මියුරුව කවදාවත් මෙහෙම දකින්න ලැබේවිය කියා නදී බලාපොරොත්තු උනේ නැත. ඔෆිස් යද්දි නම් තියෙන ඇඳුම් දෙක තුන හරි පාවිච්චි කරලා ලස්සනට පොඩි මේකප් එකක් දාගෙන යනවා උනත් මේ නිකන් වස්තුත් කාවින්දිත් එක්ක එලියට ආව ගමනක් හන්දා නදී ඇඳගෙන උන්නේ එහෙම ලස්සනක් නැති කලු පාට ගවුමකි.
මියුරු ඇඳගෙන උන්නේද කාර්‍යාලයට අඳින ඇඳුම් පැලඳුම්වලට වඩා සහමුලින්ම වෙනස් කොට කලිසමක් සහ කමිසයක් උනත් මනාව නඩත්තු කරන හන්දා මියුරු ඒ උන්නේත් පුදුමාකාර විදියට ලස්සනට බව නොහිත ඉන්න පුලුවන්කමක් නදීට තිබ්බේ නැත. ඔෆිස් එකේදි වගේම මියුරුගේ ඇඟෙන් හමා ආ ක්ලයිව් ක්‍රිස්ටියන් පර්ෆියුම් සුවඳ මොහොතකට විතර නදීව පාරාදීස හැඟීමක අතරමං කරන්නත් කටයුතු කලාය.
“තනියමද ආවේ?” නදී කොච්චර නෑ බෑ කිව්වත් ඔය ඇස්වලින් වෑහෙන්නෙ ආදරේ බව තේරුම් ගන්න මියුරුට අපහසු නැත. ඒ හන්දාම මියුරු වචනවලින් ආදරේ පෙන්නන එක හංගන්න උත්සහ කරේම නැත.
“ඔව් සර් නෑ සර්” නදී කිව්වේ ගොතගසමිනි. මියුරුට හිනාගියේ නදී ඒක කිව්ව විදියටය.
“ඔව් ද නැද්ද?” මියුරු තාලයට අහන්නේ ආදරේ ඕනවටත් වඩා වස්සවමිනි.
“නෑ සර්, වස්තුයි කාවින්දියිත් ආව, ඒ දෙන්නා අරපැත්තෙ” කියා නදී කිව්වේ ආදර පිරිච්ච මියුරුගේ සුන්දර දෙනෙත මගහරිමින් අතේ තිබ්බ මුදුව ආයෙම මුදු තිබූ පෙට්ටිය උඩින් තියන ගමන් ය.
“දැන්ම යනවද ඔයාලා?”
“තව ටිකකින් යනවා”
“මොනවහරි අරගන්නද ආවෙ?”
“නෑ අපි නිකන් ආවෙ සර්, වීකෙන්ඩ් එකේ ගෙදරට වෙලා ඉන්න කම්මැලි හන්දා” කියමින් නදී ඉස්සරහ බලද්දි වස්තුත් කාවින්දිත් හීන් සැරේ ඒ පැත්තට ඇවිද එමින් තිබුනේ හොර හිනාවක් එක්කය. මියුරු තාමත් වස්තුවත් කාවින්දිවත් දැක්කෙ නැත. කාවින්දි නදී ගෙන් “කවුද මේ?” කියා ඇහුවේ ඇස් දෙකෙන් ය.
ඒ උනාට මියුරු තමන්ගේ මූණ මතම ඇස් දෙක රඳවගෙන උන්නු හන්දා නදීට කාවින්දිට උත්තර දෙන්න පුලුවන් කමක් තිබ්බේ නැත.
“මේ ඉන්නේ වස්තුයි කාවින්දියි” කියා නදී මදකට මියුරුගෙන් ඈත් වී මියුරුට කාවින්දිවත් නදීවත් හඳුන්වා දුන්නාය. කාවින්දිත් වස්තුත් එහෙමකට කියා සල්ලි තියෙන තැනක පෙනුමක් ඇති දෙන්නෙක් උනේ නැතත් මියුරු තමන්ගේ ඔක්කොම ලොකු සීන් පැත්තක තබා දෙන්න එක්කම ලස්සනට හිනා උනේ “නදීගේ යාලුවො මගෙත් යාලුවො”කියල හිතන ගමන් ය.
මියුරු එක්ක හිනාවෙන ගමන් කාවින්දිත් වස්තුත් උන්නේ දැන් කියන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය. තප්පරයක් විතර කට්ටියගේ මූණු දිහා මාරුවෙන් මාරුවට බලාගෙන උන් නදී “මේ ඉන්නෙ මගේ බොස්, මිස්ට මියුරු” කියා කාවින්දි සහ වස්තුටත් “ සර් මේ ඉන්නෙ මගේ යාලුවො” කියා මියුරුටත් එකිනෙකාව අඳුන්වා දුන්නාය.
මියුරු උන්නේ සන්තෝසයෙනි. මෙහෙම තැනක හිතපු නැති විදියට නදීව දකින්න ලැබීම ඉතින් මියුරුට හරියට පොඩි එකෙක්ට අයිස් ක්‍රීම් එකක් ලැබුණා වගේ හැඟීමකි.
“හායි, කට්ටියම අද ඇවිදින්න ආව වගේ නේද?” කියා මියුරු ඇහුවේ ඒ හිනාවෙන්ම කාවින්දිත් වස්තුත් නදීත් දෙස මාරුවෙන් මාරුවට බලමිනි. නදීත් කාවින්දිත් ඒකට හිනාවකින් පිළිතුරු දුන්නාට වස්තු නම් “ඔව් මහත්තයා” කියල කිව්වේ යටත්හත් පහත් බවින් මේ නදීගේ බොස් නෙ කියා හිතමිනි.
එකම තැනක ඉපදුනත් වස්තු තමන් සහ කාවින්දි කියන දෙදෙනාටම වඩා ජිවීතය ගැන, ලයිෆ්ස්ටයිල් එකක් ගැන දන්නේ අඩුවෙන් බව නදී දනී. වස්තු එහෙමකට කියා ඉගෙනුමක් ලබපු කෙනෙකුත් නොවේ. එහෙම එකේ මියුරු කියන්නේ තවත් තමන් වගේම සම වයස් කොල්ලෙක් කියන අදහසින් ඔහු දෙස බලන්න වස්තුට තේරෙන්නෙ නැත. වස්තුට අනුව මියුරු කියන්නේ තමන්ට වඩා ඉහල සමාජයක් නියෝජනය කරන ධනවතෙකි. ඉතින් මහත්තයා කියා කතා කරනවා ඇරෙන්න වෙන විදියක් වස්තු නොදනී.
නදී වස්තු ගැන දුක්වුනාය. ඒත් ලැජ්ජ උනේ නැත. ලැජ්ජ වෙන්න දෙයක් නැත. තමන් මියුරුට තමන් ගැන ඇත්තම කතාව කියා නැත්තේ එහෙම කියන්න හේතුවක් තමන් දෙදෙනා අතර නැති හන්දාය. එහෙත් කෙදිනක හෝ එහෙම දෙයක් උනොත් මියුරු තමාට ආදරය කරන්නේ ඇත්තටම නම් තමන්ගේ සමාජය නියෝජනය වස්තු වැනි කොල්ලන්වද ඔහුට පිළිගන්න වන බව නදී දනී.
වස්තු තමන්ට මහත්තයා කියා කතා කරපු එක ගැන මියුරුත් චුට්ටක් විතර කලබල වෙච්ච එක ඇත්තය. ඒ උනාට ඒ කලබලය තමන්ගේ හිනාවෙන් වහගෙන සාමාන්‍ය විදියට හැසිරෙන්න මියුරුට අමාරු උනේ නැත.
“ඉතින් දැන් මොකද කරන්නේ?” මියුරු ඇහුවේ හතර දෙනා අතර තිබ්බ නිහඬතාවය බිඳලන්න මෙනි.
“දැන් අපි යන්න සර් හදන්නෙ” කියා නදී කිව්වේ කාවින්දි හීන් සීරුවේ වැලමිට කොනිත්තමින් එක එක සිග්නල් දෙද්දීය. කාවින්දි කියන්නට හදන්නේ මොනවද කියා දන්නෙ නැතත් මියුරු එක්ක මෙහෙම එලිමහනේ හැසිරෙන එක වැරදිලා හෝ ඔෆිස් එකේ ඉන්න ඇවිදින සීසීටීවි එකක ඇහැ ගැටේය කියන බව නදීට තිබ්බාය. මේ හදිස්සිය අන්න ඒක හන්දාය.
“එහෙම යන්න පුලුවන්ද අනේ? මෙහෙම මේ හතරදෙනාම සෙට් උනාට පස්සෙත්, අපි ඉස්සෙල්ලා ගිහින් මොනවහරි කමු බොමු නේද?” කියා මියුරු ඇහුවේ කාවින්දිගෙන් ය. ඒ ඕක නදීගෙන් ඇහුව නම් ටක්කෙටම නදී “අනේ බෑ” කියා කියන බව දන්න හන්දාය.
“අනේ කරදර වෙන්න එපා සර්, පරක්කුත් වෙනවා අපි ඒ හන්දා දැන් යන්නම්” කියා මියුරු හිතපු විදියටම නදී නෑ බෑ කියන්න ගත්තාය.
“බෑ බෑ, මේ තව පැය බාගයක් මෙතන හිටිය කියල ගෙදර යන්න පරක්කු වෙනවද? යන් යන් වැඩිය කන්න බොන්න නෙවෙයි අපි තේකක් බීල යන්” කියාගෙන මියුරු කාවින්දිටත් වස්තුටත් යන් කියා කීවේය. කාවින්දිත් වස්තුත් ඒ විදියට ඉස්සර වෙද්දී නදී ඇත්තටම උන්නේ “දැන් ඉතින් වෙන කුමක් කරන්නද?” කියා හිතමිනි.
මේ මිනිහා නම් මහ පුදුමම එකෙක් බව දන්නවා උනත් ඔෆිස් එකේ කවුරුහරි දකින්න පුලුවන් කියල හිතන්නෙ නැතුව මෙහෙම දෙයක් කරන්න පෙළඹීම ගැන නදී පුදුම වුණාය. මියුරු නම් උන්නේ ඔෆිස් එකක් ගැන මතක් කරන්නේවත් නැතුවය. නදීව දකින්න ආයෙ අනිද්ද වෙනකම් ඉන්න වෙනවනෙ කිය කිය හිත හිත උන්නු එකේ අද මෙහෙම අහම්බෙන් හම්බෙච්ච චාන්ස් එකක් නැති කරගන්න මියුරුට උවමනා නැත.
මියුරු තේ බොන්න තෝරගත්තේ පල්ලෙහ ෆුඩ් කෝට් එකේ ඩෙලිෆ්‍රාන්ස් අවන්හලයි. නදී විතරක් උන්නා නම් පැය ගාණක් හෝ කතා කරන බලාපොරොත්තුවෙන් ඩිල්මා ටී ලෞන්ජ් එකට හෝ උඩ තට්ටුවේ බැසිලර් එකට එක්කගෙන යන්න තිබ්බත් මේ තුන්දෙනාට තවම ඉන්නේ තමන්ව මෙහෙම පලවෙනි වතාවට හම්බෙච්ච එක ගැන පොඩ්ඩක් කුතුහලයෙන් බව දන්නා නිසා මියුරු ඕනවට වඩා දේවල් කරන්න ගියේ නැත.
ඩෙලිෆ්‍රාන්ස් අවන්හලෙන් පීච් ටාර්ට් තුනක් ගත්ත මියුරු තේ හතරක් ඇණවුම් කරවිත් වාඩිවුණේය. නදීට කාවින්දිට එහා පැත්තෙන් වාඩිවෙන්න උවමනා උනත් කාවින්දි නම් ප්ලෑන් කරගෙන හිටියේම දෙන්නව සෙට් කරන්න හන්ද කාවින්දි වස්තුට එහා පැත්තෙන් වාඩිවෙච්ච හන්දා මියුරුට වාඩිවෙන්න උනේ නදීට එහා පැත්තෙ පුටුවේය. ඒ පුටුවේ වාඩිවේ නදීගේ පුටුවේ පුටු ඇන්දට උඩින් අත දාගත්ත මියුරු ඉතින් ආයෙම වරක් තමන්ගේ ලස්සන හිනාව එළියට දැම්මේය.
“ඉතින් මොනවද අලුත් විස්තර?”
“අපේ නම් ඉතින් වෙනසක් නෑ සර්, වෙනද ගෙවිච්ච විදියටම තමා ගෙවෙන්නෙ ජීවිතේ” කියා කාවින්දි උත්තර දුන්නාය.
“අපි දැන් ඔය සර් කතාව අයින් කරමුද? මගෙ නම මියුරු, මට දැන් තිහක්. එක්කො මියුරු කියන්න, නැත්තම් අයියා කියන්නේ” කියා මියුරු හීන් සැරේ නදී දෙස බලද්දීත් නදී කලේ මේසය දිහා බලාගෙනම ඇඟිල්ලෙන් මේසය හුරමින් උන්නු එකය. හැබැයි ඉතින් මියුරු ඔහොම කියන්නේ ඇයි ද කියා ආයෙ අමුතුවෙන් තේරුම් බේරුම් කරගන්න වස්තුටවත් කාවින්දිටවත් උවමනා නැත.
ආදරේ ඉතින් හංගන්න ඉන්න පුලුවන් දෙයක් නොවේ.
තේත් පීච් ටාටුත් ආවේ ඒ වෙලාවේය. ඩෙලිෆ්‍රාන්ස් වේටර්වරයා පීච් ටාට් සහිත පීරිසි තුන නදීටත් කාවින්දිටත් වස්තුටත් ඉස්සරහින් තිබ්බේය.
“අයියා කන්නෙ නැද්ද?” කියා කාවින්දි ඇහුවේ මියුරුට පීච් ටාට් ලැබුනෙ නැති බව දැකය.
“මං ස්වීට් දේවල් කන්න ආස නෑ වැඩිය, ඒ උනාට නදීගේ ටාට් එකෙන් කටක් මට දෙනවලු, නේද?”