“නදී නංගා ආවෙ නැත්තෙ ඇයි විල්සන් අයියා” කියාගෙන මිලින්ද ආවේ හෙනම ලොකු සීන් එකෙන් ය. “දැන් ඉතින් මූ මේ බිස්නස් එකක් පටන් ගත්ත කියල උඩින් යන්න ගනී” කියල චන්ද්‍රකාන්තිට හිතුනත් වචන කරන්න නම් ගියේ නැත. වත්ත අස්සේ මොනව කියා ගත්තත් මෙහෙම තැනක කට්ටිය ලඟ එහෙම එක එක ඒව කියන එක උගෙ වගෙම තමන්ගෙ තත්ත්වෙටත් හරි නැත.
ප්‍රශ්නය ආවේ විල්සන්ව එල්ල කරගෙන හන්දා “ඌම උත්තර දෙන්නෙ නැතෑ” කියාගෙන චන්ද්‍රකාන්ති පැත්තක කට්ටිය එක්ක හිනාවෙවී උන්නි මාග්‍රට් ලඟට කිට්ටු කරාය.
“ඒකිට වැඩනෙ බං” විල්සන් කිව්වේ කන්න බොන්න තියෙන්නෙ මොනවද කියලා වටපිටේ බලන ගමන් ය. බීගත්තෙ නැතිවෙලාවට විල්සන්ට හොඳට කන්න ඕනය. කොච්චර කෑවත් ඉතින් හවසට උගුරට හලාගන්න ලෝ දිය ගංගාව හන්දා “කන දෙයක් ඇඟට අල්ලන්නෙ නෑ” කියා චන්ද්‍රකාන්ති කියන්නෙ විල්සන්ගේ නකුටු ඇඟ හන්දාය.
“එහෙම කියල පුලුවන්ද අයියෝ? තමන්ගෙ වැඩක් වෙනුවෙන් නිවාඩුවක් ගන්න බැරිනම් නංගිට කියන්න විල්සන් අයියා ජොබ් එකෙන් අයින් වෙන්න කියලා”
“ඇයි ඉන්පස්සෙ උඹ ඒකිට කන්න අඳින්න දෙනවද?”
“නංගියා කැමති නම් මට ඒක කරන එකත් ප්‍රශ්නයක් නෑ” කියා මිලින්ද කියන්නේ පාට කරපු කොණ්ඩයෙන් කොටසක් ගස්සමින් ලෝඩ් පකීර් වගේය. බිස්නස් එක පටන් අරගෙන තාම සත පහක් හම්බ කරේ නැතත් මොකෝ මිලින්ද උන්නේ කෝටි ගණන් හම්බ කරපු එකෙක් ගාණට තමන් ගැන හිතාගෙනය.
“ඉස්සෙල්ලා උඹ මේ වැඩේ තව හොඳට කරගෙන පලයංකො, ඉන්පස්සෙ බැරිය ඒවා” කියා විල්සන් කිව්වේ ඕක මේ මෙවෙලේ කතාකරන්න ඕන කතාවක්ද කියා හිතමිනි.
“ඕකනෙ ඉතින් විල්සන් අයියලට උනත් තේරෙන්නෙ නෑනෙ තමන්ගෙ දෙයක් කරගන්න එකේ තියෙන වටිනකම. නංගි ඔය එක එකා ලඟ වැඩ කරන එකේ අපි දෙන්නම එක්කහුවෙලා මේ වැඩේ ගොඩ දාගත්ත නම් ආයෙ ෆුල් ශපාන් එකේ ඉන්න තිවුනා නංගියට ගෙදරට වෙලා”
“ඇයි ඒකිටත් මේකට ඇවිල්ල උඹ එක පච්ච කොටන්නද? ඒකි දන්නෙ නෑනෙ ඒව” කියා විල්සන් හීන් සිරුවේ ලෙස්සා ගියේ මිලින්දගෙ කයියෙන් මිදී මොනවා හෝ කටට දාගන්න බලාගෙනය.
ඒ උනාට මිලින්ද නම් උන්නේ හවස් අතේ හෝ නදී හම්බෙලා මේ ගැන ආයෙ පාරක් කතා කරන්න හිතාගෙනය. නදීව ඇරෙන්න වෙන කෙනෙක් එක්ක ජීවිතේ ගෙවන්න බලාපොරොත්තුවක් ඉතින් මිලින්දට නැත. නදී තමන්ට උනත් මුලින් අකමැති උනේ හරිහමං රස්සාවක් නැති එකෙය. ඒ උනාට දැන් තමන්ට තමන්ගේම කියා දෙයක් තියෙන හන්දා නදීට අකමැති වෙන්න හේතුවක් නැති බව මිලින්ද දනී.
නදී හවස් වරුවේ ගෙදර ඇවිත් ඇඟ පත හෝදගෙන කාමරේට වී උන්නේ මියුරු එහා පැත්තේ හිඳ වට්සැප් ඔස්සේ එවන එක එක විකාර වලට උත්තර දෙන ගමන් ය. මියුරු එදා රෙස්ටුරන්ට් එකේ හිඳ ගෙදර යන අතරවාරයේ ෆෝන් එක අතේ තියා ඒක ගන්නම කියද්දී නොගෙන ඉන්න තමන්ට බැරිවෙච්ච එක නදී පිළිගනී.
“මං ඔයාව ගෙදරට ගිහින් ඩ්‍රොප් කරනවටත් අකමැති එකේ අඩුම ගානෙ මේ ෆෝන් එක ගන්න ප්ලීස්” කියා මියුරු හිස පැත්තකට ඇල කර කියද්දී ඒ බැල්මත් ඇරයුමත් මගහරින්න විදියක් නදීට තිබ්බේ නැත.
නදී කාමරයට වී මියුරු එක්ක චැට් කර කර ඉද්දීය මිලින්ද ගෙදෙට්ට ආවේ. ඒ වෙනදා වගේ අත් දෙක වන වන නොවේ, උදේ කඩේ ඕපන් කල වෙලාවේ සංග්‍රහ කරන්න ගෙනා කෑම බීල වලින් ඉතුරු බිතුරු වෙච්ච ටිකක් අම්මට කියා බෑග් එකක දාගෙනය.
“නදී”
“නංගි ඉන්නවදෝ?” කියා මිලින්ද කියද්දී නදිට ඉතින් එපාවෙච්ච එක අහන්න දෙයක් නොවේ.
“ඇවිත් තියෙන්නෙ ඔය. ඉවරයි ඉතින් ඉඳල දැන්” කියාගෙන නදී ඇඳෙන් නැගිට්ටේ කාමරයෙන් එලියට යන්න හිතාගෙනය. නැත්තං ඔය යකා මේක අස්සට ඔලුව දාන්න බැරිකමක්ද නැත.
හැබැයි නදී කාමරෙන් එලියට එන්නට කලින් කුස්සියේ හිඳ ඔලුව දැම්මේ චන්ද්‍රකාන්තිය.
“අප්පා තව ටිකෙන් නදී නංගියා කියල මං චන්ද්‍රකාන්ති අක්කට රැවටෙනවනෙ අප්පා, කලුවරේ පෙනුනෙත් නෑ’
“ඇයි උඹට හතලිස් ඇඳිරියද? ඇස් පේන්නෙ නැත්තං දැන් කොහොමද උඹ ඔය බිස්නස් එකවත් හරියාකාරව කරන්නෙ?’ කියා චන්ද්‍රකාන්ති ඉතින් අහන්නේ කෝචෝක් එකට බව දන්නවා උනත් මිලින්ද වෙනදා වගේ ඒ කතාවලට අද තරහ ගත්තේ නැත. මෙහෙම වෙලාවක තරහ ගන්න එක මූඩ් එක නාස්ති කරගන්න වෙන හේතුවක් හන්දා මිලින්ද හිත අස්සෙන් මොනව හිතුවත් එලියෙන් උන්නේ හිනා වෙලාමය.
නදී කාමරෙන් එලියට ආවේ ඕන් ඔය වෙලාවේය.
“අප්පා මං හිතුවා නංගිය ඒවි කියල අද ඕපනින් එකට”
“නිවාඩු ගන්න විදියක් නෑනෙ අයියෙ, තාම ගිය අලුතනෙ. ඒකයි. අනික ඉතින් මං නාව කියල පාඩුවක් වෙන්නෙ නෑනෙ”
“නැත්තෙ මොකද නංගි ඔයා නැත්තම් ඉතින් මට මොනව කරත් කිසි ලල් එකක් නැනෙ. මං හිතාගෙනම හිටියෙ මගෙ යාලුවන්ට එහෙමත් ඔයාව ඉන්ට්‍රඩියුස් කරල දෙන්න”
“ආහ් ඒ මොකටද?”
“නෑ ඉතින් මගේ නංගි කෙනෙක් කියල ඉන්ට්‍රඩියුස් කරල දෙන එක වටිනවනෙ නංගිට කොහෙදි හරි මොකක් හරි සප් එකක් වත් ඉල්ලගන්න ඕන උනත්. එහෙම මේ පොඩි උන් නෙවෙයි, හොඳ ජොබ් කරන උන්, නංගිලගෙ බොස්ල පවා දන්නවා ඇති නම් එහෙම කිව්වොත්” කියා මිලින්ද මේ දාන්නේ හෙන ශෝ එක බව ඉතින් නදීට අමුතුවෙන් කියාදෙන්න ඕන නැත.
“අනේ හොඳයි, අයියා එහෙම හිතන එකම කොච්චර හොඳද? මට ඕන උනෙත් අයියට ඔන්න ඔය ටික තේරුම් කරවල දෙන්නනෙ” කියා නදී කියන කතාව නම් මිලින්දට පොඩ්ඩක් විතර හතරබීරි කතාවකි.
“ඒ කිව්වෙ නංගි?’
“ඇයි අයියෙ මම ඔයාගෙ නංගි කෙනෙක් වගේමයි කියල හිතන එක. මෙච්චර දවසක් මං ඔන්න ඕකම තමා අයියට තේරුම් කරවන්න උත්සහ කරේ. අයියා අන්තිම මොහොතෙ හරි ඒක තේරුම් බේරුම් කරගත්ත එක කොච්චර හොඳ ද අනේ” කියා නදී හීන්සැරේ කියද්දී තමන් වචන වරද්ද ගත්ත බව තේරුනත් මිලින්ද ඉස්සරහට තිබ්බ අඩිය පස්සට තියන්න නම් හිතුවේ නැත. මිලින්ද ඊලඟ කතාව අහන්න කට ඇරිරේ චන්ද්‍රකාන්ති අහලක පහලක ඉන්නවද කියා බලමිනි.
“ඒකිටත් හොල්මන වගේ මේකි අස්සෙම රිංගන් ඉන්නෝන” කියා හිතන ගමන්ම මිලින්ද නදීව ඇමතුවේය.
“නංගි මොනව කිව්වත් මම එදා කිව්වෙ කාරණේ හිතෙන් අස් කරගත්තෙ නෑ නංගි. ඔයා දන්නවනෙ මං එහෙම ලේසියෙන් රිවස් ගහන ඩයල් එකක් නෙවි කියල, යනවනම් ඉස්සරහටම තමා”
“ඉස්සරහට තියා පස්සටවත් ඉතින් මට නං එන්න වෙන්නේ නෑ අයියෙ” නදී කිව්වේ දෙයක් හිතේ තියාගෙන වගේය.
“වාහනේට නඟින්න කලියෙන් වාහනේ යන්නෙ ඉස්සරහටද පස්සටද කියල වොරි වෙලා වැඩක් නෑනෙ නංගියා, ඉස්සෙල්ලා නැගල බලන්න ඕන නේද?”
“වාහනේ ඉතින් ඉස්සරහටද යන්නෙ පස්සටද යන්නෙ කියල හරියට දන්නෙ නැතුව වාහනේකට නැගල වැඩක් නෑනෙ අයියෙ නේද? හදිසියේ හරි ඉස්සරහට නොගියොත් ආයෙ බැහැල වෙන වාහනයක් එනකම් ඉන්න වෙනවනෙ”
“අපේ වාහනනම් ඉතින් ඉස්සරහටම තමා යන්නෙ නංගි”
“ඒ උනාට මං දැන් වෙන වාහනේකට නැගල ඉවරයි අයියෙ, ඒකෙන් තමයි මං ඉස්සරහට යන්න හිතන් ඉන්නෙ”
නදී එහෙම කියද්දී මිලින්ද පුටුවෙන් නැගිට්ටා නොවේ උඩ ගියාය. නදී මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියා හිතාගන්න බැරුව මිලින්ද එහෙමම ඉද්දී නදී නං කිසිම ගානක් නෑ වගේය කාමරේට රිංගුවේ.
එදා ආයේ ගෙදර ගොස් කල්පනා කරන්න දහසක් දේවල් මිලින්දට තිබ්බේය. ඒ හැම හිතුවිලලකටම වඩා උඩින්ම තිබ්බේ “නදී නැග්ගේ කාගෙ වාහනේටද?” කියන එක ය.