සීත මාරුතේ -37

මා යළි මිස්ට් ෆීල්ඩ් වෙත ආවේ අප්පච්චි ගේ මෝටර් රථයෙන් ගෙදර අයත් එක්ක ම ය. අපත් සමග ම කසුනි හා හංසිකා ස්කූටරයෙන් පැමිණියහ.

මා හිටියේ සුදු දිග ගවොමකින් සැරසී ගෙන ය. දිය නා ගෙන, නංගී විසින් මැද දුන් ඒ ගවුම උණුසුම පිට ම හැඳ ගත් විට අමුතු නැවුම් බවක් මට දැනෙන්නට විය. කැඩපත ඉදිරියේ සිටියදී, දිය බින්දු බේරෙනා හිස කේ මැද්දෙන් මට මගේ මූණ පෙනුණේ පිපුණ අලුත මලක් මෙනි. මගේ ඇස් ටීක් බෝල මෙන් දිලිසෙනවායි, පෞද්ගලික විශ්ව විද්‍යාලයේ දී ප්‍රේමය විමසමින් පසු පස ආ පිරිමි ළමයෙකු කීවේ ය. ඒ මගේ ඇස් වලට අනන්‍ය වූ ලක්ෂණයක් වන්නට ඇතැයි මම ඔහු ගේ හිත හදන්නට කීවෙමි. නමුත් මේ මොහොතේ මගේ ඇස් වල කාන්තිය මටත් බලා හිඳිය නො හැකි එකකි.

“අර කොල්ලව අවුස්සන්න දන්න ශිල්ප ඔක්කොම දාන්න එපා හලෝ. පොඩ්ඩක් මුණිවර සිං රාජ්පුත් ට ඉඩ දෙමු දෙන්නගෙං කවුද කියල නිදහසේ  තෝර ගන්න”

ගෙල පිටුපස මා විලවුන් බිඳක් තවරත්දී නාන කාමරයෙන් කාමරයට ආ නංගී කීවා ය. මගේ තොල් කොන් අනායාස සිනහවකට ඇද විය. 

“එයා ධාරාව රිජෙක්ට් කරල ඉවරයිනෙ”

“ජූජකස් ට ගෑනු ළමයි ඇලර්ජි වගේද දන්නෑනෙ”

“අනේ මේ. එයාට එහෙම අසනීපයක් නෑ හරිද…”

“එහෙනං ඉතිං අලව් යූ කියන්න ඔච්චර ටයිම් වේස්ට් කරන්න බෑ”

“හරි හරි. අපිට ඒක වචනෙං කියා ගන්න උවමනාවක් නෑ”

“ආ…ඉබ්බෙක් ගිය උඩ කිව්වලු”

රිය තුළ දී ද මගේ මුවෙහි මන්දස්මිතයක් විය. මග අයිනේ විසල් දේවදාර ගස් ඒ සිනහව වැළඳ ගන්නට ඇත.

මම සිය දහස් ගණනින් නවකතා කියවා ඇත්තෙමි. ප්‍රේමය විෂය කර ගත් දෙස් විදෙස් ටෙලි නාට්‍ය හා චිත්‍රපට අපමණ නරඹා ඇත්තෙමි. ජීවිත කතාවක් හෝ ප්‍රේම කතාවක් වඩා සුන්දර වන්නේ බාධක පැමිණෙන විට බව මා වටහා ගත්තේ ඒවායිනි. එසේ ම ප්‍රේමයක් අමරණීය වන්නේ හිමි වූ විට නොව අහිමිව ගිය විට බව ද මම ඒවා අනුව පසක් කොට ගතිමි. සැබවින් මගේ හදවතේ ද රිදවමින් පැසවමින් තවමත් අමතක නොවී තියෙන්නේ මග හැරී ගිය පෙම්වතුන් ගේ කතා ය. ඒ වේදනා සදාකාලික වන තරමට ප්‍රේමය ද අමරණීය වේ. නමුත් ඒ හැම කතාවක් ම අවසානයේ මා පැතුවේ එක දෙයකි. අනේ ඔවුන් එක් වන්නට තිබුණා යන්න ය. එක් වූ පෙම්වතුන් ගේ කතා අවසානයේ සැනසුමක් දැනී ද ඉක්මනින් ඒවා අමතක වී යාමේ වැඩි සම්භාවිතාවක් තිබේ. සමහර විට ඔවුන් ට ඔවුන් හිමි වීමේ සැනසුම, තව දුරටත් ඔවුන් ගැන හිතමින් තැවෙන්නට ඇති ඉඩ අවුරා දමනු ඇත.

නමුත් මගේ ප්‍රේම කතාවේ දී මට හමු වූ එක ම බාධකය ධාරා ය. ඇය ද කතාවේ පෙම්වතා විසින් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප වී සිටින්නී ය. ඒ වුණත්,බාධක විරල වූවත් ප්‍රේමයක සුන්දරත්වයට එය බාධාවක් වන්නේ නැති බව දැන් මම අත්විඳිමින් සිටිමි.

මිස්ට් ෆීලඩ් පිවිසුම් දොරටුවේ සිට බංගලාව තෙක් මග විදුලි බල්බ වලින් වියනක් තනා තිබුණේ ය. අපි ඒ ඔස්සේ ගොස් රථ ගාලෙහි රිය නතර කළෙමු.

“වාව්..දිව්‍ය ලෝකෙ වගේ”

නංගී වටේ ම කරකැවී බැලුවා ය. මිස්ට් ෆීල්ඩ් සීමාවේ මුහුණත හා දෙපස මුළුමනින් ම විදුලි බල්බ වැල් වලින් තිරයක් මවා තිබුණේ ය. තැන් තැන් වල මහ ගස් වටේ ද බල්බ් වැල් සර්පිලාකාර ව ඔතා තිබිණ. එක වර ලක්ෂ ගණනක් විදුලි බල්බ දැල්වීමෙන් මුළු මිස්ට් ෆීල්ඩ් පරිශ්‍රය ම සදෙව් ලොවක සිරි ගෙන තිබිණ. මුණිවර විගස අප්පච්චි වෙත විත් කතා කොට අපේ පවුලේ අය ව සුදු ආවරණ යෙදූ අසුන් කරා ගෙන ගියේ ය. 

“සුරංගනා ලෝකයක් වගේ නේ දැන්නං…”

දසුන් අපට ආසන්නයෙහි වූයේ ය. 

“හ්ම්. සුරංගනාව තමා අඩු වෙලා තිබුණෙ”

ඔහු අම්මලා ට නෑසෙන සේ කීවේ ය. නමුත් කසුනි සිනහව අතින් මුවහ කර ගත්තා ය.

මුණිවර සිය මවට අප්පච්චිව හා අම්මා ව හඳුන්වා දෙනු මම දුටිමි. ඒ වෙලාවේ මා සිටියේ නංගී ද කසුනිලා ද සමග මිස්ට් ෆීල්ඩ් හි ලස්සන බලමිනි. 

“ආව් ආව්. දෙපැත්තෙන් ම ඔබ්ජෙක්ශන් නෑ වගේ”

“ඒ මොකටද…”

“මේ දෙන්නගෙ ලව් එකට”

“ලව් එකකට ඔක්කෝටම කලින් උන් දෙන්නගෙ එකඟතාවක් තියෙන්න එපෑ. කෝ ඉතිං…ජූජක බමුණ තාම කැමැත්ත ප්‍රකාශ කරල නෑනෙ”

“ඒ ඉතිං වාචිකවනෙ”

“වාචිකව තමා ඕනෙ. ඔහොම කොල්ලො ගැන බලං හිටපු කෙල්ලන්ට දැකල නැද්ද සමහර කොල්ලො කියනව…මං ඔයාට බලාපොරොත්තු දීල නෑනෙ…මං ඔයාට මං ගැන බලං ඉන්න කියල නෑනෙ..වගේ ඒව කියනව පස්සෙ”

ඒ සියල්ල කීවේ කෙල්ලන් ය. මා සිනා සිසී සිටියා විතර ය. අපි විදුනි ද ධාරා සමග ද කතා කරමින් කෑම ශාලාව සූදානම් කළෙමු.  ටික වෙලාවකට පස්සේ මුණිවර මවෙත ආවේ ය.

“හැම දේම හරි නේද…අම්…මන්දාකිණි එහෙනං සර්ලට කෑම කන්න කියමු”

“අප්පච්චිල කයි..මිස්ට මුණිවර අනිත් අයට කෑමට ආරාදනා කරන්නකො”

“නෑ නෑ සර්ලට කියල ඉමු”

“නිකං කියල බෑ අයියෙ. වතුර වීදුරුවක් ට්‍රේ එකක තියං ගිහිං කෑමට ආරාදනා කරන්න”

එසේ කීවේ විදුනි ය.

“නංගි එහෙනං එහෙම කරනවකො. නැත්තං අම්මට කියන්න. සර්ලට මුලින්ම ඉන්වයිට් කරන්න”

ධාරා ගේ මූණ වෙනස් වෙනවා මා දුටුවේ අහම්බෙනි. ඇගේ පවුලේ අය ද පිරිතට පැමිණ සිටින බව මා දැන ගත්තේ පසුව ය. මුලින් අපේ ගෙදරට ආරාධනා කිරීම ගැන ඇගේ ගැහැනු සිත්හි ඊර්ෂ්‍යාකාරී රිදීමක් ඇති වන්නට ඇත.

කෙසේ වෙත ද විදුනි මුලින් ම වතුර අල්ලා අප්පච්චිටත් අම්මාටත් කෑමට ඇරයුම් කළා ය. ඉන්පසු ඒ ආසන්නයේ උන් සෑම කෙනෙකුට ම ඇරයුම් ලැබිණ. ඉතා විශාල පිරිසක් පිරිත් අසන්නට පැමිණ සිටි අතර මණ්ඩපයෙහි පිරිත් දෙසන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය දෑ සැපයීමේ කටයුතු මුණිවර විසින් අපට භාර කරන ලදී. දසුන් මණ්ඩපය වෙත ගොස් විමසා බලා පැමිණෙන විට ඒ අවශ්‍යතා අපි, ගෑනු ළමයි විගස සලසා දුන්නෙමු.  

මහ පිරිත ඇරඹෙන්නේ මධ්‍යම රාත්‍රියේ ය. ඊට පෙර පිරිත් ඇසූ අයට සංග්‍රහ සත්කාර කිරීම සඳහා විවේකයක් ලැබේ. ඒ වෙලාවේ අම්මලා ගෙදර යන්නට සූදානම් වූහ. මුණිවර ඒ ගැන ඒ තරම් සතුටක් පෑවේ නැත.

“මං හිතුව සර්ල එළිවෙනකල්ම ඉඳියි කියල”

“දූලගෙ අම්මට නිදි මරන්න එපා කියලයි පුතා ඩොක්ටර්ස්ල කියල තියෙන්නෙ. මෙයාට අර කනේ බැලන්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවනෙ. ඉතින් නිදි මැරුවොත් ඕක ආයෙ වැඩි වෙලා ජරමර ගොඩක් වෙලයි නතර වෙන්නෙ”

“එහෙමද…එහෙනං ඉතිං සර්ල පරිස්සමට යන්න”

ඔහු මදෙස ට හෙළුවේ ශෝචනීය බැල්මකි. මම මඳහසකින් බිම බැලුවෙමි. 

“අපි ගියාට දුවල දෙන්නයි මේ මිස්ල දෙන්නයි ඉන්නවනෙ. උදේට මං එන්නංකො එක්කං යන්න”

“ආ මන්දාකිණී යන්නෙ නැද්ද…මං හිතුව ඔක්කොමල යනව කියල”

“නෑ ඒගොල්ලො හිටපුදෙං..ලොකු ළමය රස්සාව කරන තැන වැඩක්නෙ ඉතිං මේක”

මුණිවර ගේ ඇස් එළිය වූවා ද? මම එවැන්නක් හැඳින ගැනීමේ උත්සාහයක් දැරුවෙමි.

මල්ලී ට ද රෑ එහි නතර වන්නට ඕනෑ වූව ද අම්මා ඊට ඉඩ දුන්නේ නැත. අපට,ගෑනු ළමයි නඩය එක්කාසු වූ විට මල්ලී ගැන බලන්නට සිහිපත් නොවනු ඇති බවත්, ඔහු තනිව මිස්ට් ෆීල්ඩ් පුරා ඇවිදින්නට ගොස් නැති කරදරයක් කර ගත හැකි බවත් කියා අම්මා ඔහු ව කැටුව ගියා ය. මහ පිරිත පටන් ගැනීමෙන් පසු අප හිටියේ කුස්සියේ ය. පසුදා උදයේ සඟ සතු දානය නිමිත්තෙන් ආහාර පිසීම ඒ වෙත්දීත් අරඹා තිබිණ. ගෑනු ළමයි පොඩි වැඩ කරමින් ඊට උදව් වූහ. ඊට අමතර ව වරින් වර තේ පිළියෙල කිරීම හා පිරිත් අසන අයට සංග්‍රහ කිරීම වැනි කටයුතු වල මූලිකත්වය ගෙන සිටියේ විදුනි ඇතුළු ව අපේ ගෑනු ළමයින් ටික ය. ධාරා වැඩිපුර ඒ වගේ වැඩ ගැන උනන්දුවක් දැක්වූ ගෑනු ළමයෙකු නොවේ. නමුත් දසුන් විසින් පවසනු ලැබූ රස කතා අසමින් හඬ නගා සිනහ වීමට ඕ නො පැකිළුණා ය.

“යකෝ ඕච්චර හයියෙං හිනා වෙන්න එපා. හාමුදුරුවො පිරිත් කියනව”

වතාවක් දසුන් ඇයට එසේ අවධාරණය කරනු ද මා අසා ගෙන ය. කෙසේ වෙතත් තවත් වැඩි වෙලා නො ගොස් ඕ කුස්සියේ මේසයකට හිස තියා ගෙන නිදන්නට වූවා ය. දසුන් ඇගේ මුහුණෙහි දන්තාලේප ගල්වන්නට හැදුවේ ය.

“අනේ එපා අනේ..පව්”

මම ඔහු වලකන්නට උත්සාහ කළෙමි. නමුත් දසුන් මට කීකරු වූයේ නැත.

“මේ වගේ වැඩ තියන වෙලාවට නිදාගෙන සැප ගන්න උන්ට මෙහෙම පනිශ්මන්ට් එකක් දුන්නැත්තං වැඩක් නෑ”

මුණිවර මුළුතැන්ගෙයට වී සිටියේ නැත. ඉදිරිපස ඔහු ගේ ව්‍යාපාරික මිතුරන් ඇතුළු පිරිස සිටියහ. නමුත් ඔහු නිතර ම මුළුතැන්ගෙට විත් කැරකී ගියා ය කියා මම සිතමි. 

“දසුන් අයිය ඇනුවල් ට්‍රිප් එකටත් ජොයින් වෙනවනෙ නේ…”

කතා බහක් අතරේ මා ඔහු ගෙන් එසේ ඇසුවේ, මේ වෙත්දී අප අතරේ හිතවත් කම දැඩි වී තිබුණ බැවිනි. පිරිතටත් ඔහු ආ එකේ, විනෝද ගමනේ දීත් අප හා එක් වේ නම් විනෝදය වැඩි වනු ඇතැයි හැඟීමක් මා තුළ ඇති ව තිබෙන්නට ඇත. සමහර මිනිසුන් එසේ ය. හිතවත්කම් වලට ලොකු කාලයක් නොවී ද බැඳීම් දැඩිව දනවන්නෝ ය.

“අනේ මං හෙට දානෙ වැඩ ඉවර වුණ ගමන් යනව නංගි. අපි ඉතිං දැං දරු පවුල් කාරයොනෙ. දන්නැද්ද දැං ගෙදර ගියාට පස්සෙ සෑහෙන පනිශ්මන්ට් කන්නත් වෙයි”

ඔහු සිනහවක් නගා ගත්තේ ය. නමුත් මම දුකෙන් තොල පිට පෙරළුවෙමි.

“අයියෝ…ට්‍රිප් එක ඉන් අනිද්දටනෙ”

“ම්…බලමුකො. කොළඹදි හරි ගෝල් වලදි හරි මං ජොයින් වෙන්න බලන්නං”

“මාත් එනව ට්‍රිප් එකට”

නින්දෙන් හිස ඔසවා එසේ කී ධාරා නැවත ද හිස මේසයෙහි ඔබා ගත්තා ය. ඇගේ මුහුණේ වූ දන්තාලේප රැවුල දැක කවුරුත් සිනහ වූහ.

“ට්‍රිප් කියනකොට මුං නින්දෙනුත් නැගිටිනව”

ඒ රාත්‍රිය අපේ බැඳීම් වැඩි කළා කියා සිතමි. දසුන් සේ ම විදුනි ද මගේ ම කෙනෙකු සේ දැනෙන තරමට මට සමීප වී සිටියහ. මුවින් නොබිනී ද මුණිවර ගේ ඇස් පවා වෙනදාට වැඩිය මා හා දොඩමළු වූවා කියා සිතමි. 

එක් කුටියකට වී පිරිකර පාර්සල් කරමින් සිටි මුණිවර ගේ බාල නැගණිය ස්ටේප්ලරයක් විමසා සිටියේ ගෑනු ළමයින් පළතුරු සලාදය සඳහා පළතුරු කපමින් සිටියදී ය.

“මේ හරියෙන්නං හොයා ගන්න බැරි වෙයි නංගි. ඉන්නකො මං මගෙ ඔෆිස් රූම් එකේ තියන එක ගෙනත් දෙන්නං”

කියා මම නැගිට ගතිමි.

“තනියෙං යන්න පුළුවන්ද..”

කියා කසුනි ඇසුවා ය.

“පුළුවං පුළුවං. හැම තැනම එළියනෙ. මං දුවල අරං එන්නං”

කියා ගෙන මම පිටුපස දොරෙන් නික්ම කාර්යාල පරිශ්‍රය වෙත දිව යන්නට වූවෙමි. සිය කුටියෙහි මේස ලාච්චුව ඇර ගෙන ඊට එබී මුණිවර එහි සිටිනවා මා දුටුවේ අහම්බෙනි. මගේ පියවර හඬින් හෙතෙම හිස නගා බැලුවේ ය. තත්පර දෙක තුනක් අප ට කතා කර ගන්නට වචන සොයා ගත නො හැකි ව ගත වූවා විය යුතු ය.

“ම්..මං..ස්ටේප්ලර් එකක් ගෙනියන්න ආවෙ”

මගේ වදන් වල මඳ ගොතයක් මට ම දැනුණේ ය.

“අම්..මාත් මේ ගෙනියන්න ආවෙ. නෑනෙ අප්ප”

“මගෙ ළඟ ඇති”

කියා ගෙන මම මගේ කුටියට ගියෙමි. ඉක්මනට එය ගෙන මෙතැනින් පලා යා යුතු යයි අදෘශ්‍යමාන සිතිවිල්ලක් මා මෙහෙයවමින් සිටියේ ය. මම ලාච්චු හැර බැලුවෙමි. හිතේ වූ ගැස්මත් කලබලයත් නිසා ඇස් නො පෙනුණා වන්නට පුළුවන. මම අත පත ගාමින් යළිත් සෙව්වෙමි.

“නැද්ද”

කියනා මුණිවර ගේ හඬ ඇසුණේ හද ගැස්ම සුවාසු දහස් වාරයකින් තීව්‍ර කරමිනි. මොන දෙවියෙකු ද මන්දා ඒ මොහොතේ ම එය මගේ දෑසට හසු කළේ ය.

“තියනෝ”

කියා ගෙන මම ස්ටේප්ලරය ගෙන දණහිසින් තල්ලු කොට ලාච්චුව වසමින් නැගී සිටියෙමි. මුණිවර මේසයට හේත්තු වී ගෙන බලා සිටියේ ය. මා මුවග වූ මඳහස ක්ෂීණ වෙමින් යන්නට විය. මම බිම බිම බලා ගෙන ඔහු පසු කොට යන්නට ගියෙමි. නමුත් මගේ දකුණු අතේ මැණික් කටුව ළඟින් තද කොට අල්ලා ගන්නා ලද බවක් දැනුණේ ය.  මම නෙතු නගා ඔහු දෙස බැලුවෙමි.

“දුවන්නැතුව ඉන්න”

හදවතකට ඒ තරම් හයියෙන් ගැහෙන්නට පුළුවන් යයි සිතිය නො හැකි තරම ය. මගේ දෙතොල් පවා වෙව්ලමින් තිබිණ. ඒ තරම් සීතල රාත්‍රියකදීත් උඩු තොල මත දාඩිය බින්දු කීපයක් නැගී ආවා විය යුතු ය. මම යටි තොල තද කොට සපා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content