නිවසේ වියදමත් අඩු කරලා ඔබේ කාලයත් ඉතිරි කරන අපූරු සැලැස්මක්

කාර්යබහුල ජීවන රටාවක් හිමි කාන්තාවන්ට එදිනෙදා සකස් කරන ආහාරවල පෝෂණය සහ ගැලපීම ගැන හිතන්නට වෙලාවක් නැති තරම් . නමුත් කල් තියා යම් සැලසුමකට අනුව ආහාර පිසිනවා නම් පෝෂ්‍යදායි ආහාර වේලක් රසවිඳීමට හැකියාව ලැබෙනවා මෙන්ම කාලයත් ඉතිරි කර ගන්නට පුළුවන්. මේ ලිපියෙන් ඔබට කියන්නේ ආහාර සැලසුමක් එහෙමත් නැත්නම් meal plan එකක් සකස් කර ගන්නේ කොහොමද කියලා

සතිඅන්තයේදී සැලසුම් කරන්න

සෑම සති අන්තයක දීම , ඉදිරි සතිය ඇතුලත ඔබ පිසීම සඳහා සූදානම් වන ආහාර පිළිබඳව සැලසුමක් සකස් කරන්න. උදෑසන ,දහවල් සහ රාත්‍රී ආහාර වේල සඳහා ඔබ පිසීමට බලාපොරොත්තු වන සියලුම දෑ එහි සටහන් කරන්න .ඒ වගේම බත් සමග ඔබ පිසින එළවළු සහ මාළු වර්ග එකිනෙකට ගැලපෙන ලෙස meal plan එක සකස් කරන්නටත් අමතක කරන්න එපා.

උදෑසන ආහාරය සඳහා පෝශ්‍යදායි රොටි වර්ග , පෝෂ්‍යදායි සැන්විච් වර්ග , කිරිබත් වර්ග හෝ ධාන්‍ය වර්ග සකස් කරන්නට ඔබට පුළුවන්

දහවල් ආහාරය සඳහා බත් සමඟ කොළ මැල්ලුමක් හෝ සලාදයක් , මස් හෝ මාළු වර්ගයක් , පරිප්පු ,අල, වට්ටක්කා , බතල ,කඩල වැනි ව්‍යාංජනයක් , කැරට් ,බෝංචි ,බීට් රූට් , වම්බටු ,තලන බටු වැනි එලවලු වලින් ව්‍යාංජනයක් සකස් කරන්නට ඔබට පුළුවන්

රාත්‍රී ආහාරය සඳහා පිට්ටු , ඉඳිආප්ප , ආප්ප , නූඩ්ල්ස් වැනි ආහාර හෝ සුප් වර්ගයක් හෝ වෙනත් විශේෂ බත් වර්ගයක් හෝ ටෝස්ට් කල පාන් සමඟ තම්බපු එළවලු සකස් කරන්නට ඔබට පුළුවන්

ඔබ වඩාත් කාර්යබහුල දිනයන් වෙන්කර ගන්න

meal plan එකක් සකස් කරන කොට ඔබ මතක තියාගන්න ඕනෑ විශේෂ කාරණයක් තිබෙනවා. සතිය ඇතුළත දී ඔබ වඩාත් කාර්යබහුල විය හැකි සිතෙන දිනයන් වලදි පහසුවෙන් සකස් කරගත හැකි ආහාර වට්ටෝරු meal plan එකට ඇතුලත් කරන්නට ඔබ වග බලා ගන්න ඕනේ . එවැනි දිනවලට පහසුවෙන් සහ අඩු වේලාවක් ඇතුළත සකස් කරගත හැකි සැන්විච් වර්ග , බත් වර්ග හෝ නූඩ්ල්ස් වර්ග සැලසුමට ඇතුළත් කරන්න ඔබට පුළුවන්

ඉතිරි අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගන්න

පසුගිය සතියේ ඉතිරි වූ එළවළු වර්ග සහ මස් මාළු වර්ග ඇත්නම් ඒවා ඉදිරි සතියේ මුල් දිනවල ප්‍රයෝජනයට ගත හැකි ලෙස ඔබේ සැලසුම සකස් කරන්න . නැතිනම් ඒවා ප්‍රයෝජනයට ගෙන විශේෂ බත් වර්ග හෝ නූඩ්ල්ස් වර්ග සති අන්තයේදී පිළියෙල කරන්නත් ඔබට පුළුවන්

බඩු ලැයිස්තුවක් සකස් කරන්න

ඉදිරි සතියට ආහාර පිසීම සඳහා අවශ්‍ය බඩු මිලදී ගැනීමට පෙර ලයිස්තුවක් සකස් කර ගන්න. එහිදී ඔබේ මුළුතැන්ගෙයි සහ ශීතකරණ යෙහි දැනට ඉතිරිව ඇති එළවළු ,මස් මාළු වර්ග සහ අනෙකුත් අමුද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කරමින් එම ලයිස්තුව ඔබ සකස් කළ යුතුයි . ඉදිරි සතියෙහි ඔබේ ආහාර සැලසුමට අනුව සහ නිවසේ දැනට ඉතිරිව ඇති අමුද්‍රව්‍ය වලට අනුව ඔබේ බඩු ලයිස්තුව සකස් කිරීම ඔබේ කාලය මෙන්ම මුදල් ද ඉතිරි කිරීමක් . ඒ වගේම ඔබට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට යාමට සතියේ දිනවල ඉතා හදිසියෙන් නොයා සති අන්තයේ විවේකී වෙලාවක යාමට උත්සාහ කරන්න

මිලදී ගත් දෑ නිසි ලෙස ගබඩා කරන්න

ආහාර සැලසුම් කිරීමේදී ඔබ මිලදී ගන්නා දේවල් නිසි ආකාරයෙන් ගබඩා කිරීමත් වැදගත්. එළවලු සහ මස් මාලු වර්ග හොඳින් පිරිසිදු කර කොටස් වලට වෙන් කර වාතය ඇතුළු නොවන බෑග් වල හෝ පෙට්ටිවල බහා ශීතකරණයෙහි ගබඩා කළ යුතුයි. ඒ වගේම ඔබේ ආහාර සැලසුමට අනුව ඔබ ඊළඟ දිනයේ දී කිසියම් මස් හෝ මාළු වර්ගයක් පිසීමට නියමිත නම් පෙර දින රාත්‍රියේ දී අවශ්‍ය කොටස ශීතකරණයෙන් පිටතට ගෙන ඒවාට අවශ්‍ය ලූණු සහ පහේ වර්ග එකතු කර ශීතකරණයේ සාමාන්‍ය කොටසින් තැන්පත් කිරීමෙන් ඊලග දිනයේ දී ඒවායේ සීතල ඉවත් වන තුරු බලා සිටීමට ඔබට සිදු නොවන අතර රාත්‍රිය පුරාවටම ඒවාට ලුණු සහ අනෙකුත් පහේ වර්ග දවටා ඇති නිසා තවත් රසවත් ලෙස ව්‍යාංජන පිස ගැනීමටද ඔබට හැකි වෙනවා .

නව ආහාර වට්ටෝරු අනුගමනය කරන්න

ඔබට විවේකයක් ලැබෙන විටදී අන්තර්ජාලය හරහා නව ආහාර වට්ටෝරු පිළිබඳව සොයා බලන්නට පුළුවන් .එකම ආකාරයේ වෑංජන ඔබේ ආහාර සැලසුමට ඇතුලත් ඇතුළත් කරනවට වඩා එකම එළවළුව ආකාර කිහිපයකින් සකස් කරන්නට ඔබට පුළුවන් .එවිට ඔබේ ආහාර සැලසුමෙහි විවිධත්වයක් අත් දකින්නට ද ඔබට හැකියාව ලැබෙනවා

Meal plan එකක් ඔබ සතුව ඇති විට ඊලග දිනයේදී ඔබේ ආහාරයට එකතු වන්නේ මොනවාදැයි ඔබ දැනටමත් දන්නවා . ඒ නිසා උදෑසන අවදි වී “අද උයන්නේ මොනවාදැයි” කල්පනා කිරීමට ඔබට කාලය වැය වන්නේ නැහැ . ඔබ නිවාඩු පාඩුවේ සකස් කරන ආහාර සැලසුම නිසා ඔබේ ආහාර වේලෙහි පෝෂණ ගුණය ගැන වද වීමටත් ඔබට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා කාර්යබහුල කාන්තාවන්ට meal plan එකක් කියන්නේ ඇත්ත වශයෙන්ම කාලය ඉතිරි කර ගැනීමට හොඳම මෙවලමක් ලෙස හඳුන්වන්නට පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles