මතක දිගහැරුම 40 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හතලිස්වන දිගහැරුම ,

ලංකාවේ දුගී පවුල් වලින් හදාවඩා ගැනීම සඳහා ලබාගත් දරුවන්ව,ඔවුන් උස් මහත් වූ පසු නව දෙමාපියන් විසින් නැවත ඔවුන්ගේ මව් රටට කැටුව පැමිණීමේදී ද මට මුණ ගැසී ඇත.ඇතැම් දෙමාපියන් දරුවන් ව එසේ රැගෙන එන්නේ මව් රට පෙන්වීම සඳහා වන අතර ඇතැම් දෙමව්පියන් දරුවන් ව රැගෙන පැමිණෙන්නේ ඔවුන්ගේ සැබෑ දෙමාපියන්ව මුණ ගැස්වීමේ සඳහාය.ශ්‍රී ලංකාවේ ඉපදී විදෙස් රටක දෙමව්පියන් යටතේ හැදී වැඩී එම රටෙන් ම අධ්‍යාපනය ලබා හොඳින් උස්මහත් වූ දරුවන් දකින විට ඔවුන් ඉතා වාසනාවන්ත අය යැයි ඇතැම් අවස්ථාවල මට සිතුනි.ඒවා මා අත්විඳි ඉතා පුදුම සහගත අත්දැකීම් ය.

වරක් මා වතිකානුවට ගිය අවස්ථාවකදී එහි පූජාවකට සහභාගි වුණෙමි.එම පූජාවේදී Rosary එකක් මට ලැබුනු අතර එහෙම නිතරම මා මගේ අත් බෑගයේ තබා ගෙන සිටියෙමි.ඒ වගේම බෞද්ධාගමිකයෙකු වූ මාගේ අත්බෑගයේ කුඩා බුදු පිළිමයක්ද නිතරම තිබිනි.ගුවන්යානා ගුවන් ගත සෑම අවස්ථාවකදීම මා කුඩා බුදු පිළිමය සහ Rosary එක සහිත මගෙ අත්බෑගය මගේ උකුලේ තබාගෙන සිටිමි.එමඟින් මා ගමන් ගන්නා සෑම ගුවන් ගමනකදීම මා ආරක්ෂා කරන බැව් මා විශ්වාස කළෙමි.

ඉතා ධනවත් වූ අරාබි ජාතිකයන් ඇතැම් විට ගුවන් යානා වල රත්තරන් රැගෙන යන අතර ඔවුන් ඒවා රැගෙන යන්නේ ගුවන් යානයේ තමන්ට යාබද අසුනේ තබාගෙනය.තවත් සමහර අරාබි ජාතිකයන් දඩයම් කිරීම සඳහා වෙනත් රටවලට යන අවස්ථාද මා දැක ඇත.මොවුන් දඩයම් කිරීම සඳහා හොඳම වර්ගයේ සහ ඉතා ලස්සන උකුස්සන් රැගෙන යන අතර ඔවුන් මිලෙන් ඉතා අධිකය.ඔවුන්ව ගුවන් යානය වෙත රැගෙන එන්නේ ලෙදර් වලින් නිමවූ කවරයකින් දෑස් සහ හොට වසා ගෙනය.එම උකුස්සන්ගෙ හිමිකරුවන් ඔවුන් වෙනුවෙන්ම මුදල් ගෙවා වෙනමම ආසන වෙන්කරවා ගන්නා අතර ඔවුන් තමන්ගේ උකුස්සන්ව එම ආසන මත තබා ගෙන යති.ඇතැම් අය ඔවුන් වෙනුවෙන් නිමවූ ස්ටෑන්ඩ් වර්ගයක් මත ඔවුන්ව තබා ගෙන යන අතර එම ස්ටෑන්ඩ් එක ආසනය මත තබා ඒ මත උකුස්සාට වාඩිවී සිටීමට සලස්වයි. බොහෝවිට ගුවන් යානයේ ආසන උකුස්සන් වෙත වෙන් කර ඇති විට කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ට අවැසි ආකාරයට එම ආසන කලින් සූදානම් කර තබයි.වරක් මා රාජකාරි කළ ගුවන් ගමන් වාරයක මිනිසුන් දෙදෙනෙක් පමණක් සිටි අතර අනෙක් සියලුම ආසන වල සිටියේ දඩයම් කිරීම සඳහා රැගෙන යන උකුස්සන් ය.ඇතැම් විට ඔවුන් අසලින් යාමට පවා අප බිය වූ අවස්ථාද ඇත.

ඩුබායි හි Gold souk නමින් නම් කල එක් ප්‍රදේශයක් ඇති අතර එහි සම්පූර්ණයෙන්ම විකිණීමට ඇත්තේ රත්තරන් පමණක්ය.විවිධ වූ මිල ගණන් යටතේ ඉතා හොඳ වර්ගයේ රත්තරන් ආභරණ එහි විකිණීමට ඇත.වැටුප් ලැබුණු පසු මා එහි ගොස් විවිධ වූ ආභරණ ද මිලට ගෙන ඇත්තෙමි.එපමණක් නොව සාප්පු සවාරි යෑම සඳහා බෙහෙවින් කැමැත්තක් දැක්වූ මා නිවසට යන විට රැගෙන යෑම සඳහා විවිධ වූ බඩු භාණ්ඩ විශාල වශයෙන් මිලදී ගතිමි.

ඉතා තරුණ වයසේ පසු වූ මා හට ඕනෑම තරුණියකට මෙන්ම විවාහ යෝජනා ගලා එන්නට විය.Air lanka ආයතනයේ සේවය කරන කාලයේ මෙන්ම එමිරේට්ස් ආයතනයේ සේවය කරන කාලයේ ද විවිධ තරාතිරම්වල පුද්ගලයන් ගෙන් , විවිධ ජාතීන් වල පුද්ගලයන්ගෙන් මෙන්ම විශාල ධන කුවේරයන්ගෙන් ද මා හට එවැනි යෝජනා පැමිණියේය.එකී විවාහ යෝජනා සලකා බැලුවහොත් ඉතා සුවපහසු ජීවිත ගත කරන විශාල ධන සම්භාරයක් හිමි බොහෝ පුද්ගලයන්ගෙන් විවාහ යෝජනා පැමිණියද මා ඒ සියල්ලම ඉතා කාරුණිකව සහ සුහදව ඒවා ප්‍රතික්ෂේප කළෙමි.

මුදල් මූලික කරගනිමින් ,මට පැමිණි විවාහ යෝජනා පිළිබඳව මා සලකා බැලුවා නම් විශාල ධනයක් හිමි ධනපතියෙක් විවාහ කර ගැනීමට මා හට ඕනෑ තරම් අවස්ථාව තිබුණි .නමුත් ඇත්ත වශයෙන්ම මා බලාපොරොත්තු වූයේ මගේ අම්මා සහ තාත්තා මෙන් ඉතා ආදරයෙන් මා රැක බලා ගත හැකි , යහපත් ගතිගුණ සහිත කරුණාවන්ත පුද්ගලයෙක් මිස මා විවාහ කර ගන්නා පුද්ගලයාට යාන වාහන සහ දේපල තිබිය යුතු බව වත් නොවේ.

ආදරය සහ බැඳීමක් මගේ ජීවිතයේ ද එක අවදියක තිබූ අතර එය මා හට බොහෝ අත්දැකීම් සහ ජීවිතයේ තවත් එක් පැතිකඩක් පිලිබඳව අවැසි පාඩම් සහ අත්දැකීම් සිදුවීම හරහා ලබා දීමෙන් යම් දුරකට මා පරිණත භාවයට පත් කරවාලීය. එයට හේතුව වූයේ කල් යත්ම අප දෙදෙනා අතර වූ අදහස් නොගැලපීම් සහ ගතිගුණ අතර වූ නොගැලපීම් ය.ඇතැම් අවස්ථාවල මා බලාපොරොත්තු වූ ආදරය සහ රැකවරණය නොලැබීමද අප දෙදෙනාට එක්ව ගමනක් යා නොහැකි බවට අප තීරණය කිරීමට හේතු විය. ඒවා පිළිබඳව කථා බස් කර සුහදව වෙන් වීමට අපට හැකියාව තිබුණු අතර කිසිම විටෙකත් අප දෙදෙනා වෙන් වීමට තීරණය කිරීම පිළිබඳව අප අතර තරහවක් හෝ වෛරයක් තිබුණේ නැත.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles