මියුරු පෙම් වසන්තේ – 36

“මං ඔයාට බොරු කිව්ව කියල හිතන්න එපා. මම බොරුවක්වත් ඇත්තක්වත් කිව්වේ නෑ. මම මුකුත් නොකිය උන්නු එකයි කරේ. මට සමාවෙන්න ඒකට” කියා නදී කියා යැව්වේ මියුරුගෙන් දැන් මැසේජ් එකක් ඒවි කියල බල බල ඉඳ බැරිම තැනය. ඒ මැසේජ් එක ගිය බවත් මියුරු එය දැක්ක බවත් වට්සැප් තිරය මත වැටී තිබුනද මියුරු වෙනදා වගේ තකහනියේ ඒකට රිප්ලයි කරේ නැත.

මියුරු උන්නේ එදා රෑටවත් හරියට බත් කටක් කටට ගන්න බැරි තරම් ඔලුව රිද්දගෙනය. “නදී ඇයි මට එහෙම කලේ?” කියා ගෙදර යනතුරුත්, ගෙදර ගියයින් පස්සෙත් මියුරු ඒකම කල්පනා කර කර උන්නේය. නදී මෙච්චර දවස් තමන්ව රිජෙක්ට් කරන්න හේතු උනේ ඔය කොල්ලා බව හිතෙද්දී මෙච්චර දවසක් නදී වෙනුවෙන් දාහක් දේවල් කරන්න හිතපු හිත එලියට අරගෙන හපලා කන්න මියුරුට හිතුනේය.

“ඔලුව රිදෙනවා” කියා ඉක්මනට කෑම මේසයෙන් නැගිට කාමරයට ඇවිත් ඇඳේ හාන්සි වීත් මියුරු කල්පනා කර කර උන්නා මිසක නින්දක් නම් අහලකටවත් ආවේ නැත. නදීගේ වට්සැප් මැසේජ් එක ආවේ අන්න එහෙම වෙලාවකය.

නදීට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියා හිතාගන්න බැරි උනත් තමන් මේකට උත්තර දෙන්න ඕන බව මියුරු දනී. දුරකතනය අතට ගත්තත් දුකයි තරහයි දෙකම එක්ක ටයිප් කරගන්නත් අපහසුය.

“ඔයා තව මොනවද මට නොකිව්වෙ කියන්න මම දන්නෙ නෑ, ඒ උනාට ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල නොකිව්ව එකයි මට තියන දුක. අඩුම ගානෙ අඩුම ගානෙ මාත් එක්ක එලියට යද්දිවත් හිතුනෙ නැද්ද නදී ඔයාට ඔයා අපි දෙන්නවම රවට්ට රවට්ට කරන්නෙ මහ කැත වැඩක් කියල”

මියුරු එහෙම එවාවි කියා බලාපොරොත්තුවෙන් උන්නත් ඒ වචන දකිද්දී හිත හෝස්ගාලා යන එක නවත්ත ගන්න නම් නදීට පුලුවන් උනේ නැත. මියුරු අද තමන් ගැන වැරදියට හිතාගෙන ඉන්නෙ තමන් මේ හැමදේම හංගගෙන උන්නු හන්දා බව නදී දනී. ඉතින් මේ දුක උරුම දෙයකි.

“අනේ මම කියන දේ පොඩ්ඩක් අහන්න, මම ඔයාව රැවැට්ටුවෙ නෑ. මිලින්ද මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි”

“එහෙම නම් ඇයි එයා අද ඔෆිස් එකට ආවෙ, ඇයි එහෙම ඇවිත් එයා ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා ඉන්ට්‍රඩියුස් කරේ? කොල්ලෙක් බොරුවට එහෙම කරන්නෙ නෑනෙ නදී. එයා බොරුවක් නම් කරේ ඇයි ඔයා එයා කතා කරාම එයා එක්ක ගියේ?”

“ඇත්ත මං කරපු දේ වැරදි, මට තිබ්බා එහෙම නොගිහින් ඉන්න. මම එයා කතා කරාම ගියේ මට හංගන්න දෙයක් තිබ්බ හන්දා මම ඒක පිලිගන්නවා. හැබැයි ඒ කීයටවත් මිලින්ද මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන එක නෙවෙයි”

“එහෙනම්? තව මොනවද ඔයා මට නොකිය ඉඳල තියෙන්නෙ. කියන්නකො බලන්න මම තව මොනවද ඔයා ගැන නොදන්නෙ කියල” මියුරු ඇහුවේ බාගයක් දුකත්, බාගයක් කේන්තියක් එක්කහු වෙච්ච කටහඬකිනි.

“මං ඇත්තටම මං ගැන කිසිම දෙයක් ඔයාට කියල නෑ මියුරු” 

නදී ඒ තමන්ට නම කියා කතා කලේ පලවෙනි වතාවට බවත් ඇය එහෙම කිව්වේත් ඉතාම අසරණ හඬකින් බවත් මියුරුට නොතේරුනා නොවේ. තමන් දන්නේ නැති දෙයක් මෙතන තියෙන බවත් ඇය මෙතෙක් දවසක් තමන්ගේ ප්‍රේමාරාධනාවට කිසිවක් නොකිය හිඳ තිබෙන්නේත් එය හන්දා විය හැකි බවත් මියුරුට හිතුනේය. මෙච්චරවෙලා චැට් කර කර උන්නු එක නවතා මියුරු ඇමතුමක් ගත්තේ මේ සියල්ල ඇගේ කටහඬෙන්ම අහගන්න තියන උවමනාවටය.

“අඬනවද?” මියුරු එහෙම ඇහුවේ හෙලෝ කියද්දී නදීගේ කටහඬෙන් ඇහිච්ච වෙනස හන්දාය. නදී ඔලුව වැනුවාය. හැබැයි ඔලුව වැනුවට ඒක මියුරුට පෙනෙන්නෙ නැති බව නදීට මතක් උනේ පස්සේය.

“නෑ” කියා කියන්නේ ඉතින් ඇත්ත කතාවේ අනිත් පැත්ත බව නදී වගේම මියුරුත් දනී.

“අඬන්න එපා නදී, අයෑම් සොරි, මම ඔයාට ටිකක් සැරෙන් කතාකරා”

“නෑ නෑ ඔයා කතා කරපු එකේ වරදක් නෑ. ඔයාට එහෙම හිතිච්ච එකත් වරදක් නෑ. ඕනම කෙනෙක්ට එහෙම දෙයක් කරාම හිතෙනවනෙ තමන් රැවටිලා කියල. අනික ඔක්කොටම වඩා මෙතන ලොකුම වරද මගේ, මම මං කවුද කියල ඔයාට නොකිව්ව එකයි වරද.

මං ඇත්තටම එහෙම කරේ මං මං ගැන ඇත්ත කිව්වනම් මට ජොබ් එක නැතිවෙයි, එහෙම නැත්තම් මට ඔෆිස් එක ඇතුලෙ තැනක් නැතිවෙයි කියන බය හන්දා. එහෙම නැතුව ඔයාව රවට්ටන්න හිතාගෙන නෙවෙයි.

මම ඔයා හිතාගෙන ඉන්න කෙනා නෙවෙයි සර්. ඔයා හිතන,  අර ඔයා දවසක් කිව්ව හොඳට ඉගෙන ගත්ත, ලස්සන, හොඳ පවුලක කියල. ඒ මුල් ඒව ඇත්ත වෙන්නැති. ඒ උනාට මම හොඳ පවුලක කෙනෙක් නෙවෙයි සර්. මං හිතන්නෙ නෑ තවදුරටත් මං මේක හංගගෙන ඉන්න එකෙන් මටවත් කාටවත් හොඳක් වෙයි කියල. අපි කොච්චර උත්සහ කරත් අපිට කවදාවත් බෑනෙ අපි ඉපදිච්ච තැන්වලින් සම්පූර්ණයෙන්ම මුල් ටික ගලවගෙන ගිහින් වෙන තැනක පැලවෙන්න අපිට බෑනෙ සර්. කොච්චර අකමැති උනත් අපිට සිද්ද වෙනව අපි ඉපදිච්ච විදිය පිලිගන්න”

“ඒ කතාව බොරුවක් කියල මම කියන්නෙ නෑ. ඒ උනාට ඔයාගෙ රස්සාවට, ඔයාගෙ ජීවිතේට සදාකාලිකවම ඔයා ඉපදිච්ච තැන ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නදී. ඔයා හොඳට ඉගෙන ගෙන ඉස්සරහට යද්දි කාටවත් වැදගත් උනේ නෑනෙ ඔයා ආවෙ කොහෙන්ද කියන එක. 

