑ වගේනෙ”

“හරි හරි හැපෝ නවත්තගනිං ඉතින් ඇඬියාව, දැන් අපි ගිහිල්ලා අද මොනවද කරන්නේ වන් ගෝල් පේස් එකේ?”” 

“ආයෙ ඉතින් වෙන මක්කද ඕන් නදියො උඹ රස්සාවට ගිහිල්ලත් දැන් ඩිංගක් කලින් අපිට අයිස් ක්‍රීං අරන් දීහන් හොඳේ අද පඩියෙන්, නැතෙයි මං අහන්නෙ නේ”

“ආයෙත් අහල අද නොකන අයිස් ක්‍රීං ආය කවද කන්නද නේ?””  කියා කාවින්දිත් ඉතින් ටාර් ගාලා පැත්ත මාරුකර වස්තුගේ පක්ශෙට හේත්තුව දැම්මාය.

“හරි හරි ඉස්සෙල්ල යමල්ලකො, අයිස් ක්‍රීම් ගන්න බැරිය ගියයින් පස්සෙ”

නදී උන්නේ ඇත්තටම සන්තෝසයෙනි.සැහැල්ලුවෙනි. රස්සාවක් කරන්න ගැනීම, අතේ මුදල් ගැවසීම සන්තෝස වෙන්න කාරණාවක්බව නදී තේරුම්ගත්තේ ගෙදර වියදමට කීයක් හරි දෙන්න පුලුවන් වීම, ආච්චිට ඇඳුමක් කැඩුමක් අරගෙන දීම, යාලුවන් සමග එලියට ගොස් මෙහෙම යමක් කන්නට බොන්නට ලැබීම නදී මින් පෙර ජීවිතයේ විඳ තිබූ දෙයක් නොවේ. සෙනසුරාදා දවසක් හන්දා වන් ගෝල් ෆේස් මෝල් එකට ඇතුලුවන්නට බොහෝ සෙනගක් වාහන නතර කරගෙන උනි. ඒ අස්සෙන් වස්තුගේ කුඩා ටුක් එකත් රිංගවාගෙන අමාරුවෙන් වගේ වාහනේ නතර කරන්න තැනක් හොයාගෙන තුන්දෙනා මුලින්ම කලේ වන් ගෝල් ෆේස් එකේ තට්ටු වල එක එක කඩවල් දිහාබලමින් එක එක වල්පල් දොඩවමින් ඇවිද යන එකය.

“මෙච්චර ගණන් දීලා.කවුද බං මේව අඳින්නේ?”” කියා වස්තු ඇහුවේ කඩයක ඩමියකට අන්දවා තිබූ තනි පාට තුනී රෙද්දකින් මසා තිබූ ශර්ට් එකක් පෙන්වමිනි. එහෙමකට කියා ලස්සනක් නැතත් ශර්ට් එකේ ගාණනම් පුදුමාකාරය. 

“ගන්න නිසා වෙන්නැති බං මේකෙ මෙච්චර මිනිස්සු පිරිලා ඉන්නෙ” කියා කියන්නේ කාවින්දිය.

“සමහරවිට අපි වගේ මුකුත් ගන්නෙ නැතුව බලල යන්න ආව අය වෙන්නත්  පුලුවන් නේ.දැන් කාලෙ මිනිස්සුන්ට මං හිතන්නෙ නෑ අනේ මේ වගේ ඇඳුම් ගන්න තියා කන්න බොන්නවත් සල්ලි ඇති කියලා” 

තට්ටු හැම එකකම වගේ ඇවිද කඩවල් වල තියෙන එක එක දේවල් බලමින්ද අතපත ගාමින්ද  යද්දී මේ තමන්ට අහිමි හීන ලෝකයක් නොවේද කියා නොහිත ඉන්න පුලුවන්කමක් නදීට තිබ්බේ නැත. සම වයස් වල ගැහැණු ළමයින් තමන්ට ඇත්තේවත් නැති අන්දමේ ඉතාම ලස්සන ඇඳුම්.පැලඳුම්වලින්ද සෙරෙප්පු සපත්තු වලින්ද සැරසී ඇතමෙක් මිතුරු මිතුරියන් එක්කද ඇතැමෙක් පෙම්වතුන්ගේ අත්වලද එල්ලී එහෙ මෙහෙ යන්නේ වයින් කල බෝනික්කන් මෙන් හිනාවෙමින් කතා කරමින් ය.

තමන්ට ඒ වගේ හීන බොහොම දුර බව දන්නවා උනත් නදී ඒ සම වයස් කෙල්ලන් දිහා බැලුවේ ඉරිසියාවෙන් නොවේ සතුටෙනි. තමන්ට නැතත් ඔවුන්ට හරි තියෙනවනේ යන හැඟීමෙනි.

පල්ලෙහ තට්ටුවේ අයිස් ක්‍රීම් කඩේකින් අයිස් ක්‍රීම් තුනක් අරගත්ත නදීත් වස්තුත් කාවින්දිත් අයිස් ක්‍රීම් තුන කකා ආයෙමත් පලවෙනි තට්ටුවට නැග්ගේ සති අන්තයේ වන් ගෝල් ෆේස් මෝල් එකේ තියෙන කැන් මාකට් එකේ රවුමක් දාලාම ආයෙ යනවා කියන අදහසෙනි. කැන් මාකට් එකෙ එක තැනක බඩු බාහිරාදිය තබාගෙන උන් ක්‍රීම් විකුණන කඩයක් ළඟ නතරවෙච්ච කාවින්දි ඔවුන් නොමිලේ අත්වල ක්‍රීම් ගා මසාජ් කරන තුරුත් ඒ ක්‍රීම්වල තිබෙන ගුණාගුණ ගැන කියද්දී නදී කැන් මාකට් එකේ වටේ ඇවිදිමින් එක එක දේ බැලුවාය. 

එක් තැනක වූ රත්‍රන් ආලේපිත මුදු කරාබු තියන තැනක නදී නතර උනා නොවේ කකුල් දෙක ඉබේම නතර වුණාය. එතන පිරී තිබුනේ නදීටත් වඩා ලාබාල කෙල්ලන්ගෙන්‍ ය. ලස්සන හැඩ ද පාට පාට ගල් ද අල්ලා තිබූ එක් කරාබුවක හෝ මුදුවක මිල පටන් ගත්තේම රුපියල් හාරදාහකින් හෝ පන්දාහකින්‍ ය. නදීට රත්තරන් කියා කෑල්ලක්වත් නැතත් මේ වගේ මුද්දකට හෝ කරාබු ජෝඩුවක් වෙනුවෙන් රුපියල් හාරපන්දාහක් වියදම් කරගන්න හිත දෙන්නේත් නැත.

නදී ඒත් අත දිගුකර අල්ලා බැලුවේ ලා රෝස පාට ලස්සන ගලක් මැද්දේ තබා ප්‍රින්සස් කට් ක්‍රමයට සැකසූ රත්තරන් පාට මුද්දක්‍ ය. එහෙමකට කියා මහතක් නැතත් ඒ හීනි මුද්ද තමන්ගේ කෙට්ටු ඇටකෝටු අතට අරගෙන එන්නේ පුදුමාකාර ලස්සනක් බව නොහිත ඉන්න නදීට බැරිය.

“මං මුද්දක් අරගෙන දුන්නොත් ඒකවත් ගන්නවද?” 

ඒ කටහඬ ඇදී ආවේ කණ ළඟින්ම පිටිපස්සෙනි.ගැස්සුණ එක ඇත්තය. ඒත් ඒ හඬේත් සුවඳෙත් අයිතිකාරයා කවුද කියා අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕන නැත.

වෙන කවුරුවත් නෙවෙයි ඉතින් ඒ නදීගේ “චූටී කුමාරයා” ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles