කාන්තාවන්ට බහුලව වැළඳෙන පිළිකා වර්ග මුල් අවදියේම හඳුනා ගන්නේ මෙහෙමයි.

පිළිකාවක් කියන වචනය ඇහුනත් ඔබ අනිවාර්යයෙන්ම භීතියට පත්වෙනවා.නමුත් පිළිකාවක් එහි මුල් අවධියේදිම හඳුනා ගෙන ප්‍රතිකාර කලොත් රෝගියාට එයින් ලොකු බලපෑමක් අත්වෙන්න තියන ප්‍රවණතාව අඩුයි.මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ කාන්තාවන්ට බහුලව වැළඳෙන එවැනි පිළිකා ගැනයි

පියයුරු පිළිකා

ලංකාවේ බහුලම පිළිකා වර්ගය තමයි පියයුරු පිළිකාව.වසරකට 4500 කට ආසන්න කාන්තාවන් ප්‍රමාණයක් පියයුරු පිළිකාවන්ට ගොදුරු වෙන අතර ඉන් මරණ 1500 ක ප්‍රමාණයක් වාර්ථා වෙනවා.බහුතරයකට වැළඳෙන පිළිකා තත්වයක් උනත් මෙය නරකම ගනයට වැටෙන පිළිකා තත්වයක් නම් නෙමෙයි.සුව කල හැකි තත්වයක් වෙන මෙය මුල් අවධියේදීම හඳුනා ගැනීම වැදගත්.

පියයුරු පිළිකාවක් වැළඳෙන්න බලපාන ප්‍රධාන හේතු සාධක මොනවද?

  • අවුරුදු 40 ඉක්ම වීම
  • අඩු වයසින් වැඩිවිය පැමිනීම
  • විවාහයෙන් පසු පලමු දරුවා ලැබිමේදි වයසින් වැඩිවී තිබීම
  • දරුවන්ට කිරි නොදීම හෝ අඩුවෙන් කිරි දීම
  • හෝමෝන ආශ්‍රිත උපත් පාලන ක්‍රම වැඩි කාලයක් භාවිතා කර තිබීම
  • හෝමෝන ප්‍රතිකාර ගැනිම
  • ආරය
  • එක්වරක් පිළිකා වැළඳී තිබීම

පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ මොනවද?

  • පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  • තන පුඩුව මත කුශ්ට ඇතිවීම
  • තන පුඩුවෙන් ශ්‍රාවයක් නිකුත් වීම
  • නහර මතුවීම
  • ඉදිමීම
  • පියයුරු වල හැඩය වෙනස් වීම
  • ගැටිති මතුවීම

කොහොමද නිවසේදීම පියයුරු පරික්ෂා කරගන්නෙ?

  • කැඩපතක් ඉදිරියට ගොස් පියයුරු වල සමමිතික බව , පියයුරු ගිලී තිබෙනවද , නෙරා තිබෙනවද පරික්ශා කල යුතුයි
  • තන පුඩුවේ හැඩයේ වෙනසක් ඇති දැයි නිරික්ෂණය කල යුතුයි
  • උඩුබැලි අතට හාන්සි වී එක් අතක් ඔලුවට යටින් තබාගෙන එම පැත්තේ පියයුර අනිත් අතින් අල්ලා බලා පරික්ශා කල යුතුයි
  • සති දෙකකට වරක් වත් මෙසේ පරික්ශා කර බැලීම සුදුසුයි

වෛද්‍ය පරික්ෂණ

මැමෝග්‍රෑම් පරික්ශාවක් මඟින් පියයුරේ ඇතිවන වෙනස්කම් වලින් කාන්තාවකට පියයුරු පිළිකාවක් ඇත් දැයි පරික්ශා කරගත හැකිය.සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 – 70 අතර වයසේ පසුවන අයට වසර දෙකකට වරක් මෙම පරික්ශාව සිදු කරගන්නා ලෙසට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා

ගැබ්ගෙල පිළිකා

ලංකාවේ කාන්තාවන් අතර සුළබතාවය අතින් දෙවනි ස්ථානයට පත්ව තිබෙන්නෙ ගැබ් ගෙල පිළිකාවයි.සෑම වසරකදිම කාන්තාවන් 950 දෙනෙක් පමණ මෙම රෝගයට ගොදුරු වන අතර 643 ක් පමණ මරණයට පත්වන බවද ගණන් බලා ඇත.
ගර්භාෂයේ පහලම කොටස සහ යෝනි මාර්ගයේ ඉහලම කොටසත් සම්බන්ධ කරන කුඩා නමුත් වැදගත් ව්‍යුහය වන්නෙ ගැබ්ගෙලයි.සවිමත් සිනිඳු පේශි වලින් සෑදි ඇති මෙය ඔසප් රුධිරය පහලට එවමින්ද ,ලිංගික එක්වීමකදි ශුක්‍රාණු ගර්භාශය තුලට යැවීමටද උපකාරී වෙනවා.ගැබ්ගෙලේ ඇති විවරය අස්තරණය කරන අපිච්චද සෛල වල ඇතිවන වෙනස්කම් ගැබ්ගෙල පිළිකාවට හේතු වෙනවා

ගැබ්ගෙල පිළිකාවකට බලපාන සාධක මොනවාද?

  • පවුලේ අයෙකුට ගැබ්ගෙල පිළිකා වැළඳී තිබීම
  • ලිංගාශ්‍රිත රෝග
  • බහු සහකරුවන් සිටීම
  • දුම්පානය
  • ඉතා ලාබාල වයසකදි ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීම

ගැබ්ගෙල පිළිකාවක රෝග ලක්ශන මොනවද?

මෙහිදි පිළිකාවේ මුල් අවධියේදි රෝග ලක්ශන කිසිවක් පෙන්නුම් නොකරන අතර රෝගය පැතිරී අවසාන අවධියේදි රෝග ලක්ශන මතුවෙයි

  • සංසර්ගයෙන් පසුව අසාමාන්‍ය රුධිර වහනය
  • අසාමාන්‍ය දුගඳ ඇති යෝනි ශ්‍රාව
  • ආර්තවහරණය වූ කාන්තාවන්ට නැවත ඔසප් වැනි රුධිර වහනය
  • ඔසප් වීම් දෙකක් අතර කාලයේදි රුධිර වහනය
  • කෑම අරුචිය
  • බර අඩුවීම

කල් ඇතිව හඳුනාගන්නෙ කොහොමද ?

ගැබ්ගෙල පරික්ශනය හෙවත් පැප් පරික්ශණය මගින් රෝගය කල් ඇතිව හඳුනාගත හැකිය

Pap smear, cervical cancer නැත්නම් සුවනාරි පරීක්ෂණය යනු කුමක් ද?

ගැබ් ගෙල පිළිකාවක් මූලික ම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90% ගැබ් ගෙල පිළිකා සැදෙන්නේ HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි.කෙසේ උනත් වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා වැළඳෙන්නෙ නැත. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින්ම එය ඉවත් කෙරෙනවා. එහෙත් දුම්බීම ,නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩිවේ.

පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage) හෝ පුර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනා ගත හැකි වෙනවා. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකියාවක් පවතිනවා

pap පරීක්ෂණය සිදු කිරීමට සුදුසු කාලය කුමක්ද?

වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල බෙදීමේ වේගය වැඩි කරයි.එය පිළිකා පූර්ව තත්වයක් (Pre-Cancer) ලෙස හැදින්වේ. ගැබ්ගෙල පුර්ව පිළිකා තත්වය මුලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එමනිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5 කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ.

විවිධ රටවල මධ්‍න්‍ය වයසක් මේ සදහා තීරණය කර ඇත. එය ලංකාවේ අවු 30 ලෙසද හදුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක. පරීක්ෂණයේ ගැටළුවක් නැති නම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ

පැප් පරීක්ෂණය සිදුකරන ආකාරය

මෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති උපකරණය යෝනි මාර්ගය තුලට ඇතුලු කර ,ගැබ්ගෙල බුරුසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ .මේවා අන්වීක්ෂයෙන් පසුව පරික්ෂා කෙරේ. මෙම සෛල වර්ණ ගන්වන ක්‍රම (staining) දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැදින්වේ. නවතම Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ.

පැප් පරීක්ෂණයෙන් පසු සිදුවන්නේ කුමක් ද ?

  • මෙහි ප්‍රථිපල සති 3 කින් පමණ ලැබේ .
  • එය සාමාන්‍ය නම් නැවත අවු 3කින් කිරීම ප්‍රමාණවත් වේ .
  • එහි යම් කිසි ගැටළුවක් ඇත් නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙකු වෙත යොමු විය යුතුය.
  • ගැබ්ගෙල සෛල වල අසාමාන්‍යතා ඇතිනම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය අනුව අසාමාන්‍යතාව සුළු නම් පැප් පරීක්ෂණය මාස 6කින් නැවත සිදු කල හැකිය.
  • අසමාන්‍යතාව තීව්‍ර නම් colposcopy පරීක්ෂණයට යොමු විය යුතුය.

පෙනහලු පිළිකා

පිළිකා සංවිධානයේ තොරතුරු අනුව ලෝකයේ බහුලව පවතින දෙවන පිළිකා විශේශයයි.මෙය සාමාන්‍යයෙන් මුල් අවධියේදි හඳුනා ගැනීමට ඇති හැකියාව ඉතා අඩුය.සෑම කාන්තාවන් 17 දෙනෙකුගෙන් එක් අයෙකුට පෙනහලු පිළිකා වැළඳෙන බවට මේ වනවිට ගණනය කර තිබෙනවා.

පෙනහලු පිළිකා වලට බලපාන සාධක

  • විශ වායු ආග්‍රාහණය
  • දුම් පානය
  • ලේ ඥාතීන් අතර පිළිකා තිබීම

පෙනහලු පිළිකාවක රෝග ලක්ෂණ මොනවද ?

  • සුව නොවන කැස්ස තත්වයක්
  • ශ්වසන ගැටලු
  • පපු ප්‍රදේශය ආශ්‍රිත වේදනාව
  • හතිය
  • කටහඬ රළු වීම
  • ශරීරයේ බර අඩුවීම
  • ඇටකටු වල වේදනාව
  • හිසරදය
  • ආහාර ගැනීමේ සහ පානය කිරීමේ අපහසුතා

වෛද්‍ය පරික්ෂණ

මෙහිදි මූලික පරික්ශණ කීපයක් කොට පිළිකාව පවතින්නේ කුමන අවධියේද යන්න සොයා ගැනීම සිදු කෙරේ

රුධිර පරික්ශණද මේවාට ඇතුලත් වේ

මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවද ?

ශල්‍යකර්ම

පිළිකාව ආරම්භක අවධියේ ඇත්නම් පැතිර ඇති කොටස ඉවත් කිරීම මින් සිදු කෙරේ

රේඩියෝ චිකිත්සා

මෙමගින් පිළිකා සෛල විනාශ කිරීම කරන අතර මෙයද ආරම්භක අවධියේදි කරන ප්‍රතිකාරයකි

පිණ්ඩක විච්ඡේදනය

සම්පූර්ණ ආසාදිත කොටස ඉවත් කිරීම මෙමගින් සිදු කෙරේ.පිළිකාව තිබියදිත් පෙනහලු හොඳින් ක්‍රියාකරනවා නම් මෙම ක්‍රමය ඉතා සාර්ථකය

කාන්තාවන් අතර බහුල පිළිකා තත්වයන් කීපයක් ගැනයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කලේ.පිළිකාවක් මුල් අවධියේදි හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් එය සුව කරගත හැකි නිසා මෙවැනි පිළිකා පිළිබඳව දැනුවත් වී සිටිම ඔබට වඩාත් වැදගත් වනු ඇත.

Related Articles

Don't Miss


Latest Articles