ඒ වගේම තමයි නේද රස්සාවකට උනත්? ඔයා හොඳට වැඩ ටික කරගෙන යනවනම්, ඔයා අවංක නම් ඔයා ආවෙ කොහෙන්ද කියන එක වැඩක්ම නෑනෙ. ඉතින් මං හිතන්නෙ නෑ ඔයා කොච්චර දුප්පත් තැනක කෙනෙක් උනත් ඒක අදාල වෙනව කියල ඔයාට  රස්සාවකින් ඉස්සරහට යන්න”

මියුරු එහෙම කියද්දී ඒක ඇත්තක් බව නදී දැනගෙන උන්නත් ඇත්ත ජීවිතයේ ඒ ඇත්තට ජීවත්වෙන එක කොච්චර අමාරුද කියා දැනගෙන උන්නේ ඒ යතාර්තයේම ජීවත් වෙච්ච කෙනෙක් විතරය. ඒ ඇත්තට එලියෙන් ඉඳගෙන ඒ ඇත්ත දිහා බලාගෙන ඉන්න කෙනෙක්ට කවදාවත් ඒ ඇත්ත කොච්චර තිත්තද කියා තේරෙන්නෙ නැත. 

මියුරු කියන සර්ව සාධාරණ ලෝකය ගිලිහී ගොස් තිබෙන බවත්, ඒ ලෝකය තුල තමන් වගේ පාතාලයක හිඳ එලියට ඔලුව දාපු එකියකට ජීවත්වෙන එක අමාරු බව නදී දැන උන්නාය. ඒ හන්දාම ඒ කිසිත් නොදන්නා, සුඛිත මුදිත ජීවිතයක් ගෙවන මියුරු ගැන නදීට ඇත්තටම දැනුනේ දුකකි.

“ඔය කියන කතාව හරි කියල කියන්න පුලුවන් සර්ල වගේ එලියෙ ඉඳන් ඒ වගේ ජීවිත දිහා බලන මනුස්සයෙක්ට විතරයි සර්. ඇත්තටම වෙන්නෙ මොකද්ද කියලා තේරෙන්නෙ ඒ ලෝකෙ ඇතුලෙ ජීවත් වෙන මනුස්සයෙක්ටම විතරයි.

සර්ල ඔය කියන තරම් වත් හිතන තරම්වත් ඒ ඇත්ත ලස්සනවත් පිළිගන්න පුලුවන් තැනකවත් නෑ”

නදී කියන්නේ බරපතල කතාවක් බව දැන උන්නත් මියුරු උන්නේ එහෙම දෙයක් තේරුම්ගන්න පුලුවන් තැනම නොවේ. මියුරු කවදාවත් තමන්ගේ කුමාර ජීවිතයෙන් මොහොතකට හෝ එලියට අඩිය තිබ්බ කොල්ලෙකු නොවේ.

එහෙම කොල්ලෙකුට තමන් කියන ජීවිතය පිලිගන්නට තබා ඒ ඇත්ත අහගෙන ඉන්න එකත් අමාරු බව දැන උන්නත් තව දුරටත් රස්සාවවත් ආදරයවත් ගැන හිතමින් ඒ ඇත්ත නොකිය ඉන්න එක තේරුමක් නැති බව දන්න හන්දාම නදී අන්තිමේ ඒ කතාව කියා දාන්න හිතුවාය.

“සර් හිතන තරම් ලස්සන ජීවිතයක් නෙවෙයි සර් මට තියෙන්නෙ”

“මට ඔයා කියන දේ තේරෙන්නෙ නෑ නදී”

“මං කියන දේ නොතේරෙන එකේ සර්ට් අපේ ජීවිත කවදාවත් තේරුම් ගන්න බෑ සර්. මම සර් හිතනව වගේ හොඳ පවුලක කෙනෙක් නෙවෙයි සර්. මගෙ තාත්තට රස්සාවක් නෑ එයා දවස ගාණෙ බීගෙන ඉන්නෙ, මගෙ අම්මව මං අවුරුදු ගාණකින් දැකලා නෑ. එයා රට ඉන්නෙ. මං ආච්චි ළඟ ඉන්නෙ. මිලින්ද කියන්නෙ මගෙ පස්සෙන් එන කොල්ලෙක්.

අපි හැමෝම ඉන්න මරදානෙ අල්විස් වත්තෙ සර්. විස්සෙ කණුවෙ අල්විස් වත්තෙ විල්සන් කවුද කියල සර් මරදානෙ ඕන කසිප්පි පොට් එකකින් අහන්නකො, සර්ට අපි හැමෝම ගැන දැනගන්න පුලුවන් වෙයි

සර්ට පුලුවන් ද දැනුත් මං ගැන ඉස්සර හිතුවා වගේ හිතන්න?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles